වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අශෝක පොන්නම්පෙරුම කියලා කෙනෙක් හිටිය ද කියලත් සමහරුන්ට මතක නැහැ

අශෝක පොන්නම්පෙරුම කියලා කෙනෙක් හිටිය ද කියලත් සමහරුන්ට මතක නැහැ

සිංහල සිනමාවේ ‘ශිවාජි’ ගැන දූ දරුවන්ගේ මතක සටහන්

දශක තුනකට ආසන්න කාලයක් පුරා සිය රංග ප්‍රතිභාව තුළින් සිංහල රිදීතිරය එකාලෝක කළ ප්‍රතිභාපූර්ණ නළුවකු, ගායකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අශෝක පොන්නම්පෙරුම සුනීතා චිත්‍රපටයේ තෝමස් සහ සරා ද්විත්ව චරිත රඟමින් සිනමා රංගනය ඇරැඹූ නළුවෙක් විය. ඔහුගේ රංගනයන් තුළින් එදා සිංහල රිදී තිරය වර්ණවත් වූයේ සැමියා බිරිඳගේ දෙවියාය, සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, සිරිමලී, කළ කළ දේ පල පල දේ, ඉඳුනිල, ලන්ඩන් හාමු, ස්වීප් ටිකට්, දෙහදක දුක, සුහද සොහොයුරෝ, සුන්දර බිරිඳ, සැනසිලි සුවය ආදී චිත්‍රපට රැසක රංගනයන් සමඟය.

එක් කාල වකවානුවක ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු අශෝක පොන්නම්පෙරුම එකළ සිංහල සිනමාවේ ජනකාන්ත නළු නිළියන් රැසක් සමඟ රංගනයට එක් විය. ඒ අතර රුක්මණී දේවි, ප්‍රේම් ජයන්ත්, ජීවරාණි කුරුකුලසූරිය, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක, ෆ්ලොරිඩා ජයලත්, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, තිස්ස විජේසූරේන්ද්‍ර, අමරසිරි කලංසූරිය ආදී ජනකාන්ත නළු නිළියන් රැසක් විය. අශෝකගේ විසි දෙවැනි ගුණානුස්මරණය යෙදී තිබුණේ අප්‍රේල් 2 වැනිදාටය. එදා අපි අශෝක පොන්නම්පෙරුමයන්ගේ දූ දරුවන් සමඟ කතාබහට එක් වූයේ ඔහු වෙනුවෙන් පුණ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරන අතර වාරයේ 680/3, තුන්අදහේන, කොරතොට, කඩුවෙල ලිපිනයේ සඳහන් අශෝක පෙන්නම්පෙරුමගේ එකම දියණිය වූ මංජුලා පොන්නම්පෙරුමගේ නිවහනේ සිටයි.

* විසි දෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් මෙවර මොන වගේ කටයුත්තක් ද සිද්ධ කළේ?

කෝට්ටේ සෙවණ ළමා නිවාසයට දානයක් දුන්නා. මේ ළමා නිවාසයට තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙත් දානෙ දුන්නා. දානය තාත්තා මියගියාට පස්සේ තාත්තා නැතිවුණදාට දිනේ මාරු කරලා යොදා ගත්තා. එදා පටන් තාත්තා ජීවත් වෙලා හිටිය කාලේ දුන්න දානේ අපි තාත්තා නැති වෙච්ච දවස වන අප්‍රේල් දෙවැනිදාට මේ ළමා නිවාසයට ලබා දෙනවා.

* එවක තාත්තා හරි ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්?

තාත්තා තුළ ඒ ලක්ෂණය තදින්ම තිබුණා. බොහෝ විට තාත්තා ආස කළේ අසරණ මිනිස්සුන්ට උදවු කරන්න. සල්ලි තියෙන කෙනා ළඟට නෙමේ, සල්ලි නැති කෙනා ළඟට තමයි තාත්තා වැඩිය යන්න කැමැති වුණේ. උදව් කරන කොට වුණත් කෑමක් බීමක් දෙන කොට වුණත් එයා හැම විටම අසරණ දුප්පත් කෙනාගේ පැත්ත තමයි ගත්තේ. අසරණ අයට උදව් කරලා අපමණ සතුටක් අපේ තාත්තා ලබන හැටි අපි ඒ දවස්වල අත්දැකපු සත්‍යයක්.

* වසර විසි දෙකක් ගෙවී ගිය අතීතය තුළ තාත්තා වෙනුවෙන් කලා කෂේත්‍රයේ මොන වගේ කතිකාවක් ද ඇති වුණේ?

මොකුත් නැහැ. අශෝක පොන්නම්පෙරුම කියලා කෙනෙක් චිත්‍රපටවල හිටිය ද කියලවත් කවුරුවත් දන්නේ නැති ගාණට තමයි කටයුතු කළේ. සමහර අයට අවුරුද්ද පුරා හිටියත් මැරුණත් ගුණ ගී ගයනවා. උත්සව සම්මාන. ඒත් අපේ තාත්තාට ඔය මොනවත් නැහැ.

* පියා මිය ගියේ?

1993 අප්‍රේල් 02 වැනිදා.

* ඒ වෙන කොට තාත්තාට වයස?

අවුරුදු පනස් හතක්. හෘදයාබාධයකින් තමයි තාත්තා හදිසියේ නැති වුණේ.

* එදා අවමඟුලටවත් කලාකාරුවො සහභාගි වුණාද?

අනුලා කරුණාතිලක, අනෝජා වීරසිංහ, විජය නන්දසිරි, ටෙනිසන් කුරේ, රවීන්ද්‍ර රන්දෙණිය, රත්මලී ගුණසේකර, ටී. එම්. සංඝදාස වගේ අය එදා පැමිණියා කියලා මතකයි.

* තාත්තාගේ අවමඟුල් කටයුතු ඉතා කෙටි කාලයකින් අවසන් කළා?

ඒක තාත්තාගේ ඉල්ලීමක්. මැරුණට පස්සෙ පැය විසි හතරක් ඇතුළත සියලු අවසන් කටයුතු කරන්න කියලා තාත්තා ඉල්ලීමක් කරලා තිබුණා. අපි ඒ ඉල්ලීම ඒ අයුරින් ඉෂ්ට කළා. එවක ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැතිවරයා වුණේ ඒ. ජේ. රණසිංහ මහත්තයා. එතුමා තාත්තාගේ මරණය ගැන දැනගෙන ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත් මඟින් ඒ පිළිබඳ ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. තාත්තාගේ සමීප මිතුරෙක් වු ඒ. ජේ. රණසිංහ මහත්තයා ඒ අයුරින් අපිට උදව් කරන කොට තාත්තාගේ තව මිතුරෙක් වූ ජයරත්න මල් ශාලා අධිපති ජයරත්න මහත්තයා නොමිිලයේ මල් ශාලා කටයුතු ඉෂ්ට කළා. තවත් තාත්තාගේ සමීප මිතුරෙක් වූ මහරගම පමුණුව ස්ටෝර්ස් අධිපතිතුමා චිතකයේ කටයුතු මිත්‍රත්වයේ නාමයෙන් නොමිලයේ සිද්ධ කළා.

* පවුලේ තොරතුරු කොහොමද?

තාත්තාට දරුවන් හතර දෙනෙක් හිටියා. වැඩිමහල් පුතා අනුරුද්ධ, දෙවැනි පුතා සුමේධ, තෙවැනි පුතා චාමින්ද, හතර වෙනියා දුව මංජුලා. අද මේ හැමෝම විවාහ වෙලා. තාත්තා මිය යන කොට අනුරුද්ධ විවාහ වෙලයි හිටියේ.

* ඔබලාගේ මව වූ මානෙල් පෙරේරා චිත්‍රපට, ටෙලි නාට්‍ය නිළියක්. ඇය පිළිබඳ තොරතුරු කොහොමද?

අම්මා එංගලන්තයේ රැකියාවක් කරනවා. 2001 අවුරුද්දේ අම්මා එංගලන්තයට ගියේ. කීප විටක් ලංකාවට ඇවිත් ගියා. අපි නිතර ඇයත් එක්ක දුරකථනයෙන් කතාබහ කරනවා. ඒ නිසා ඇය අපි ළඟ නැහැ කියලා තනිකමක් දැනෙන්නේ නැහැ. අවුරුදු දහ තුනකටත් වැඩියි අම්මා එංගලන්තයට ගිහින්.

* අශෝක චිත‍්‍රපටයකුත් අධ්‍යක්ෂණය කළා?

'ප්‍රදීපා' චිත්‍රපටය තමයි තාත්තා අධ්‍යක්ෂණය කළේ. අපිත් ඒ චිත්‍රපටයේ රඟපෑවා. ප්‍රධාන චරිතය කළේ රත්මලී ගුණසේකරයි, අමරසිරි කලංසූරියයි. සුමේධට ඒ දවස්වල අවුරුදු නවයක් විතර ඇති. චාමින්දට අවුරුදු අටක් විතර ඇති. අනුරුද්ධට නම් තාත්තා පිනාගේ චරිතයට කතා කළත් එයා බෑ කිව්වා. මංජුලා නම් අත දරුවෙක්ට රඟපෑවා. ඒ දවස්වල එයා අත දරුවෙක්ම තමයි.

* නවකතා දෙකක් ඔබලාගේ පියා රචනා කළා?

මල්මද බිසව්, ඇයි මට මෙහෙම වුණේ ඒ නවකතා දෙකයි. ඇයි මට මෙහෙම වුණේ නවකතාව තමයි තාත්තා ප්‍රදීපා චිත්‍රපටයේ තිර පිටපතට යොදා ගත්තේ.

* තාත්තා රඟපාන්න යනවා ඔබලාට මතකද?

කෝකිලා චිත්‍රපටයයි, ප්‍රදීපා චිත්‍රපටයයි විතරයි එහෙම නම් මතක. අනික් චිත්‍රපටවලට රඟපාන්න ගිය හැටි නම් මතක නැහැ. හුඟක් චිත්‍රපට අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා තමයි තාත්තා රඟපාලා තිබුණේ. මට නම් දීපශිඛා, සුදු පරවියෝ, සිනාවයි ඉනාවයි චිත්‍රපට රඟපාන්න තාත්තා යනවා හොඳට මතකයි. ඒ දවස්වල තාත්තා මාව ෂූටිං තියෙන තැන්වලට එක්කන් යනවා. ඒ ගිහින් මට කොහෙන් හරි මවුත්ඕගන් එකක් ගෙනත් දෙනවා මට පිඹ පිඹ ඉන්න. එහෙම කිව්වේ වැඩිමහල් පුත් අනුරුද්ධ.

* තාත්තා රඟපාපු හැම චිත්‍රපටයක්ම නරඹලා තියෙනවාද පසු කාලෙක?

රූපවාහිනියෙන් විකාශය වෙන කොට නම් සමහර චිත්‍රපට නරඹලා තියෙනවා.

* තාත්තා චිත්‍රපට බලන්න දරුවොත් පිරිවරාගෙන ගිය අවස්ථා මතකද?

ඔව්. අපිව එක්කන් යනවා චිත්‍රපට බලන්න. අපිට මතකයි ඒ කාලේ තාත්තා වැඩිපුර දුෂ්ට චරිත රඟපානවා. කෝකිලා චිත්‍රපටය මහරගම නැෂනල් හෝල් එකේ පෙන්වන කොට තාත්තා අපිව එක්කගෙන ගියා. මේ චිත්‍රපටයේ තාත්තා දුෂ්ට චරිතයක් කරන්නේ. කොහොම හරි අපි හතර දෙනා තාත්තාට මේ චිත්‍රපටයේ ගහනවා දැකලා අඬන්න පටන් ගත්තා. හැබැයි මහ හයියෙන් කෑගහලා ඇඬුවේ නංගි මංජුලා තමයි.

* තාත්තාට රිදී තිරයේ අන්වර්ථ නාමයකුත් පටබැඳිලා තිබුණා?

ලංකාවේ සිවාජි ගනේෂන් කියලා. තාත්තා බොහෝ විට රඟපෑවේ දෙමළ චිත්‍රපටවල කොපි. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරු තාත්තාගෙන් බලාපොරොත්තු වුණේ ඉන්දීය නළුවා කරපු දේ ඒ අයුරින්ම තාත්තාගෙනුත් ලබා ගන්න. ඒ කාලේ සිවාජි ගනේෂන් රඟපෑ චිත්‍රපටවල අනුකරණ සිංහල චිත්‍රපට බොහොමයක තාත්තා රඟපෑවා. ඒ නිසාත් තාත්තාගේ හැඩහුරුව තරමක් සිවාජි ගනේෂන්ට සමීපවීමත් නිසා මේ නාමය තාත්තාට පටබැඳුණා.

* තාත්තා හොඳම සහාය නළුවා ලෙස සරසවිය සම්මානයටත් පාත්‍ර වෙනවා?

1969 ඉඳුනිල චිත්‍රපටයේ හොඳම සහාය නළුවා ලෙස තාත්තා සරසවිය සම්මානය දිනා ගන්නවා. එදා තාත්තා ඒ ගත්ත සම්මානය අනුරුද්ධ ලොකු අයියා ළඟ අද සුරැකිව තියෙනවා.

* තාත්තා ගීත ගායනයටත් පිවිසෙනවා?

ලන්ඩන් හාමු චිත්‍රපටයේ සුජාතා අත්තනායක එක්ක දෑසේ පෙම් මදිරාවේ ගීතය ගායනා කරන්නේ තාත්තා. තාත්තා සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් යටතේ සංගීතයත් ඉගෙන ගත්තා.

* දුෂ්ට නළුවකු වූ අශෝක විකට නළුවකු ලෙසත් අභියෝග ජය ගත්තා?

සිනාවයි ඉනාවයි චිත්‍රපටයේ තාත්තා කළ විකට රංගනය ඒ අභියෝගයට හොඳ පිළිතුරක්.

* මවත්, පියාත් රංගන ශිල්පීන් වූ නිසාම ඔබලා හතර දෙනාටත් රංගනයට යොමු වෙන්න අදහසක් ඇති වුණේ නැද්ද?

තාත්තාගෙන් බාධාවක් නම් තිබුණේ නැහැ. අපේ තමයි උනන්දුවක් ඇති නොවුණේ. නංගි නම් රඟපෑමට යොමු වුණා. අපි කාටත් හොඳට සිංදු කියන්න පුළුවන්. ඒ පිහිටීම අපේ දරුවන්ටත් පිහිටලා තියෙනවා. නංගි නම් අදටත් සිංදු කියනවා.

* තාත්තාගේ නමට අදටත් පිළිගැනීමක් තියෙනවාද?

ඔව්. තාත්තාගේ නම කිව්වොත් ඒ පිළිගැනීම අදටත් තියෙනවා. අපි හතර දෙනාගෙම නමේ අග පොන්නම්ිපෙරුම. කොතැන ගියත් නම කියන කොට අර නළුවෙක් හිටියේ අශෝක පොන්නම්පෙරුම කියලා, එයාගේ කවුරුවත්ද කියලා අදටත් අහන අය ඉන්නවා.

* දරුවො හතර දෙනා හැටියට එකිනෙකා ගැන පුංචි හැඳින්වීමක් කරමු?

මම අනුරුද්ධ. තාත්තාගේ වැඩිමල් පුතා. මූල්‍ය සමාගමක සහකාර කළමනාකරුවෙක් ලෙසට මම රැකියාව කරනවා. මගේ බිරිය කමලිකා. දුව හෂිනි නයනතරා. මම සුමේධ. තාත්තාගේ දෙවැනි පුතා. ඇඟලුම් සමාගමක රැකියාව කරනවා. බිරිය කාමලීන්. පුතා ෂවීක. මම චාමින්ද තාත්තාගේ තෙවැනි පුතා. දිවයිනේ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරනවා. බිරිඳ සුරංජි. පුතා ආකාෂ්, දුව ආක්ෂා. මම තාත්තාගේ එකම දියණිය මංජුලා. රඟපෑමත් ගීත ගායනයත් මම කළා. දැන් නම් මම රඟපෑමෙන් ඉවත් වෙලයි ඉන්නේ. ගැහැනු ළමයි ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. බඹර සක්මන, කල්පාන්තයක්, කළු දිය පොකුණ ටෙලි නාට්‍යවල රඟපෑවා. විවාහවීමත් සමඟ මම රඟපෑමෙන් අයින් වුණා. අතරින්පතර අද වුණත් මම ගායිකාවක් ලෙස කටයුතු කරනවා. බොහෝ විට මම පරණ ගීත තමයි ගායනා කරන්නේ. මගේ මහත්තයා උපාලි. ඔහු ව්‍යාපාරිකයෙක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව චතුර්ණා, පොඩි දුව මන්දිරා. එයාලටත් හොඳට සිංදු කියන්න පුළුවන්.

* අම්මයි තාත්තයි එකට රඟපෑ චිත්‍රපට මොනවාද?

ලයට ලය, දෙහදක දුක, රුහුණු කුමාරි, ලන්ඩන් හාමු.

* තාත්තාට මුලින්ම අම්මාව හමු වෙලා තියෙන්නේ කොහොමද?

සැකය චිත්‍රපටයේ රඟපාන්න ගිහින්.

* තාත්තා වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයක් ඔබලාගෙ දායකත්වයෙන් කරන්න සූදානමක් නැද්ද?

කලක පටන් අපි තුළ එහෙම අදහසක් තිබුණා. ලබන අවුරුද්දේ අම්මා ලංකාවට ආපුවාම ඒ සඳහා අපි සූදානම් වෙනවා. තාත්තා රඟපෑ චිත්‍රපට එකතුවක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරමින් මේ ගුණානුස්මරණය කාටත් දැනෙන අයුරින් සංවිධානය කරන්නයි අපි කාගේත් එකම අරමුණ.