වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




බඹරු රංචු පිටින් ආවත් මම බය නැහැ

බඹරු රංචු පිටින් ආවත් මම බය නැහැ

කටකාරකමින් එළියට එන්න මටත් ඕනෑ වුණා

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන අඟුරු සිත්තම් ටෙලි සිතුවමේ රුවිනිට පණ පොවන සචිනි රුවන්තිකා අද ජ්)ඕ හරහා ඔබට හඳුන්වා දෙමි. මෙය ඇයගේ කුලුඳුල් පුවත්පත් සාකච්ඡාව වීම විශේෂත්වයකි.

* සචිනි ඔබ කලාවට එකතු වූ අන්දම ගැන පළමුව කතා කරමු?

මගේ යාළුවකුගේ මඟ පෙන්වීම යටතේ සඟරාවක මුල් පිටුවක ඡායාරූපයකට පෙනී සිටින්න අවස්ථාව උදා වුණා. ඒ හරහා මාව දැකලා වෙළෙඳ දැන්වීම්වලට කතා කළා. කාලයක් තිස්සේ වෙළෙඳ දැන්වීම්වල විතරයි මම රඟපෑවේ.

* එතකොට අඟුරු සිත්තම් ද ඔබේ පළමු ටෙලි නාට්‍ය රංගන අත්දැකීම?

ඔව්. විශ්වනාත් විජේසූරිය කියන අංග රචනා ශිල්පියාගේ මාර්ගයෙන් මට ස්වර්ණවාහිනියේ චාමර සමරවික්‍රම මහත්මයාව හඳුනා ගන්නට ලැබුණා. ඔහු තමයි මට අඟුරු සිත්තම්වලට එකතු කර ගත්තේ.

* අඟුරු සිත්තම් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. පළමු ටෙලි නාට්‍ය ඔහුගේ එකක් වීම කොහොමද ඔබට දැනුණේ?

ඇත්තටම සිවා අයියා කියන්නේ ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙක්. මම අලුත් කියලා පැත්තකට දාලා හිටියේ නැහැ. ඔහු මගේ දෙබස් කියන ආකාරය පවා හැදුවා.

* ඒ කියන්නේ ඔබ රඟපාන්න එනකොට ඩයලොග් එකක්වත් කියාගන්න බැහැ?

ඩයලොග් කියන්න බැරිකමක් තිබුණේ නැහැ. ඒත් මම එක පිට එක පිට හුඟක් වේගයෙන් ඩයලොග් කිව්වා. ඒක හැදුවේ සිවා අයියා.

* සිවාගේ මීට පෙර නිර්මාණ ඔබ බලලා තියෙනවාද?

ඔව්. මම ඔහුගේ කෝ මාක් නෝ මාක් චිත්‍රපටය බැලුවා. ඒ වගේම කළු අරලිය ටෙලි නාට්‍යයත් බොහොම ආසාවෙන් රස වින්දා.

* මෙගා ටෙලි නාට්‍යකින් නිළියක් විදිහට කලඑළි නොබැස මෙගා නොවන ටෙලි නාට්‍යයක චරිතයක් හරහා රංගනයට ආවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

මම හිතන්නේ මේ කලේ වන විට අපට ලැබෙන ආරාධනා මඟහැර ගන්න විදිහක් නැහැ. මොකද මම අඟුරු සිත්තම් සඳහා ආව ආරාධනාව අත හැරියා නම් මම අද තවමත් එක තැන. අනික රුවිනි කියන්නේ බාල බොළඳ චරිතයක් නෙවෙයි. ඇය කටකාරයි. මටත් වුවමනා වුණේ ඒ වගේ චරිතයකින් එළියට එන්න.

* ඔබ ඔය නොකියා කිව්වේ චරිතයක් ලැබුණාම තෝරා බේරාගෙන රඟපානවා කියන එකද?

මට මේ වන විට මහ ලොකුවට රංගනය සඳහා ඇරැයුම් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේ වන විට ස්වාධීන රූපවාහිනියේ නාට්‍යකට පමණයි අඟුරු සිත්තම්වලින් පසුව ආරාධනා ලැබුණේ. නමුත් ලැබුණු චරිතය කොයි ආකාරයේද කියලා දැනගෙනයි දර්ශන තලයට ආවේ. ඒ නිසා තෝරා බේරාගෙන රඟපානවා කියනවාට වඩා චරිතයක් දැනගෙන රඟපාන්න එන නිළියක් කියලා මාව හඳුන්වනවාට කැමැතියි.

* ඔබ හිතාගෙන සිටි සුන්දරත්වය ක්ෂේත්‍රය තුළ තිබෙනවාද?

මේ ක්ෂේත්‍රය සුන්දරයි කියලා හිතාගෙන නෙවෙයි මම ආවේ. දැනගෙන හිටියා මේකෙ ඇතුළෙ මේ වගෙයි කියලා.

* කටකතාවක් හදාගන්න ආස නැතිද?

ඒ මොකටද?

* කටකතාවක් හැදුනම නිළියන් ජනප්‍රිය වෙනවානේ?

මම එහෙම කරගන්න හිතන්නේවත් නැහැ. රඟපාලා ලැබෙන ජනප්‍රියත්වය මට හොඳටම ඇති.

* මේ ක්ෂේත්‍රය හොඳද?

ඔව් හොඳයි.

* ඉන්න පුද්ගලයෝ?

කියන්න තරම් වරදක් නැහැ.

* එහෙනම් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් මොකද කරන්නේ?

අම්මෝ ඒක නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

* ඇයි? ඔබ කිව්වේ මේ ක්ෂේත්‍රයෙහි ඉන්න අය හොඳයි කියලා?

හොඳයි තමයි. නමුත් එකම ක්ෂේත්‍රයේ දෙන්නම ඉන්න නිසා ටිකක් අපහසු වේවි ජීවිතේ ගෙනියන්න.

* ඔබ ඔහොම කිව්වට ශ්‍රියන්ත කුසුම්, විජය නන්දසිරි දේවිකා වැනි අය එකම ක්ෂේත්‍රයේ ඉඳගෙන හොඳට පවුල් ජීවිත ගෙනි යන්නේ?

මම පිළිතුරු දුන්නේ මට අදාළව. මට නම් මේ ක්ෂේත්‍රයේ කෙනෙක්ව බැඳලා පවුල් ජීවිතය ගෙනියන්න බැරි වේවි.

* ඔබ කවදා හරි තෝරගන්න කෙනා ඔබට ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නට කිව්වොත්?

ඒ වගේ කෙනෙක්ව නම් මම බඳින්න හිතන්නෙවත් නැහැ. කවදා හරි මම විවාහ වන කෙනා මට සපෝර්ට් කරන කෙනෙක් විය යුතුයි.

* එතකොට රූපය?

සාමාන්‍ය ලස්සනක් තිබුණොත් ඇති.

* ඔබ තවමත් පොඩි කෙනෙක්. නමුත් තනියට කවුරුවත් ගෙනි යන්නේ නැතුව රඟපාන්න යනවා. බය නැති ද තනියෙන් ක්ෂේත්‍රයේ සැරිසරන්න?

සමහර දිනවලට අම්මා එනවා. නමුත් දැන් දැන් මම හුරු වෙලා ඉන්නවා තනියම මගේ දේවල් කර ගන්න. කවදා හරි මගේ දේවල් මම තනියම කරගන්න ඕනෑනේ.

* තනි වුණු මල් හොයාගෙන බඹරු එන්නේ රංචු පිටින්ලු?

ඔව්. ඒ කතාව ඇත්ත. නමුත් මම බය නැහැ. මගේ හිත ශක්තිමත්. ගොඩක් දේවල් දරාගන්න මට පුළුවන්. එහෙම තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑ.

* සචිනිගේ පදිංචිය කොහෙද?

කිරිබත්ගොඩ.

* පාසලත් මතක් කළොත්?

ශාන්ත ජෝශප් බාලිකා විදුහල, කොළඹ.

* පවුලේ විස්තරත් කියමු?

අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි.

* සචිනි ඉදිරියේදී රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?

මට ඕනෑ වෙනස් චරිත කරන්න. විශේෂයෙන් දිළිඳු ගැහැනු ළමයකුගේ චරිතයක් නිරූපණය කරන්න ආසාවෙන් ඉන්නවා.

* සචිනි ආසම නළුවා කවුද?

ජෝ අබේවික්‍රම.

* හේතුව?

ඔහු රඟපාන කොට රඟපානවා කියලා අපට දැනෙන්නේ නැහැ.

* ඒ කාලේ හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

මොකද නැත්තේ. අනන්තවත් එහෙම හිතෙනවා.

* රංගනයට අමතරව සචිනිට තිබෙන වෙනත් හැකියාවන් මොනවාද?

මට හොඳට නටන්න පුළුවන්.

* සිංදු කියන්න බැරිද?

ට්‍රයි කළා. ඒත් බැහැ.

* සචිනිව දිගින් දිගටම කවුරුන් හෝ වර්ණනා කළොත් මොකද කරන්නේ?

අහගෙන ඉන්නවා. හැබැයි වැඩිය හිතට ගන්නේ නැහැ.

* කවුද සචිනිට උදව් කළ අය?

අම්මා, තාත්තා, නැන්දා, මාමා ඇතුළු තිළිණ විජේසිරි, චාමර සමරවික්‍රම සහ විශ්වනාත් විජේසූරිය.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙමු?

සරල සුන්දර කෙනෙක්.