වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




බිලිඳු තොලක කිරි සුවඳ විඳින්නයි සදී

බිලිඳු තොලක කිරි සුවඳ විඳින්නයි සදී

හාන්සි පුටුවේ දිග ඇදී උන් ඉස්කෝලේ මහත්තයාගේ නෙත රැඳී තිබුණේ ඈත කඳු පන්තිය අතර ය. ඔහු ගැලී උන් කල්පනාව කෙතරම් ගැඹුරුද කිවහොත් තමා අසල තවත් කෙනෙක් ඉන්නා බවක මතකයක් වත් නොවන වග පෙනෙයි. ඔහු දෙසම බලා සිටින මහහූරාගේ මුහුණේ රැඳුණු බැගෑපත් බව ඉස්කෝලේ මහත්තයාව ඒ කල්පනාවට යොමු කළා වැන්න.

“ ඔහෑ...... ඔහෑ.......”

කුඩා බිලිඳාගේ හැඬුම විහිද ගියේ පරිසරයේ වූ නිහඬ බව පමණක් නොව ඉස්කෝලේ මහත්තයාගේ කල්පනාවද බිඳීමිනි. මහහූරාගේ අත උන් මේ කිරිකැටි බිලිඳා නොනවත්වාම හඬන්නට වූයෙන් හේ දරුවාගේ පිටට තට්ටු කළේ ය. එතැනින් නොනැවතුණු ඔහු තම අත්දඬු දෙක මත හොවා දරුවා නළවන්නට වූයේ ය. ඉන් කියාපෑවේ දරුවෙක් නළවන්නට ඔහු නුපුරුදුකාරයෙක් බව ය.

එහෙත් මුහුණේ සාරය උරා ගත්තාක් මෙන් වැඩුණු දිගු රැවුලත්, දිගු කොණ්ඩයත් ඔහුට රැගෙන ආවේ නායකයෙක්ගේ පෞරුෂයකි. සුපුරුදු ලෙසම කෙටේරිය උරයේ රැඳුණු අතර උඩුකය නිරාවරණය විය. විලි වැසූණේ සරම් කෙටියකිනි. දරුවා උකුළේ හොවා නිවෙසට ඇතුළු වන පඬි කිහිපයෙන් එකක වාඩිවී සිටි ඔහු ඉස්කෝලේ මහත්තයා දෙසම බලා සිටියේ ය. එසැනෙන්ම පැමිණියේ ලූකස්න් ය. සියතේ වූ වතුර වීදුරුව මහහූරාට දුන් ඔහු පසෙකට වූයේ කිරිකැටියා වෙත යොමුවුණු දෑස් ඇතිවය. ලූකස්න් ගෙනා වතුර වීදුරුව උගුරට දෙකට බිව්ව මහහූරා ඔහු දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවේය.

“ ඒ ඇත්තිගේ මරණෙ ගැන මටත් දුකයි බං”

ඉස්කෝලේ මහත්තයා පැවසුවේ මීට මද වේලාවකට පෙර ඇසූ මහහූරාගේ කතාව පිළිබඳ සැබෑවටම සිය හදවතේ නැඟුණු ශෝකයෙනි. ඔහු වඩාත් ශෝකවූයේ මවකගේ ඇකයේ උණුසුම ලැබිය යුතු බිලිඳා පිළිබඳ ය.

“ මේ ඇත්ත මහ එකා වෙච්චි. කොළයක්, අල ගෙඩියක් කාලා ජීවත් වෙන්න බැරියෑ. ඒත් ඉතිං මේ කැකුළා හුරුවෙලා තියෙන්නේ නෑනිලා ඇත්තන්ගේ කිරිපොජ්ජ බොන්න නෙව. ඒ කාරිය මං කොහොමෙයි කරන්නේ.”

හෝරා ගණනක පටන් කිරි කඳුළක් නොලද සිය පැටියා දෙස බලා මහහූරා හීල්ලුවේ ය.

“ ගමේ ඇත්තියෙක් ගෙන් කිරි පොජ්ජක් කට ගාලා වනේට මන්ද කර ගත්තොත් ඇත්තෝ ”

මහහූරා කිව්වේ කිසිවක් කර කියාගත නොහැකි වූ තමාගේ අසරණකමට ඉස්කෝලේ මහත්තයාගෙන් පිහිට අයදිමිනි.

“මේ ගමේ කිරි එරිච්ච අම්මා කෙනෙක් මම කොහෙන් කියලා හොයන්නද බං? අනික් එක ඒ ඇත්තො මනාප වෙන්නත් එපායෑ. මේ ළඟදි ගඟ අද්දර ගුණාගේ ඇත්තිට නම් පැටියෙක් ලැබුණා. ”

තම පැටියාගේ තිබහ ගින්දර නිවා දමන්නට පිළියමක් හොයන පියෙක්ගේ වේදනාව ඔහු හොඳ හැටි දනියි. කල්පනාවක නිමග්න වූ ඔහු ලූකස් ඇමතුවේ ය.

“ අපේ මහත්තයා.......”

ඉස්කෝලේ මහත්තයාගේ ඇමතුම ඇසුණු සැනෙන් ලූකස් ඉදිරිපසට පැමිණියේ ඉක්මන් ගමනෙනි.

“ ලුකස් මේ දෙන්නව ගඟ අද්දර ගුණාලගේ ගෙදරට එක්කං ගොහින් ඒ ඇත්තට මේ තත්ත්වේ පහදලා දීපන්. ”

ඉස්කෝලේ මහත්තයාගේ වචනය හිස් මුදුනෙන් පිළිගත් ලූකස් මහහූරා සමඟ ගුණාගේ නිවෙස සොයාගෙන ගියේ සැනෙනි.

උස් බිම් කඩක පිහිටි ගුණාගේ නිවෙසට යෑමට නම් ඈතට විහිද ගිය වෙල්යාය පසු කළ යුතුය. ලියැදි කිහිපයක් පසු කළ ඔවුහු නියර දිගේ ඇවිද ගියේ බලාපොරොත්තු සහිත අඩි තබමිනි. කඩුල්ල අසලට ළං වූ ඔවුන් හුණු පිළියම් කර තැනූ ගුණාගේ නිවෙස දෙස බලා සිටියේ ය. දුප්පත් වුවද පිළිවෙළකට තිබෙන ඒ නිවෙස සුන්දරය. එහි සුන්දරත්වය වඩාත් අර්ථවත් වූයේ නිවෙස අසලින් ගලන ගඟ නිසා ය. නිවෙසේ ඉදිරිපස දොර හැර දමා තිබිණි. එහෙත් කිසිවෙක් සිටින වගක් නොපෙණිණි. මහහූරා, ලූකස් දෙස බැලුවේ තමා පැමිණි කාර්යය ඉටු නොවේවි දැයි ඇතිවුණු සැකය පෙරදැරිව ය.

“කවුද උඹලා”

නිවෙස ඉදිරිපස දොරෙන් එබී බැලූ කාන්තාවක් ඇසුවා ය. ඈ ඉදිරියට ආවෙන් ලූකස් ඉදිරියට ගියේය. ඔහු තමා පැමිණි කාරණය ඇයට පැවසුවේ මහහූරා දෙස සුරත දිගු කරමිනි.

“ ඒ මනුස්සයාට එන්න කියාපන් ”

සදීගේ පිළිතුර මහහූරාටද ඇසුණේ ය.

“ මේ පැටියගේ මහඑකී මැරිලය කිව්වේ. මං පැටියට කිරි ටිකක් දීලා එනකං උඹලා හිටපල්ලා”

සදී අලුත උපන් පැටියා රැගෙන නිවෙස ඇතුළට ගියා ය. කිරි දෙන්නට ලණු ඇඳ මත තැබූ පැටියා අසලින් ඈ හිඳ ගත්තේ මව අහිමි වූ දරුවා පිළිබඳ උපන් අනුකම්පා වෙනි. ඈ කිරි බරෙන් පිරුණු තන පුඩුව දරුවාගේ දෙතොලට ළං කළා පමණි. දිගු කලක් සාගින්දරෙන් පෙළුණු එකෙකු මෙන් පැටියා කිරි උරා බොන අයුරු දුටු සදීගේ සිතට ඇතිවූයේ වෙනත් දරුවකු කෙරෙහි කිසිදිනෙක නූපන් සෙනෙහසකි.

මහහූරාට සදී කිරිදෙන අයුරු පෙනෙයි. පැටියාගේ හැඬුම නැවතී ඇත. එයම සිතට ගෙනෙන්නේ සැනසුමක් නොවේද? තමා පුතු රැගෙන ගියද ඉන්පසුව ඔහුට කිරි දෙන්නේ කෙසේද? මෙවැනි ගැටලු රැසක් ඔහු හමුවේ පෙළ ගැසී තිබේ. බොහෝ කල්පනාකාරී හැඟීම් ඔහුගේ සිත පෙළයි. සිතට නැගෙන විවිධ සිතුවිලි ඔස්සේ සිත මෙහෙය වූ හේ එක්වරම නැඟිට්ටේ ඉද්ද ගැසුවාක් මෙනි. මොහොතක් පමණ සදීත්, දරුවාත් දෙස බලා සිටි මහහූරා දිවගියේ තවත් මොහොතක හෝ බලා සිටියහොත් සිය අදහස වෙනස් වේ යැයි හැඟුණු නිසා ය.

ගුණා කඩපොළට පැමිණියේ ටික වේලාවකට පෙර ය. ඔහු පිළ උඩ වාඩිවූයේ එහි දාම් අදිමින් සිටි අය දෙස බැලුම් හෙළමිනි. දාම් අදින අය නැඟිට ගියත් හේ ඒ දෙසම බලා සිටියේ ය. කඩයට පැමිණි එක්කොලුවෙක් ගුණා ඇමතූයේ ඒ අතරය.

“ ආ....... ගුණා අයියා මම දැක්කා අන්න අර වැද්දා ඇවිල්ලා යනවා ”

ඔහුගේ ස්වරයේ වූයේ සමච්චල් සහගත බවකි. ගුණා ඒ නොහැඟුන අයුරෙන් පිළිතුරු බැන්දේ ය.

“ ඒ අර ළමයාව අරගෙන යන්න නේ ”

කිසිවක් කිවයුතු වූයෙන් ගුණා කීවේ ය.

“ මම නම් දැක්කේ නැහැ එහෙම එකක්. ඌ හිස් අතින් තමයි ගියේ ”

ඔහු කියූ කියුම ගුණාගේ සිත පතුලේ කිඳා බැස්සේ සිහින් රිදුමක් ද සමඟිනි. ඔහු සිත් රිදුම මග හැරීමට සිතා රා පොළ වෙත ගියේ ය. වැනි වැනී ආපසු පැමිණි ඔහු සදීට බණින්නට වූයේ අවට සියල්ලන්ටම ඇසෙන ලෙසිනි.

සදීට කුමක් සිදු වූයේ ද? ඇයට ගුණාගෙන් ගුටිකෑමට සිදුවෙයි ද? දරුවාට කුමක් වේ ද ?

මේ ගැන දැන ගැනීමට ඔබ කළ යුත්තේ ‘සදී’ සිනමාපටය නැරැඹීම ය.

අධ්‍යක්ෂණය - අනෝමානි රොඩ්රිගෝ

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, රොෂාන් පිලපිටිය, සේනක විජේසිංහ, අනෝමානි රොඩ්රිගෝ

අධ්‍යක්ෂණ අධීක්ෂණය - නිලන්ත හපන්වීර

කැමරා අධ්‍යක්ෂණය - හර්ෂණ කරුණාතිලක

වේශ නිරූපණය - මනෝජ් ලක්සිරි

කලා අධ්‍යක්ෂණය - සමන් සුජීව ජයලත්

කතාව හා තිර රචනය - අනෝමානි රොඩ්රිගෝ

සංස්කරණය - අනුර බණ්ඩාර

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර