වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගම්පහදී අතුරුදන් වූ ‘නිධානය’

ගම්පහදී අතුරුදන් වූ ‘නිධානය’
 

නිලේන්ද්‍ර දේශප්‍රිය මවිත කළ චිත්‍රපට පිළිබඳ විග්‍රහයක්

සිත ගත් අපූරු නිර්මාණ හතක් ගැන කතා කරන්න පුදුම හතට මෙවර පැමිණියේ කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූ අයෙක්. රූපවාහිනී ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වූ ඔහු සිනමා ක්ෂේත්‍රයේද සුවිශේෂ චරිතයක්. නිලේන්ද්‍ර දේශප්‍රිය. ඔහු අද පුදුම හතට පැවැසූයේ, ඔහු මවිතයට පත් කළ සිනමා නිර්මාණ හතයි.
 

නිධානය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ නිධානය චිත්‍රපටය ගැන මගේ අත්දැකීම පුදුමාකාර එකක්.1972 වසරේ වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේ රජත සිංහ සම්මානය එයට හිමිවුණා. ඇත්තටම නිධානය අපට මහා නිධානයක් වුණා. 1979 වසරේදී අපි නිධානයේ තිර නාටකය ගොඩාක් අමාරුවෙන් හොයා ගත්තා. ඒ වෙනුවෙන් කැප වූණේ චිත්‍රපට කෙරෙහි උනන්දුවෙන්, එය හදාරමින් සිටි මිතුරු කැලක්. ප්‍රසන්න විතානගේ, නාලන් මෙන්ඩිස්, ක්‍රිටෝ රූපසිංහ මම ඇතුළු අපි හැමෝම චිත්‍රපට පිස්සුවෙන් හිටියේ. අපි සතියට දවසක් හවස පානදුරේදී හමුවෙලා චිත්‍රපට ගැන කතාබහ කරනවා.

නිධානය තිරපිටපත හොයා ගත්ත අපට දැණුනේ නිධානයක් ලැබුනා වගේ විශාල සතුටක්. එහි අනෙක් පිටපත්වලට වඩා වෙනස් වුණා. එහි වම්පස විස්තරය ඉංග්‍රීසියෙන් දැක්වුණා. දකුණු පස දෙබස් සිංහලෙන් යතුරු ලියනය කර තිබුණා. අපි එහි ඡායා පිටපතක් ලබා ගත්තා. ගම්පහ සිට එන අපේ චිත්‍රපට මිතුරු සංගමයේ මිතුරෙක් නිධානයට පිටපත අරගෙන ගියේ බලලා ඉක්මනට ගෙනවිත් දෙන්නම් යැයි පවසමින්. එදා ඔහු මෝටර් බයිසිකලයේ පසුපස රබර් පටියකින් ගැටගසා තිබූ නිධානය පිටපත ගම්පහට යනවිට අතුරුදන් වෙලා. ආයෙමත් ඒක අපට කවදාවත් හොයා ගන්න බැරි වුණා.

ඒත් දෛවයේ හාස්කමක් ලෙසින් මට යළිත් නිධානය සමීප වුණා. ඒ හරියටම වැනිස් සිනමා උළෙලට හැත්තෑ වසරක් සපිරුණ අවස්ථාවේදීයි. එහිදී ප්‍රතිෂ්ඨාපනය කළ නිධානය චිත්‍රපටය 2013 වැනිස් සිනමා උළෙලේ ප්‍රත්‍යාවලෝකන දැක්මේදී මට නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ 4ම් තාක්ෂණයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පිටපතයි. අමෙරිකාවේ සුප්‍රසිද්ධ The World Cinema Foundation විසින් මෙම චිත්‍රපටය ප්‍රතිෂ්ථාපනය කර තිබුණා. එදා සුමිත්‍රා පීරිස් මැතිනිය සහ රවින්ද්‍ර රන්දෙනිය, සමීර රන්දෙනිය සමඟින් මම ද එම අවස්ථාවට සහභාගීවීම මගේ ජීවිතයේ අමරණීය යි.

The Yusuf Trilogy

සෙමි කැප්ලනෝග්ලූ අධ්‍යක්ෂණය කළ  The Yusuf Trilogy ත්‍රිත්වය මීළඟට මගේ ප්‍රියතම සහ මා වඩා ආසාවෙන් නැරඹූ චිත්‍රපට අතරට එක් වෙනවා. තුර්කි සිනමාවේ විශිෂ්ට ගණයේ නිර්මාණයක් වූ මෙම චිත්‍රපට ත්‍රිත්වය යුසුෆ් නම් කවියාගේ ජීවිතය විවරණය කරන අපූරු චිත්‍රපට මාලාවකි. මෙම චිත්‍රපට මාලාව යුසුෆ්ගේ මැදිවිය, තරුණ විය සහ ළමා කාලය ගැන ගෙනහැර දක්වන්නේ අවරෝහණය වෙමිනි. ඔහුගේ කවීත්වය රූපයට නඟා ඇති අකාරය චිත්‍රපට සහ කවි අතර ඇති සම්බන්ධය අපූරුවට ගෙනහැර දක්වන්නක්. කවියක තියෙන අදහස් පළ කිරීමේ සකසුරුවම්කම වගේම වචන භාවිතය වගේම ඔහු රූපය භාවිත කර ඇති ආකාරයත් විශේෂ වන්නක්. ආකෘතිමය වශයෙනුත් යුසුෆ්ගේ ළමා විය, ඔහු පියා සමඟ ඇති සම්බන්ධය, පියාගේ මරණයෙන් පසු ඔහු මව සමඟ කටයුතු කරන අයුරු අපට හෙළිදරව් වන්නේ පියාගේ මරණින් පසුවයි. එහිදි ඔහු තම පියාට කෙතරම් ඇලුම් කළාදැයි දැනගන්න හැකියි. නමුත් ඒ සඳහා අපට තෙවන චිත්‍රපටය තෙක් බලා සිටීමට සිදු වෙනවා. මෙය ඔබ විශ්මයට පත් කරවන සිනමා නිර්මාණයක් ලෙස මා හඳුන්වන්න කැමැතියි.

Egg

2007 වසරේදී නිර්මාණය වූ මෙම චිත්‍රපටය යුසුෆ් කවියාගේ මැදි විය ගෙනහැර දක්වයි. යුසුෆ්ගේ වයස අවුරුදු 35 සිට 38 දක්වා කාලය මෙම චිත්‍රපටයේ විවරණය කර තිබේ. එහිදී ඔහු තම මවගේ අවමඟුල වෙනුවෙන් ගමට පැමිණෙයි. චිත්‍රපටය ඇරඹෙන්නේ එතැනිණි.

Milk

යුසුෆ්ගේ වසය අවුරුදු 18 සිට 19 දක්වා කාලය වෙන්වෙන්නේ මේ වෙනුවෙනි. ඔහු කවියෙක් ලෙසින් තම නිර්මාණ එළිදක්වන්නේ මේ කාලය තුළදීය. අපි හැමෝටම වාගේ තරුණ වියේ ඇති අවිනිශ්චිත භාවය මෙහිදී ඔහුටද පොදු වන කරුණක්. උසස් අධ්‍යාපනය ලබන යුසුෆ් සරසවි ප්‍රවේශ විභාගයට මුහුණදීම, කවි රචනයට යොමුවීම රූපණයකර තිබෙන මෙය 2008 වසරේදී තිරගත කෙරිණි.

Honey

මෙම චිත්‍රපටය තෙවැනි සහ අවසාන චිත්‍රපටය වේ. මෙහිදී අපට යුසුෆ්ගේ ළමා අවධිය දැකගන්නට හැකි ෙවි. 60 වැනි බර්ලින් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ප්‍රදර්ශනය ආරම්භ කළ එය 83 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසින් සම්මානනීය විය. මෙම සුවිශේෂ නිර්මාණ ත්‍රිත්වය අධ්‍යක්ෂවරයා හඳුනා ගැනීමත් අධ්‍යක්ෂවරයෙක් ලෙසින් ස්ථාවර කරන්නත් හේතු වුණා. එමෙන්ම එය ලෝක සිනමාවේ මෙන්ම විශේෂයෙන් තුර්කි සිනමාවේත් ඉතාම විශිෂ්ට නිර්මාණයක් බවටත් පත් වුණා.

Manakamana

නේපාලයේ ගෝර්කා ප්‍රදේශයේ හින්දු දේවතාවියක වන භාග්වතී වෙනුවෙන් කැප වූ දෙවොල ‘මනකමානා’ නමින් හැඳින්වෙයි. 17 වැනි සියවසේදී එය ඉදිකර තිබේ. භාග්වතී පාර්වතියගේ යළි ඉපදීමක් ලෙසින්ද පුරාවෘත්තයේ සඳහන් වේ. විනාඩි 120ක් පුරා දිවෙන  Manakamana  චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මුළු චිත්‍රපටයම රූගත කර තිබෙන්නේ කේබල් කාර් එකක් තුළ වීමයි. එය අඛණ්ඩව රූගත කළ දර්ශන නවයකින් සමන්විත වේ. මනකමානා සිද්ධස්ථානයට යා හැකි මඟ වන්නේ කේබල් කාරයයි. එහි එක් වරෙක ගමන් කළ හැක්කේ හය දෙනෙකුට පමණි. එම සිද්ධස්ථානය වන්දනාමාන කිරීමට යන්නන්ගේ කතාව අපට මෙහිදී දැකගත හැකියි.

ස්ටැෆ්නි ස්ප්‍රේ සහ පැසෝ විලෙස් එක්ව අධ්‍යක්ෂණය කළ මෙහි කැමරා අධ්‍යක්ෂණය ද පැසෝ විලේස් විසින් සිදු කරන ලදී. ශබ්ද පටිගත කිරීම අනෙක් අධ්‍යක්ෂවරිය ස්ටැෆ්නි විසින් සිදු කෙරිණි. ඔවුන් දෙදෙනා සහ කැමරාව ඇතුළු ශබිද පටිගත කිරීමේ උපකරණ කේබල් කාරයේ එක පසෙකත් අනෙක් පස දෙවොල වන්දනා කිරීමට යන තිදෙනෙකු වේ. මේ ගමනට විනාඩි දහයක කාලයක් ගත වෙයි. ඒ විනාඩි දහයම ඔවුන් ඡේදනය නොකර අඛණ්ඩව රූගත කර තිබේ. ඒ නිසා අපට මනකමානා චිත්‍රපටයෙන් විනාඩි දහයේ කතා එකොළහක් නැරඹීමට ලැබෙයි. ප්‍රබන්ධ සහ වාර්තා චිත්‍රපට විභවයන් එකිනෙක ඉතා සියුම්ව මුසුවී ඇති මෙම චිත්‍රපටයට 2013 වසරේ ස්විට්සර්ලන්තයේ ලොකාර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ ‘රන් දිවියා’ සම්මානය හිමි විය. මමද එය ලොකාර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රේක්ෂකයෙකු ලෙසින් නැරඹීමි.

The Secret of the Grain        

2013 වසරේ කාන්ස් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන දිනූ Blue is the Warmest Colour  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අබ්දුල්ලතිෆ් කෙචීච් අධ්‍යක්ෂණය කළ The Secret of the Grain  චිත්‍රපටය 2007 වසරේදී තිරගත වූ විශේෂ සිනමා නිර්මාණයකි. මෙය මට විශේෂ වන්නට හේතු වන්නේ වයස අවුරුදු විස්සක් වූ යෆ්සියා හර්සි නම් රංගන ශිල්පිනිය හඳුන්වා දෙමින් ඇය කළ රංගනයයි. මෙහි තිබෙන්නේ මා ඉතා ප්‍රිය කරන සංක්‍රමණිකයන් පිළිබඳ සාකච්ඡා වන කතා පුවතකි. ටියුනීසියා, මොරොක්කෝව සහ ඇල්ජීරියාව වැනි රටවලින් සංක්‍රමණය වූ ප්‍රංශයේ කොලනියක ජීවත්වන පවුලක් වටා මෙම කතාපුවත ගෙතී ඇත.

මෙහි ප්‍රධාන චරිතය ලෙසින් අපි දකින්නේ විශ්‍රාම වයසේ පසුවන අයෙක්. අබ්දුල් ලතීෆ් ඉතාම දක්ෂ ලෙසින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේද කිවහොත් අන්තිම රූප රාමුව තෙක් මේ චිත්‍රපටය ඔහු රැගෙන යන්නේ කොතැනටද යන්න සිතා ගැනීම අපහසු වේ. එමෙන්ම මෙහි සංගීතය භාවිතයද ඇත්තේ ඉහළම මට්ටමෙනි. සම්ප්‍රදායික අරාබි ගීත මෙහිදී සුවිශේෂ විය. ඒ ගීතයන්ට සවන් දී එහි මූලයන් සොයා ගිය මට අරාබි සංගීතය පිළිබඳ වෙනමම දොරටුවක් විවෘත වුණා. මෙහි අවසාන රූප රාමුවේදී සිදු වන දේ ජීවිතය පිළිබඳව මෙන්ම ජීවිතයේ බලාපොරොත්තු පසුපස හඹායන අපේ ස්වභාවය එක් සිදුවීමකින් ප්‍රශ්නකර සිටිනවා. සිනමාකරුවෙකුට චිත්‍රපටයක අවසාන රූප රාමුවෙන් සදාකාලිකවම අපේ මනුෂ්‍ය ජීවිතයම වෙනස් කළ හැකි බව ඔප්පු කළ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස මා The Secret of the Grain  චිත්‍රපටය දකිනවා.

The Patience Stone

මෙම චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ ඇෆ්ගනිස්ථානය හෝ වෙනත් රටක් යැයි සිතිය හැකි සිවිල් යුද්ධයක පසුබිමක් ද සහිතව නිර්මාණය වී ඇති කතා පුවතකි. ප්‍රංශ - ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිත චිත්‍රපට නිර්මාණකරුවෙකු වන අතීක් රහීමි අධ්‍යක්ෂණය කළ The Patience Stone  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කාන්තාව ඇයගේ කුඩා දියණියන් දෙදෙනා සමඟ සහ වෙඩි තැබීමකින් අංශභාග රෝගයෙන් කෝමා තත්ත්වයේ පසුවන සැමියා සමඟ ජීවිතය ගෙවන්නීය. නිරන්තරයෙන් වෙඩි හඬ ඇසෙන, බෝම්බ පුපුරණ, දුක්ඛිතභාවයෙන් පිරුණු ප්‍රදේශයක ඇයගේ නිවෙස පිහිටා තිබේ. ඇයගේ සැමියා ඇයට වඩා වයසින් වැඩි මහලු පුද්ගලයෙකු වන අතර ඇය වයස අවුරුදු 17දී විවාහ ජීවිතයට ඇතුළත්ව තිබේ. චිත්‍රපටය ආරම්භයේ සිටම මේ මහලු සැමියා සිටින්නේ කෝමා තත්ත්වයේ නිසොල්මන්වය.

එහෙත් මේ කාන්තාව දිගින් දිගටම සැමියා සමග හුදකලා කථනයේ යෙදෙන්නීය. ඔහුට කතා කිරීමමේදී ඇය ඇයගේ ජීවිතයේ තිබෙන බිය, සැක, සංකා වගේම අයට ඔහුගෙන් නොලැබුණු ආදරය පිළිබඳව ද දිගින් දිගටම පවසන්නීය. මේ සියල්ල අතරේ ඇය දැඩි භක්තියෙන් ආගම ඇදහීමත් සැමියාට සැලකීමත් කරන්නීය. සැමියා සහ දරු දෙදෙනා සමඟ ගත කරන ජීවිතය අතරතුර ඇයගේ නිවෙසට කඩාවදින තරුණ සොල්දාදුවෙකු සමඟ ප්‍රේමයෙන් බැඳෙන්නීය. මේ සමඟින් චිත්‍රපටය අප නොසිතන මානයක් දක්වා රැගෙන යන්නේ ජීවිත කාලය පුරා ඇය නොලද ආදරය සහ ලිංගිත තෘප්තිය ඇය මේ තරුණයා හරහා ලබා ගැනීමෙන් සහ මෙම තරුණයාය ආදරය යනු කුමක්ද සහ ආදරය කරන්නේ කෙසේද යන්න තේරුමකර දෙමිනි. මෙම චිත්‍රපටයේ රටක් සේම කාන්තාවට නමක් පවා හිමි නොවීමට හේතු වන්න ඇත්තේ මෙහි ඇති ස්ත්‍රීත්වය පිළිබඳ ඉතා නිර්භය ප්‍රකාශ නිසාම වන්නට ඇතැයි මම හිතනවා. මෙහි අපූර්වත්වය වන්නේ අබ්දුල්ලීෆ්ගේ The Secret of the Grain චිත්‍රපටය වගේම අවසාන රූපරාමුව ජීවිතයට අමතක නොවන එකම එක රූපයකින් ගෙනන සිනමා අත්දැකීමයි. එය ඔබට ඇය තේරුම් ගැනීමට විශාල පෙළඹවීමක් කරනු නියතය.