වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මෙරට සිනමා සංස්කෘතියක් බිහි කළේ සරසවිය ජාතික කලා පුවත්පතයි

මෙරට සිනමා සංස්කෘතියක් බිහි කළේ සරසවිය ජාතික කලා පුවත්පතයි

ශ්‍රී ලංකාවේ සිනමා සංස්කෘතියක් බිහි කිරීමෙහිලා ලොකුම දායකත්වය ලබා දී ජාතික සිනමා පුවත්පත බවට පත්වීමේ ඓතිහාසික භාග්‍යය ‘සරසවිය’ට උදා විය. 1963 අප්‍රේල් මස 10 වැනිදා ආරම්භ වූ ‘සරසවිය’ කලා ප්‍රකාශනය 2015 අප්‍රේල් 10 වැනි දින 52 වැනි වසරට එළඹෙයි.

මුල්කාලීන සිංහල සිනමා සඟරා ලෙස 1947 සැප්තැම්බර් මස ඩී. වී. සෙනෙවිරත්න සංස්කරණය කළ ‘චින්තාමණී’ ද 1948 දී ජේ්. ඒ. නානායක්කාර සංස්කරණය කළ ‘ශිල්ප ශ්‍රී’ ද 1952 දී ජිනදාස නියතපාල සංස්කරණය කළ ‘තරුව‘ නිකුත් වුවද, ප්‍රථම සිනමා පුවත්පත ලෙස සැලකිය හැක්කේ රොබට් ජයවර්ධන සංස්කරණය කළ ‘තරුව‘ මාසිකයයි. ඉනික්බිති සිනමා සඟරා හා පුවත්පත් රාශියක් පළ වුව ද ඒවා සාර්ථක නොවීය. 1963 දී ආතර් යූ. අමරසේන ගේ සංස්කරණයෙන් ඇරැඹුණු ‘විසිතුර’ සබුද්ධික රසික පිරිසක් බිහි කිරීමට යත්න දැරුව ද එය අකාලයේ මියැදුණි.

‘සරසවිය’ ආරම්භ වන්නේ අහම්බ සිද්ධියක් නිසාය. එවක සිළුමිණ පත්‍රයේ උප කර්තෘවරයකු වූ විමලසිරි පෙරේරා ශිෂ්‍යත්වයක් ලැබ මහා බ්‍රිතාන්‍යයේ පුහුණුවකට ගොස් පෙරළා එද්දී ඉන්දියාවේ දින කිහිපයක් නතර වෙයි. ඔහුට එහිදී නවාතැන් ලැබුණේ Filmfare සිනමා සඟරාවේ සංස්කාරක බී.කේ. කරංජියා මහතාගේ නිවසේය. ලේක්හවුස් ආයතනයෙන් සිනමා පුවත්පතක් පළ කිරීම මැනවයි විමලසිරි පෙරේරාට යෝජනා කරන්නේ කරංජියා මහතාය. විමලසිරි පෙරේරා මහතා පෙරළා පැමිණ සිළුමිණ ප්‍රධාන කර්තෘවරයාව සිටි මීමන ප්‍රේමතිලක මහතාට මේ බව සැල කළෙන් යෝජනාව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තේය. සිනමාව ප්‍රමුඛ කලාවට කැප වූ පත්‍රයකට යෝග්‍ය නම යෝජනා කළේ මීමනයන්ගේ මිතුරු කවියකු වන හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතාය. ‘සරසවිය’ යන නම බඹරැන්දේ සිරි සීවලී හිමියෝ ද අනුමත කළහ.

සිනමා පත්‍රයක යෝජනාව සභාපතිවරයාට ඉදිරිපත් කළ මීමන ප්‍රේමතිලක මහතාම ‘සරසවිය’ ආරම්භක කර්තෘවරයා ලෙස පත් කෙරිණි. 1963 අපේ‍්‍රල් 10 වැනිදා නිකුත් වූ ‘සරසවිය’ මංගල කලාපයේ පිටපත් පනස් දාහක් මුද්‍රණය විය. මිල ශත පනහකි. පිට කවරය සැරසුණේ ජී. එල්. ගෞතමදාස විසින් සිත්තම් කරන ලද සියලු කලාවන් පිළිබිඹු වන ආකාරයේ නර්තනයයක් ඇතුළත් මනහර සිත්තමකිනි. වත්මනෙහි පවා යළි භාවිතයට ගන්නා ‘සරසවිය’ ශීර්ෂ පාඨය සුප්‍රකට චිත්‍ර ශීල්පී තලංගම ජයසිංහගේ තෙළි තුඩින් අලංකාර විය. ‘සරසවිය’ මුලින්ම හඳුන්වනු ලබන්නේ ‘මේ අලුත්ම ලේක්හවුස් ප්‍රකාශනය පවුලේ කාටත් රස විඳිය හැකි විවිධාංගයෙන් සමන්විත කලා මංජුසාවකි’ යනුවෙනි. එහෙත් එය වසර ගණනාවකට පසු සිනමාවට කැප වූ පුවත්පතක් බවට පත් වෙයි.

සිංහල සිනමාව ඉන්දියානු සිනමාවේ අවජාතක දරුවකු ලෙසම දිගු කලක් වැඩෙන්නේ යුරෝපීය පියකු ලබන්නට තිබූ අවස්ථාව ගිළිහී යෑම නිසාය. 1947 දී රංග කලා මුවිටෝන් නම් සමාගමක් සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ශිල්පීන් පතා යුරෝපය දෙසට හැරෙයි. ඔවුන් අදහස් කළේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාවක් සිනමාවට නැඟීමට ඉතාලියේ ගැලියෝ පෙට්‍රෝනි සහ පෙඩ්රිකෝ සෙරා කැඳවා ගැනීමටය. ඒ අරමුණ ඉටු වී නම් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාවකින් නිර්මිත ආසියාවේ ප්‍රබලම සිනමාවක් ශ්‍රී ලංකාවේ බිහිවීමට ඉඩ තිබිණි.

1956 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාවෙන් කරනුයේ ඒ මඟහැරුණු අවස්ථාව ආරම්භ කිරීමයි. එහෙත් 1956 රේඛාවේ සිට 1963 දී ලෙස්ටර්ම ගම්පෙරළිය නිර්මාණය කරන තෙක්, රේඛාව පෙන්නූ මඟ ගමන් කරමින් නිර්මාණය වූයේ සිනමා කෘති 4 ක් පමණි. සන්දේශය (1960) කුරුලුබැද්ද (1961) රන්මුතු දූව (1962) සහ සිකුරු තරුව (1963) එම චිත්‍රපට හතරයි.

Filmfare සංස්කාරකවරයාගේ යෝජනාව අනුව ඇරඹි ‘සරසවිය’ ද 1953 ආරම්භ කළ Filmfare සිනමා සඟරාව වසරක් ඇවෑමෙන් 1954 දී ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන අරඹන ආකාරයෙන්ම 1963 ආරම්භ වූ ‘සරසවිය’ වසරක් ඇවෑමෙන් 1964 දී සිනමා සම්මාන උළෙලක් ආරම්භ කිරීම ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි.

‘සිංහල චිත්‍රපට කලාවටත්, සිංහල චිත්‍රපට නිෂ්පාදනයටත් රුකුලක් දීමේ පරමාර්ථයෙන් සංවිධානය කෙරෙන ‘සරසවිය’, ‘ජනතා’ චිත්‍රපට උළෙලේ පාඨකයින් විසින් හොඳම චිත්‍රපට පහ තේරීමේ තරග අද සිට ඇරැඹේ’ යනුවෙන් 1964 මාර්තු 4 වැනිදා සරසවිය පුවතක් පළ කරයි.

සිනමා සම්මානවලදී සාමාන්‍යයෙන් ඉකුත් වසරේ නිෂ්පාදිත චිත්‍රපට සලකා බැලුවත්, සිංහල සිනමාවේ අභිවෘද්ධිය සැලසීම පිළිබඳ දෘඪ අධිෂ්ඨානයකින් යුත් සංවිධායකයෝ චිත්‍රපට උළෙලට 1960 - 1961 - 1962 - 1963 යන වසර හතරේම නිෂ්පාදන සැලකිල්ලට ලක් කිරීමට තීරණය කිරීම ප්‍රශස්ත තීරණයක් බව කිව යුතුය.

1960 ජනවාරි 1 වැනිදා සිට 1963 දෙසැම්බර් 31 වැනිදා දක්වා තිරගත වූ සුභද්‍රා - සන්දේශය - සුන්දර බිරිඳ - කවට අන්දරේ - නලඟන - වන මල - පිරිමියෙක් නිසා - ජීවිත පූජාව - කුරුලු බැද්ද - සුවිනීත ලාලනී - ගංතෙර - දරුවා කාගේද? - වැදිබිම - දස්කොන් - සංසාරේ - සුහද දිවි පිදුම - රන්මුතු දූව - අදට වැඩිය හෙට හොඳයි - වෙන ස්වර්ගයක් කුමටද? - සුහද සොහොයුරෝ - මංගලිකා - උඩරට මැණිකේ - සුදු සඳේ කළු වලා - සිකුරු තරුව - දීපශිඛා - ගම්පෙරළිය යන චිත්‍රපට 26 තරගයට අදාළ විය.

පූර්වෝක්ත චිත්‍රපට 26 එදා සිංහල සිනමාවේ ප්‍රබුද්ධත්වය මනාව පිළිබිඹු කරන හරස් කඩක් බව කිව හැකිය. වට්ටෝරු සිනමාවෙන් මැද මාවතේ සිනමාවත් - විදග්ධ සිනමාවත් පිළිබඳ මේ කෘති හොඳ නියෝජනයකි. එවක සංක්‍රමණික අවස්ථාවකට එළඹ සිටි සරසවිය පාඨක ජනතාව ගත් තීන්දු විමසා බැලිය යුතුය. පාඨකයන් තේරූ චිත්‍රපට පහ අතරට සිංහල සිනමාට පූර්ණත්වයට පත් කළ ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’ තේරෙන්නේ ඔහුගේම සන්දේශය ඉවතලමිනි. සිංහල සිනමාවේ තවත් කඩඉමක් සනිටුහන් කරන ‘රන්මුතු දූව‘ ද දකුණු ඉන්දීය සිනමා ආභාසයෙන් මිදුණු ‘සිකුරු තරුව‘ ද තේරෙන්නේ එල්. එස්. රාමචන්ද්‍රන්ගේම ‘කුරුලු බැද්ද’ ප්‍රතික්ෂේප කරමිනි. ‘සුහද සොහොයුරෝ’ සහ ‘සුවිනීත ලාලනී’ නියෝජනය කරන්නේ වට්ටෝරු සිනමාවට අනුගත රසික පාඨක පිරිසය.

සිනමාවේ තරු සංකල්පය උච්ච අවස්ථාවක පැවති මේ අවදියේ ක්ලැරිස් ද සිල්වා - ජීවරාණි කුරුකුලසූරිය - උදුලා දාබරේ - ස්ටැන්ලි පෙරේරා - රීටා රත්නායක - ලිලියන් එදිරිසිංහ ආදී ජනප්‍රියත්වයෙන් හිණිපෙත්තේ සිටි නළු නිළියන් විසිතුරු තාරකා යානයේ නංවා ලේක්හවුස් ආයතනය අබියස සිට වේල්ස් කුමර මාවතේ ‘අශෝකා’ සිනමාහල වෙත රසික ඔල්වරසන් මැද කැඳවාගෙන යාම පවා සිනමා කලාවේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමේ අභිලාෂයෙන් ‘සරසවිය’ ගත් කාලෝචිත පියවරක් බව කිව හැකිය.

සරසවිය සම්මාන උළෙලේ ඉහළ ප්‍රමිතිය සංකේතවත් කරන තවත් සුවිශේෂ අවස්්ථාවක් පෙන්වා දිය යුතුය. සරසවිය සම්මානය නිර්මාණය කිරීම පවරනුයේ ජගත් කීර්තිධර මූර්ති ශිල්පියකු වූ තිස්ස රණසිංහයන්ටය. සරස්වතී අභිනන්දන ගීතය ප්‍රබන්ධයට ආරාධනා කරන්නේ ප්‍රතිභාන්විත ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ටය. එම ගීතය ස්වර වර්ණයෙන් විචිත්‍ර කර ගායනා කරනු පිනිස පණ්ඩිත් අමරදේවයෝ ආරාධනා ලබති. මේ නිර්මාණත්‍රයයේ විශිෂ්ටත්වය අනුරාධපුරයේ මහ සෑය සේම අදත් අනභිභවනීය බව ප්‍රකටය.

සම්මාන උළෙලක් ඉහළ පිළිගැනීමකට ලක් වන්නේ එහි විනිශ්චය මණ්ඩලයේ සබුද්ධික තීන්දු තීරණ මත මිස අන් කවර හෝ සාධකයක් නිසා නොවේ. විශේෂයෙන්ම ප්‍රථම විනිශ්චය නිෂේධනය වුවහොත්, අභිලාෂය මුළුමනින්ම ව්‍යර්ථ වෙයි. එහෙත් ‘සරසවිය’ ස්වකිය ප්‍රථම විනිශ්චය මණ්ඩලය තේරීමේ සිටම නිවැරැදි තීන්දු ගැනීම නිසා සරසවිය සම්මාන සිංහල සිනමාවේ ඔස්කාර් සම්මානය බවට පත් විය.

ප්‍රථම සම්මාන විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ කෘතහස්ත අධ්‍යාපනඥයකු හා උසස් කලා රසිකයෙකු වන හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා මහතාය. සෙසු සාමාජිකයන් වනුයේ එම්. ජේ. පෙරේරා - පියසේන නිශ්ශංක - ස්ටැන්ලි අබේසිංහ - එස්. බී. සේනානායක - චාර්ල්ස් අබේසේකර - ඩී. ජී. දයාරත්න මහත්වරන් හා ලුසිල් අමරසූරිය සහ ආචාර්ය විමලා ද සිල්වා යන විද්වත්හුය.

පාඨකයන් විසින් තෝරා ගනු ලැබූ උක්ත චිත්‍රපට සහ 1964 මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා අශෝකා සිනමාහලේ චිත්‍රපට උළෙලක් ලෙස තිරගත කර අවසන් දින විවේක කාලයේදී සම්මාන ප්‍රදානය කෙරිණි. සම්මාන ප්‍රකාශයට පත් කරමින් උත්සවයේ නිවේදන කටයුතු කළේ ජනප්‍රිය නිවේදක කරුණාරත්න අබේසේකර මහතාය.

‘සරසවිය’ සම්මාන උත්සවයේ උත්කර්ෂයත් - සම්භාවනීයත්වයත් අපේක්ෂා කළ සරසවිය සිනමා උළෙල සමාරම්භයේ සිටම පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ සම්භාවනීය ප්‍රභූවරයකුගේ ප්‍රධානත්වයෙනි. ප්‍රථම උළෙල පැවැත්වූයේ සෙනට් මණ්ඩලයේ සභාපති තෝමස් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පසුව අගමැතිවරුන්, ජනාධිපතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වය තෙක් වර්ධනය වී ජාතික මට්ටමේ සම්මන උළෙලක් බවට පත් විය.

ප්‍රථම සරසවිය සිනමා සම්මානලාභින්ගේ නිර්ණායක අනාගතයට බෙහෙවින් බලපාන සාධණීය නිර්ණායක වූ බවට මේ විනිශ්චය හොඳම සාධකයකි.

හොඳම චිත්‍රපටය - ගම්පෙරළිය (ඇන්ටන් වික්‍රමසිංහ)

හොඳම අධ්‍යක්ෂ - ලෙස්ටර් ජේම්ස් පීරිස් (ගම්පෙරළිය)

හොඳම නළුවා - ඩී. ආර්. නානායක්කාර (සිකුරු තරුව)

හොඳම නිළිය - පුණ්‍යා හීන්දෙණිය (ගම්පෙරළිය)

හොඳම තිර නාටකය - රෙජී සිරිවර්ධන (ගම්පෙරළිය)

හොඳම කැමරා අධ්‍යක්ෂ - විලී බ්ලේක් (ගම්පෙරළිය)

හොඳම සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව (ගම්පෙරළිය)

හොඳම ගීත රචක - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ (රන්මුතු දූව)

හොඳම ගායිකාව - නන්දා මාලිනී (රන්මුතු දූව)

හොඳම ගායකයා - නාරද දිසාසේකර (රන්මුතු දූව)

හොඳම සංස්කරණය - සුමිත්‍රා ගුණවර්ධන (පීරිස්) (ගම්පෙරළිය)

හොඳම කලා අධ්‍යක්ෂ - ආරියවංශ වීරක්කොඩි (සිකුරු තරුව)

විශේෂ සරසවිය තිළිණය - ගාමිණී ෆොන්සේකා (ගම්පෙරළිය) පුණ්‍යා හීන්දෙණිය (සිකුරු තරුව) ජෝන් අමරතුංග (සිකුරු තරුව)

නිර්දේශිත සම්මාන විනිශ්චය මණ්ඩලය සිනමාව පිළිබඳ තියුණු නිරීක්ෂණයක් ඇති සවිචාරක මණ්ඩලයක් බව ස්ඵුට වෙයි. 1965 ඉන්දියානු අන්තර් ජාතික නවදිල්ලි ‘රණ මයුර සම්මානය’ ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’ ට හිමිවීමෙන් විනිශ්චයේ නිරවද්‍යතාව මනාව තහවුරු විය. ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ විනිශ්චය ජාත්‍යන්තර ප්‍රමිතියකට සිදු වූ බව ඉන් සනාථ වෙයි.

එතැන් සිට ඇරැඹෙන සරසවිය සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ඔස්කාර් සම්මානය මට්ටමේ පිළිගැනීමකට ලක් වූ උළෙලක් බවට පත්වීම සිංහල සිනමා සංස්කෘතියේ වැදගත් සාධකයක් වන්නේය. ඉනික්බිති ආරම්භ වූ සම්මාන උත්සව ගණනාවක් වෙතත්, සරසවිය සම්මානයක් දිනාගැනිම සිංහල සිනමා කලාකරුවන්ගේ ‘මනෝප්‍රනිධානයක්’ බවට පත්වීම සරසවියේ ජයග්‍රහණයක් සේ සැලකිය යුතුය.

ගම්පෙරළිය චිත්‍රපටයට සම්මාන ගණනාවක් හිමිවීමෙන් සිනමාව රටක සමාජ ආර්ථික පරිසරයෙන් වියෝ වූ ඕපපාතික නිර්මාණයක් නොව, සමාජය හා අත්‍යන්තයෙන් බැඳුණු යථාර්ථයට සමීප කලාවක් බව සිනමාකරුවන්ට සාක්ෂාත් කරවීම වැදගත් කොට සැලකිය යුතුය.

එසේම තවත් කැපී පෙනෙන සිද්ධියක් වනුයේ එතෙක් නළුකම - කඩවසම් ‘නළු පෙනුම’ - ‘ගිනි කූරු කට්’ සහ ‘රැලි කොණ්ඩය’ ලෙස තිබූ පිළිගැනීම නිශේධනය කරමින් තලතුනා පෙනුමින් යුත් - රෙදි බැනියම් අඳින - ගැමි පසුබිමකින් ආ ඩී. ආර්. නානායක්කාර වැන්නකුට පිරිනැමීමෙන් රංගනය මිස සෙසු සාධක විනිශ්චයේ දී නොසැලකෙන බව ප්‍රායෝගිකවම පෙන්වා දීමය. එසේම චිත්‍රපටයක ‘තිර නාටකය’ යන විෂය එතෙක් සිනමාවේදී භාවිත නොවුවකි. ප්‍රථම වරට චිත්‍රපටයක ‘තිර නාටකය’ අතිශය වැදගත් බව හොඳම තිර නාටකයට සම්මාන පිදීමෙන් අවධාරණය කෙරිණ. ගීත ප්‍රබන්ධය සහ ගායනය පිළිබඳ ඉහළ ප්‍රමිතියක් ද ප්‍රථම උළෙලින් අවධානයට ලක් කෙරිණ.

එතැන් සිට මෙම උළෙල විවිධාංග එක්වෙමින් පෝෂණය විය. 1980 දී Life Time Achievement සලකා රණතිසර සම්මාන පිදීම ද - නැඟී එන නළුවා - නිළිය තේරිම ද, 1990 සිට මූල්‍ය ත්‍යාග පිරිනැමීම ද - 1991 සිට හොඳම නවක නළුවා සහ නිළිය තේරීම භාරතීය නළු නිළියන්, ප්‍රවීණ විදෙස් සිනමා මාධ්‍යවේදීන් ප්‍රධාන අමුත්තන් ලෙස කැඳවීම ද - 2003 දී භාරතයෙන් මනිරත්නම් වැනි සිනමාවේදින් සහභාගි කර ගැනිම ද සිනමා විචාරකයන්ට ගෞරව දැක්විම ද ජගත් කීර්තියට පත් සිනමාවේදීන්ට විශේෂ සම්මාන ප්‍රදානය ද වැනි විවිධාංග එක් කිරීම මඟින් සරසවිය සම්මාන උළෙල වඩාත් යාවත්කාලීන විය - උත්කර්ෂවත් විය - පරිපූර්ණ විය.

සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් ගේ ගම්පෙරළියෙන් සිංහල සිනමාව පිළිබඳ ප්‍රමිතිය සළකුණු කිරීම නිසා ලෙස්ටර් ගුරුතන්හි ලා සලකන ප්‍රතිභාන්විත සිනමා පරපුරක් බිහි විය. මයික් විල්සන් - තිස්ස ලියනසූරිය - ජී. ඩී. එල්. පෙරේරා - ගාමිණී ෆොන්සේකා - සිරි ගුණසිංහ - සුගතපාල සෙනරත් යාපා - දයානන්ද ගුණවර්ධන - වසන්ත ඔබේසේකර - ඩී. බී. නිහාල්සිංහ - ධර්මසේන පතිරාජ - සුමිත්‍රා පීරිස් - ටයිටස් තොටවත්ත - තිස්ස අබේසේකර - පරාක්‍රම නිරිඇල්ල - ධර්මසිරි බණ්ඩාරනායක - අමරනාත් ජයතිලක - අයි. එන්. හේවාවසම් - විශ්වනාත් බුද්ධික කීර්තිසේන - අශෝක හඳගම - ප්‍රසන්න විතානගේ - විමුක්ති ජයසුන්දර ප්‍රධාන ප්‍රියංකර විතානාච්චි දක්වා වූ පරපුර සිනමා මාධ්‍යයේ මං පෙත් පාදා ගත්තේ ලෙස්ටර් ගේ ආගමනයත් සමඟිනි. වරෙක ආචාර්ය තිස්ස අබේසේකර ලෙස්ටර් අරබයා ‘GROWING WITH LESTER’ (ලෙස්ටර් සමඟ වැඩීම) යනුවෙන් ආප්ත පදයක් නිර්මාණය කළේ මේ අරුතිනි. ප්‍රථම සිනමා සම්මාන උළෙලේ නිවැරැදි විනිශ්චය මේ පරපුර බිහි කිරීමෙහිලා උපස්ථම්භක වූ බව ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු සත්‍යයකි.

ඇතැම් සිනමා සම්මාන උත්සව සිනමාව උද්දීප්තිමත් අවදියේ පැවතිය ද සිනමාවේ දුර්දශාපන්න අවස්ථාවල නොපැවැත්විණි. එහෙත් සරසවිය සම්මාන උළෙල සිනමාවේ බිතු සිතුවම් සේ හැර නොයන ඉටු මිතුරෙක් ද මිතුරුතුමෙක් ද වූ වග කිව යුතුය.

ප්‍රථම සරසවිය සිනමා සම්මාන උළෙල සංවිධානයට විමලසිරි පෙරේරා - රණපාල බෝධිනාගොඩ - ධර්මපාල වෙත්තසිංහ - එස්. සුබසිංහ - නිමල් පෙරේරා - රෝලන්ඩ් අබේසිංහ - ඩී. සී. රණතුංග - ඩී. එෆ්. කාරියකරවන ආදීහු එක් වූහ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ එවක සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාගේ සිට පත් වූ සභාපතිවරුන් ඇතුළු පාලනාධිකාරීන් දුන් අනල්ප සහයෝගය නිසාම ‘සරසවිය’ සිංහල සිනමාවේ ජාතික පත්‍රය බවට පත් විය.

සමාරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක - විමලසිරි පෙරේරා - ධර්මදාස බොතේජු - ග්‍රැන්විල් සිල්වා - ඒ. ඩී. රංජිත් කුමාර - තිලකරත්න කුරුවිට බණ්ඩාර - සුසිල් ගුණරත්න - අනුර බණ්ඩාර රාජගුරු - ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිනමා පත්තරයක කර්තෘවරිය වූ දීප්ති ෆොන්සේකා - සුනිල් මිහිඳුකුල - ගාමිණී සමරසිංහ සහ වත්මන් කර්තෘ අරුණ ගුණරත්න සරසවිය වඩාත් පෝෂණීය පුවත්පතක් බවට පත් කිරීමට විවිධ අභියෝග - අර්බුද හමුවේ ගත් වෑයම අපගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. අද සරසවිය පවත්වාගෙන යන්නේ රූපවාහිනිය සහ පරිගණකය ඔස්සේ ගෙතුළටම සිනමාව ගෙන යන ඩිජිටල් යුගයකය. දීර්ඝ ඉතිහාසයක් සහිත ලොව පුරා සැරිසරණ මුද්‍රිත සඟරා - පුවත්පත් පවා කඩදාසිය සහ මුද්‍රණ යන්ත්‍රය අතහැර ඩිජිටලීකරණය වූ අවදියකය. සිනමාව ද මේ වන විට සැලෝලයිඩ් දළ සේයා පටය අතහැර සංයුක්ත තැටියකට නැගී දොරින් දොර සැරිසරයි. සරසවිය ද අන්තර්ජාලයට මුදාහැර ඇතත්, තවමත් මුද්‍රිත පුවත්පතක් ලෙස කළඑළි බසියි.

අපේ සිනමාකරුවන්ගේ ප්‍රකාශන නිදහස පිළිබඳ ගැටලු විටින් විට මතු විය. රාජ්‍යානුග්‍රහයෙන් පත්වන වාරණ මුලාදෑනිවරු දේශපාලනමය සමාජ ගැටලු විවරණය කෙරෙන සිනාම කෘති තහනම් කළහ. දුර්දාන්ත වාරණ නීතිවලට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - ආචාර්ය තිස්ස අබේසේකර ප්‍රමුඛ ප්‍රගතිශීලී කලාකරුවන් ප්‍රතිභාන්විත රැඩිකල් සිනමාකරුවන් වෙනුවෙන් පෙනී සිටිය ද ඔවුහු ඒවා නොඇසූකන්ව, සාහසික ලෙස කතුර භාවිත කළහ. මං අවුරා දැමූහ. එවන් තීරණාත්මක අවස්ථාවල ‘සරසවිය’ සිටියේ කලාකරුවන්ගේ පැත්තේය. ලොව ප්‍රකාශන නිදහස පවත්නා රටවල විශිෂ්ට කෘති ගෙනහැර දක්වමින් ප්‍රකාශන නිදහසේ අගය පෙන්වා දුන්නේය.

අද කලාකරුවනට කොන්දේසි විරහිතව ප්‍රකාශන නිදහස පිළිබඳ හැඳුනුම්පතක් ප්‍රදානව කර තිබේ. මේ වූකලී මෙරට තරුණ කලාකරුවන්ගේ දීර්ඝකාලීන සිහිනයක් මල්පල ගැන්වීමකි. ඒ සුබ නිමිති දකිමින් සිනමාවට පණදීම සාමුහික ප්‍රයත්නයක් අද ගොඩ නැගිය යුතුය. සිනමා කලාවට හරස් වන, යල් පැනගිය තහංචි ඉවත් කළ යුතුය.

ජාතික චිත්‍රපට සංස්ථාව - ප්‍රදර්ශකයන් - නිෂ්පාදකයන් - අධ්‍යක්ෂවරුන් - නළු නිළියන් - ජනමාධ්‍යකරුවන් - විචාරකයන් - පේ‍්‍රක්ෂකයන් එක්ව සිංහල සිනමාවට ප්‍රාණ වායුව පිඹීමේ සාමුහික අවස්ථාවක අවශ්‍යතාව අද උද්ගත වී තිබේ.

සිංහල සිනමාව සොළොසැවිරිදි වියට පත්වන්නටත් පෙර ‘සරසවිය’ ළාබාල සිනමාව සිය ඇකයට ගෙන ඇතිදැඩි කරමින් ද - දුක සැප බලමින් ද ජවසම්පන්නභාවයට පත් කරමින් ද - රසික ප්‍රජාවගේ ප්‍රසාදය අත්කර දෙමින් ද - ජගත් තලයේ ප්‍රමිතියකට සමීප කරවමින් ද පුරා අවුරුදු දෙපනසක් කළ මෙහෙවර සුළුපටු නොවේ.

අද ලෝකයේ ආගමක් බවට පත්ව ඇති සිනමාවේ උන්නතිය පිණිස මාහැඟි මෙහෙවරක් ඉටු කරන්නට අපේ එකම ජාතික සිනමා පුවත්පත වන ‘සරසවිය’ට ආයු බොහෝ වේවා යි ප්‍රාර්ථනා කරමි.