වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




නඳුන් උයන

ජයසිරිට පිස්සු ළඟදීම

‘නරි බුරති’ නාට්‍යය ඔබ වෙත ගෙනා රංගන ශිල්පී සරත් කොතලාවලගේ නවතම විනෝදාත්මක වේදිකා නාට්‍යය ‘ජයසිරිට පිස්සු’ අගෝස්තු මාසයේදී රට වටා වේදිකා ගත කිරීමට සැලසුම් කර ඇත. මෙහි පුහුණුවීම් පසුගියදා ආරම්භ කරන ලද අතර සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, පුබුදු චතුරංග, සමන් හේමරත්න, නිරෝෂන් විජේසිංහ, දිමුතු චින්තක, සෝමසිරි කොළඹගේ ඇතුළු ප්‍රවීණ නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙති. සංගීත නිර්මාණයෙන් විමලජිත් දොඹගහවත්ත ද, ඇඳුම් නිිර්මාණයෙන් පුෂ්පා සමන්ති ද, අංග රචනයෙන් සමන් හේමරත්නද, ශබ්ද පරිපාලනය හා ආලෝකකරණයෙන් මිහිඳු මධුසංක සහ නාලක කුමාර ද සිදු කරනු ලබයි. ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරයි.

මියැසි මුතු නමින් ෆේස්බුක් පත්‍රිකාවක්

සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් නොමිලයේ පළ කරන ‘මියැසි මුතු’ ටචජඥඡධධඬ පුවත් පත්‍රිකාවේ මංගල කලාපය දැන් එළි දක්වා ඇත. අන්තර්ජාලයෙන් මෙය ඔබට රස විඳින්නට අවස්ථාව සලසා ඇති අතර සංගීත ක්ෂේත්‍රයේ මේ අපේ කාලය ගැන කියන්න තිබෙන දේ කෙලින්ම ලියන්න මියැසි මුතු විවෘත වේදිකාවක් වන බව පවසා සිටින්නේ සංස්කාරක ජෝර්ජ් රොබ්සන් ද සිල්වායි. සංගීත ක්ෂේත්‍රයට ළැදි පරිත්‍යාගශීලී සහෘදයන්ගේ අනුග්‍රහයෙන් පළවන මියැසි මුතු නොමිලේ බෙදා හරින අතර මේ රටේ සෑම කලාකරුවකුටම ලබාදීමට අදහස් කරගෙන සිටියි. ‘මියැසි මුතු’ ලබා ගැනීමට හෝ මේ සඳහා ඔබේ අදහස්, තොරතුරු, ඡායාරූප එක් කිරීමට කැමැති නම් ‘මියැසි මුතු’ සංස්කාරක, ජෝජ් රොබ්සන් ද සිල්වා, තැ.පෙ. 2, දංකොටුව යන ලිපිනයට ලිපිනය ලියූ මුද්දර කවරයක් එවන්න.

ප්‍රසන්නජිත් අබේසූරියගෙන් අලුත් වැඩක්

ප්‍රවීණ නාට්‍යවේදියෙක් වන ප්‍රසන්නජිත් අබේසූරිය අලුත්ම කටයුත්තක් ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් නාට්‍ය වැඩමුළුවක් කරන්නයි. ඔහු වගේම ප්‍රවීීණ ආචාර්ය මණ්ඩලයක් සහභාගි කරගෙන කරන්න යන මේ කටයුත්ත ඔස්සේ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය රංගනය පිළිබඳ වගේම නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය ආදී විවිධ අංශ පිළිබඳත් මූලික අවබෝධයක් ලබා දෙන්නත් ඔහු බලාපොරොත්තු වෙනවා. ළඟදීම ආරම්භ කරන්නට නියමිත මේ කටයුත්තට වයස අවුරුදු 17ට වැඩි අයට සහභාගි වෙන්නත් පුළුවන්. - තිලානි ශානිකා

වෙල්ලස්සේ මාධ්‍ය ඒකකය පවත්වන සුපර් ස්ටාර්

වෙල්ලස්ස මාධ්‍ය ඒකකය මඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශ 10 ක සියලු පාසල් සහ පූර්ව ළමා විය සංවර්ධන සිසු සිසුවියන් සහ ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දෙමින් ගායනය, නර්තනය, නිවේදනයට සමත් දක්ෂ දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් වෙල්ලස්ස සුපර් ස්ටාර් තුන්වන වටය ඉකුත් දා සියඹලාණ්ඩුව ජයසිරි ගෙස්ට් හිදී පවත්වනු ලැබීය.

මෙහි අවසාන මහා තරගය 2016 අප්‍රේල් මාසයේ පැවැත්වෙන බැව් වැල්ලවාය වෙල්ලස්ස මාධ්‍ය ඒකකයේ නිෂ්පාදක සහ ප්‍රධාන සංවිධායක යූ. එස්. පී. බණ්ඩාර මහතා 'සරසවිය'ට පැවසීය.

තුන්වන වටය තරඟාවලියේදී ඉඟිනියාගල ඩී. එස්. සේනානායක මහා විද්‍යාලයේ ඩී. එම්. ඉමාෂා නෙත්මිණි ශිෂ්‍යාව රංගනයක යෙදෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අගනුවර පැවැති ජාතික තලයේ තරඟ රැසකට අම්පාර ගාමිණී මහා විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඉමාෂා ජයග්‍රහන රැසක් ලබා ගනිමින් එම විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දිමට සමත් වූවාය.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං දමිල භාෂාවෙන්

2012 වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මානය, විද්‍යෝදය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමිකර ගත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං’ නවකතාව එම්. දොරේසාමි විසින් දෙමළ බසට පරිවර්තනය කරන ලදී.

නව නාට්‍ය පිටපත් අවශ්‍ය කර ඇත

නාට්‍ය නිෂ්පාදනය සඳහා හොඳ තත්ත්වයේ නාට්‍ය පිටපත් අවශ්‍ය කර තිබේ. තෝරා ගන්නා නාට්‍ය පිටපත් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට House Of Drama  ආයතනය තීරණය කර ඇත.

පිටපත් "House Of Drama, බී-28, බිම් මහල, වයි. එම්. බී. ඒ. ගොඩනැගිල්ල බොරැල්ල යන ලිපිනයට යොමු කරන්න.

යාළු මාළු තනද්දී ලිතුම්ට වතුර පෙවුණා

මහින්ද ඉහළගමගේ අනාවරණය කරයි

මහින්ද ඉහළගමගේ මේ දිනවල අප හමුවන්නේ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ මගේ යාළු මාළු සිනමාපටය සමඟිනි. එහි ගමේ චණ්ඩියකුට පණ පොවන හෙතෙම ඉදිරියේදී තවත් නිර්මාණ ගණනාවක් ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදහාලීමට නියමිතය.

මං ගමේ නාට්‍යකරුවෙක්. 98 දී තමයි කොළඹ ආවේ. එතකොටත් ගමේ පුංචි පුංචි නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. කොළඹ ආවට ඒ නාට්‍ය උණ අඩු වුණේ නැහැ. ඒ හින්දා නිතර බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවට ගියා නාට්‍ය බලන්න. එතෙන්දි සුමිත් ගල්හේන මහත්මයාව හඳුනා ගන්නට ලැබුණා. ඔහු තමයි මාව මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට ගෙනාවේ. සුමිත්ගේ සක්විති දඩයම හරහා මං මගේ කුලුඳුල් රංගනය ඉදිරිපත් කළා. සුමිත්ගේ මාර්ගයෙන් ලාල් ප්‍රියදේව මහත්මයාව හඳුනා ගත්තා. ලාල්නෙ මගේ යාළු මාළු චිත්‍රපටයේ අධ්‍යක්ෂ. ඔන්න ඔහොමයි මං මගේ යාළු මාළු හා සම්බන්ධ වන්නේ. එම සිනමාපටය මගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉමක්.

එහි ප්‍රධන චරිතය මැවූ ලිතුම් පුතා ඇතුළු දරුවන් මෙහෙය වූයේ මං. ලාල් මහත්මයා ලිතුම් සහ මගේ එකමුතුව දැකලා ඔහු කිව්වා ලිතුම් රඟන සෑම අවස්ථාවකදීම ඔහුට චරිතයට පණ පොවන්න උදව් කරන්න කියලා. ඇත්තටම ළමුන් එක්ක වැඩ කිරීම හරිම චමත්කාරජනකයි. පොඩ්ඩ ඇත්නම් තරහ වෙනවා. යාළු මාළු චිත්‍රපටයේ ළමුන් තිදෙනාටම එක වගේ කතා කරන්න ඕනෑ. එක් අයකුට වැඩියෙන් ආදරේ පෙන්නුවොත් අනෙක් කෙනා තරහා වෙනවා. ඉතින් මං ලිතුම් ඇතුළු ළමුන් තුන් දෙනාව අධ්‍යක්ෂවරයාට ඕනෑ විදිහට මෙහෙයවලා දුන්නා. එක වගේ ආදරය දැක් වූවා. එක් අවස්ථාවක ලිතුම් මුහුදේ මැද ඉඳලා ඉහළට විසි වෙන දර්ශනයක් තිබුණා. කේබල් මාර්ගයෙන් තමයි ඔහුව ඉහළට එස වූයේ. ඒ දර්ශනය පටන් ගන්නට පෙර ලිතුම්ව අල්ලගෙන මුහුදේ හිටියේ මං. ඩිරෙක්ටර් ඇක්ෂන් කියද්දී මං මුහුද යටට යනවා. එක පාරටම ලොකු රැල්ලක් ඇවිත් මාව මුහුදේ ගහගෙන යන්න ගියා. ඒ වෙලාවේ ලිතුම්ටත් ටිකක් වතුර පෙවුණා. සියල්ලම බය වුණා ලිතුම්ව ගිලෙනවා කියලා. ඒ සිදුවීම නම් ජීවිතයට අමතක වෙන්නේ නැහැ.

මේ චිත්‍රපටයේ රංගනයට තමයි මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ. ඒ ගැන මට බොහොමත් සතුටුයි. ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඇයි ටෙලි නාට්‍යවල වැඩියේ නැත්තේ කියලා. මං සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් කරන ගමං රඟපාන්නේ. ඉතින් එහෙව් තත්ත්වයක් මත ටෙලි බාරගන්න අමාරුයි. ෆිල්ම්ස් නම් අවුලක් නැහැ. මොකද චිත්‍රපට එක දිගට නිශ්චිත කාලයක් ඇතුළත නිමා කරනවානේ. ඉදිරියේදී මං රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගතවීමට නියමිතයි. ඩොක්ටර් නවරියන්, අන්දුන් කුන්දුන්, මහා බ්‍රහ්ම ඉන් කිහිපයක්.

වර්තමානයේ මගේ පදිංචිය කොළඹ. මගේ භාර්යාව අතිලා වික්‍රමසූරිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියේ. දැන් ඇය විශ්‍රාමිකයි. මට ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ පියා බන්දුපාල ඉහළගමගේ. පැරැණි ටීටර් ශිල්පියෙක්. මං හිතනවා මට තියෙන මේ කලා ආභාෂය ඔහුගෙන් ලැබුණු එකක් කියලා.