වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසන්නලා, උදයකාන්තලා සෝමරත්නට විතරක් නෙවෙයි

ප්‍රසන්නලා, උදයකාන්තලා සෝමරත්නට විතරක් නෙවෙයි බූඩිට, විමුක්තිටත් කියන්න පුළුවන්

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

'ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ විස්තර'

මුහුණ පුරා යන්තම් රැවුලක් වවාගෙන කණ්ණාඩි දෙකක් දමා සිටි ඉලන්දාරියෙක් මානවී දෙස තියුණු බල්මක් හෙලා විමසුවේය.

'මා ගැන? කොතැනින් පටන් ගන්නද?'

මානවී සිතන්නට වූවාය.

'මොනවද ඕනෑ විස්තර?'

ඇය සිනහවෙමින් විමසුවාය. මේ කාලය ඇතුළත ඉලන්දාරියාගේ අත තිබුණේ ජංගම දුරකතනයේය. ඔහු එහි ඇති සර පුවරුව මත ඇඟිලි එහාට මෙහාට යවන්නේය. එය ඔහුට පුරුද්දට ගොස් ඇතුවා සේය.

'නම, ගම, විස්තර, ඉගෙන ගත්තේ කොහේද, ගම් පළාත?

මානවී විස්තර කළාය. ඉලන්දාරියා පත්තරයකිනි. නම සම්පත්ය. සම්පත් සමඟ ඡායාරූප ශිල්පියෙකි. නම නාලන්ය. ඔහු කැමරාව උරපත්ත මත තබාගෙන බලා සිටී.

'නංගී ඔය සැටිය මැද්දේ දිග ඇදෙන්න'

ඒ අතරවාරයේ නාලන් පැවසුවේය.

ඇඳ සිටි ඇඳුම කෙටිය. පත්තරයක ෆොටෝ ෂූට් එකකට සුදුසු ඇඳුම ලබා දුන්නේ රණතුංග රෙදි සාප්පුවයි. පත්තරේට ලිපියක් ලියන්නට එනවා යැයි සුජිත් පවසද්දී මානවී සිතුවේ එය විහිළුවක් හැටියටය. එහෙත් සුජිත් සියල්ල සැලසුම් කර තිබිණි. එපමණක් නොව පුවත්පත් ආයතනයට ද කැඳවා ගෙන ගියේය. රණවීරගේ රෙදි සාප්පුවෙන් ඇඳුම් ලැබෙද්දී සාප්පුවේ නම ලිපියේ පළ කරන්නැයි ඉල්ලා තිබිණි. පින්තූර සඳහා හැඩ වැඩ කර දෙන්නට ද වෙස් ගැන්වීම් ශිල්පිනි කුමාරි ආවාය. සුජිත් නැති දවස්වල මානවීගේ තනියට සිටියේ කුමාරිය. කුමාරි යැයි පැවසුව ද ගැහැනියක ද, පිරිමියකු ද යන්න මානවීට ගැටලුවකි.

ඡායාරූප ශිල්පියාගේ ඉල්ලීමට සැටියේ දිග ඇදුණ ද ඔවුන් හමුවෙහි ඕනෑවටත් වඩා දෙපා නිරාවරණය වූයේ යැයි මානවීට තේරුණි. ඇය දෙපා වසා ගන්නට තැත් කළාය.

නෑ නංගි ඔහොම ඉන්න'

ඡායාරුප ශිල්පියා පැවසුවේය. සරස් හඬින් විදුලි එළියක් දැල් වී නිවී ගියේය. ඡායාරූප පෙළක් එක දිගට ඔහුගේ කැමරාවේ සටහන් විණ.

'ඔයාගේ ආදර කතාව කොහොමද?'

ඈ ගැන විස්තර විමසූ සම්පත් ඇසුවේය.

සුජිත් ගැන කියනවාද? මානවී සිතුවාය.

'මට තවම එහෙම කවුරුවත් නෑ'

'කොයි වගේ කෙනෙක් ද බලාපොරොත්තු වන්නේ'

'තාම හිතලාවත් නෑ'

සාකච්ඡාවට පැය භාගයක්වත් ගියේ නැත. අත දුන්න අය ගැන කියද්දී නම් සුජිත් ගැන කියන්නට මානවී අමතක නොකළාය.

පුවත්පත් කලාවේදීන් දෙදෙනා හොඳ මිතුරන් ලෙස සලකන්නට මානවී තීරණය කළාය.

'ඔයා හිටපු සීන්ස් අපි බලලා තිබුණා. ඔයාට හොඳ ටැලන්ට්ස් තියෙනවා නංගි. ඔයා ටෙලි නාට්‍යවලට කාලේ නාස්ති කරන්නේ නැතුව හොඳ ෆිල්ම්වලට ජොයින්ට් වෙන්න. ඔය ඉන්නේ ප්‍රසන්නලා, හඳගමලා, උදයකාන්තලා, සෝමේ අයියලා. අපට ඕනෑ නම් බූඩිට, විමුක්තිට වුණත් කියන්න පුළුවන්'

ඡායාරූප ගත් නාලන් අයියා ඇයට අවවාද රාශියක් දුන්නේ දෙපා නිරාවරණ ඡායාරූප ගනිමිනි.

'සුනිල් ටීත් දැන් හොඳ ෆිල්ම්ස්නේ හදන්නේ. අපි සුනිල් අයියාට වගේම, රේණුකා අක්කටත් ඔයා ගැන කියන්නම්'

මානවීගේ ඇස් දීප්තියෙන් බැබළිණ. ගමට කිට්ටුව සිනමා ශාලාවක කටවුට් එකක තමාගේ රූපයෙන් හැඩ වෙන්නේ නම්? නාලන් පවසන්නේ සිනමාවේ දැවැන්තයන් ගැනය.

මානවී සිහිනයෙන් මිදී ඡායාරූප ගත් නලීන් අයියාට කෘතවේදීව සිනසුණාය.

සතියකට පමණ ඇවෑමෙන් සුජිත් ගෙදරට ආවේ පුවත්පත අතැතිවය. නිර්මලා වැඩට ගොසිනි. ඔහු රෝල් කර ගත් පුවත්පත ඇයට දිගු කොට ආපසු අතට ගත්තේය.

'අපි ගැන දන්න කෙනෙක් ගැන පත්තරේ දාලනේ'

ඔහු පත්තරය යළි ඇයට මානා ආපසු ගත්තේය. ඇය එය උදුරන්නට තැත් කළාය. සුජිත් ගෙට පැමිණි පසු මානවී ඉදිරිපස දොර වසා දැමුවාය.

ඉඳින් ඔහු හා පොර බදන්නට කාගෙන්වත් තහනමක් නැත. ඔහු පුවත්පත දිග හැරියේය. මානවීගේ දෑස් නිලංකාර වූයේය. තම සිරුර නාලන් අයියාගේ කැමරාවට මෙතරම් නිරාවරණය වූයේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකිය. මේ ඡායාරූපය දැන් රට වටා යනු ඇත. අම්මා දැක්කොත්, අත්තම්මා දැක්කොත්, නෑදෑයන්, මේ සියල්ල ඇයගේ මනසේ වැදී ගියේය.

'අනේ සුජිත් අයියේ මාව ඉවරයි. අපේ අම්මා එහෙම දැක්කොත් මට ගෙදර ඉන්න වෙන්නේ නැහැ'

'ඕක ඔච්චර ගාණං ගන්න එපා. ඔයා ඉන්ටවිව් දීලා තියෙන්නේ නිළියක් හැටියට පත්තරේට. ඔයා තෑන්ක්ස් කරන්න ඒ අයට'

'තෑන්ක්ස් නෙමේ. මට අර නාලන් අහු වුණොත් බෙල්ල මිරිකනවා'

'මානවී මේක ලොකු චාන්ස් එකක්. මේ පත්තරේ ලිපියක් දානවා කියන්නේ සෙල්ලමක් නෙවේ. කොච්චර කට්ටිය මහන්සි වෙනවද?'

මානවී ලිපිය කියවා බැලුවාය. ලිපියේ බොහෝ දෑ ඈ පැවසු කරුණුමය.

'මට තවම පෙම්වතෙක් නෑ කියන්නේ මං ඔයාගේ පෙම්වතා නෙවෙයිද?'

සුජිත් මානවී තුරුලු කර ගනිමින් ඇසුවේය. ඈ වෙතින් විලවුන් සුවඳක් වහනය විය. ඔහු ප්‍රශ්න කරන්නට ඇත්තේ පුවත්පතේ ශීර්ෂයයි.

'කවුද එහෙම නැහැයි කිව්වේ රත්තරන්'

මානවී බැගෑපත් ස්වරයෙන් පැවසුවාය. සුජිත් එය ප්‍රයෝජනයට ගත්තේය. ඔහු ඇයගේ දෙතොලට නැඹුරු වූයේය. මානවීගේ ඇසි පිය වෙන හැටි ඔහු අපූරුවට බලා උන්නේය.

කාලය කෙතරම් සොඳුරුදැයි ඈ විමසා සිටියාය. කවදාක හෝ දවසක සුජිත්ගේ පතිනිය වී යන්නට සිදු වනු ඇත. එයට කිසිවකු විරුද්ධ වනු එකක් නැත. දැනටමත් අම්මාට එය රහසක් නොවේ. දිගින් දිගටම ඒ පසුපස හාරා අවුස්සන්නට අම්මා තැත් නොකළාය. අත්තම්මා ළඟ සිටියා නම් එය නොවන්නට ඉඩ තිබිණ.

'අපි බඳිමු'

විඩා වූ ගතේ දහඩිය පිස දමමින් මානවී යෝජනŁකළාය. ඇය ඔහුගේ හිසේ සිට නිකට දක්වා දබරැඟිල්ල ඇදගෙන ගියේ ඒ අතරය.

'කවදද, මං නම් අද වුණත් කැමැතියි'

'අද බෑ, අම්මට එහෙම කියලා'

'දැන් මේ ඔක්කොම කළේ අම්මට කියලද?'

සුජිත් කපටි සිනහවකින් ඇසුවේය.

'මට ඉන්ඩ දුන්නද?'

'මං අල්ලා ගත්තනේ'

'මට බයයි සුජිත් අයියා'

'මොනවට බය වෙනවද?'

'වැරදුනොත් ගෑනු අපටමයි කියලා අත්තම්මා කියන්නේ'

'වරද්ද ගන්න හැම වෙලාවෙම ජීවිතේට අලුත් චාන්ස් එකක් ගන්න. වරදීවි, හැබැයි පරදින්න එපා'

සුජිත්ගේ මුහුණ දෙස මානවී එක එල්ලේ බැලුවාය. සුජිත් මෙතරම් ගැඹුරින් ජීවිතය දෙස සිතන්නෙක්ද?

'අපි ගම්වලින් ආපු මිනිස්සු. අපට මෙහෙ මුල් නැහැ. හැබැයි අපි කොහේ වුණත් පැල වෙනවා. දවසක කොළඹ මිනිස්සු පිටගම් කාරයන්ට යන්න කිව්වොත් කොළඹම හිස්. මතක තියාගන්න මේ කොළඹ හදලා තියෙන්නේ ගම්වල මිනිස්සු කොළඹට ඇවිත් මිසක් කොළඹ මිනිස්සුන්ගේ මහන්සියෙන් නෙවේ'

මානවී උන් තැනින් බිමට බැස්සාය.

'ෂා! සුජිත් අයියා ඡන්දෙ ඉල්ලුවා නම් හොඳයි'

'ගමේදී ඡන්දෙ කරන්න ගිහින් බෙල්ල බේර ගන්න තමා මං මෙහෙට පැන්නේ'

ඔහු අලුත් කතාවක් හෙළිදරව් කළේය. මානවී නාන කාමරය දෙසට ගියාය. නාන කාමරයට ගිය ඇගේ සිරුරේ හැඩ තල ඔහු යළිත් සිතින් විඳ ගත්තේය. වතුර කරාමය ඇරෙන වැසෙන හැඬ ඇසිණි. ඇ යළිත් ඒ ආකාරයෙන්ම ආවාය.

සුජිත් සිටියේ දුරකතන ඇමතුමකය. ඔහු මානවී දෙස බැලවේය. මානවී කාමරයේ දොරට හේත්තු විය. ඉහළින් වැටුණු ඉර එළියත් මත ඇගේ වත බැබලිණ.

සුජිත් දුරකතනයේ කැමරාව ඇයට මෑනුවේය. එය විහිළුවට ගත් ඇය තවත් ඉරියව්වකට මාරු වූවාය. එම සිරුරේ ඔහුට හංගන්නට කිසිවක් ඇයට තිබුණේ නැත.

සුජිත් යළිත් කැමරාව මෑනුවාය. මානවී සුජිත් ළඟට පිවිසුණාය. ඔහු සිනාසෙමින් දුරකතනය මානන්නට තැත් කළේය. එහෙත් මානවී එයට එබී බැලුවාය.

'අනේ සුජිත් අයියා. ඕක ඩිලීට් කරන්න'

'ඩිලීට් කරන්න? මෙච්චර ලස්සන පින්තූර'

'කොහොමද ලස්සන. මෙන්න පින්තූර'

ඔහු කට ඇද කරමින් කියාපෑවේය. මානවීගේ හිස සිට දෙපා දක්වා සිරුරේ සියළු හැඩතල කැමරාව සොරා ගෙන තිබිණ.