වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අතුල රන්සිරිලාල් ආරාධනා කළේ  නොසිතූ වෙලාවක

අතුල රන්සිරිලාල් ආරාධනා කළේ  නොසිතූ වෙලාවක

සිරිමැටි සිත්තරාවියෝ මිහිකත දෙවිගේ නෑයෝ ගීතය ගයන

නන්දා පතිරණ එක්ක කතාබහක්

සන්ධ්‍යාව ගෙවී ගොස් රාත්‍රිය උදාවීමට ඇත්තේ තවත් අඩහෝරාවක් පමණි. එහෙත් හතර වටින් ගලාගෙන එන අඳුර නිසා හාත්පස ඇත්තේ දැඩි අඳුරු ස්වභාවයකි. ඒ අඳුර අතරෙන් ඇදී එන මිහිරි ගීතයේ පද මට කට පාඩම්ය.

මල් පොකුරු හැඩ කළේ මල් බඳුනයි
ගහකොළ රූමත් මිහිකත හින්දයි
රළු මැටි හුරු දෑතින් හුස්ම ලබයි
කලා ශිල්ප අපගේ හෙට දවසයි

සිරිමැටි සිත්තරාවියෝ
මිහිකත් දෙවිගේ නෑයෝ
මහ කළුගල් හැඩ කෙරුවෝ
හො හෝ...හො හෝ...හෝ...
විස්කම් දෙවිගේ ඈයෝ

අපි වෙමු මතු දා - මතු දා සැමදා
සරසවි දෙව් දූ දරුවෝ

සරනා සියොතුන් පින්සරට වඩියි
සොබා දහම් සිරි හද ගැස්මයි
ගින්දර හීලෑකර පදම හදයි
පරපුරෙන් පරපුරට විස්ම බෙදයි

මම සිතින් මුමුනමි. සන්ධ්‍යාවේ 6.30 ට අප අවට සියලුම නිවෙස්වලින් ඇසෙන මේ ගීතය ගැයෙන්නේ ‘සිරිමැටි සිත්තරාවි’ ටෙලි නාට්‍යයේය. ගීතය ගයන ස්වරයත්, ගීතයට යෙදූ සංගීතයත්, පද පෙළහි අපූර්වත්වයත් ගීතය සියල්ලන්ගේම හදවතේ ලැඟුම් ගැනීමට හේතු වූ බව නොරහසකි. ගේය පද රූපවාහිනි හඬ කැවීම් අංශයේ හඬට පෙම්බැඳි අතුල රන්සිරිලාල්ගේය. තනුවත්, සංගීතයත් සහන් රන්වලගේය. ඒ මියුරු තනුවට අනුව ගයන මිහිරි සුගායනීය ස්වරය නන්දා පතිරණ කෝකිලාවගේය. ඇගේ මියුරු ස්වරය අපට මේ ඇසෙන්නේ දිගු කලකට පසුවය. ඒ නිසාම ඈ පිළිබඳ තොරතුරු බිඳක් දැන ගැනීමටත්, ගීතයේ ඉතිහාසය පිළිබඳත් අසන්නට මා පිවිසියේ මහරගම ගොඩිගමුවටය.

ඉතින් කාලෙකට පස්සෙ?

මා එනතුරු පෙර මඟ බලා සිටින ඇයගෙන් මම විමසීමි.

“සිරිමැටි සිත්තරාවි කොරියානු ටෙලි නාට්‍ය මාලාවේ පසුබිම් ගීතය ගයන්නට මට අවස්ථාව ලැබෙන්නේ මා නොසිතුව මොහොතකයි. ඒ වනවිටත් මම හඬ කැවීම් අංශය බාර අතුල රන්සිරිලාල් මහත්තයා ටිකක් දන්නවා. ඔහු දවසක් මට දුරකථන ඇමතුමක් දීලා කළේ පුදුම ආරාධනාවක්. ඒ අලුතෙන්ම ආරම්භ කරන්න ඉන්න ‘සිරිමැටි සිත්තරාවි කියන කතා මාලාවේ තේමා ගීතය ගයන්නයි.”

ඔබ අද මියුරු ලෙස රස විඳින ‘සිරිමැටි සිත්තරාවි’ කොරියානු ටෙලි නාට්‍ය මාලාවේ පසුබිම් ගීතය ගයන්නට නන්දා පතිරණට ලැබෙන මේ ආරාධනාව ඇය පිළිගන්නේ ඉත සිතෙනි.

“ඒ ආරාධනාවෙන් පස්සෙ දවස් දෙකක් පමණ පුහුණුවීම් කරලයි ගීතය පටිගත කළේ. පටිගත කිරීම්වලින් පස්සෙ ඒ ගී ගැයීම ගැන සහන් රන්වල සිටියේ සෑහීමට පත්වෙලා. ඒ වන විට මට දැනුණා අතුල රන්සිරිලාල් මහත්තයත් ගීතය අහලා බොහොම සතුටට පත්වුණා, ඒ ගීතය ඔහු සිතූ ආකාරයටම පටිගත වී තිබුණු ආකාරය දැකලා. මේ විදිහට පටිගත කළ ගීතයට ටෙලි නාට්‍ය මාලාව විකාශය වෙන්නට ගත්තට පස්සෙ ලැබුණු ප්‍රතිචාර මාව පුදුමයට පත් කළා. කවදාවත් මේ තරම් ‘සිරිමැටි සිත්තරාවි’ ගීතය කා අතරත් ජනපි‍්‍රයත්වයට පත් වේවි කියලා මම හීනෙකින්වත් සිතුවේ නැහැ.”

මේ ගීතය ඇසෙන මොහොතේ අපට හැඟෙන්නේ අතුල රන්සිරිලාල් ගේ තේරීම හරියටම නිවැරදි බවය. මන්ද අද වන විට මේ ගීතය බාල, මහලු සියල්ලන්ම පි‍්‍රයකරන, ආදරය කරන හදවත බැඳුණු ගීතයක් ලෙස ජනපි‍්‍රය වීමය.

“කලින් කතා මාලා නරඹන්නට නොහැකි වුණත් මේ ටෙලි නාට්‍යය නම් නරඹන්න මම කොහොම හරි කාලය හොයා ගන්නවා. ඒක ඒ තරමටම ලස්සනයි. පාරට ගියත්, කඩපිළට ගියත් උත්සව අවස්ථාවකට සහභාගි වුණත් හැමෝම මා ගැයූ මේ ගීතය අගය කරනවා. කොටසක් හරි ගයන්න කියලා ඉලිලීම් කරනවා. කුඩා ළමයින්ගෙන් වගේම වැඩිහිටියන් ගෙන් වුණත් එක විදිහටම ලැබෙන ප්‍රතිචාර දැකලා මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.”

නන්දා පතිරණ ටෙලි නාට්‍යයක පූර්ණ වශයෙන් පසුබිම් ගායනයට පිවිසෙන්නේ පළමු වතාවටයි. ඒත් ඒ බොහෝ කලකට පසුවය.

“බොහෝ කාලයකට ඉස්සර මම සුදත් රෝහණ ගේ ටෙලි නාට්‍යයක ජන ගීයක පුංචි කොටසක් ගයලා තියෙනවා. ඒක මිනිස්සු අතරට නම් ගියේ නැහැ. නමුත් ටෙලි නාට්‍යයකට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණු පළමුවතාව මේ අවස්ථාව කියලා කිව්වොත් නිවැරදියි. ”

ජන ගී ගැයුමට හුරුවූ සොඳුරු ස්වරයකට හිමිකම් කී නන්දා කලකට පසුව ගැයුවද ඇගේ ස්වරයේ වෙනසක් නොපෙනෙයි. මේ ගීතය ගයන්නෙත් අද සුපුරුදු ඇයටම ආවේණික වූ විලාසයෙන්ම නොවේදැයි කෙනෙකුට සිතේ.

ගීතය පටිගත කරන්නට ටික දවසකට කලින් ‘සිරිමැටි සිත්තරාවි ගීතයේ පද ටික මට කියවන්නට ලැබුණා. අපූරු පදමාලාවක් කියලා මට සිතුණා. ඒ වගේම ගීතය පටිගත කිරීමේ දී එතන සිටිය සහන්ගේම යහළුවෙක් වුණු සදීප්ත ගුණවර්ධන මට බොහොම උදව් කළා. පළමුවෙන්ම මේ ගීතය කියන්න තිබුණේ. ඉහළ ස්කේල් එකකයි. වයසත් සමඟ ඉහළ ස්වර තරමක් ගයන්නට නොහැකිය කියා සිතුණ නිසා මට ගැයීමට පහසුවක් සලසා දුන්නේ ඔහුයි. ඉහළ ශ්‍රැතියක ගයන්න මට හැකි වුණත් නිතරම හිතෙන්නෙ එහෙම ගයන විට ඒ ගීත ශ්‍රවණය කරන අයට ඇහෙන්නෙ අපහසුවෙන් ගයනවා කියලා. ඒ නිසයි මා ඊට තරමක් පහසුවක් සලසා ගත්තේ. මොකද දැන් අපි වයසයිනේ.”

නන්දා පතිරණ යන නාමය සවනත ගැටෙන විට අපගේ මතකයට පිවිසෙන්නේ ‘මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා’ යන ගීතයයි. නැවතත් ඇය සරල ගී ගායනයට පිවිස සිටින්නීය.

“ඒ වගේම ගුවන් විදුලියෙ වසර ගණනාවකට පස්සෙ නැවතත් සරල ගී වැඩසටහන ආරම්භ කළා. ඒ සඳහා මටත් ආරාධනයක් ලැබුණා. ඊට ගීත තුනක් ගැයුවා. ඒ සමන් දිසානායක ලිව්ව ‘වලාකුළු අගින්’ ගීතයත්, එඩ්වඩ් සමඟ ගයන ‘කොහොඹ තුරු සෙවණේ’ කියන යුග ගීතයත්, ‘පුර අහසට’ කියන ගීතයත් යන ගීත තුනයි. මේ ගීත තුනෙන් මම වඩාත් කැමැත්තක් දක්වන්නේ ‘වලාකුළු අගින්’ ගීතයටයි. එහි එන ‘පුර අහසට’ ගීතය නිර්මාණය වුණේ ජන කවි ආරෙන්. ඉදිරියේ දී මගෙම නව ගීත රැසක් රැගත් සී. ඩී. තැටියක් කිරීමට යම් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් ඒක හිතන තරම් ලේසි පහසු කාර්යයක් නොවෙයි. ඉඳහිට ප්‍රසංග වේදිකාවලටත් සහභාගි වෙනවා.

ඇගෙන් පසු මේ ගායන පරපුර පවත්වාගෙන යන්නට නන්දාට සිටින්නේ පුත්තුම සිව්දෙනෙකි. පළමු වැන්නා සේලින්ද ය. දෙවැන්නා දර්ශන ය. තුන්වැන්නා සාරද ය. සිව්වැන්නා තරිඳු ය.

“බාලයා ඇරෙන්න අනෙක් පුත්තු තුන්දෙනාම විවාහකයි. තුන්වැනි පුතා විවාහ වෙලා ඉන්නේ නුවරයි. ඔහුට බොහොම ලස්සනට නර්තනයේ යෙදෙන්න පුළුවන්. එහෙම වුණත් මේ කිසිම කෙනෙක් ගී ගයන්න නම් කැමැති නැහැ. ඔවුන්ගෙන් බාලම පුතාට හොඳට ගී ගයන්නට හැකියි. ඒ බව මම දන්නේ එයා වැඩ කරන තැනදි තිබෙන එක් එක් ගායනා තරගවලට සහභාගි වෙලා කරලා තියෙන ජයග්‍රහණ දුටු විටයි. ඒත් කිසිම අවස්ථාවක ප්‍රසිද්ධියේ ගී ගයන්න ඔහු කැමැති නැහැ. අඩුම ගණනේ මාත් සමඟ සී.ඩී. පටයකටවත් ගී ගයන්න ඔවුන් කැමැති නැහැ. ඒත් දෙවැනි පුතාගේ පුතාට නම් ලස්සන කටහඬක් තියෙනවා. ඒ මුනුබුරා ඉගෙන ගන්නේ 6 වසරේ. ඔහු වඩාත් කැමැති චිත්‍ර අඳින්නයි.

ගීත ගයන්න නම් නොවෙයි. එහෙම වුණත් මුනුබුරාව සහභාගි කරවා ගෙන ඉදිරියේදි මොකක් හරි නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගෙදරට වෙලා බොහොම විවේකීව කටයුතු කරන අතරතුර උදේට ඇවිදින්න යනවා. ඒ ව්‍යායාමයටත් එක්කයි. ඉඳලා හිටලා දරු මුනුපුරන් බලන්න යන්නත් මම අමතක කරන්නේ නැහැ. මගේ නිවෙස වැඩකටයුතු සම්පූණයෙන් අවසාන නැහැ. මුදල්වල විවිධ ප්‍රශ්න තිබෙන නිසා ඒ කටයුතු කෙරෙන්නේ බොහොම හෙමින්. මගේ එකම හීනය වෙන්නේ නිවෙස කටයුතු සම්පූර්ණ කර ගැනීමයි. මොකද මමත් රැකියාවක් කරන්නේ නැති නිසා ප්‍රසංග වේදිකාවේ ආරාධනයක් තමයි බලාපොරොත්තු විය හැක්කේ.”