වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් හිෂාන් ඇවිත්

Chat & Music

ආයෙත් හිෂාන් ඇවිත්

හිෂාන් සුමීර

මේ නම ඔබට නුපුරුදු නමක් නොවේ. ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ චැට් ඇන්ඩ් මියුසික් ’වැඩසටහන ආරම්භ කරන අවධියේ එහි නිවේදන කටයුතු කරන ලද්දේ ඔහු බැවිනි. අද වනවිට මේ වැඩසටහන රූපවාහිනිය නරඹන්නන් අතර ජනපි‍්‍රිය වැඩසටහනක් ලෙස ස්ථාන ගත වීමේදී ඔහුගේ දායකත්වයද ඊට බෙහෙවින් බල පෑවේය. ඔහු යළිත් පැමිණ සිටියි. වසර ගණනකට පෙර ‘ චැට් ඇන්ඩ් මියුසික් ’ වැඩසටහන නිසාම මට මුණ ගැසුණු ඔහුව, කලකට පසුව යළිත් වරක් මට මේ වැඩසටහන නිසාම මුණ ගැසෙයි.

ඔබ ආරම්භකර වැඩසටහනටම නැවතත් ඔබට ආරාධනා ලැබෙනවා.

මේ වැඩසටහන ආරම්භ කළේ මමයි. ඒ සුනාමි ව්‍යසනයෙන් පස්සේ. මොකද මේ ඇතිවුණු ව්‍යසනයත් එක්ක මිනිස්සුන්ගේ සිත්වල ඇතිවී තිබුණු සිතුවිලි හා අවට පරිසරය පිළිබඳ තිබුණු සිතුවිලි වෙනස් කරන්න එකල අයි.ටී.එන් එකේ සභාපති වෙලා සිටිය නිව්ටන් ගුණරත්න මහත්තයට ඕන වුණා. ඒ අනුව වින්දනාත්මක වැඩසටහනක් විදියටයි මේ වැඩසටහන ආරම්භ වන්නේ. ඒ වනවිට මම නිවේදකයෙක් විදියට ස්වාධීන රූපවාහිනියේ උදේ වැඩසටහන්, නීති වැඩසටහන් ඇතුළු බොහෝ වැඩසටහන් කරමින් තමයි සිටියේ. මේ අතර පර්යේෂණයක් විදියට මේ වැඩසටහනට ඔවුන් මාව යොදා ගන්න තීරණය කරලා තිබුණා. මම ඔවුන් ගෙන ආව ඒ යෝජනාව පිළි ගත්තා. වැඩසටහනේ නිෂ්පාදක විදියට හිටියේ උපාලි රංජිත මහත්තයා. වැඩසටහනේ ගීත ගැයුවේ නළු නිළියන් ඇතුළු විවිධ වෘත්තිකයන්. වෙනස් විදියට කළ අපේ වැඩසටහන සාර්ථක වුණා.

නමුත් එක්වරම වැඩසටහන කරමින් සිටිද්දී ඔබ අතුරුදන් වෙනවා. එහෙම වෙන්නේ දේශපාලන බලපෑමකින්ද? අපට එහෙම හිතෙන්නේ නැවතත් ඔබ හදිසියේම මේ වැඩසටහනට නිවේදකයෙක් ලෙස පැමිණෙන නිසා ?

‘ චැට් ඇන්ඩ් මියුසික් ’වැඩසටහනේ කොටස් අසූවකට පමණ මම නිවේදනයෙන් දායක වුණා. ඒ අතර වෙනත් පෞද්ගලික නාලිකාවක් සමඟ ඇතිකර ගන්නා ගිවිසුමක් මත මට ස්වාධීන රූපවාහිනියෙන් ඉවත් වන්නට සිදු වෙනවා. එහෙත් පසුව නැවතත් ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වීමට මම ගත් උත්සාහයේදී නම් ඔබ පවසන ඔය දේශපාලන පසුබිම බලපානවා. මොකද ඉන් ඉවත් වෙන්නට දේශපාලන පසුබිම බලනොපෑවත් නැවතත් ඇතුළුවීමට යෑමෙදී මා ප්‍රතික්ෂේප වීමට යම්කිසි දේශපාලන හස්තයක් එතැන ක්‍රියාත්මක වුණා. ඒ ගැන කනින් කොනින් ඇසුව නමුත් මේ මේ අය යැයි කිසිවෙකුත් නම් කළ නොහැක්කේ මගේ ඇස් දෙකටම ඒ කාරණා නොදැක්ක නිසයි. මගේ කන් දෙකෙන්ම ඒ කාරණා නොඇසූ නිසයි. එහෙම නම් මම මීට පෙර ස්වාධීන රූපවාහිනියේ වැඩ කරන්න තිබුණා. එහෙත් මෙවර මම එන්නේ එහි පාලන අධිකාරිය විසින්ම ගන්නා තීරණයක් නිසයි.

ඒ මෙතෙක් ඒ වැඩසටහන කළ නිරෝෂන් වෙනුවට ආදේශකයක් ඉදිරිපත් කිරීම නිසයි. මේ ආදේශකය හිෂාන් වෙන්නත්, වෙනත් කෙනෙක් වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ආයතන පරිපාලනය හා වැඩසටහනට සම්බන්ධ වී සිටිය ජ්‍යෙෂ්ඨයන් ආයතනයේ මා කළ කාර්යය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටි නිසා ඔවුන් නැවතත් මේ වැඩසටහන පැමිණෙන්නැයි මට ආරාධනා කළා. ඒ ආරාධනය මම බොහොම සතුටෙන් බාර ගත්තා. හේතුව මේ වැඩසටහන හොඳටම දැනුණ පුද්ගලයා වන්නේ මමයි. ආරම්භයේදී කලින් කියූ කාරණය නිසා මේ වැඩසටහන ආරම්භ වුණත් මේක වින්දනාත්මක වැඩසටහනක් පමණක් නොවෙයි. එඩියුකේෂන් ප්ලස් එන්ටර්ටේන්මන්ට් වැඩසටහනක්. එයයි මෙහි මුඛ්‍ය පරමාර්ථය වුණේ. කොහොම නමුත් ආයතනයේ නොසිටිය වසර හයක කාලය ඇතුළේ මම මාධ්‍ය හැසිරෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අධ්‍යයනයකයි සිටියේ. ඒ අත්හදා බැලීම් කරමින් ඉන්නා කාලයකයි මට ස්වාධීන රූපවාහිනියෙන් ආරාධනා ලැබෙන්නේ. හිෂාන් කියන කෙනාට නරඹන්නන් ආදරය කළා නම් ඔහුව මෙරට ප්‍රේක්ෂකයන් යම් කෙනෙක් දන්නවා නම් ඒ ස්වාධීන රූපවාහිනිය නිසයි. මේ නිසා මෙහි නැවත ආගමනයක් සිදු වෙනවා නම් කොහොමද එය විය යුත්තේ කියලා දැනගෙන, මා විශ්වාස කළ අයගේ විශ්වාසය පළුදු කරන්නේ නැතිව නැවතත් මා මේ වැඩසටහන කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා.

ඒ කියන්නේ මෙතෙක් ඉදිරිපත් කළ ‘චැට් ඇන්ඩ් මියුසික් ’ වැඩසටහන ඉදිරියේදි ඉදිරිපත් කරන්නේ වෙනස්ම මුහුණුවරකින් ?

සියයට සියයක්ම වෙනස් මුහුණුවරකින් කියලා කියන්න බැහැ. මෙහිදි වෙනස් වෙලා තියෙන්නේ නිවේදකයා පමණයි. මේ වනවිට නිරෝෂන් ඉදිරිපත් කළ ශෛලිය, ආකෘතිය අනුව ඔහු වටා එකතු වුණු පිරිසක් ඉන්නවා. හිෂාන් කියන්නේ වෙනම මනුස්සයෙක්. එයාට කැමැති වෙනම පිරිසක් ඉන්නවා. වැදගත් වෙන්නේ මේ ගුවන් කාලය ඇතුළේ පේ‍්‍රක්ෂකයන් පිරිස වර්ධනය කර ගැනීමයි. ඒක නිවේදකයාගේ වෙනස් වීමත් සමඟ සියයට සියයක් නොවුණත් යම් ප්‍රමාණයකට සාර්ථක වී ඇති වගක් මා විශ්වාස කරනවා. බරපතළ වෙනස්කම් වැඩසටහන ඇතුළේ කළ යුතුය කියන මතයේ මා නැහැ. ඒත් සමඟම මේ වැඩසටහනට විවිධ වූ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ගැන අප කතා කළ යුතු වෙනවා. එතැනදි නිෂ්පාදකවරයා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා, පාලන අධිකාරියේ ජ්‍යෙෂ්ඨයන් කියන මේ සියල්ලන් සමඟම කතා කළ යුතු වෙනවා. ඒ කතාබහේදි අප කරන මේ සෑම වෙනස්කමක්ම ප්‍රේක්ෂකයන් සඳහාම විය යුතුයි. ඔවුන්ට එය ගැළපිය යුතුයි. ඔවුන් ඉල්ලන වෙනස්කම් විය යුතුයි. ඒ නිසා අප පළමු සංවාදය ආරම්භ කළ යුත්තේ ඔවුන් සමඟයි. එය අවසානයේ හිෂාන්ගේ තනි තීරණයක් නොවන සාමූහික තීරණයක් විය යුතුයි. ඒ අනුවයි වැඩසටහනේ ආකෘතියේ හෝ අනෙක් කාරණයක වෙනසක් සිදු විය යුත්තේ.

එදා ඇරැඹුණු මේ වැඩසටහනේ ආකෘතිය හා සමාන වූ වැඩසටහන් රැසක් විවිධ රූපවාහිනි සේවාවන් ඔස්සේ අද වනවිට විකාශය වෙනවා. ඔවුන්ට තරගයක් දෙන්න ඔබ සූදානම් වෙන්නේ කොහොමද ?

‘ චැට් ඇන්ඩ් මියුසික් ’ වැඩසටහන ආරම්භ කළ අවධියට වඩා හාත්පසින්ම වෙනස් වටපිටාවක් තමයි අද වනවිට නිර්මාණය වී තිබෙන්නේ. ඒ කියන්නේ චැනල් අතර තරගයක් නිර්මාණය වෙලා. මේ තරගයේදි ඔවුන් මොනවද කරන්නේ කියලා අප සිටිය යුත්තේ අවධානයෙන්. ඔවුන්ට අපට වඩා ප්‍රේක්ෂකයන් ඉන්නවා නම් ඒ ඇයි කියලා සොයා බැලිය යුතුයි. එතැනදි ඔවුන්ව අනුකරණය කළ යුතුයි කියලා නොවෙයි මේ මා පවසන්නේ. වැඩිම ප්‍රතිචාර තිබෙන රූපවාහිනි සේවාව විදියට අදටත් ප්‍රේක්ෂකයන් නරඹන වැඩසටහනක් තමයි ‘ චැට් ඇන්ඩ් මියුසික් ’කියන්නේ. අවුරුදු දහයක් තිස්සේ එන මේ වැඩසටහන අදටත් පේ‍්‍රක්ෂකයන් නරඹන වැඩසටහනක්. මේ වැඩසටහන නීරස නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර නැත්නම් අවුරුදු දහයක් තිස්සේ වැඩසටහනක් කරන්න බැහැ නේ. මේ වැඩසටහන් ආරම්භ කළ අය අතර මඟදි ඒවා නැවැත්තුවා. නැතිනම් වැඩසටහනේ ආකෘතිය වෙනස් කළා. ඒත් ‘ චැට් ඇන්ඩ් මියුසික් ’වැඩසටහනේ ආකෘතිය තවමත් ඒකමයි. මේ නිසා වැඩසටහනේ ජනපි‍්‍රයත්වය ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩසටහනේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට යම් යම් දේ කළ යුතුයි. ඒ සඳහා අප ඉන්නේ සාකච්ඡා කරමින්.

වැඩසටහනක් දීර්ඝ කාලීනව එකම ආකෘතියක හිරවීම නිසා විවිධ ගැටලු පැන නැගිය හැකියි.

උදාහරණයක් විදියට නළු නිළියෝ හැමදාම එකම කොණ්ඩ විලාසිතාවක් භාවිත කරන්නේ නැහැ නේ. ඒ ඒ වයසට සරිලන අයුරෙන් විවිධ කාලවලදි ඒ විලාසිතා වෙනස් කරනවා. ඒ වගේ නූතන ලෝකයට ගැළපෙන ආකාරයට මේ වැඩසටහනේ ස්ටයිල් එක වෙනස් වෙන්න ඕනෑ. ඒ අනුව අපට මැදිරිය ඇතුළේ කළ වැඩසටහන එළියට අරගෙන ගිහින් කරන්න පුළුවන්නේ. මේ විදියට පරිසරයේ පසුබිම වෙනස් කරලා ආකෘතියේ වෙනසක් ඇති කළ හැකියි. වැඩසටහනට තරගකාරී බවක් තිබෙන නිසාත්, එකම ආකෘතියක හිරවීම නිසා යම් ගැටලු පැන නැගිය හැකියි. එතනදි අපි බුද්ධිමත් විය යුතුයි. ඒවගේම එතනදියි අපට මාර්කටින් බලපාන්නේ.

අනෙක් කාරණය නම් රූපවාහිනිය නරඹන්නා නිතරම විවිධත්වයට කැමැති පිරිසක් බවත් ඔබ මතක තබා ගත යුතු නොවේද?

ඒ විවිධත්වය අප දැනට ඇතිකර ගෙන තිබෙන්නේ සහභාගි කරගන්නා වෘත්තිකයන් වෙනස් කර ගැනීමෙන්. අනෙක් කාරණය වෙන්නේ සජීව බව ආරක්ෂා කර ගැනීමෙන්. එහිදි සාලයේ එකට පවුලක් වගේ ඉඳගෙන වැඩසටහන නරඹන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔවුන්ව ඒ වැඩසටහනේම කොටසක් ලෙසයි ඔවුන්ට හැගෙන්නේ. මේ විදියට කුමන වෙනස්කම් සිදුවිය යුතුද කියලා ඔබගේ යෝජනා අපට ඉදිරිපත් කරන්න කියන පණිවුඩය ඉදිරිපත් කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

පසුගිය කාලයේදි මෙවැනි වැඩසටහන් යොදාගනු ලැබුවේ මෙගා නාට්‍යවල සිටින නළු නිළියන් හඳුන්වාදීමේ වැඩසටහන් ලෙසයි. ‘චැට් ඇන්ඩ් මියුසික් ’ වැඩසටහනටත් මේ කාරණයෙන් ගිලිහී යන්නට නොහැකි වුණා. ඒක හොඳ ප්‍රවණතාවක් නොවෙයි නේද?

ගෙදර දේවල් ගෙදර අය කතා කරන්නේ නැතිව වෙන කවුරු නම් කතා කරන්නද ? ඉතින් මේ තරගකාරී මාධ්‍ය ඇතුළේ අපේ මෙගා ටෙලි නාට්‍යවල රඟපාන නළු නිළියන්ගේ චරිත පිළිබඳ වෙනත් චැනල් විමසන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ට ඔවුන් ගැන දැන ගන්න, ඒ චරිත ගැන දැන ගන්න තියෙන එක් මාර්ගයක් වුණේ මේ වැඩසටහනයි. එහෙම නැත්නම් උදේට යන වැඩසටහන් පමණයි. ආයතනයක් විදියට ඒ අදහසේ සියයට සියයක අසාධාරණ තත්ත්වයක් මා දකින්නේ නැහැ. නමුත් පුද්ගලිකව මෙගා නාට්‍ය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයෙක් විදියට මගේ තියෙන්නේ වෙනම විවේචනයක්.

ඒ කොහොම වුණත් දිගින් දිගටම මේ දේ සිද්ධ වුණොත් ඔබගේ වැඩසටහන සමඟ ඉන්න නරඹන්නන් එය හැර යන්නත් බැරි නැහැ නේද?

ඔව්. ඕනම දෙයක් ඕනවට වඩා උවමනා නැහැ. දිගින් දිගටම මේ වැඩේ කරන්න ගියොත් ප්‍රේක්ෂකයන්ට මේ වැඩසටහන එපා වෙන එක වළක්වන්න කිසිම කෙනෙකුට නොහැකියි. ඉදිරියට ඒ ගැන අපි ටිකක් සලකා බලමු.

පවුලේ විස්තර ටිකකුත් කියමු ද ?

මම පූර්ණ වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක අයතනයක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. මම විවාහකයි. මගේ බිරිය මිහිරි විජේසේකර. ඈ පුද්ගලික බැංකුවක කළමනාකාරවරියක්. ඇගේ තාත්තා තමයි දවස පත්තරේ හිටිය දක්ෂ පුවත්පත් කලාවේදියෙක් වගේම පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිය දයා විජේසේකරයි. අම්මා බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිය සුමනා විජේසේකරයි. මට බොහොම සුරතල් පුතෙක් ඉන්නවා. ඔහුත් ගෙදරදි ටික ටික නිවේදන කටයුතු කරනවා. මම හිතන්නේ තාත්තා ගිය පාරෙම යයි වගේ. ඒ වගේම එයා සංගීතයටත් කැමැතියි. එයාගේ නම තරණ පැහැසර. පුතාව පූර්ණකාලීන ජනමාධ්‍යකරුවෙක් කිරීමේ අදහසක් මට නැහැ. ඔහු මේ රටේ හොඳ පුරවැසියෙක් වෙන එකයි මගේ එකම පැතුම වන්නේ. මගේ නෑනා ( බිරියගේ සහෝදරිය ) ජනමාධ්‍යයට සම්බන්ධයි. ඈ සඳමාලි හේවානායක. මස්සිනා අචින්ත. මගේ අම්මයි තාත්තයි දැන් කොළඹ තමයි පදිංචි. මට ඉන්නවා සහොදරියක් සහ සහෝදරයන් දෙන්නෙක්. ඒ අයගේත් විශේෂත්වයක් තිබෙනවා. ඒ ඔවුන් තුන්නිවුන් දරුවන්. නංගි නම් ඉතාලියේ පදිංචියි. මල්ලිලා දෙන්නා නම් ඉන්නේ ලංකාවේ.