වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




නීරෝගි සුවය සොයා ජෝන් බැරිමෝ ඉන්දියාවට එයි

නීරෝගි සුවය සොයා ජෝන් බැරිමෝ ඉන්දියාවට එයි

ඉන්දියානු සිනමා කතාව 17

පාන්ඩුරංග් එස්.තලිගේරි ඉන්දියානු සිනමාවට දායක වනුයේ කැමරා ශිල්පියකු හැටියටය. ඒ අර්දේශර් එම්.අයිරානිගේ ස්ටාර් ෆිල්ම්ස් හරහාය.1923 වසරේ දී ඔහු මරාති නාට්‍ය රචකයකු වන මාමා වරේර්කාර් සමග එක්ව ඩෙකාන් පික්චර්ස් කෝපරේෂන් ආරම්භ කළේය.

එහි මුල්ම චිත්‍රපටය වනුයේ පූනා රේඩඩ් චිත්‍රපටයයි.ඉන් අනතුරුව ප්‍රභාවතී නම් චිත්‍රපටය නිර්මාණය කරන පාන්ඩුරංග් පූනාවෙට නුදුරු කිරකී හිදී යුනයිටඩ් පික්චර්ස් පිහිටුවා ගත්තේය.

ඔහු එවර සිනමාවට නංවන්නේ සාහිත්‍ය කෘතින් ඇසුරු කර ගත් නිර්මාණයන්ය.පාන්ඩුරංග් යුනයිටඩ් පික්චර්ස් සමාගම මගින් චිත්‍රපට 24 ක් නිර්මාණය කළේය.

ඔහු එවර වරේර්කාර් මෙන්ම වෙනත් මරාති රචකයන් වූ එන්.සී.කෙල්කාර්,වී.සී.අවුන්ද්කාර්,වී.එස්.ගුර්ජාර් සමග ද කටයුතු කළේය.1930 වසරේ දි පාන්ඩුරංග් නිර්මාණය කරන ලද කුනි ටාජ් චිත්‍රපටය සඳහා හෙතෙම පාදක කොට ගත්තේ ශේක්ෂ්පියර්ගේ මැක්බත් වෘතාන්තයයි.

වේදිකා නාට්‍යය සදහා කාන්තා චරිත නිරූපනයට දායක වෙමින් කලා ලෝකයට පිවිසෙන එන්.(නාරායනාරාඕ) ඩී.(දාමෝදාර්) සර්පොත්දාර් උපන්නේ මහාරාෂ්ට්‍රයේ රත්නගිරි දිස්ත්‍රික්කයේය.

කොලහාපූර් හි දී බාබුරාඕ පේන්ටර් විසින් ගොඩ නගන ලද මහාරාෂ්ට්‍ර ෆිල්ම්ස් සමාගම වෙත පැමිණෙන ඔහු භග්වත් භක්තා දාමාජි චිත්‍රපටයේ චරිත නිරූපණයට එක්වෙයි. පසුව සමාගමේ නළු නිළියන් පුහුනු කිරීමට දායකවන සර්පොත්දාර් පසුව පාන්ඩුරංග් සමග හවුල්ව ඩෙකාන් සහ යුනයිටඩ් පික්චර්ස් ගොඩ නැගීමට උර දුන්නේය.

සර්පොත්දාර් යුනයිටඩ් පික්චර්ස් සමාගම වෙනුවෙන් චිත්‍රපට නවයක් නිර්මාණය කළේය.මේ චිත්‍රපට සියල්ලම තිර රචනය කරන ලද්දේ ඔහු විසිනි.ටු ලිට්ල් අන්ටචබල්ස් නමින් ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට ඉන්දියානු කුල සම්ප්‍රදායන් විවේචනයට ලක් කළ චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර විය.

1927 වසරේ ඔහු තමන්ගේම ආර්යන් ෆිල්ම්ස් ගොඩ නංවන ලද අතර එහි දී ඔහු නිර්මාණය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව 24 ක් විය.

ඉන්දියානු සිනමාවේ බලවත් පරිච්ඡේදයක් ලියැවෙන පූනා නගරයේ සිනමාව ආරම්භය උදෙසා නිහඩ මෙහෙයක් කළ තැනැත්තකු ලෙස ද සැළකිය යුතු සර්පොත්දාර් ජීවත් වනුයේ වසර 44ක් වැනි කෙටි කලකි.

1896 වසරේ ඉපිද වසර 44 ක් එනම් 1940 වසරේ දී ජීවිතක්ෂයට පත් වන ඔහු සිය සිනමාව සඳහා බහුල වශයෙන් විෂය කර ගත්තේ සමාජයේ පහල තළයේ චරිත වීම කැපී පෙනෙන්නකි.

මහාරාෂ්ට්‍රය කේන්ද්‍ර කොට ගෙන ඉන්දියානු සිනමාව එක් පසකින් නැග එද්දි එයට පරිබාහිරව ඉන්දියාවේ දකුනින් පැන නැගුණ සිනමාව ද ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබිණ.මේ සදහා පුරෝගාමි වූවන් අතර ස්වාමිකන්නු වින්සන්ට්,ආර්.නටරාජා මුඩ්ලියර් සහ රඝුපති වෙන්කයියා කැපී පෙනෙති.

ස්වාමිකන්නු වින්සන්ට් දුම්රිය සේවකයකු ලෙස ජිවිතය අරඹා සංචාරක සිනමා කර්මාන්තයෙන් නමක් දිනූ අන්දම මෙයට පෙර මෙම ලිපි මාලාවේ සටහන් කළෙමි.එමෙන්ම මුල්ම දකුණු ඉන්දියානු චිත්‍රපටය වන කීචක වාදම් නිර්මාණය කරන ලද නටරාජා මුඩ්ලියර්ගේ අවසානය පිළිබදවද ලිව්වෙමි.

රඝුපති වෙන්කයියා නායිදු සිනමාවට පිවිසෙනුයේ ඡායාරූප ශිල්පියකු හැටියට ය.ආන්ද්‍ර ප්‍රදේශයේ මච්පට්නම් හි ජීවත් වූ ඉන්දියානු හමුදා නිළධාරියකු වූ සුබේදාර් අප්පයියා නායිදු ගේ දෙවැනි පුතු වූ වෙන්කයියා උපතින්ම හිතුවක්කාරයකු විය. ඔහුගේ වැඩිමහල් සොහොයුරු රඝුපති වෙන්කටරත්නම් මහා උගතකු නැතහොත් අධ්‍යාපනඥයකු වද්දී මදුරාසියේ ඉගෙනුමට යවන ලද වෙන්කයියා ඉගෙන ගැනිමට ආසා කරන ලද්දේ චිත්‍ර අඳීන්නටය.

පිය පාර්ශවය කලකට ඉහත ඉන්දියානු හමුදාවන්ට ද පසුව ඉන්දියාව පාලනය කළ නැගෙනහිර ඉන්දියානු සමාගමේ හමුදාවන්ට ද මදුරාසි හමුදාවේ තෙළිඟු රෙජිමේන්තුවේ ද සේවය කළ බැවින් ලබා ගත හැකිව තිබූ සියළු වරප්‍රසාදයන් කිසිවක් ලබා ගන්නට වෙන්කයියා උත්සාහ නොකළේය.චිත්‍ර ඇඳීමට අමතරව ඡායාරූපකරණය ද හැදෑරූ ඔහු 1909 වසරේ දි කැමරාවක් මිළයට ගත්තේය.

එමගින් කෙටි චිත්‍රපට 12 ක් නිර්මාණය කළ රඝුපති වෙන්කයියා පළමුව චෙන්නායි නගරයේ වික්ටෝරියා ශාලාවේ එකී චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලදී.

අනතුරුව ඔහු සිය චිත්‍රපට බුරුමයේ රැංගූන් නුවර ද ඉන්දියාවේ බැංග්ලෝරය සහ විජයවාඩා වේද ශ්‍රී ලංකාවේ කොළඹ සහ මහනුවර ද තිර ගත කරවන ලදී.සංචාරක සිනමා ව්‍යාපාරයෙන් උපයන ලද ධනය සියල්ලම ඔහු වැය කළේ චෙන්නායි හි මවුන්ට් පාරේ ගෙයිටි සිනමාහල ගොඩ නගන්නටය.

එය දකුණු ඉන්දියාවේ දී ඉන්දියානුවකු විසින් ගොඩ නංවන ලද මුල්ම සිනමාහල විය.පසුව ඔහු ක්‍රවුන් සහ ග්ලෝබ් නමින් තවත් සිනමාහල් දෙකක් ද විවෘත කරන ලදී.අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට එම සිනමාහල්වල තිර ගත වූ චිත්‍රපට විය.

1919 වසරේ දී ඔහු සිය මුල්ම චිත්‍රපට සමාගම ස්ටාර් ඔෆ් ඊස්ට් නමින් ගොඩ නැංවූයේය.ඔහු සිය පුතු වූ රඝුපති ප්‍රකාශ්(රඝුපති සූර්ය ප්‍රකාශ් නායිදු) සිනමාකරණය හැදෑරීම සදහා ලංඩනයට යැව්වේය.වසරක් පුරා ලන්ඩනයේ බේකර් සහ ඊලිංග් චිත්‍රාගාර සහ පැරිසියේ පැතේ චිත්‍රාගාරයේ ද සිනමාකරණය හැදෑරූ ප්‍රකාශ් පසුව මව්රට පැමිණ ඒ වන වට අලුත්ම තාලයේ චිත්‍රාගාරයක් ගොඩ නංවන ලදී. එයට උපකරණ විදේශයන්ගෙන් ආනයනය කරන ලදී.

එහි වහල මුළුමනින්ම සකසන ලද්දේ වීදුරු වලිනි. එබැවින්ම මේ චිත්‍රගාරය ග්ලාස් ස්ටුඩියෝ නමින් ප්‍රචලිත එහි මුල් ප්‍රාග්ධනය ඉන්දියානු රුපියල් ලක්ෂයක් විය.

එයට නිත්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කොට සිටියහ.පිතාපුරම් මහරාජා,ශ්‍රීමත් ආර්.කේ.චන්මුකම් චෙට්ටියාර්,දේවන් බහදූර් ගෝවින්දස් චතුර්බුජ් දොස් එම අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයන් වූහ.

පසුව පිය පුතු දෙදෙන එක්ව සමාගමේ මුල්ම චිත්‍රපටය නර්මාණය කරන ලදදේ භීෂ්ම ප්‍රතිඥා නමිනි.පිය පුත් යුවළම චිත්‍රපටය අධ්‍යක්ෂණයේ යෙදුන අතර එහි ප්‍රධාන චරිත රඟපෑවේ පෙගී කැස්ටලෝසහ බනී ඕස්ටන් දෙදෙනාය.මේ චිත්‍රපටය තෙළිඟු බසින් උප ශිර්ෂ ගැන්විණ. පසු කලක ඔවුහු ගජේන්ද්‍ර මොක්ෂම්,මතශ්‍යවතාරම්,නන්දනාර් යන චිත්‍රපට නිර්මාණය කරන ලදී.

මේ චිත්‍රපට සියල්ල හින්දු දේව කතා ඇසුරින් නිර්මාණය කරන ලද ඒවා වු අතර චිත්‍රපට සියල්ලම දෘශ්‍ය ප්‍රයෝග බහුල වශයෙන් අයත් වන ලෙස නිර්මාණය කර තිබිණ.මුළු මහත් ඉන්දියාව පුරාම මෙන්ම බුරුමය සහ ලංකාවේ ද තිර ගත කරන ලද මේ චිත්‍රපට සදහා හින්දි,දෙමළ,තෙළිඟු සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් උප සිරැසි සඳහන්ව තිබිණ.

1929 වසරේ දී රඝුපති වෙන්කයියා නායිදු ට අයත් සියළු දේපළ විකුණා දමන්නට සිදුවනුයේ ඔහුගේ අධික ණය බර නිසාවෙනි. එහෙත් පසු කලක අන්ද්‍රා වේ ප්‍රාන්ත රාජ්‍ය තෙළිගු සිනමාවේ යාවජීව සම්මානය රඝුපති වෙන්කයියා නමින් නම් කරන ලද්දේ අද ඉන්දියාවේ ධනවත්ම සිනමාවක් ලෙස සැළකෙන තෙළිඟු සිනමාව බිහි කිරීමට කළ මෙහෙයට කළ උපහාරයක් ලෙසය.

භීෂ්ම ප්‍රතිඥා චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසෙන්නකු වන ආනන්තනාරායනන් නාරායනන් ඒ වන විටත් මදුරාසි ප්‍රෙසිඩන්ට්ස් කොලීජ් වෙතින් උපාධියක් දිනා ගත්තෙකි.ඔහු සිය වෘත්තිය ජීවිතය අරඹනුයේ කල්කටාවේ පිහිටි ක්වීන්ස් සිනමාහලේ කළමනාකරු ලෙසය.

ඒ 21 හැවිරිදි වියේ දීය.එයින් පසු 1927 වසර වන විට එක්ස්බිෂන් ෆිල්ම් සර්විසස් නමින් තමන්ගේම චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් ගොඩ නංවන්නට සමත් වන ඔහු එහි ශාඛා දිල්ලිය,රැංගූන් සහ සිංගප්පූරුවේ ද පවත්වා ගෙන යෑමට තරම් ඉක්මන් දියුණුවක් ලත්තේය.

එම වසරේම ඔහු විදේශ ගත වනුයේ අයිරානි විසින් නිපදවන ලද අනර්කලී සහ නවාල් ගාන්ධිගේ බාලිදාන් චිත්‍රපටයන්ට විදෙස් වෙළඳ පොළක් ලබා ගැන්මේ අරමුණිනි.

මේ සංචාරයේ දී හෙතෙම හොලිවුඩ් පුරවරයට ද ගිය අතර ඉතා ඉක්මනින් එහි දැවැන්තයන් කිහිප දෙනෙකු සමග හොඳ මිත්‍රත්වයක් ද වර්ධනය කර ගත්තේය. යුනිවර්සල් චිත්‍රාගාරයේ සියළු අහුමුළු සොයා බලන ඔහුට එහි හිමිකරු කාල් ලෙම්ලේ සමීප මිතුරෙකු බවට පත්වෙයි. ඔහුගේ හොලිවුඩ් මිත්‍රයන් අතරට සිනමාකරු සිසිල් බි ඩිමෙල්,මේරි පික්ෆෝඩ්,ඩග්ලස් ෆොයාබෑන්ක්,ජෝන් බැරිමෝ ආදින් ද එක්වූයේ ඉක්මනිනි.

මේ සබැඳීයාව කෙතරම් ද යත් හොලිවුඩ් නළු බැරිමෝ තමන් ගේ ආතරයිටිස් රෝගයට පිළියම් සොයා නාරායනන්ගේ උපදෙස් පරිදි කේරළයට පැමිණ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැන්මට තරම් බලවත් එකක් විය.නාරායනන් මේ සබඳතාවයන්ගෙන් කෙතරම් පළ නෙළා ගත්තේ ද යත් නැවත ඉන්දියාවට පැමිණ මදුරාසියේ දැවැන්ත චිත්‍රාගාරයක් වූ ජෙනරල් පික්චර්ස් සමාගම ගොඩ නැංවූයේය.

මත්පැන් නිසා ඉන්දියානු ජනජිවිතයට වන්නා වූ විපත පාදක කර ගනිමින් ඔහු නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපටය ධර්ම පත්නී අධ්‍යක්ෂණය පැවරුනේ දකුණු ඉන්දියානු නළු සහ කතා රචකයකු වූ ටී.(ත්‍යාගරාජා)පී.(පරමශිවා)කයිලාසම් වෙතටය.දෙමළ ජාතිකයකු වුවද කර්නාටක ප්‍රාන්තයේ හැදුණු කයිලාසම් ගේ පියා මයිසූරයේ මහාධිකරණ විනිසුරු විය.දක්ෂ පාසල් සිසුවකු වූ කයිලාසම් මයිසූර් මහාරාජාගේ ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයේ ඉගෙනුම ලැබුවේය.

ඔහු ඉගෙනුම ලබන්නට ගියේ භූගෝල විද්‍යාව වුවද ඔහු එහිදී හදාරන ලද්දේ නාට්‍ය කලාවයි.කර්නාටක හාස්‍යාත්පාදක නාටකයේ පියා ලෙස සැළකෙනුයේ කයිලාසම්ය.

ජෙනරල් පික්චර්ස් ආයතනය අනතුරුව චිත්‍රපට රැසක් නිර්මාණය කළ අතර එම චිත්‍රපට අධ්‍යක්ෂණය පැවරුනේ ආර්.(රඝුපති)ප්‍රකාශ් ජිතේන් බැනර්ජි,සී.පුල්ලෙයියා සහ ,වී.වයි.රාඕටය.සිය සමාගම ආරම්භයේම ඒ වන විට කල්කටාවේ සිටි දක්ෂතම කැමරා ශිල්පීන් දෙපළක් වූ දිරේන් දේ සහ සයිලේන් බෝස් ගෙ සේවය ලබා ගැන්මට නාරායනන් සමත් විය.එමගින් මදුරාසියේ අලුත් කාර්මික ශිල්පින් පිරිසක් ජෙනරල් පික්චර්ස් හරහා ගොඩ නැගිණ.පසුකලක කතානාද සිනමාව ගොඩ නැංවිමේ දී ජෙනරල් පික්චර්ස් ආයතනය නවීකරණය වූයේ 1934 වසරේ දීය. ඒ ශ්‍රීනිවාස සිනෙටෝන් යනුවෙනි.එය මදුරාසියේ මුල්ම කතානාද චිත්‍රාගාරය විය.

එමෙන්ම නාරායනන් ගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් ළමා හා සමාජ රෝග පිළිබඳ නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයන් ඉන්දියානු වාර්තා සිනමාවේ වැදගත් නිර්මාණයන් විය.ඉන්දියානු නිදහස් සටනේ කැපි පෙනෙන මෙහෙයක් කළ නාරායනන් ඉන්දියාවට නිදහස ලබන්නට පෙරම එනම් 1939 වසරේ දී මිය ගියේය. එහෙත් මේ දැවැන්ත කාර්යන් කරන්නට ඔහුට දෛවය ඉඩ දී තිබුණේ ද වසර 39 ක් වැනි කෙටි කලකි. ඔහු උපන්නේ 1900 වසරේ ය.
 

මතු සම්බන්ධයි