වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘නොස්ටැල් ගිටාර්’

 ‘නොස්ටැල් ගිටාර්’
මගේ අතීත කාමයයි...

‘නොස්ටැල් ගිටාර්’ සමඟ ඔබ හමුවන සොඳුරු දඩබ්බරයා නදීක ගුරුගේ...
අපේ‍්‍රල් 10 මහනුවරදී සහ 11 නුවරඑළියේදී

කළු වලාවන්ගෙන් බරවූ අහස් ගැබ කියා පාන්නේ තවත් ඇසිල්ලකින් මහා වැස්සක් ඇද හැලෙන්නට නියමිත බවය. බටහිර අහස දෙසින් සැඟව ගිය හිරුගේ ඡායාව අඳුරු වලාවන් අතරින් රත්පැහැ ආලෝකයක් විහිදාලයි. අවට පරිසරයෙහි ඇත්තේ දැඩි උණුසුම් බවකි.

ගිනිගත් කොන්ක්‍රීට් පුරවරයේ, එක්තරා නිවසක ආලින්දයේ අසුනකට බරවී ඔහු ගිටාරයේ තත් ඇඟිලි තුඩු අගින් පාරවයි. ඒ හැඟුම්බර ගායනයක් ද සමඟිනි.
 

‘මතකද...මතකද...ඔබට මතකද

හිරු ද මිය ගිය එක සැඳෑවක

මරා දැමුවා ඔබ අපේ ආදරේ...’

තවත් තරුණයන් තිදෙනකු, ඔහුගේ ගායනයට විවිධ හඬ පරාසයන් මඟින් අත්වැල් ගායනයෙන් දායක වන්නේ ඔපෙරා ගායනයක හැඩරුව සිහිපත් කරමිනි. ගත පුරා කැකෑරෙන ගිනියම සිහිල් දිය දහරකින් දෝවනය වන්නාසේ මට හැඟේ.

දිගු කෙස්වැටියත් හා මුහුණ පුරා වැඩුණු දිගු රැවුලකින් යුත් මේ අපූරු හාදයා එක්වරම අපට සිහිගන්වන්නේ තාපස රුවකි. එහෙත් ඔහු ඔබට, මට නුහුරු, නුපුරුදු චරිතයක් නොවේ.

නදීක ගුරුගේ...

අලුත් පරම්පරාවේ සත්සර විප්ලවවාදියා ලෙස මම ඔහු හඳුන්වනු රිසියෙමි.

සිය අලුත්ම සංගීතමය ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුර ලත් මද ඉසිඹුවක දී නදීක අප හා වෙනස් තාලයේ කතාබහකට එක්වීය. මේ ඒ කතාබහයි.

* ඔබේ ගීතමය ප්‍රසංගය අපේ කතාබහට හොඳ ආරම්භයක්?

මේ ප්‍රසංගය මම නම් කරන්නේ “නොස්ටැල් - ගිටාර්” කියලා. නොස්ටැල්ජියා ඒ කියන්නේ අතීතකාමය යන අරුතින් තමයි මම නොස්ටැල් කියන වදන යොදා ගත්තේ. සහ ගිටාරය. මේ වචන දෙක එකතු කරලා තමයි මම ‘නොස්ටැල් ගිටාර්’ යනුවෙන් මේ ප්‍රසංගය නම් කළේ. මම හැදුනේ වැඩුනේ ගිටාර් එකත් එක්ක. මගේ කුඩා කාලෙ, පාසල් කාලයේ සිට මේ දක්වාම මගේ ආත්මය වුණේ ගිටාරය. ගිටාරය සම්බන්ධ ඉතිහාසය තමයි මම දිග හරින්නේ මේ සංගීත වැඩ සටහන හරහා.

* ඒ කියන්නේ ඔබේ අතීත මතකය ගිටාරය මඟින් ප්‍රතිනිර්මාණය කිරීමක්?

කුඩා කල සිට මේ දක්වා මා ගිටාර් එකක් එක්ක කළ නිර්මාණ විතරයි මේකට ඇතුළත් වෙන්නේ. ඒ කෙන් තෝරාගත්ත හොඳම ඒවා ටික. මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අප්‍රේල් මස 10 වැනිදා සවස 6. 00 ට. ඒ වගේම 11 වැනිදා ඊළඟ දවසේ මම හැදුණු වැඩුණු ගම වන නුවරඑළිය නගරයට මම මේ කොන්ස(ර්)ට් එක අරගෙන යනවා. ඒ කොන්ස(ර්)ට් එකේදී කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ යන දෙන්නත් මං එක්ක සම්බන්ධ වෙනවා.

* ප්‍රේක්‍ෂකයා හා වේදිකාව අතර ආත්මීය බැඳීමක් නැතිනම් සුසංයෝගයක් ඇතිවන ප්‍රසංගයක් මේක?

හරියටම හරි.

* අපේ රටේ බොහෝ ඒක පුද්ගල ප්‍රසංග, තඪමඥ ඪද ජධදජඥපබ පැවැත්වුණා. ඒ ප්‍රසංග රටාවන් අතික්‍රමණය කළ වෙනස්ම ප්‍රසංගයක් හැටියටද ඔබ මෙය හඳුන්වන්නේ?

සහෝදරයා මම මේක මෙහෙම කිව්වොත් හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා යම් ගෘහස්ත ප්‍රසංගයක වේදිකාව මත වාද්‍ය වෘන්දයක් ඉන්නවා. ඊට පස්සේ ප්‍රධාන ගායකයෙක් ඉන්නවා. පූරකයෙක් ඉන්නවා. එතනින් පොඩි ඉඩකට එහා පැත්තේ ප්‍රේක්‍ෂකාගාරය තියෙනවා. දැන් මේ වාදකයෝ වාදනය කරනවා අර ගායකයාගේ ගීත. ගායකයා සිංදු කියනවා. පූරකයා කතා කරනවා. එතකොට දැන් මේක වැඩ තුනක්.

* කාලාන්තරයක් තිස්සේ පැවැත එන සම්ප්‍රදායත් එයයි?

සම්ප්‍රදායත් එයයි. දැන් මේකෙන් වෙන්නේ වේදිකාව සහ ප්‍රේක්‍ෂකාගාරය අතර යම් ඈත්වීමක්. හැබැයි මේ ප්‍රසංගයේ දී වේදිකාව මත සිටින ගායකයා, වාද්‍ය වෘන්දය වගේම ප්‍රේක්‍ෂකයාත් එකට බැඳෙනවා. ඒ කියන්නේ ඕඩියන්ස් එකත් අපිම වෙනවා. මම තමයි මේ ප්‍රසංගයේ පූරකයා වෙන්නෙත්. මේකෙ ඉන්න හැම සංගීතඥයෙක්ම, වාදකයෙක්ම මේ කතන්දරේ කොටස්. ඇත්තෙන්ම අපි මෙහි ආලෝකකරණය භාවිත කරන්නෙත් ගීතයෙන් ගීතයට අදාළවන පරිදි ඒ පරිසරය මවන්න. මේ හැම ගීතයකටම කතාවක් තියෙනවා. ඒ කතාව වර්ණනය කරන්නේ අර ආලෝකයෙන්. ප්‍රේක්‍ෂකාගාරයත් අපේම කොටසක් බවට පත්වෙනවා.

* ඒ හරහා ඉස්මතුවන්නේ වඩාත් හෘදය සංවාදී බවක්?

ඔව්... එක්කෝ අපි ප්‍රේක්‍ෂකාගාරය බවට පත් වෙනවා. නැතිනම් ප්‍රේක්‍ෂකයා වේදිකාව මත රැඳෙනවා. මේ දෙකම එකයි. අතරමැද කලාපයක් එහෙම නැතිනම් මේ ප්‍රසංගයේ් හිස් අවකාශයක් නෑ.

* ලංකාවට එක්තරා විදිහක අලුත් අත්දැකීමක් වුණාට මේක ලතින් අමෙරිකාවේ, නැත්නම් යුරෝපාකරයේ දකින්නට ලැබෙන ජනපි‍්‍රය ප්‍රාසංගික අත්දැකීමක්?

හරියටම හරි. මේක ඇත්තටම යුරෝපයේ සහ ලතින් අමෙරිකාවේ කාලාන්තරයක් තිස්සෙ පාවිච්චි වන ක්‍රමයක්. ඇත්තටම මම අභාසය ලබන්නෙත් ඒකෙන්. මීට අවුරුදු පහළොවකට ප්‍රථම මගේ මුල්ම සංගීත ප්‍රසංගයේදීත් මම ලතින් අමෙරිකානු සංගීතයෙන් යම්, යම් දේවල් උකහා ගත්තා. ඒ වගේම අපේ වේදිකා නාට්‍ය කලාව සහ සිනමාව ඔස්සේ මම කළ සංගීත නිර්මාණයන් ඔස්සේ තමයි මේ ‘නොස්ටැල් ගිටාර්’ ප්‍රසංගයට අවශ්‍ය නිර්මාණ ආවේශය සැපයෙන්නේ

* ඔබ ඇයි ගිටාරයට මෙතරම් ඇලුම් කරන්නේ?

ඉතා වැදගත් ප්‍රශ්නයක්. කුඩා කළ සිටම අපේ ගෙදර තිබුණෙ සංගීතමය වටපිටාවක්. මගේ පියා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට සම්බන්ධ වෙලා හිටපු නිලධාරියෙක්. ඒත් ඔහු ගිටාරය වාදනය කළා. ඔහුට ගෙදර ගිටාර් එකක් තිබුණා. තාත්තා මවුත් ඕ(ර්)ගන් එකත් නතචර කරනවා. එහෙට, මෙහෙට ගෙනියන්න පුළුවන් සංගීත භාණ්ඩ කීපයක්ම අපේ ගෙදර තිබුණා. මගේ අම්මටයි, තාත්තාටයි දෙන්නාටම හොඳින් ගී ගයන්නටත් පුළුවන්. ඉතින් ඒ පසුබිම අපේ නිවසේ තිබුණා.

* කොහොම හරි ඔබ ගිටාර් වාදනයට අත්පොත් තබන්නෙත් නිවසෙන්මයි?

මගේ අයියා සුමුදු ගුරුගේ. ඔහුගෙන් තමයි මම ගිටාරයේ ‘අ’ යනු ‘ආ’ යනු ඉගෙන ගත්තේ. ඔහු තමයි මගේ සංගීත ගුරු. ස්වර සප්තකය මට කියලා දුන්නේ ඔහු. ඉතින් ගිටාර් එකට මම ආලය කරන්න පටන් ගත්තේ එදා ඉඳලා.

* මම හිතන්නේ ප්‍රථම ප්‍රේමය?

ප්‍රථම ප්‍රේමය සහ අවසාන ප්‍රේමයත් ගිටාරයම වෙයි. මම කොළඹට එන්නෙත් ගිටාර් එක පිටේ එල්ලාගෙන. ඒ නවසිය අසූවේ මැද භාගයේ. ගිටාර් එකයි, මගේ පොත්, පත්තර ටිකයි බෑග් එකකට දාගෙන තමයි මම කොළඹට එන්නේ. ඉතින් ඒ ගිටාරය නිතරම මගේ පිටේ එල්ලිලා තිබුණා. දැනුත් මම යන හැම තැනකම ගිටාර් එක මාත් එක්ක යනවා. මගේ ගමන් සගයා වෙලා.

* අපේ සංගීත ක්ෂේත්‍රයේ “ගිටාර් සංස්කෘතියක්” බිහිකරන්නට පුරෝගාමී වූ සංගීත ශිල්පියා ලෙසයි බොහෝ අය ඔබ හඳුන්වන්නේ?

ගිටාර් සංස්කෘතියක් අපට තිබුණා. ඒක පටන් ගන්නේ ඇත්තටම කණ්ඩායම් සංගීතයේ මුල් යුගවල දී. ලොස් කැබලෙරෝස්, ලා සිලොනියස්, ලා බම්බාස්, එතකොට ලොස් ෆ්ලැමිංගෝස් වැනි සංගීත කණ්ඩායම්වල හිටියේ විශ්මයජනක ගිටාර් වාදකයෝ. ඒ කියන්නේ නෙවිල් ප්‍රනාන්දු. ලොස් ෆ්ලැමිංගෝස් ගිටාර් වාදකයා දිලිප්. එතකොට නොයෙල් රණසිංහ වගේ අය තම තමන්ගේ ශෛලීන්වලින් වාදනය කළා. මෙක්සිකානු, ලතින් අමෙරිකානු ශෛලියත් එක්තරා විදිහකට ගෙනාවේ ඉහත සඳහන් කළ සංගීත කණ්ඩායම්වල ශිල්පීන්.

* නමුත් නොයෙල් රණසිංහ වගේ ශිල්පියෙකු ගේ වාදන ශෛලිය ඊට වෙනස්?

ඔව්, ඇත්තෙන්ම එය අපට වඩාත් ගැළපෙන සරල ශෛලියක්. රිදම් සම්ප්‍රදායක්. ගොඩක් සරලයි. නමුත් නෙවිල් ප්‍රනාන්දු ගේ ගිටාර් වාදනය ඉතාම සංකීර්ණයි. ඒ කියන්නේ අද පවා මම විශ්මයට පත් වෙනවා. “ලොස් කැබෙලෙරෝස්” සංගීතය ගැන. ඔවුන්ගේ හාමනීස් එහෙම, මට පිස්සු හැදෙනවා. ඒ කාලෙ මම තරුණයෙක් වෙලා හිටියානම් ඔවුන් සමඟ මමත් වැඩ කරාවිනේ කියන හැඟීම අදටත් මගෙ හිතේ තියෙනවා.

* ඒ කොහොම වුණත් නදීක, මම හිතන්නේ ක්ලැරන්ස් විජේවර්ධන තමයි ගිටාරයේ චමත්කාරය පොදු ජනතාව අතරට ගෙන ගියේ?

ඇත්තටම ක්ලැරන්ස් තමයි මෙරට සංගීත ක්ෂේත්‍රයේ ගිටාර් එකත් එක්ක එකට බැඳුණු සංකේතය. වෙනත් සංගීත කණ්ඩායම්වල කෙතරම් දක්‍ෂ ගිටාර් වාදකයන් සිටියත් එහෙම රූපිකයක් අපට නැහැ. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන කිව්ව ගමන් ගිටාර් එකත් එක්කයි ඔහු අපේ ඔළුවට එන්නේ. ඒ කියන්නේ ඒක ඓන්ද්‍රීය බැඳීමක්. ක්ලැරන්ස් නම් ගිටාරය. ගිටාරය නම් ක්ලැරන්ස්.

* ඇයි එබඳු ඒකමිතියක් ගොඩ නැඟෙන්නේ?

ඉලෙක්ට්‍රොනික් ගිටාරය පළමුවරට ලංකාවේ ගීත සංස්කෘතියට හඳුන්වා දෙන්නේ ක්ලැරන්ස්. “මූන්ස්ටෝන්” තමයි ඔහු පළමුවෙන්ම හදා ගන්නා සංගීත කණ්ඩායම. ඒ සංගීත කණ්ඩායම හරහා තමයි ගිටාරය නිල වශයෙන් පැතිරෙන්න පටන් ගත්නේ. ඊට පස්සේ ඔහු ‘ගෝල්ඩන් චයිම්ස්’, ‘සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වගේ සංගීත කණ්ඩායම් සාදා ගන්නවා. ඒ අතරතුර කොතෙක් සංගීත කණ්ඩායම් බිහිවුණත් ක්ලැරන්ස් තරම් දැවැන්ත චරිතයක්, ඒ කියන්නේ ගිටාරය අතින් දරාගත් ගායකයෙක් බිහි වෙන්නේ නෑ.

* එතකොට මම අර මුලින් නැඟූ පැනය. වර්තමාන ගිටාර් සංස්කෘතිය සහ ඔබ?

මේ ගිටාර් සංස්කෘතිය නැතිනම් එහි ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති අය හිතන්නේ 2000 වසරේ ගිටාර් එකත් එක්ක බැඳුණු සංස්කෘතියක් සමඟින් ක්ෂේත්‍රයට එක් වූ ගායකයා මම කියලයි. බොහෝ විට මම වේදිකාවට ආවේ ෆ්ලෙමිංගෝ ගිටාර් එක. එහෙම නැතිනම් ඉලෙක්ට්‍රික් ගිටාර්ය සමඟයි. එබඳු ප්‍රතිරූපයක් මා වටා ගොඩ නැඟෙන්නට ඇත්තේ ඒ නිසා වෙන්නට ඇති.

* ‘අමීෂා’ ගීතයත් එක්ක තමයි මම හිතන්නේ නදීක ගුරුගේ තමන්ගේ නමට මුලින්ම වටිනාකමක් එක්කර ගන්නේ?

ඒ ගීතයත් සමඟ තමයි ෆ්ලැමිංගෝ නැතිනම් ලතින් අමෙරිකානු සංගීතය හා බැඳුනු ගීත සම්ප්‍රදාය අපේ රටට එන්නේ. ඇත්තටම ඒකේ වාදකයෝ දෙන්නයි හිටියේ. මම තමයි එහි ගිටාර්ස් ඔක්කොම වාදනය කළේ. ලෙලුම් රත්නායක තමයි ෆ(ර්)කෂන් සයිඩ් එක කළේ. අපි දෙන්නා තමයි මුළු ගීතයම play කළේ. ගීතය ගැයුවේ කිත්සිරි ජයසේකර. ඒ ගීතයෙන් පස්සේ ඒ ශෛලියේ ගීත රාශියක් අපේ සංගීත ක්ෂේත්‍රයට ආවා. එතෙක් ලීඩ් ගිටාරය පාවිච්චි වුණේ කිසියම් නිශ්චිත සංගීත ඛණ්ඩයක් වාදනය කිරීම සඳහා පමණයි. නමුත් මගේ මේ ගීතයේ ලීඩ් ගිටාරය මුල සිට අගටම වාදනය වුණා.

* එතකොට “රැඩිකල් ප්‍රේමය” ගීතය ඊට වෙනස්?

ඒක ඇත්තටම රොක් සම්ප්‍රදායේ ගීතයක්. රොක් ශෛලීන් කිහිපයක් මිශ්‍ර වුණ ගීතයක්. මම හිතන්නේ විචාරකයන් කියන එක ඇත්ත. ඊට පෙර ගිටාරය මත පදනම් වුණ සංගීත සංස්කෘතියක් අපට තිබුණේ නැහැ. නමුත් ගිටාරය මත පදනම් වූ ගීත අපට තිබුණා. මම හිතන්නේ ‘දිගන්තයේ’ වගේ ගීතයක්. නවසිය අනූවේ මුල් කාර්තුවේ වගේ ආවේ. එතකොට ඒ ගීතයේ දිග ඩිස්ට්‍රෝෂන් පා(ර්)ට් එකක් තිබුණා ලංකාවේ ඉන්න හොඳම ගිටාර් වාදකයා වන මහින්ද බණ්ඩාර තමයි ඒක වාදනය කරන්නේ. ඉතිං ඒක තමයි ඒ කාලේ ගිටාර් එක ඒ විදිහට පාවිච්චි කරපු එකම ගීතය.

* ගිටාරය මිනිසුන් අතරට මුලින්ම ගෙන ගියේ ක්ලැරන්ස් විජේවර්ධන කියා ඔබ මුලින් පැවසුවා?

ඔව්, අනිවාර්යයෙන්ම.

* ඔහුගේ ගී නිර්මාණ හරිම සරල, සුගම ශෛලියකින් යුක්තයි?

ඔබ හරි.

* ඒත් ගිටාරය ඔබත් එක්ක සමබන්ධ වෙනකොට එහි යම් සංකීර්ණ බවක් අපි දකිනවා. ඇතැම්විට අපට ආගන්තුක බවක්. මොකක්ද ඒකට හේතුව?

මම හිතනවා සහෝදරයාගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒක මාව ප්‍රේක්‍ෂකාගාරයෙන් ඈත්කරලා තියන්නත් හේතුවක් වුණා. දැන් උදාහරණයක් හැටියට “රෝමියෝ බැඳලා” වගේ ගීතයක් දන්නේ නිශ්චිත කණ්ඩායම් කිහිපයක් විතරයි. ඒකෙදි මම කතා කළේ ලංකාවේ සැඟවුණු සංස්කෘතියේ තියෙන ප්‍රේමය සහ කායික සම්බන්ධතා ගැන. නමුත් මේකෙ තිබෙන රූපිකයන් ඔබ කියන්නා වගේ පොදු ප්‍රජාවකට යන්නේ නෑ. නිශ්චිත උප සංස්කෘතියක් ඇතුළේ තමයි ඒක තිබුණේ.

* නමුත් ක්ලැරන්ස් වැනි සංගීත ශිල්පියකුගේ ගීත මිනිස්සු ආදරයෙන් වැලඳ ගත්තා. ඒ මම හිතන්නේ අර සරල බව?

ඔහු සරල බව තුළින් ඉක්මනින් ජනපි‍්‍රය විය හැකි බව දැනගෙන හිටියා. දැන් ඉංගී‍්‍රසි ගීත ගත්තත් හරි සරලයි. ඔබ ගොඩනඟන තර්කය හරි. මම මේක සංකීර්ණ කරගෙන එක්තරා විදිහකට මේක ජනතාවගෙන් ඈත්කරගෙන තියෙනවද කියලා මටත් හිතෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් මෑතකදී මම නිර්මාණය කළ ‘ලෙලැසිය’ ඉතාම සරල ගීතයක්. ගීතයේ සාහිත්‍යමය පැත්තෙන් මම තවත් සරල වෙන්න උත්සාහ දරනවා.

* ලාංකේය සංගීත රසිකයාගේ රස වින්දන මටිටමේ යම් අඩුවක්, නැත්නම් අවපාතයක් ඔබ දකිනවාද?

සහෝදරයා ඒක හරි සංකීර්ණ කතාවක්. ඒත් මම ඉතාමත් සරලව උත්තරයක් දෙන්නම්. මම ප්‍රේක්‍ෂකාගාරයට කතදාවත් ඇඟිල්ල දික් කරන්නේ නෑ. මම කවදාවත් කියන්නේ නෑ මේ ගොල්ලන්ගේ රසිකත්වය මදි කියලා. ඇයි එහෙම කියන්න බැරි. එහෙනම් අපට කලින් හිටපු අය මේගොල්ලන්ගේ රසිකත්වය හදලා තියෙන්න ඕනෑ. ලෝකය එහෙමයි දියුණු වුණේ. මොසාට් ඇවිල්ලා කිව්වෙ නෑ මේ යක්කු මියුසික් දන්නේ නෑ කියලා.

* බිතෝවන් කිව්වේ නෑ?

කිව්වේ නෑ. මොකද ඊට කලින් සෙබස්තියන් බාක්ලා, හයිඩ්න්ලා, මියුසික් කරලා තිබුණ නිසා. මේක අපේ ප්‍රශ්නයක් නෙවේ අපේ සංගීත සංස්කෘතියේ ප්‍රශ්නයක්. මම කවදාවත් දොස් කියන්නේ නෑ අපේ රසිකයන්ට. දැන් මම පවා මේ සංස්කෘතියෙන්ම තමයි බිහිවෙන්නේ. ඒත් මම එහි හිතකර කොටස් ටික පමණයි උරා ගත්තේ.

* අපට විධිමත් සංගීත සංස්කෘතියක් නෑ කියලද ඔබ කියන්නේ?

ඔව්, අපට එහෙම බැරි වුණේ ගුවන් විදුලියෙන් සුනිල් සාන්ත දොට්ට දාපු දා ඉඳලා. මොකද එහෙම සරල ලාංකේය සංගීතයක් හදමින් හිටියේ සුනිල් සාන්තයන්. ඉතාමත් දැවැන්ත සංගීතඥයා ලංකාවේ. ජන සංගීතය, බෙංගාලි සංගීතය ආදී සම්ප්‍රදායන්හි හිතකර කොටස් එකතුකරගෙන අපේම සංගීත ආරක් නිර්මාණය කිරීමටයි ඔහු වෙහෙස වුනේ. ඒත් ඔහුව දොට්ට දැම්මා. ඊට පස්සේ ඉන්දියානු සම්ප්‍රදායේ අය ගුවන්විදුලියේ බලය අල්ලා ගත්තා.

* සුනිල් සාන්තයන්ට වගේම අපේ තවත් සංගීත ශිල්පීන්ට ගුවන් විදුලියේ දොර වැසුණා?

නෙවිල් පුනාන්දු, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ශිල්පීන්ට එදා ගුවන් විදුලිය තහනම් කලාපයක් වුණා. සිංහල සේවයේ ඔවුන්ගේ ගීත ප්‍රචාරය වුණේනෑ. ඉංගී‍්‍රසි සේවයේ පමණයි ගියේ. සංගීතය අහන්න දෙන්න එපායැ. සිංහල සේවයේ කණ්ඩායම් සංගීතය ප්‍රතික්‍ෂ්ප කළේ ඒක තුප්පහි සංගීතය කියලා. ඊට පස්සෙ විජය කොරයා වගේ කෙනෙක් තමයි ඉංගී‍්‍රසි සේවයේ ඒවා දැම්මේ. එතකොට ජෙරල්ඩ් වික්‍රමසූරිය වගේ අය. එයා තමයි මෑතකදී බිහිවුණ සංගීත චිත්තනයක් සහිත රෙකෝඩ් ලේබල් අයිතිකරයා. ඔහු අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක වගේ අයගේ ගීත පමණක් නොවේ සංගීත කණ්ඩායම්වල ගීතත් පටිගත කළා.

* මම හිතන්නේ “මාලා” වගේ ගීතයකින් පෝල් ප්‍රනාන්දු ශිල්පියා ගායන ලොවට හදුන්වා දෙන්නෙත් එතුමා?

ඇත්ත වශයෙන්ම. එතුමා අත්තනෝමතික විදිහට ශිල්පීන් වර්ගීකරණය කළේ නෑ. ඇතැම් වෙලාවට ගුවන් විදුලියෙන් කුඩම්මාගේ සැලකිලි ලැබූ ශිල්පීන්ගේ ගීත ජනතාව අතරට ගෙන යන්න මැදිහත් වුණේ ඔහු.

* විශේෂයෙන්ම ඔබේ සිනමා සංගීතය ගත්තොත් එකිනෙකට වෙනස් වූ සංගීත විධික්‍රම තමයි ඔබ භාවිත කර තිබෙන්නේ. ඒ දෙසට අවධානය යොමු කළොත්?

ඇත්තටම මට හරි සතුටුයි, ඔබ එය ඉතා හොඳින් විශ්ලේෂණය කිරීම ගැන. ඔබ කිව්වා වගේම මගේ සිනමා සංගීත මැදිහත්වීම ගත්තොත් එකකට එකක් වෙනස්. ඔබ හරියටම හරි. “සුළග එනු පිණිස” චිත්‍රපටයෙන් මම පටන් ගන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ රතු ඉන්දියානු ෆ්ලූට් එකක් Queana කියලා.

* එය වාදනය කරන්නේත් ඔබමයි?

ඔව්, ඒ පටිගත කිරීමේදී මම එය වාදනය කළා. ඊළඟට මම මියුසික් කළේ “සංඛාරා” චිත්‍රපටය. එහි දී මම පළමු වතාවට සින්තසයිස(ර්)ස් පාවිච්චි කළා. ඒකත් මමමයි play කළේ.

* “අබා” චිත්‍රපටයෙත් ඔබ අපේ සිනමා සංගීතයේ විප්ලවීය වෙනසක් සිදු කරනවා?

ඔබ කිව්වා වගේ මා එයට යොදා ගත්තේ වෙනම තාක්‍ෂණ වේදයක්. අපේ ජන සංගීතයේ තියෙනවා ඉතා ඈත කලාපවල සංගීතයේ සමානත්වයක්. කියන්නේ මුල්ම යුගවලට ගියායින් පස්සේ ඒ හැම ජන සම්ප්‍රදායකම සමානත්වයක් තියෙනවා. ලෝකේ ඉතා ඉපැරණි සංගීත රටාවන්ට ගියොත් එහෙම ඉතාම සමීපතාවක් තියෙනවා. සරලම දේ අපේ වැලපුම් ගීවලයි, මධ්‍යධරණී කලාපයේ සංගීතයෙයි ඉතාම ළඟ සම්බන්ධතාවක් තියෙනවා. “මියුනිච්” චිත්‍රපටයේ තේමා ගීතය අහන්න. ඒක ‘වැළපුම් ගී’වලින් ස්වර දෙකයි වෙනස් වෙන්නේ. එතකොට ෆ්ලැමිංකෝ මියුසික් ඔක්කොම එකයි.

* අපේ සංගීතය නිර්මාණය විය යුත්තේ ජන සංගීතය පදනම් කරගෙන බව එක්තරා පිරිසක් කියනවා. තවත් සමහරකුගේ මතය එය උත්තර භාරතීය සංගීත සම්ප්‍රදාය ඇසුරේ නිර්මාණය විය යුතුයි කියන එක. මෙය බොහෝ කාලයක් තිස්සේ පවතින ගැටලු සහගත තත්ත්වයක්?

ඔව්, බොහෝ ප්‍රවීණයන් ඔය ගැන නොයෙක් අදහස්, මතවාද පළකර තිබෙනවා. වාද විවාද කරගෙන තිබෙනවා.

* දැන් ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද මේ පිළිබඳ?

අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියානු සාගරයේ අපි ජීවත්වුනේ මධ්‍යස්ථානයක් හැටියට. මෙතැනට හැම රටකම මිනිස්සු ආවා. දැන් ලංකාවේ මිනිස්සු ගත්තොත් එහෙම ඔවුන්ගේ ජෛව විද්‍යාත්මක වෙනස්කම් රාශියක් තිබෙනවා. නාසයේ හැඩය, කොණ්ඩයේ හැඩය, ඇස්වල හැඩය, මේවා එකිනෙකට ඉතා වෙනස්. ඒකෙන් කියන්නේ අපි ඉතා දැඩි ලෙස මිශ්‍ර වෙලා තියෙනවායි කියන එක. අපි ඒක පිළිගන්න ඕනෑ.

* මම ඇහුවේ ජාතික සංගීතයක් පිළිබඳ ඔබේ මතය?

එක තමයි මම මේ විග්‍රහ කරමින් ඉන්නේ. ඉතා ඈත කලාපවල ඉඳලා චීන්නු, ග්‍රීකයෝ, ඊජිප්තියානුවෝ, අරාබියේ මිනිස්සු, පෘතුගීසිකාරයෝ, සුද්දෝ, ලන්දේසිකාරයෝ මේ හැම කෙනෙක්ම මෙහෙම ආවා ගියා. ඒක නිසා මම හිතනවා ඇත්තෙන්ම අපේ මුල් අතරේ මේ හැම දෙයක්ම තියෙනවා. ඒක නිසා තමයි ලංකාවේ මිනිස්සු වඩා බුද්ධිමත්. ඒකට හේතුව මේ ජානවල තිබෙන සම්මිශ්‍රණය. මම හිතනවා අපේ සංගීතයේ අගිස්සටම ගියාම ඇත්තටම මේ හැම එකකම මූලයන් තියෙනවා කියලා. ඒක තමයි මම අර කිව්වේ. මධ්‍යධරණී කලාපයේ සංගීතය ඇහෙනවා කියලා අපේ වැලපුම් ගී වල.

* ලෝකයේ අමිශ්‍ර කිසිවක් නෑ කියවනේ. සංගීතයත් එබඳුයි?

කාලයක් අපි එකට හිටියානේ. පස්සේ තමයි කලාපවලට, මහාද්වීපවලට වෙන්වුණේ. මම හිතනවා සහෝදරයා ඔබේ දේශපාලන ප්‍රශ්නයට පිළිතුර තමයි අපේ සංගීතයේ සෑම සංගීත සම්ප්‍රදායකම කොටස් තියෙනවයි කියන එක. මම ඇත්තටම ඒ ගැන හොයමින් ඉන්නේ. තව අවුරුදු දහයක්, පහලොවක් යන කොට මට යම් අදහසක් දෙන්න පුළුවන් වෙයි. කුමක්ද හරියටම අපේ ජාතික සංගීතය විය යුත්තේ කියලා.