වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




පත්තිනි

සුදෝ සුදු - දෙතොල මධු

සුදෝ සුදු - දෙනෙත මධු

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මමෝරම්‍ය රූප කාව්‍යය

පත්තිනි

අදින් වසර 1500 කට ඒ වූ කලී පෙර අතීතයයි. ස්ථානය දකුණු ඉන්දියාවයි. එකල දකුණු ඉන්දියාව සොලී, පාඬි, කේරල යනුවෙන් රාජ්‍ය තුනකට බෙදී තිබුණේය. කණ්ණගී උපත ලැබුවේ සොලී රටෙහි කාවේරි පටුන නම් නුවරය. ඇය කෝවලන් නම් ධනවත් සිටුවරයකු සමඟ විවාහ විය. බොහෝ කාලයක් ඔවුහු සුන්දර විවාහ ජීවිතයක් ගෙවූහ.

සොලී රටේ නෘත්‍ය රාජිණිය ලෙස මාධවී සිටු කුමරිය අභිෂේක කරන දිනය එළඹෙන්නේ මේ අතරය. එම අභිෂේක මංගල්‍යයට ආරාධනා ලද ප්‍රභූන් අතර කෝවලන් ද වෙයි. නෘත්‍ය රාජිණිය බවට පත් වූ මාධවීට රජුගෙන් වරමක් ලැබේ. එනම් එහි සිටින ප්‍රභූන් අතරින් කෙනෙකු සිය ස්වාමි පුරුෂයා වශයෙන් තෝරා ගැනිමේ වරමයි. සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධවී සිය ස්වාමි පුරුෂයා වශයෙන් තෝරා ගන්නේ කෝවලන්වය. මාධවීගේ රූපයෙන් සහ නර්තනයෙන් මෝහනය වී සිටින කෝවලන් ද මාධවීට කැමැති වෙයි. කණ්ණගී - කෝවලන් කැදැල්ල දෙදරා යයි.

කෝවලන් තමා සතු සියලු ධනය මාධවී වෙනුවෙන් වැය කරයි. කණ්ණගී හඬමින් වැලපෙමින් සියල්ල විඳ දරා ගනී. ස්වාමි පුරුෂයා නැතිව තනි වූ කණ්ණගීට සොලී තරුණයෝ අයුතු යෝජනා ගෙන එති. කෝවලන්ගේ පියා කණ්ණගීට පවසනුයේ වෙනත් විවාහයක් කර ගන්නා ලෙසය. එහෙත් නොකිළිටි පති භක්තියෙන් ඇය කෝවලන් නාමයෙන් කැප වී සිටී.

මහාචාර්ය සුනිල් ආරියරත්න

මිලීනා සුමතිපාල

වෘත්තීය නාටකාංගනාවක වූ මාධවීට තමා හමුවට එන ප්‍රභූන් පිනවීම සඳහා රංගනයේ යෙදන්නට සිදු වේ. කෝවලන් ඇයගේ ක්‍රියා කලාපය නොරුස්සයි. ඔවුන් අතර නිතර අඬදබර හට ගන්නේ එබැවිනි.

නෘත්‍ය රාජිණියකට දරුවන් ප්‍රසූත කර මවක වීම තහනම්ය. එහෙත් මාධවී කෝවලන් නිසා ගැබ් ගනී. මාධවීගේ අයහපත් කල් ක්‍රියාත්, ඇය නිසා තමාට පිය පදවිය හිමිවී තිබීමත් අතර කෝවලන් දෝලනය වෙයි.

කෝවලන්, කණ්ණගී, මාධවී ත්‍රිකෝණ ප්‍රේම වෘතාන්තය කෙසේ කෙළවර වන්නේද?

එහෙත් සාහිත්‍යයේ එන පරිදි කණ්ණගී බුදු බව පතන පත්තිනි දේවිය බවට පත් වන්නේ කෙසේද?

ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ ‘පත්තිනි’ චිත්‍රපටය තිරගතවීමෙන් අනතුරුවයි.

සම නිෂ්පාදනය - ජගත් සුමතිපාල, තිලංග සුමතිපාල

කථා ප්‍රතිරචනය, තිර රචනය, සංවාද රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න

චරිත නිරූපණ - පුජා උමාශංකර්. උද්දික පේ‍්‍රමරත්න, අරුණි රාජපක්ෂ, විනූ සිරවර්ධන, නීටා ප්‍රනාන්දු, අවන්ති අපොන්සු, අමා විජේසේකර, වසන්ත විට්ටච්චි, අනුර බණ්ඩාර රාජගුරු, සම්පත් තෙන්නකෝන්, මධුෂා රාමසිංහ, විජයරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, දයා අල්විස්, මියුරි සමරසිංහ, රමණී සිරිවර්ධන

ආරාධිත රංගන - රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්

ගේය කාව්‍ය රචනා - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (පත්තිනි දේවි / රන් හසුන්) මහාචාර්ය සුනිල් ආරියරත්න (සෙසු ගී) ගායනා - නන්දා මාලිනි (පත්තනි දේවි), නිරෝෂා විරාජිණී (රන් හසුන් ලොල්වනා / පුංචි සමනලී) කසුන් කල්හාර / උරේෂා රවිහාරි (සුදෝ සුදු), දමයන්ති ජයසූරිය / සමන් ලෙනින් (නමෝස්තු තේ) අමරසිරි පීරිස් (සංසාරේ ගිරි දුර්ගය)

විධායක නිෂ්පාදිකා - වාගීෂා සුමතිපාල

නිෂ්පාදන සම්බන්ධීකරණය - ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකරණය - මමෝහාරි හේවාවසම්

නර්තන අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ

සංගීත නිර්මාණය, සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය