වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - 'මැග්නි ෆිෂන් සෙවන්' චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළුවන් හත් දෙනා කවුරුන්දැයි කිව හැකිද?

චාලන්ද තිසේරා - හලාවත

අර්ජුන් - යූල් බ්‍රයිනර්, ස්ටීව් මැක්වින්, චාල්ස් බ්‍රොන්සන්, ගෝස්ට් බච් ලොස්, බ්‍රෑඩ් ඩෙක්ස්ටර්, ජේමිස් කෝබන්, රොබර් වෝගන්.

ප්‍රශ්නය - 90 දශකයේ මුලදී බජාර් එකේ චණ්ඩියා චිත්‍රපටයේ රඟපාමින් ආන්දෝලනයට පත් වූ බන්දුල දිසානායක දැන් කෝ

ආනන්ද පතිරගේ - හොරෙව්පතාන

අර්ජුන් - මේ දවස්වල ටෙලිවිෂන් එකේ 'වාලම්පූරි' හග්ගෙඩි අලෙවි කරන මහාචාර්ය කීර්ති දිසානායක ඔහු තමයි.

ප්‍රශ්නය - විරාගය චිත්‍රපටයේ සම්පූර්ණ නිර්මාණය අපේ සිනමාහල්වල තිරගත වූයේ නැතැයි කියන කතාව ඇත්තද?

විරාජ් මධුෂංක - ගාල්ල

අර්ජුන් - ඔව්. එහි තිස්ස අබේසේකරයන් නිර්මාණය කරන ලද විරාගය මුල් චිත්‍රපටය පැය තුනකුත් මිනිත්තු තිහක් පමණ දිගයි. එය තිරගත කරන විට එහි නිෂ්පාදිකා චන්ද්‍රා මල්ලවආරච්චි විසින් පැය දෙකයි මිනිත්තු හතළිස් පහකට සංස්කරණය කළා. ඒ අධ්‍යක්ෂවරයාගේ විරෝධය නොසලකා හරිමින්. ඒ නිසා තිස්ස අබේසේකර නිර්මාණය කරන ලද සම්පූර්ණ පිටපත සිනමාහල්වල තිරගත වූයේ නැහැ.

ප්‍රශ්නය - 2009 දෙසැම්බර් 31 වැනිදා 32 වැනි සරසවිය සම්මාන උළෙලින් 2007 සහ 2008 චිත්‍රපට සලකා බලමින් සම්මාන ප්‍රධානය කළා. ඉන් අනතුරුව මේ දක්වා (අවුරුදු 6 කින්) උළෙලක් නොපැවැත්වීමට ප්‍රධාන හේතූන් මොනවාද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද, මොරටුව

අර්ජුන් - ඒ සඳහා දිය හැකි හොඳම පිළිතුර නම් නොවැළැක් විය හැකි හේතු නිසා යන්නයි.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10