වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

දඩ කොළයක් නොවේ

අඹන්පොළ ප්‍රදේශයේ පොලිස් මුරපොළකි. මේ වන විට මධ්‍යම රාත්‍රියට අසන්නය.

එතැන පසුකර යන වාහන බොහොමයක් පොලීසිය විසින් නවත්වනු ලබයි. ඔය අතර සෙනඟ පටවා ගත් වෑන් රියක් නතර කෙරිණ.

එහි සිටි අය දෙස පොලීසියේ අය බැලූ නමුත් ඒ කවුදැයි හඳුනා ගන්නට තරම් ඔවුනට වුවමනාවක් නොවීය. හදිසියේම එතැනට පැමිණි පුද්ගලයකු වාහනයේ සිටි කෙනෙකුව හඳුනා ගත්තේය.

'හලෝ සරත්, මොකෝ මේ පැත්තේ'

මිත්‍රයාගේ හඬින් වාහනයේ සිටි සරත් චන්ද්‍රසිරි බැස ආවේය. අන්න එතකොට පොලීසියේ අය ද ඔහුව හඳුනා ගත්තේය.

මේ අපේ සරත් මහත්තයනෙ. ඉතින් නාට්‍යයකට යන ගමන් වෙන්න ඇති.

රාලහාමිලා දෙදෙනෙක් සරත් හා කුලුපග විය. ඇසිල්ලෙන් වාහනයේ සිටි තවකෙකු එයින් බැස ගත්තේය. ඒ ගායන් වික්‍රමතිලකය. දැ

න් දෙදෙනා සමඟ පොලිස් නිලධාරීන් කතාබහ කරමින් සිටියි.

මහත්තයෝ අපි ඔයාලව නැවැත්තුවේ දඩ කොළයක් ලියන්න නෙවෙයි. අද දවසේ මේ හරියේ මාරක අනතුරු තුනක් වුණා. ඒවට හේතු තමයි වාහන ඩ්‍රයිව් කරපු අයට නින්ද ගිය එක. මහත්තයාලටත් නිදිමත ද කියලා බලන්නයි නතර කළේ.

නිතර දෙවේලේ දකින සැර පරුෂ නිලධාරීන් වෙනුවට මේ අයගේ සංවේදී කතාවට සරත් සහ ගයාන් සාවධානව ඇහුම්කන් දුන්නා.

හරි අපිට නිදිමත ආවොත් ළඟ කිට්ටුව තැනක නිදාගන්නම්කො.

සරත් එහෙම කිව්වා.

හා හා මහත්තයෝ මේ අවට නම් වාහනය නවත්වන්න එපා. මෙහෙ අලි ඉන්නවා. කිලෝ මිටර් දෙක තුනක් එහායින් නවත්වගන්න. පහුගිය කාලේ මෙතැනට අලි ගැහැව්වනේ. අපි කැලේට පැනලා බේරුණේ.

දැන් දෙන්නට තවත් දුක හිතුණා. සරතුයි, ගයානුයි මොකද කළේ ටික වේලාවක් යනකම් ඔවුන්ගේ සිතට සතුටක් ගෙන දෙන දේවල් කියෝ කියෝ හිටපු එක. ඔය අතරතුරදි සරත් බුලත් විටක් පොලිස් නිලධාරීන් එක්ක බෙදාගෙන කෑවා. කොහොම හරි පැයකට විතර පසු දෙන්නා පිටත් වුණේ පොලීසියේ දුක ටිකක් තුනී කරලා. සාමාන්‍යයෙන් පොලීසියට බැන්නත් එහෙම හොඳ පොලිස් නිලධාරීනුත් ඉන්න බව දැනෙන්නේ එහෙම කතා කර කර හිටියමලු.

ටයිල් අල්ලනකම් තිරිමාදුරගේ සති දෙක

කුමාර තිරිමාදුර කළ මරු වැඩක් ගැන පසුගියදා සරසවිය පුවත්පතෙහි පළ වුණා. ඔහු දිගින් දිගටම කරන්නේ මරු වැඩ නිසා ඒ වගේ කතාවක් යළිත් සඳහන් කරන්න හිතුවා.

බලාගෙන ගියාම තිරිමාදුර මරු වැඩ කිරීමේ විශේෂඥයෙක් වගෙයි. මෙන්න මේකයි කතාව. අපේ පුවත්පතෙහි පළ වෙනවා නෑගම් යාම කියලා විශේෂාංගයක්. එය ලියන්නේ තිලානි ශානිකා විතානාච්චි.

ඇය තිරිමාදුරට හතර පස් වතාවක් කතා කරලා තියෙනවා මේ සඳහා පවුලේ අයත් එක්ක එකතු වෙන්න කියලා. ඒ හැම අවස්ථාවකදී තිරිමාදුර 'සති දෙකක් දෙන්න' කිය කිය මග හරිනවලු.

ඔහුට අප දන්න විදිහට එක දිගට ෂූටිනුත් නැහැ. කතා කරපු සමහර දවස්වලට තිරිමාදුර ඉන්නෙත් ගෙදර. හැබැයි කියන්නේ නම් සති දෙකක් දෙන්න කියලා.

අන්තිමේ අපේ හිතවතෙක් මාර්ගයෙන් මේකේ අග මුල හොයා ගත්තා. තිරිමාදුරගේ ගෙදර මේ දිනවල ටයිල් කරනවා. (මෙච්චර කල් තිබිලා තියෙන්නේ ගොම මැටි) හා හා පුරා කියලා ටයිල් අල්ලලා ඒවා මත වාඩි වෙලා නෑගම් යාම සඳහා ෆොටෝස් ගන්නයි තිරිමාදුර හිතාගෙන ඉන්නේ.

කොහොම හරි ගෙදරට ටයිල් අල්ලනකම් තිරිමාදුර වෙන කිසිම වැඩක් බාර ගන්නේ නැති බවයි වාර්තා වෙන්නේ. මේ සති දෙක ගෙවිලා යනකම් කුමාර ඉන්නේ ඇඟිලි ගැන ගැනලු.

නදීෂානිට තිස්තුන් කෝටියක් දෙවියන් මතක් වෙලා

නදීෂානි නිලුක්ෂිව අප හඳුනා ගත්තේ වරිග පොජ්ජ සිනමා සිතුවම හරහා. ඇය මේ දිනවල ටෙලි නාට්‍ය ත්‍රිත්වයකින්ම අප හමුවට එනවා. ඒ අතරින් කොම්බි විශේෂයි.

කොම්බි ටෙලි සිතුවම රූ ගැන්වෙන්නේ බඹරගල කන්ද කැලයේ. මේ දිනවල කොළඹටත් වහින එකේ ඒ පැත්ත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙහෙත් හරි වැස්ස, එහෙත් හරි වැස්ස.

නදීෂානි ඇතුළු කණ්ඩායම දර්ශන තලයේදී මොර සූරන වැස්සකට මැදි වුණා. ඒ අස්සෙන් අකුණුත් ගහනවා. නදී අකුණුවලට බය නිසා හැංගෙන්න තැනක් හොය හොයා ඉඳලා තියෙන්නේ.

කොහොම කොහොම හරි වැස්ස ටිකක් අඩු වූ වෙලාවක නදීෂානි අනෙක් අයට කලින් තවාතැන්ගෙන සිටින තැනට දුවන්න ට්‍රයි කළාලු. අලි මදිවට හරක් කියන්නා වගේ දඩබඩං ගාලා නදී ඉස්සරහා තිබුණු රූස්ස ගසක් කඩාගෙන වැටිලා.

යන්න තියෙන මඟ දැන් ඇහිරිලා. ඒ අස්සේ ජංගම දුරකථනයටත් සිග්නල් නැතිලු. තැබූ පය ආපස්සට තැබූ නදීෂානි ආයෙත් පිරිස සිටින තැනට ඇවිත් තිස්තුන් කෝටියක් දෙවියන්ට යැද්දලු ඉක්මනින් මේ කුණාටුව නිමවෙන්න කියලා.

පැයකට විතර පස්සේ වෙන පාරකින් නදීශානි නැවතුම්පොළට ඇවිල්ලා. එදා තරම් කවදාවත් සිතට බය දැනුණු වෙන දවසක් නෑ කියලා නදීෂානි හැම කෙනාටම ඒ සිද්ධිය කියනවලු.

වැදුන කිව්වට වැදුන තැනක් නෑ

පාරාවළලු ටෙලි සිතුවමෙන් ජනප්‍රියත්වයට පත් අසන්තිකා රණසිංහ තමන්ට ලැබෙන චරිත තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නිතර දෙවේලේ පෙනෙන්නට නොසිටියත් ඉඳහිට රඟපාන චරිතයට මනා සාධාරණයක් ඉටු කිරීමට අසන්තිකා සමත්කම් දක්වනවා. ඇය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ටෙලි සිතුවමකට ආරාධනා ලැබිලා. චරිතෙත් හොඳ නිසා ඇය එය බාර අරගෙන.

සාමාන්‍යයෙන් බහුතරයක් නළු නිළියන් නිෂ්පාදන කණ්ඩායමේ වාහනයක දර්ශන තලයට ආවට අසන්තිකා එහෙම එන්නේ නැතිලුු. ඇය තමන්ගේම වාහනයකින්ලු රඟපාන්න යන්නේ. කියපු වෙලාවට අදාළ දර්ශන තලයට නොවැරැදීම අසන්තිකා එනවලු. ඔන්න දවසක් සිවාගේ නාට්‍ය සහාය අධ්‍යක්ෂවරයා අසන්තිකාට හරියටම දෙකට පිළියන්දල ලොකේෂන් එකට එන්න කියලා.

අසන්තිකා ඉන්නේ රාජගිරියේ නිසා දොළහයි හතළිස් පහට විතර ගෙදරින් පිටත් වුණාලු. කොහුවල පාස් කරගෙන එද්දී පිල්ලෑව පන්සල කිට්ටු වෙද්දී වේගයෙන් ආව මෝටර් බයිසිකලයක් වාහනය ඉදිරියෙන් උඩින් විසික් වෙනවා අසන්තිකාට පෙනිලා. එය කෙළින්ම විසි වෙලා වැටිලා තියෙන්නේ පාරේ අයිනේ තිබුණු වෙලට. අසන්තිකාගේ වාහනයේ වැදිලයි යතුරු පැදිය අනතුරට පත් වෙලා තියෙන්නේ.

ඇය හොඳටම බය වෙලා. ටික වෙලාවකින් එතනට පොලීසියෙන් ඇවිත් පරීක්ෂණයක් පැවැත් වූවාම අර මෝටර් සයිකල්කරුවා අතේ තමයි වැරැද්ද කියලා හොයාගෙන. ඔහු ආ වේගය ඔහුටම පාලනය කරගන්න බැරි වෙලයි මේ අනතුරට පත් වෙලා තියෙන්නේ. ඔය අතරේ නාට්‍ය කණ්ඩායමෙන් එක දිගට කෝල් එනවලු අසන්තිකා පරක්කු හින්දා. ඇය ඉතින් කිව්වලු ප්‍රමාදයට හේතුව.

එතැන ප්‍රශ්න ටික විසඳගෙන අසන්තිකා පැයකට විතර පස්සේ දර්ශන තලයට ගිහිල්ලා. නිෂ්පාදන කණ්ඩායමේ සියල්ලම වගේ අසන්තිකාගේ වාහනය වට කරගත්තලු. එහෙම වට කරගෙන හැමෝම හොයලා අර යතුරු පැදිය වාහනයේ වැදුන තැන. පුදුමේ කියන්නේ අසන්තිකාගේ කාර් එකේ කිසිම තැනක සීරීමක්වත් නැතිලු. ඊට පස්සේ සහාය අධ්‍යක්ෂවරයා ඇසුවලු 'මෝටර් සයිකලයක් වැදුනා නම් අඩුම ගානේ පොඩි සීරීමක්වත් තියෙන්න එපායැ' කියලා. අසන්තිකාට ඒකට නම් ටිකක් තද වෙලා. ඇය හිතලා ප්‍රමාද වුණයි කියලා වැඩි දෙනා එදා හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඇත්තටම එදා මෝටර් බයිසිකලයක් අසන්තිකාගේ වාහනයේ වැදිලා. හැබැයි ඒ කොතනද කියලා අසන්තිකාවත් තවම දන්නේ නැතිලු.