වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

සරසවිය සිනමා පුවත්පතට ආසිරි!

කලා ලොවේ රස තොරතුරු හැඩ කරනා සරසවිය
වසර පනස් දෙක සමරන පුවත්පතකි සරසවිය
ඇරැඹූ දින සිටම එක දිගටම කිය වූ සරසවිය
දිගුකල් දිනේවා! අප සිත් ගත් සරසවිය

පනස් තුන් වියට පා තබන සරසවිය!

බක් මාසේ වාසනාවන්ත උපන් දිනයක් සමරා 53 වැනි වියට පා තබන සරසවිය කුමරියට හා කාර්ය මණ්ඩලයට උණුසුම් සුබපැතුම්.
 

විජයානන්ද පෙඩිනිලමේ

නුගේගොඩ

අසන්නන්ගේ ඉල්ලීම් යළි අරඹමු

දශක කීපයකට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ උදෑසන අසන්නන්ගේ ඉල්ලීම් තීරය නැවතත් ඇරැඹීමට කටයුතු කරන ලෙස ගුවන් විදුලියේ නව සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම පුරා පැයක කාලයක් ඒ සඳහා වෙන් කර රසිකයන්ගේ තැපැල්පත්වලින් කෙරෙන ගීත ඉල්ලීම්වලට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න. එය රසික සිත්වලට සතුටක් වනු ඇත.
 

කන්දෙගෙදර කිත්සිරි ගුණසේන, රොෂාන් උදාර, උදේනි ඉන්ද්‍රා කුමාරි - බදුල්ල, විජේසිරි - කොලොන්නාව

තාත්ත්වික රංගනයක

දමිතාගේ තාත්ත්වික රගපෑම් බලන කොට දැන් සිටින නිළියන් කිසිම වැඩක් නෑ.
 

කේ. ලියනගේ

මහවැව

අමිල අබේසේකරට

අමිල ඔබ රඟපාන නාට්‍ය නරඹද්දී හරිම ස්වභාවික ආදර හැඟුමන් සිතට දැනෙනවා. එය රංගනයක් නොව සැබෑම පෙම්වතෙක් ද කියා සිතෙන තරමටම ඔබ ආදරණීයයි. ඒ ලස්සන රැඟුම අප ඔබ රඟන නාට්‍ය නැරැඹීමට තව තවත් ආශාව සහ උනන්දුව ඇති කරවනවා. අමිල ඔබේ ඒ සුන්දර රැඟුමට අපේ ශුභපැතුම්.
 

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව

චිත්‍ර ශිල්පී දයානන්ද ද සිල්වාට

එදා සිනමා ශාලාවකට යන විට අපිට දැකීමට ඇත්තේ චිත්‍රපටයක කටවුට්. ඔබ එය දැකීමට අපූරුවට තෙළි තුඩින් සිත්තම් කළ අතර ප්‍රථම නිර්මාණය වූ 'අරහං බුදු ගුණ' කෘතිය හරි අගෙයි. දෙවන කෘතිය 'සුනාමි ඛේදවාචකය' අපි බලන් ඉන්නේ කදාද එන්නේ කියා. ඔබට දීර්ඝායුෂ පතමි.
 

ඩී. අනුර සෝමරත්න

කෙසෙල්වත්ත, පානදුර

ජගත් විශ්ව කුමාරට ප්‍රණාමය!

'හෙලවුඩ් ෆිල්ම්ස්' වෙනුවෙන් ජගත් විශ්ව කුමාර වතියගේ විසින් එක්වරම චිත්‍රපට හයක් නිෂ්පාදනය කිරිමට කටයුතු කිරීම නම් ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ කෙරෙන මහත් බාරදූර ක්‍රියාදාමය සිනමා ලෝලීන් වශයෙන් අප ඉතා අගය කළ යුතු වෙමු. තවද මෙම චිත්‍රපයට හයේම අධ්‍යක්ෂවරයා වීමේ ගෞරවය සුගත් සමරකෝන් මහතා වීම තවත් අපගේ සතුටට හේතු වන්නකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

ඔබේ සිත් යොමු වේවා

අපගේ ගීත ලොවට අනුපමය සේවාවක් කළ ගායකයකු හෝ ගායිකාවක් මුල් කරගෙන සෑම ඉරිදා දිනකම රාත්‍රී 10.10 ට ස්වාධීන රූපවාහිනි සේවය මඟින් ඉදිරිපත් කරන 'පද්ම තටාකය' වැඩසටහන අගය කළ යුතුය. එම ගායකයා හෝ ගායිකාව විසින් ගායනා කරන ලද ගීත රචනා කරන ලද ගීත රචකයින් හා සංගීතය සපයන ලද අය ද සහභාගි වී ඉදිරිපත් කරන ලද මෙම වැඩ සටහන සජීවීව ඉදිරිපත් කරන්නේ නම් එම අය සමඟ රසික අපහට ද තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේ. ස්වාධීන රූපවාහිනි සේවයේ බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්නේ නම් අගේ කරමි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

සුව නින්දකි

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුනි, නිෂ්පාදකවරුනි, ටෙලි නාට්‍ය දර්ශනය කෙරෙන කාලය තුළ දී එය නවත්වා ජනප්‍රිය නළු, නිළියන්ගේ රංගන දායකත්වය ලබාගෙන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නම් දෙගොල්ලන්ගේම කල්ල මරේය. අපට සුව නින්දකි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

අවධානය යොමු කරනු

ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ සෑම සඳුදාවකම සවස 5 ට ප්‍රචාරය වුණු 'මධු මාධවී කවි සඟරාව' මෑතක සිට නතර කර ඇත. ප්‍රවීණ කිවිඳියන්ට මෙන්ම ආධුනික කවිකරුවනට අවස්ථාව සලසා දුන් එම වැඩසටහන යළි ප්‍රචාරයට සභාපති සහ නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරමි.
 

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා

ඥානා කුමාරි පෙරේරා

කළුබෝවිල

ඓතිහාසික සිනමාපටය මහරජ ගැමුණු

ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණ්‍ය කළ 'මහරජ ගැමුණු' සිංහල සිනමාව මෙතෙක් බිහි කළ හොඳම ඓතිහාසික සිනමාපටයයි. උද්ධික ප්‍රේමරත්න නම් තරුණ රංගධරයාගේ රංග ප්‍රතිභාව සහ කුසුම් රේණු ප්‍රවීණ රංගධාරිනියගේ විශිෂ්ට රංගන කෞශල්‍යය ද ඇතුළු අනිකුත් රංගධරයන්ගේ රංගන කෞශල්‍යය ද අගය කරමු.
 

අතුල රම්‍යසිරි - පානදුර

සමරමු හියුගෝ

සුමදුර රසය කලතා ගී පදමාලා තුළින්
සැනසූ සවන් හරවත් වූ දෙබස් වලින්
පින වූ නුවන් රංගන සිනහව තුළින්
පර වී වැටී ගෙවුණා පහළොස් වසරක්ම ඉතින්

කෝලම් නාඩගම් යුගයේ සිට පැමිණි
මුල් සිනමා පටයට ඔහුගේ රුව එක් කෙරුණි
ගී පද දෙබස් තනු නිර්මාණය ද සංගීතය ද දුණි
රංගනයෙන් ද නොමැරෙන නාමය බැඳුණි

අඩසිය වසක් ඔබ කළ සිනමාව හෙළ
හැදුවා ගෝල බාලයෝ විය සියැක් කැල
මැරුණත් සිනමාව වැදිලා විෂම දළ
නොමැරුණ නාමයකි හියුගෝ කිසිම කළ
 

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

වෙළෙඳ සේවයට ආසිරි

1924 ආරම්භ කළ ගුවන් විදුලි සංස්ථාවට දිගාසිරි පතනෙමු.
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

මහරජ ගැමුණු

පැරැණි සිංහල රාජධානියේ ප්‍රෞඪත්වය, අභිමානය රැකෙන පරිදි ඉතිහාසයට ද හානියක් නොකොට කතාව ගොඩ නැංවේ. මෙහිදී එළාර දුටුගැමුණු ඉතාම මානුෂිය, දැහැමි, මහත්මා චරිත බවට පත් වේ. අවසන් සුසුම් හෙළන එළාරත් දුටුගැමුණුගේ අවසාන දෙබස්වලින් මෙය පැහැදිලිය. අහිංසක සිංහල ගැමියන් පිරිසක් පාරුවෙන් එගොඩ වීමට යමේදී, එළාරගේ සොළීන් විසින් කරන ම්ලේච්ඡ ඝාතනය මෑතකදී ප්‍රභාකරන් කළ සමූහ ඝතාන සිහියට නැංවුණි. නළු නිළි රඟපෑම් විශිෂ්ටයි. කැමරාව අපූරුයි. මෙවැනි දැවැන්ත නිර්මාණයන් නිර්මාණශීලීව අපට ලබා දුන් ජයන්ත චන්ද්‍රසිරිට මම හිස නමා ආචාර කරමි.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද, මොරටුව
 

සරසවිය - උපන් දිනයට ජන හද වින්දන කරලූ මුල් පිට කවරයන් සැරසූ සරසවිය පාඨයන්

1977 - 2003 - කලාවට කැප වූ බ්‍රහස්පතින්දා රසදෝත

2004 - 2006 - අපේ පවුලේ සිනමා පත්තරය

2007 - 2009 - කලා ලොවේ රස මංජුසාව

2010 - 2011 - දේශයේ කලා පුවත්පත

2012 - 2015 - ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත
 

ඩඩ්ලි ගෝමස් කටුබැද්ද

S.M.S.

නිල්මිණි තෙන්නකෝන්ට, ඔයාගේ දරුවටත් රංගනයට සුදුසු පෙනුමක් තිබෙනවා. එයාවත් ළමා චරිතවලට යොමු කරන්න.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

දෙරණ ටී වී එක ඊළඟට යන්න තියෙන කොරියන් ඩ්‍රාමා එක 8.30 ටම දාන්න. ඒ වෙලාවට කොරියන් ඩ්‍රාමනේ දෙනව කිව්වේ.
 

ඉශාර

නාවලපිටිය

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ගිණි අවි සහ ගිණි කෙළි ටෙලි නාට්‍යයේ සනාගේ චරිතය බලන් ඉන්න ආසයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

කුරිරු මිනිසුන් අතින් ඝාතනයට ලක් වූ විජය අද ජීවතුන් අතර සිටියා නම් දේශපාලනයේ හිනි පෙත්තටම නඟිනු නිසැකයි.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

ආදර ගීත කෝකිල නාදය අප හැර ගොස් 17 වසරක් ගෙවී ගොසින්. ඔබ ගැයූ ගීතයන් තමන්ගේ කර ගන්නට කවුරු කෙලෙස උත්සාහ කළ ද, ඔබේ සංවේදී ගැයුමෙන් හා සමාන වීම අහසට පොළොව මෙනි. ආදර ලොව කිරුළ දැරූ ඔබ වන් තවත් කිසිවෙක් නැතැයි සිතේ. හෙළ සිනමාවට ඔබ දැක් වූ දායකත්වය කිසිදා මැකිය නොහැකියි. ගැයු ගීතයන් අතර විශේෂ ලෙස වෙන් කළ හැකි කිසිදු ගීයක් නැත. ඒ සෑම ගීයක්ම එකසේ ජන හද දිනූ ඒවා නිසාය.

ගමනේ ගිම් නිවා සුන්දරත්වයෙන් පිරි සිහින ලොවකට, සඳෙන් එහා කඳු මුදුන් මැදින් කැන්දාගෙන ගිය ඔබ, රැයක් ඉපදී හිරු ඈත්ව යද්දී ලොවම අඳුරු වන්න පියාදර ගී රජ දැහැනින් නික්ම ගිය ඔබගේ හදට බැඳී සිටි දස දහසක් රසිකයින් අඳුරු කරමිනි. නෙත් කඳුළු පුරවමිනි. ඔබ නැති අඩුව පිරවිය නොහැක. අඳුරු අහසේ නැති වී ගිය සෙඳුරු කෝකිල ගීත රාවය ඔබම විය. මිල්ටන් මල්ලවආරච්චි නාමය සදහට දිදුලන්නේය.
 

නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය නැගෙනහිර

වයික්කාල

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන 'පත්තිනි' සිනමා නිර්මාණය තුළින් ජනප්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර්ව නැවතත් දැක ගැනීමට ලැබීම ඇයගේ රසිකයන් වන අපට මහත් ආඩම්බරයකි.
 

සංජය, අවිශ්ක, සංජු, ගාමිණී

කටුවැල්ලේගම

මම කාලෙකින් බලපු ලස්සනම ටෙලිය තමයි මේ ආදරය. ඒකේ රඟපාන රමනුයි, ඉසිතයි හරිම ලස්සනයි. පුංචි රූහිත් ලස්සනට රඟපානවා. සිරස දෙයක් දෙනවා නම් ඉතින් කවදත් අංක එකනෙ.
 

තාරුකා සෙව්වන්දි

මාවතගම

ශලනි තාරුකා නැතිව හිරු ටොප් 20 මෙලෝ රහක් නෑ. සලනිගේ හුරුබුහුටි සුරතල් නිසා බලන් ඉන්න පුලුවන්.
 

ධනුක් සංජය

සුරේනි අක්කේ ආයේ ඇක්ටින්වලට එන්නකො. ඔයා ගොඩක් දක්ෂ ඇක්ටින්වලටනේ.
 

පී. ඩී. හර්ෂ විරාජ්

මාකඳුර

ප්‍රතිචාර සඳහා අලුත් දුරකතන අංකයක්
0773042834
ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.