වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සනත්ගේ අලුත් චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර

සනත්ගේ අලුත් චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර

සේමිණිගේ විශිෂ්ටතම රංගනයක්
නිරෝෂා මුල්වරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට

සම්මානනීය රංගනවේදී සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරන ලද සිනහව අතරින් හි පූර්ව මාධ්‍ය දර්ශනය අතිශය උණුසුම් අයුරින් පසුගියදා කොළඹ රිකී සිනමා ශාලාවේදී පැවැත්විණ.

මෙම සිනමාපටයෙහි සේමිණි ඉද්දමල්ගොඩගේ රංගනය අතිශය විශිෂ්ට බව බොහෝ දෙනාගේ මතය විය. එමෙන්ම ඇගේ රංගන ප්‍රතිභාවෙහි වෙනම පැතිකඩක් සිනහව අතරින් සමඟ පිළිබිඹු වූ බව ඇයට වැඩි පිරිසක් පවසා තිබේ. සිටු කුමරියෝ සිනමාපටයෙන් හෙළ සිනමාවට අවතීර්ණ වූ සනත් ගුණතිලක පසුව නැවත හමු වෙමු, ගඟ අද්දර, දිනුම, සටන, රස රහසක්, විරාගය, පාලම යට වැනි සිනමා කෘති රැසක විවිධ චරිත ඔස්සේ සිය ප්‍රතිභාපූර්ණ බව විදහාලීය. එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, එච්. ඩී. ප්‍රේමරත්න, යසපාලිත නානායක්කාර වැනි සිනමාකරුවන් යටතේ රංගනයේ යෙදෙන්නටත් ඔහු වාසනාවන්ත විය. සනත් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එකමත් එක රටක සිනමාපටය සමඟිනි. ප්‍රසන්න විතානගේගේ සිසිල ගිනි ගනී තිර නාටකය ලියා නිෂ්පාදනය කළේ ද සනත්ය. සිනහව අතරින් සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් 58 වැනි නිෂ්පාදනයයි.

මෙහි සනත්, සේමිණීට අමතරව රොබින් ප්‍රනාන්දු, ජයනි සේනානායක, නදීකා ගුණසේකර, ක්‍රිස් හැරිස්, හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

සිනහව අතරින් චිත්‍රපටය හරහා මෙතෙක් ගායිකාවක ලෙස අප හැඳිනගෙන සිටි නිරෝෂා විරාජිනි සංගීතඥවරියක වශයෙන් කලඑළියට පැමිණෙයි. ඇයගේ මියුරු සංගීතයෙන් සිනහව අතරින් ඔපවත් වී ඇත. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනාකරණයෙන් ද, නන්දා ජයකොඩි සංස්කරණයෙන් ද, සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් ද, ලලිත් ධර්මවර්ධන ඇඳුම් සහ කොණ්ඩා සැකසුමෙන් එයට දායක වෙති. නිරෝෂා විරාජිනි සමඟ අමිල පෙරේරා සිනහව අතරින් ගැයුමින් රස ගන්වා ඇත.

සිනහව අතරින් හි කතාව, දෙබස්, තිර රචනය ද සනත් ගුණතිලකගේය.