වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ චන්ද්‍ර කුමාරගේ අම්මා පළමු චිත්‍රපටයෙන්ම සරසවිය සම්මාන දිනුවා

මේ චන්ද්‍ර කුමාරගේ අම්මා පළමු චිත්‍රපටයෙන්ම සරසවිය සම්මාන දිනුවා

ස්වර්ණා කහවිට

පිටසක්වල සිටින චන්ද්‍ර කුමාරට තෑගි සොයගෙන ඔහුගේ පෘතුවි නිවසට එන අද්භූත පිටසක්වල තරුණියකි. ඇය ඔහුගේ මවගෙන් විමසනුයේ චන්ද්‍ර කුමාරට දෙන්න දෙයක් තිබෙනවාද කියාය. ඊට පිළිතුරු ලෙස චන්ද්‍ර කුමාරගේ මවගෙන් ඇයට ලැබෙනුයේ බිස්කට් පාර්සලයකි. එය මේ දිනවල තරුණ, බාල, මහලු කාගෙත් ඇස ගැටුණු අපූර්ව වෙළඳ දැන්වීමකි. කවුද මේ චන්ද්‍ර කුමාරගේ මව? බොහෝ දෙනා විමසන පැනය එයයි. සිනමාවට ළබැඳි ප්‍රේක්ෂකයාගේ අතීත මතකයන් තුළ ඇගේ මුහුණ රැඳී ඇතුවා නිසැකය. එහෙත් ඇය ගැන නොදත් වත්මන් පරම්පරාව ඈ පිළිබඳ විමසා සිටී. ඒ විමසුමට පිළිතුරක් ලෙස ඈ ගැන සොයන්නට පසුගියදා අපි චන්ද්‍ර කුමාරගේ මවගේ නිවසට ගොඩ වැදුණෙමු.

70 දශකයේ සිංහල රිදී තිරය තුළ සුවහසක් සිනමා ලෝලීන්ගේ හද සොරා ගත් සොඳුරු රුවැත්තියත් වූයේ ඇයයි. එකී දශකය තුළ බිහි වූ නවකතා පොත්වල වැඩිම සංඛ්‍යාවකින් මුල් කවරය සැරසූ, ජනප්‍රිය පින්තූර කතාවල කතා නායිකාව ද වූ ඇය අන් කවරකු නොව ස්වර්ණා කහවිටයි.

ස්වර්ණා කහවිට යනු සරසවියෙන් උපත ලද නිළියක යැයි පැවසුවහොත් වඩාත් නිවැරැදිය. මන්ද තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම සම්මානනීය නිළියක් බවට පත් වූ අතළොස්ස අතරට එක්වීමට තරම් ඇය වාසනාවන්ත වීමයි. ඒ 1970 දී සරසවිය සම්මාන උළෙලේ මුදලිනායක සෝමරත්නයන්ගේ 'බිනරමලි' චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම නිළිය ලෙසට සම්මාන ලැබීමයි. ඒ ඇය රඟපෑ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි. ඔන්න බබෝ බිල්ලෝ එනවා, අබිරහස, රන් ඔන්චිල්ලා, සූරයා සූරයාමයි, පූජිතයෝ, සිරිල් මල්ලී, සහන් එළිය, හරිම බඩු තුනක්, ලස්සන දවසක්, නිවෙන ගින්න, උන්නත් දාහයි මලත් දාහයි, හරි යන කොට ඔහොම තමයි යනාදී චිත්‍රපට ඇය රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි. අවසන් වරට රඟපෑ කඳපොළ කුමාරතුංගයන්ගේ 'දයාබර නිලු' සිනමාපටයෙන් පසුව සිනමාවෙන් දීර්ඝ විරාමයක් තැබූ ඇය අද නැවතත් රූපවාහිනී තිරයෙන් රසිකයන් කැඳවාගෙන සිටී.

වසර ගණනාවක් සිනමාවෙන් ඈත් වී සිටි ඔබ වෙළඳ දැන්වීමකින් නැවතත් අප අතරට එනවා. නොසිතූ ලෙස ඔබගේ පැමිණීම ඔබට ආදරය කරන රසිකයන්ට පුදුමයක් වගේම ලොකු සතුටක්. අහඹු ලෙස නැවතත් කලාවට එන්න ඔබ හිතුවේ ඇයි?

ඇත්තටම මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ නොවෙන්නයි හිතාගෙන හිටියේ. නමුත් කරුණාරත්න අබේසේකර වගේම ඔහුගේ පුත් දිලීප අබේසේකරත් අපේ පවුල සමඟ කිට්ටු හිතවතෙක්. ඉතින් ඔහුට අවශ්‍ය වුණා කාලෙකින් නොදැකපු මුහුණක් මේ වෙළඳ දැන්වීමට යොදා ගන්න. ඔහු යෝජනා කළා මට ඊට එකතු වෙන්න කියලා. ඔහුගේ යෝජනාව මත තමයි මම තීරණය කළේ මේ වෙළඳ දන්වීමට පෙනී සිටින්න.

 

කාලෙකට පසුව එදා දුටු නිළියට වඩා වෙළඳ දැන්වීමෙන් ප්‍රේක්ෂකයා ඔබව වැලඳ ගන්නේ වෙනස් මුහුණුවරකින්. ඊට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් අයට සතුටුයි නැවත මාව දැකීම පිළිබඳව. සමහරු කියනවා මම ද කියලා හිතාගන්නත් අමාරුයි කියලා.

බිනරමලී චිත්‍රපටයෙනුයි ස්වර්ණා කහවිට කියන චරිතය ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ. ඒ චිත්‍රපටය ඔබේ ජීවිත ගමන වෙනස් කළා. කලාවට සම්බන්ධ පවුලක වුවත් ඔබ සිනමාවට පැමිණියේ නිවසේ විශාල සටනක් කරලා. ඒ ගැන නැවත මතක් කළොත්?

ඒ දවස්වල අපේ ගෙදරින් කොහොමටවත් කැමැති වුණේ නැහැ මා නිළියක් වෙනවට. අවශ්‍ය වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉහළටම යවන්න. මගේ අයියා ආරියරත්න කහවිට එවකට කලා සඟරාවේ කර්තෘ. ඔහුට කලාකරුවන් සමඟ ලොකු සබඳකම් තිබුණා. අපේ ගෙදරට කලාකරුවෝ ආවා ගියා. මගේ හිතෙත් නිළියක් වෙන්න ආසාවක් තිබුණා. ඒ නිසා තමයි ගෙදරට හොරෙන් සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට අයදුම්පත්‍රයක් දාලා බිනරමලීට රංගන ශිල්පීන් තෝරා ගන්නා පරීක්ෂණයට පෙනී සිටියේ. එහිදී මාව ප්‍රධාන නිළිය ලෙස තෝරා ගත්තා කියලා ඩී. බී. නිහාල්සිංහයන් හා මුදලිනායක සෝමරත්න මහතා නිවෙසට ඇවිත් කියන කොට ගෙදර ලොකු කලබලයක් වුණා. මොකද ගෙදරට හොරෙන් තමයි එදා මම පරීක්ෂණයට ගියේ. නමුත් අක්කා මැදිහත් වෙලා මට බිනරමලීට පමණක් රඟපාන්න කියලා අවස්ථාව ලබා දුන්නා. ඊට පසුව මගේම දැඩි උත්සාහයෙන් තමා ඉදිරියට ගියේ.

රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම ඔබ හොඳම නිළිය ලෙස සම්මානයට ගරු බුහුමනට පාත්‍ර වෙනවා. එතකොට ගෙදරින් තිබූ බලෑමට මොකද වුණේ?

ඔව්, ගොඩක් දුරට අඩු වුණා. මගේ අයියා තදින් විරුද්ධ වුණා මම නිළියක් වෙනවට. හැබැයි සම්මානය ලැබුණට පස්සේ ඒ විරෝධය අඩු වුණා. පුංචි කාලෙදිත් මාව දැකලා ළමා චිත‍්‍රපවලට කතා කළා. ඒත් ගෙදරින් කැමැත්ත ලැබුණේ නෑ. සම්මානය මට ලැබුණේ මගේ කිසියම් හැකියාවක් තිබුණ නිසානේ. ඒක ගෙදර අය තේරුම් ගත්තේ පසුව. ඒ වෙන කොට අයියාටත්, අපරාදේ මම නංගිව වැළැක්වූවේ කියලා හිතිලා තිබුණා. පසුකාලීනව මම අයියා දෙබස් ලියපු චිත්‍රපටවල පවා රඟපෑවා. සරසවිය සම්මානයෙන් මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කළා. ඒ නිසා සරසවිය මට ගොඩක් වටිනවා.

ඔබ රඟපාපු චිත්‍රපටවලින් අධ්‍යක්ෂවරු ඔබගේ දක්ෂතා හඳුනා ගත්තා. ඒ අතර හමු වූ හොඳම අධ්‍යක්ෂවරු කවුද?

මෙතෙක් මම රඟපෑ චිත්‍රපටවල සියලුම අධ්‍යක්ෂවරු ගොඩක් දක්ෂයි. සාමාන්‍යයෙන් මම රඟපාන්නේ සමාජයට යමක් දිය හැකි හොඳ චිත්‍රපටවල. ඒ හැම චිත්‍රපටයකින්ම මගේ සැඟවුණු දක්ෂතා එළියට ආවා. බිනරමලී චිත්‍රපටයේදී දොස්තර සෝමරත්න වගේම ඩී. බී. නිහාල්සිංහ මාව කැමරාවට අවැසි විදියට මෙහෙය වූවා. ඊට අදාළ දේවල් මට කියලා දුන්නා. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, අබිරහස චිත්‍රපටයේදී ලෙනින් මොරායස් අධ්‍යක්ෂතුමා මේ හැමෝම මට හමු වූ දක්ෂ අධ්‍යක්ෂවරු. ඔවුන් මගේ රංගන හැකියාව ඔප මටටම් කළා.

එදා 'බිනරමලී' චිත්‍රපටයට රඟපාන අවස්ථාව නැති වුණා නම් අද ඔබ කවුරු වෙලා සිටී ද?

එහෙම වුණා නම් මම අද හෙදියක් වෙලා ඉඳීවි. මොකද මගේ ලොකු ආසාවක් තිබුණා රෝගීන්ට සාත්තු කරන්න.

'දයාබර නිලු'ගෙන් පසුව සිනමාවෙන් ඈත් වෙන්න තීරණය කළේ ඇයි?

දයාබර නිලූගෙන් පස්සේ මම සංචාරයකට ජපානයට ගියා. ජපානය හරිම ලස්සන, පිරිසිදු, විනීත මිනිස්සු ඉන්න රටක්. තුන් මාසයක් විතර මම එහේ හිටියා. ඒ කාලෙදි ලොකු ආසාවක් ඇති වුණා ජපානය ගැන.

අභිරහස

එහිදී ලොකුම බාධාව වුණේ භාෂාව. යාළුවෝ එහේ හිටපු නිසා මාස තුන කොහොම හරි ගෙවුවා. නමුත් මට ජපන් භාෂාව ඉගෙන ගන්න දැඩි ඇල්මක්, අවශ්‍යතාවයක් මතු වුණා. ඒ නිසා මම ලංකාවට ඇවිත් ජපාන තානාපති කාර්යාලයෙන් ජපන් භාෂාව හැදෑරුවා. ඊට පස්සේ මම නැවත ජපානයට ගියා. එහිදීත් ටෝකියෝ හයි ජැපනීස් පාසලේත් ජපන් භාෂාව ගැන වැඩිදුර ඉගෙන ගත්තා. පස්සේ අවුරුදු ගාණක් ජපානයේ හිටියා. එහිදී මට 'අරකුසු සෙයිහන්' කියන සඟරාවේ හොඳ රැකියාවක් ලැබුණා. ඒ ආයතනයේ අධ්‍යක්ෂතුමිය ලංකාවේ අයට හරිම ආසයි. අවන්හලකදී ඇයට මාව හමුවෙලා එතනදි මාව හඳුනගෙන ඇයම මට ඒ රැකියාව ලබා දුන්නා.

ජපානයේදී රංගනයට අවස්ථාවක් ලැබුණේ නැද්ද?

එහෙදි නම් මම ඒ ගැන උනන්දු වුණේ නෑ. නමුත් මට හොඳට සිංදු කියන්න පුළුවන්. මගේ යාළුවෙක් හිටියා එයා මට ඉගැන්වූවා. ඒ නිසා ජපානයේ ව්ඩ්ම් ඊඍ චැනල් එකේ සිංදු කියන්න මට ආරාධනා ලැබුණා. ඒත් මම ඒ ගැන උනන්දු වුණේ නෑ.

ඔබ ජනප්‍රිය වෙලා සිටින අවදියේදී 'හිඟන කොල්ලා, එයා දැන් ලොකු ළමයෙක්, මිස් මල්ලිකා' වැනි චිත්‍රපටවලට රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ ඔබ ඒවා ප්‍රතික්ෂේප කළා. අද එදා ගත් ඒ තීරණය ගැන පසුතැවෙන්නේ නැද්ද?

ඔව්, මට ආරාධනා ලැබුණා. ඒත් ඒ දවස්වල මුදල් ප්‍රශ්න, ගනුදෙනු ගැටලු නිසා තමයි මම ප්‍රතික්ෂේප කළේ. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයට ධර්මසේන පතිරාජ මහත්මා ඇවිත් කතා කරපු වෙලේ මට කිව්වා විජේ එක්ක මාව හොඳට ගැළපෙනවා. විජේත් මාව තෝරා ගන්නවට කැමැතියි කියලා. පළමු වතාවේ නෙමේ දෙවෙනි වතාවටත් හොඳට හිතලා තීරණය කරන්න කියලා කිව්වා. හැබැයි පසුකාලීනව මට දුකක් හිතුණා අපරාදේ මම එදා බෑ කිව්වේ කියලා.

සිනමාවේ බොහෝ අත්දැකීම් ඔබ සතුව තිබෙනවා. එදා සහ අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

එදා සහ අද චිත්‍රපට දිහා බලන කොට සමහර චිත්‍රපටවල අද ලොකු වැටීමක් තියෙනවා කියලා හිතෙනවා. අද වුණත් දක්ෂ අධ්‍යක්ෂවරු යටතේ හොඳ චිත්‍රපට බිහි වෙනවා. නමුත් බහුතරයක් චිත්‍රපටවල යම් පසුබෑමක් දකිනවා. 70, 80 දශකයේ චිත්‍රපටවල හොඳ කතා පුවතක්, සාරයක් තිබුණා. මිනිස්සුන්ට චිත්‍රපටය බලලා ගන්න දෙයක් තිබුණා. අද චිත්‍රපටවල තියෙන්නේ අද බැලුවා හෙට මතක නෑ වගේ දෙයක්. එදා චිත්‍රපට බලන්න අදත් මිනිස්සු ප්‍රියයි. එදා ගීත අදටත් ජනප්‍රියයි.

ඔබ වැනි ප්‍රවීණ නිළියකට අද චිත්‍රපටවල ඇති ඒ පසුබෑමට සාධාරණයක් කරන්න පුළුවන් ද අවස්ථාව ලැබුණොත්?

අනිවාර්යෙන්ම. මට ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒ ගැන හිතලා බලලා තීරණය කරනවා. කතා ශරීරය හොඳ නම්, අධ්‍යක්ෂවරයා දක්ෂ නම් ඉන් සමාජයට යමක් කරන්න පුළුවන් නම්, මම භාරගන්නවා. හොඳ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන කොට අපේ රංගන හැකියාව තවත් ඉහළ නංවා ගන්න පුළුවන්. මට ගැළපෙන හොඳ චරිත ලැබුණොත් මම ඊට සාධාරණයක් ඉටු කරන්න කැමැතියි.

බිනරමලී ගැන අද සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බිනරමලී ගැන අදත් රසිකයෝ කතා කරලා අහනවා. ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුණා ඒ චිත්‍රපටය. බිනරමලී නොබැලූ අය බලපු අයගෙන් අහලා මට කතා කරලා ඒ ගැන අහනවා ඒ බිනරමලී චිත්‍රපටය ආයෙත් ඊ ඍ එකෙන් හරි බලන්න බැරි ද කියලා. ඒත් බිනරමලී තිරගත වුණු කාලේ හොඳ සංරක්ෂණ ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසා චිත්‍රපටයේ පිටපත නැහැ. ච්ප. සෝමරත්න කියන්නේ බිනරමලී චිත්‍රපටයේ පිච්චුනු තැන් අයින් කරලා නැවත හදන්න උත්සාහ කරනවා කියලා.

බිනරමලී

ඔබ කලා ලෝකයේදී ප්‍රේමවන්තියක් ලෙස ආදරයෙන් ජය ලැබූවත් සැබෑ ලෝකයේදී ආදරයෙන් පරාද වෙනවා. අදටත් ඔබ අවිවාහකයි. ඒ නිසා එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

මම ජනප්‍රිය වෙලා හිටපු කාලේ මට සම්බන්ධයක් තිබුණා. ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ගෙදරින් කැමති වුණේ නෑ කුල ප්‍රශ්නය නිසා. අපේ අම්මා උඩරට. එයා ගොඩක් විරුද්ධ වුණා. අම්මාට පපුවේ අමාරුව එහෙම තිබුණ නිසා මම ඒ සම්බන්ධය නැවැත්වුවා. එයා දැන් ඇමරිකාවේ ඉන්නේ. සම්බන්ධය නැති වුණාට පස්සේ තමයි මම ජපානයට ගියේ. ඊට පස්සේ නොයෙකුත් යෝජනා ආවත් මම විවාහය ගැන උනන්දු වුණේ නෑ. අද මම ඉතාම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මාත් සමඟ මගේ අක්කගේ දුව ජීවත් වෙනවා. අක්කලාගේ පවුලේ අයත් එක්ක මා ඉන්නේ වැඩිපුරම. ඊට අමතරව අක්කලගේ ගෙදර ජපන් භාෂා පන්ති කරනවා. ඒවත් එක්ක කාලය ගෙවනවා.

සරසවියෙන් බිහි වූ සම්මානනීය නිළියක ලෙසට සරසවිය පනස් දෙවෙනි සංවත්සරය ගැන ඔබට ලොකු සතුටක් ඇති. ඒ ගැනත් පැවසුවොත්?

බොහෝම සතුටුයි. මම සරසවිය සමඟ බැඳිලා ඉන්න කෙනෙක්. ඉතින් මම සුබපතනවා හදවතින්ම සරසවිය පුවත්පතට චිරාත් කාලයක් වැජඹෙන්න කියලා. මේ වගේ දවසක බිනරමලී ගැන කතා කරන්න ලැබීමත් මට ගොඩක් වැදගත් කාරණාවක්