වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුර දූත පුර ඇසුණු අමර ගී සර

සුර දූත පුර ඇසුණු අමර ගී සර

Amaradeva in Los Angeles

සකල කලාවන්ගේ අග්‍රඵලය කවියයි

දිගු හෑල්ලක් ලියා අමරදේවයන්, ඔබට හඳුන්වා දෙන්නට මම උත්සාහ නොකරමි. ඒ එය කෙතරම් අමනෝඥ ක්‍රියාවක්දැයි මා දන්නා හෙයිනි. ‘පුංචි රටේ මහා ගාන්ධර්වයා’ යනුවෙන් එතුමන් හඳුන්වා දීමට පමණක් මට අවසර....

පොතක්, පතක් කියැවීමේදී පවා අමරදේවයෝ තවමත් උපැස් යුවළක් නොපලඳති. ඔහුගේ දෙසවන ද ශ්‍රවණාධාරයක පිහිට පතන්නේ නැත. අතීත මතකයන් අතර ද හෙතෙම සැරිසරන්නේ නිරවුල් මනසකින් යුතුවය. වර්තමානය ගෙවෙන්නේ ද සම්මා සතියෙනි.

එහෙත් අමරදේවයෝ දැන් අසූහය වැනි වියේ පසුවෙත්. හැට පැන්නත් වඳුරා බිම නොයන කතාවට තව අර්ථකථනයක් දෙමින් එතුමන් පසුගිය දිනෙක අමෙරිකාව බලා ගුවනින් පියාසර කළේය.

කොහොමද ඔබතුමාගේ අමෙරිකා සංචාරය?

සිනාමුසු මුහුණින් මදෙස බලා හිඳිනා අමරදේවයන්ගෙන් මම එලෙස විචාළෙමි.

අවුරුදු හතරකට පසුවයි මම මේ අමෙරිකාවේ සංචාරය කළේ. ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් ඉන්න මේ අවස්ථාවේ මෙවැනි සංචාරයක නියැළෙන්න ලැබීම මා ලද භාග්‍යයක්. ඇත්තවශයෙන් ම මම හිතුවේ නෑ මට මේ වගේ ඈත දුරු රටක සංචාරය කරන්න පුළුවන් වේවි කියා. නමුත් අපේ මැතිනියගේ ආශිර්වාදය සහ දිරිගැන්වීම නිසා මේකට කැමැත්ත දුන්නා.

අමරදේවයන්, පි‍්‍රය බිරිය විමලාවෝ දෙස බලමින් එසේ පවසයි.

මම ඕකට කියන්නේ ආශිර්වාදය නෙවෙයි, අභියෝගය කියලා. මෙතුමා කැමැති වුණේ නෑ මේ සංචාරයට එක්වෙන්න. නමුත් කරුණු හොයලා බලලා මම ෂර්ලි අල්විස් ඇතුළු සංවිධායකයන්ට පැවසුවා කෙසේ හෝ අමරදේවයන් මෙම උළෙලට එක්කරගෙන එනවයි කියලා. මමත් මේ සංචාරයට එනවයි කිව්වට පස්සෙ තමයි එතුමා කැමැති වුණේ..

විමලාවෝ පවසන්නේ තෘප්තිමත් හැඟීමකිනි. අමරදේවයෝ හිස වනමින් එය අනුමත කරන්නේ කෘතගුණ පූර්වකවය.

අමරදේව ප්‍රතිභා ප්‍රණාම උලෙළ සංවිධානය කළේ ආසියානු සිනමා හා නාට්‍ය පදනම මගින්. එහි සභාපති ෂර්ලි අසන්ත ද අල්විස් මහතාගේ ආධ්‍යාසය ඉතා උතුම්. මෙය ගී ප්‍රසංගයක්ම නොවේ. අමරදේව ප්‍රණාම උළෙලක්. මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වගේ නගරයක මා වෙනුවෙන් මෙබඳු උපහාර උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ. සරච්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයත් මේ මාහැඟි කාර්යයට දායකත්වය ලබා දුන්නා.

මේ ප්‍රණාම උලෙළට සමගාමීව ඔබේ මියුරු ගී ගායනා සමඟ ‘මින්දද හී සර’ ගී ප්‍රසංගයත් පැවැත්වුණා..?

ඔව්.. ඇත්තෙන්ම එය අතිශය සෞන්දර්ය පූර්වක ප්‍රසංගයක්. මගේ ගායනයන්ට අමතරව එහි වෙසෙන ශ්‍රී ලාංකික රසිකයන් මගේ ගී කිහිපයක් ඉතාමත් ප්‍රාසංගික විචිත්‍රාංගයක් ලෙස ඉදිරිපත් කළා. මන බඳින නර්තන අංගයනුත් ඊට එක්ව තිබුණා. එහිදී ඉදිරිපත් කළ කථක් නර්තනය බෙහෙවින්ම මගේ සිත් ගත්තා. එය ඉතාමත් රමණීයයි.

මා හිතන්නේ ‘මින්දද හී සර’ ප්‍රසංගයේ වඩාත්ම විශේෂත්වය වුණේ ඔබතුමන්ගේ සජීවී ගායනා...?

මම ගායනා කළා ‘ශාන්ත මේ රෑ යාමේ’, ‘මින්දද හී සර’, ‘සසර වසන තුරු’, ‘වසන්තයේ මල්’, ‘සන්නාලියනේ’, ‘රත්න දීප ජන්ම භූමි’, ‘නිවහල් සිතුවිලි මවනා’, ‘ඈත කඳුකර’ යන මගේ මියුරුතම ගීත කිහිපයක්. “සුහද ඔබ හද මඬල” කියලා රසික ප්‍රණාම ගීතයකුත් ගායනා කළා. මේ ප්‍රසංගය සංගීතවත් කළේ තරුණ සංගීතවේදියකු වන නාලක අංජන කුමාර. අනෙක් වාද්‍ය ශිල්පීන් අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්. සුනේත්‍රා සරච්චන්ද්‍ර, ගාමිණී බාලසූරිය, මහේෂ් බාලසූරිය, ශාමෙන් බාලසූරිය වාදනයෙන් නාලකට සහාය වුණා.

ඔබතුමන්ට ලැබුණු ප්‍රතිචාර කොයි වගේද...?

ප්‍රතිචාර ඉතාම ආස්වාදනීයයි. ජීවිතයේ සැඳෑසමය ගෙවන මට එය විශාල ආශිර්වාදයක් වුණා. මට පුදුම ධෛර්යයක් ඇති වුණා, නොනැවතී මගේ නිර්මාණ කාර්යයන් ඉදිරියට කරගෙන යන්න. ඒ සඳහා හැකි ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් වීම ඉතාම අවශ්‍ය දෙයක් කියා මට ඒ ප්‍රතිචාරත් එක්ක වැටහී ගියා. මොකද මගේ ජීවිතයේ පරම ආධ්‍යාශය මෙවැනි නිර්මාණ සඳහා තව, තවත් දායක වීම. ගීතය, සාහිත්‍යය වැනි සුලලිත කලාවන් සඳහා වූ මගේ විශේෂ කෞෂල්‍ය, නිසර්ග සිද්ධ ප්‍රතිභානය ඊයේ වගේම අදත්, හෙටත්, මතුවටත් රැගෙන යායුතුයි කියන ජවය මට ඇති වුණා.

ඉකුත් මැයි 05 වැනි දින පැවැති මෙම ‘ප්‍රතිභා ප්‍රණාම’ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරාල් හෙක්ටර් වීරසිංහ මහතාය. එහිදී අමරදේවයන් වෙත සම්මාන, සහතිකයක් මෙන්ම ලක්‍ෂ කිහිපයක මූල්‍යමය ආධාර ප්‍රදානය කිරීම ද විශේෂත්වයකි. එකී කාර්යය උදෙසා ඉමහත් කැපවීමකින් ක්‍රියා කළේ ආසියානු සිනමා හා නාට්‍ය පදනමේ සභාපති ෂර්ලි අසන්ත ද අල්විස්ය. හේ අපේ කලාත්මක චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වෘත්තීය සිනමා ශිල්පියෙකි. 2000 වසරේ සිට ඔහු පදිංචිව හිඳින්නේ ලොස් ඇන්ජලීස් නුවරය. අමරදේවයන් එහි කැටුව යාමට අවැසි සියලු කටයුතු මෙරට සිට සංවිධානය කරමින් ෂර්ලිට අනගි සහායක් දැක්වූයේ නිෂ්පාදන කළමනාකරුවකුවන අප මිත්‍ර දීපාල් ගුණරත්නය.

අමරදේවයෝ මා හා සංවාදයට එක්වන්නේ කිසියම් සොම්නස් හැඟීමකින් යුතුවය. ඒ පි‍්‍රය තෙපුළින් මා වඩාත් ප්‍රමුදිත වෙමි. මා ලද මේ විරල භාග්‍යය එක් මාතෘකාවකට පමණක් ලඝු කරලීමට සිත ඉඩ නොදේ.

අද වෙනකොට සුභාවිත ගීතය යම් පිරිහීමකට ලක්වෙලා කියා චෝදනා නැඟෙනවා. ඔබ මේ පිළිබඳ දරන මතය...?

වෙනත් මානයකට ඔහු සිතිවිලි රැගෙන යමින් මම එසේ විමසමි.

හැබැයි ඒ චෝදනාව මම එක හෙළා පිළිගන්නේ නැහැ. සුභාවිත ගීත අදත් අතරින් පතර හෝ නිර්මාණය වෙනවා. පොදුවේ බලනකොට අර ජනපි‍්‍රය රැල්ලට හසුවෙලා සෞන්දර්යය රසය ටිකක් අඩුවෙච්ච ගතියක් තියෙනවා. නමුත් දැන් අපේ මේ රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි ශිල්පීන් අපේ ආභාසයෙන් සුභාවිත ගීත ගායනයට යොමුවී සිටිනවා.

නමුත් එතනින් පසු පරපුර ...?

අන්න ඒ පසු පරපුර තමයි සමහරවිට ජනපි‍්‍රය රැල්ලට හසුවෙලා අවර ගණයේ නිර්මාණ සඳහා යොමු වෙලා ඉන්නේ. නැවතත් අපේ සංස්කෘතික, සාහිත්‍ය, උපදේශක මණ්ඩලවල සහායත් අරගෙන උසස් නිර්මාණ සඳහා ඔවුන් යොමු කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කළ යුතුයි කියා මම යෝජනා කරනවා. අද නිර්මාණය වන බොහෝ ගීතවල සෞන්දර්යය රසයෙන් අනූන ලක්‍ෂණ අපි දකින්නේ නැහැ. ඒත් මේ පරිහානිය පිළිබඳ අපට නව පරපුරටම පමණක් ඇඟිල්ල දිගු කරන්න බැහැ.

ඇතැම් ප්‍රවීණයන් නව පරපුරට අවලාද නගද්දී, ඔබ හැමදාමත් නවකයන් ගේ නිර්මාණ අගැයීමට ලක් කරමින් ඔවුන් දිරිමත් කළා. මේ මුදිතා ගුණය අප ඔබගෙන් දකින සුවිශේෂී ගුණාංගයක්..?

මම හිතන්නේ ඉතාම ආධුනිකයෙක් වුණත් ඔහු ගේ යම් හැකියාවක් තියෙනවානම් මම එය අගය කරනවා. ඒ පුරුද්ද කුඩා කල පටන් මගේ ළඟ තිබුණා.

දැන් ඔබතුමානේ කියන්නේ ජනකාන්ත, මනකාන්ත, රූකාන්ත කියලා...?

ඔව්, රූකාන්ත මට හරි ආදරෙයිනේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කරපු සංදර්ශනයේ දී ඔහු මට ආමන්ත්‍රණය කළේ අමරදේව රජතුමනි කියලා, මතකයි නේද..?

ඔබතුමා සමඟ රූකාන්ත ඒ වේදිකාවේ ‘ඉරහඳ පායන ලෝකේ’ ගීතය ගායනා කළා...?

අන්න හරි, ඉතින් ඇත්ත වශයෙන්ම රූකාන්ත ඉතා හොඳ ගායකයෙක්. සංගීතඥයෙක්. ඒ වගේ අද ඉන්න ප්‍රතිභාසම්පන්න නව පරපුරත් අපි අගය කරන්න ඕනෑ. රස පූර්ණ නිර්මාණකරණයේ යෙදෙන්නට අපි පුළුවන් තරම් සහාය දෙන්න ඕනෑ, උපදෙස් දෙන්න ඕනෑ. දැන් මගෙ එකම පුතා රංජන, ඔහුගේ ආකල්ප ප්‍රශස්තයි. යන්න ඕනෑ මාර්ගය ඔහු දන්නවා. යථාරූපී සංගීතයේ පැවැත්ම සඳහා ඔහු කැපවී සිටිනවා. රංජන හොඳ තබ්ලා වාදකයෙක්. ඒ වගේම ඔහුට හොඳ සෞන්දර්ය ඥානයක් තියෙනවා.

ඇයි ඔහු ගේ ගායනා මාධූර්යය...?

මගේ ජන්ම දිනය දා නෙළුම් පොකුණ රඟහලේ පැවති ප්‍රසංගයේ දී ඔහු ‘ආරාධනා’ ගීතය ගායනා කළා, ඉතාම මනහර විදිහට. අන්තිමට මමත් ඔහු සමඟ එකතු වුණා. ඒ වගේමයි මගේ සුභානි දියණිය. ඇයත් හොඳට ගායනා කරනවා. නර්තනයට උපන් හපන්කම් දක්වන්නියක් මගේ වැඩිමහල් දියණිය පි‍්‍රයංවදා. ඉතින් මේ තිදෙනාම මගේ දිවි ගමනට සහාය දෙනවා.

’සරසවිය’ හා අමරදේව අතර ඇත්තේ අපූර්ව සබැඳියාවකි. 1964 වසරේ පැවැති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය උදෙසා අමරදේවයන් සම්මානයට පාත්‍ර වූයේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙනි. එම සම්මාන උළෙලේදීම නන්දා මාලිනිය හා නාරද දිසාසේකර වසරේ හොඳම ගායක, ගායිකා යුවළ සේ සම්මානනීය වූයේ ‘රන්මුතුදූව‘ චිත්‍රපටයට අමරදේව නිර්මාණය කළ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය සඳහාය.

‘ජගන් මෝහිණී

මධුර භාෂිණී

ච ාරු දේහිනී

කමල වාසිනී

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී’

මේ තමයි ‘සරසවිය’ සම්මාන උළෙලේ තේමා ගීතය. චන්ද්‍රරත්න මානවසිංහයන් ගේය පද රචනයෙන් දායක වූ මේ සරස්වතී අභිනන්දන ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ මා විසින්. එහෙත් බොහෝ දෙනකු දන්නේ නෑ මේ ගීතයේ ඉතිහාසය. එම පළමු සම්මාන උළෙලේදීම හොඳම සංගීත අධ්‍යක්‍ෂ ලෙස මා සම්මානයට පාත්‍ර වීම අමරණීය සිදුවීමක් හැටියටයි මා සලකන්නේ. මානවසිංහයන්ගෙන් පසුව, මහගම සේකර, අරිසෙන් අහුබුදු, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, ඩබ්ලිව්. අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු විශාල ගේය පද රචකයන් පිරිසක් මගේ නිර්මාණවලට දායක වුණා.

අමරදේව - මහගම සේකර සුසංයෝගය හරහා මම හිතන්නේ ඉතා විශිෂ්ට සුභාවිත ගී රැසක් අපේ ගීත ක්ෂේත්‍රයට එක් වුණා. ඒත් සේකරයන්ගේ වියෝවත් සමඟින් ඒ සුසංයෝගය බිඳ වැටෙනවා. දැන් වික්ටර් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස් සුසංයෝගය වුණත් එහෙමයි. මේ අත්වැල ගිලිහීයාම මම හිතන්නේ නිර්මාණකරුවකුගේ ගමනට එල්ලවන බාධකයක්...?

තරමක බාධාවක් දැනෙනවා. නමුත් අපේ තිබෙන භාෂාමය දැනුමෙන් ඒවා සංස්කරණය කරගෙන, නව පරපුරටත් ගුරුහරුකම් දෙමින් හා ඔවුනුත් මේ ගේය පද සාහිත්‍යයට එක්කර ගනිමින් දිගු ගමනක් අපි ආවා.

මම හිතන්නේ ‘සුභාවිත ගීතය’ කියන සංකල්පය ගොඩ නැගෙන්නෙම ගීත රචනා කලාව කේන්ද්‍ර කරගෙන. වර්තමානයේ එවැනි ප්‍රශස්ත මට්ටමේ ගීත රචනා අපට හමුවන්නේ නෑ නේද?

ගේය කාව්‍යය රචනා බිහි වෙනවා අඩුයි. ඇත්ත වශයෙන්ම ගේය කාව්‍ය කියන්නේ ගැයීමට සුදුසු පදවැල් කියන එකයි. ගේය පද කිව්වම සාමාන්‍ය පදවැලක් නෙවෙයි. ලිරිකල්.

ඔබතුමා වරෙක සඳහන් කළා හොඳ ගීත නිබන්ධකයකු සොයා ගැනීම කළුවර කාමරයක ඉන්න කළු බළලකු සොයා ගැනීම වගේ අසීරු කරුණක් කියා...?

ඔව්, හංගේරියානු ජාතික සංගීතඥයකු වරෙක පැවසූ කතාවකුයි මා එසේ ප්‍රකාශ කළේ. සැබැවින්ම උසස් ගී පද රචනයක් සංගීතඥයකුට මහානර්ඝ මාණික්‍යයක් බඳුයි. ගායන ශිල්පියාට හෝ ශිල්පිනියටත් එබඳුමයි. මේ තුන් ඈඳුතු සුසංයෝගයෙන් තමයි පරිසමාප්ත ගී නිර්මාණයක් බිහිවන්නේ. පදමාලාවක් ගීතයක් බවට පත්වන්නේ තනුවක් යොදා එය ගායනා කළ පසුවයි. ඒත් දුර්වල පද මාලාවකින් ප්‍රශස්ත ගීතයක් නිර්මාණය වන්නේ නැහැ.

ඔබ කියන පරිදි සංගීතඥයාටත් ස්වකීය භාෂාව පිළිබඳ පරිණත දැනුමක් තිබිය යුතුයි?

පැහැදිලිවම. සංගීතඥයා ස්වකීය භාෂාවේ වාග් රටාවන්ගේ සූක්ෂම ලක්ෂණ මැනැවින් හඳුනාගැනීම අත්‍යාවශ්‍යය වූ සාධකයක්. කවර භාෂාවක වුවත් එයට ආවේනික වාග් රටාවන්හි නෛසර්ගික ගති ලක්ෂණ පද්ධතීන් තියෙනවා. දේශීය නාද රටාවන්ට ජීවය ලබා දෙන්නේ මෙම ගති ලක්ෂණ පද්ධතියයි. සංගීත නිර්මාණයක මධුර වූ ස්වර සංකලන රටාවද මේ ගති ලක්ෂණ අනුව පිහිටා තිබිය යුතුයි. නිර්මාණ සමුච්චයකට දේශිය වූ අනන්‍යතා ගුණය මෙමගින් පිවිසෙනවා.

නමුත් සම්භාව්‍ය සංගීත නිර්මාණයේදී වචනවලට නැතිනම් භාෂාවට ඔය කියන තැන ලැබෙන්නේ නැහැනේ?

වචනවලට ගෙවා යා හැකි දුර නිමවෙන තැන සංගීතයේ උපත සිදු වෙනවයි කියා කියනවනේ. ඇත්ත වශයෙන්ම ඔපෙරා, කැන්ටාටා, සිම්පති, ඒකල වාදන(ඉධතධ) මේවානේ නියම සංගීත කෘති. ගීතය කියන්නේ විශ්ව සංගීතයේ ඉතා කුඩා ශාඛාවක් පමණයි. හැබැයි ලෝකය පුරාවටම ජනප්‍රියත් ගීතයම තමයි. නියම සංගීතය අවාචිකයි. වචනවලින් තොරයි. ඉන්දියාව වැනි මහා සංගීත සම්ප්‍රදායන්ගෙන් යුත් රටවල වචන සහිත සංගීතය සම්භාව්‍ය ගණයේ ලා සැලකෙන්නේ නැහැ. අපේ රටේ එවැනි සම්භාව්‍ය සංගීතය රස විඳිය හැකි රසිකයන් ඉතාමත් අල්පයි.

ඇයි ඒ...?

එයට සාධාරන හේතු කාරණා නැතුවා නොවේ. අමෙරිකාවේ ස්ටීවන් පොස්ටර්, ප්‍රංශයේ ක්ලෝඩ් ඩෙබුසි, රුසියාවේ චෛකෙවුස්කි, ජර්මනියේ බ්‍රාම් හා බෙතෝවන් වැනි සංගීතඥයන්ගේ නිර්මාණ ලාංකේය රසිකයන්ට රස විඳින්නට බැරි ඔවුන් යුරෝපීය මහා සංගීත සම්ප්‍රදායට ආගන්තුක නිසා. ආසියාතික සම්ප්‍රදායන් ඔස්සේ තමයි අපේ සංගීතය ගොඩනැගී තිබෙන්නේ. අනෙක් හේතුව තමයි අපේ සංගීත වංශය එතරම් දීර්ඝ නොවීම, ජන ගී, ජනප්‍රිය ගීතය, සුභාවික ගීතය (ඒපබ ඉධදඨ) මත තමයි අපේ සංගීතය ගමන් කරන්නේ.

අමරදේවයෝ බොහෝ සේ අලස සුවයට කැමැත්තෝය. එනමුදු එතුමන් එය සිය නිර්මාණ දිවියට කිසි විටෙකත් බාධාවක් කර ගත්තේ නැත.

ඔබ තාමත් අලස සුවය විඳින්නට කැමැති ඇති...?

ඔව්... හැබැයි මම දැන් ඉස්සරට වඩා අලුයමින් පිබිදෙනවා. පොත පත කියවනවා. කාර්යබහුල දිවි පෙවෙතකට හුරුව සිටි මට. මේ ජීවිතේ සැඳෑ සමය සුවදායක ඉසිඹුවක්. ජීවිත ගමනේ ගෙවා ආ මග ආවර්ජනය කරද්දී සිතට දැනෙන්නේ තෘප්තිමත් හැඟීමක්. දුක්ඛ දෝමනස්සයන්ගෙන් සපුරා විනිර්මුක්ත නොවුණත් ඒ අතීතය හරිම සුන්දරයි. ආශ්වාදජනකයි. මහගම සේකර අපි දෙන්නට කිව්වේ ‘ගී පොතයි – මී විතයි’ කියලා. සේකර ගී පොත – මම මී විත.

‘ගී පොතයි – මී විතයි, ඒ දෙකම මට එපා’ කිව්වේ නෑනේ කවුරුත්...?

සේකර වරෙක ලියූ ඒ ගේය කාව්‍යය මම සංගීතවත් කොට ගායනා කළා. එය අදටත් ජනප්‍රිය ගීයක්. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒ කාලේ පොඩි මී විතකුත් පානය කළා. සේකරත් එහෙමයි.

වගකීම් ගොර සපුන්

සිඳ හෙළයි සංගීත කාව්‍යා

ගුමි දෙවයි නිබඳ අප පැතුමන් සපුරා

වගුරවයි ගී නැඹ - සදිසි රස මදිරා

සිහින බඳු සිහින් හඬ

ගෙවී යති...

අමරදේවයන් සිය ‘නාද සිත්තම්’ කෘතියේ ඉංග්‍රීසි ජාතික කවියකු වූ පී. බී. ෂෙලී ගේ කාව්‍යයක අනුවාදයක් එසේ සටහන් කර තිබූ වගක් මට මතකය.

ප්‍රේමකුමාර එපිටවෙලයන්ගේ ‘සැළලිහිනි සංදේශය’ දෘශ්‍ය කාව්‍යයේ මම කවි ගායනා කළානේ. එය මගේ කලා දිවියේ වැදගත් පිය සටහනක්. එහිදී මම මේ ගායනා කරවා.

‘සුරරද සමන් සමගින් සුරඟන එවර

පැහැනද මධාරා පරසතු මල් පතර

කර පුද වඳින සඳ මුණි සිරිපා තඹර

සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර’

සිය මධුර, මනෝහර හඬින් අමරදේවයෝ එසේ ගයති. ඒ කවි ගායනය කෙතරම් සුගායනීයදැයි මට සිතේ. සිතට දැනෙන්නේ අපමණ පහන් හැඟුමකි. ටෙනී, ෂර්ලි, දීපාල් සමඟ අමරදේවයන් බැහැදැකීමට පැමිණි ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වන දමින්ද මඬවලද දැහැනට සම වැදී ඒ මියුරු කවි නදෙහි මිහිර විඳිනු මට පෙනේ. කෙතරම් විරල කෙතරම් ආශ්වාදනිය මොහොතක්ද? මට එසේ සිතේ.

ඔය කවිය අහලා තමයි ඩී. බී. ධනපාල මහත්මයා මාව ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත පීඨයට යවන්න ‘ලංකාදීප’ පුවත්පත හරහා අරමුදලක් පිහිටෙව්වේ. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ‘අමරදේව‘ වුණේ එතනදියි.

තව පොඩ්ඩෙන් අපට ඔබතුමා හඳුන්වන්න වෙන්නේ ‘මේඝවර්ණ’ කියායි?

මම අතීතය ආවර්ජනය කරමි. අමරදේවයන්ගේ මුවග මත තුටු හසරැල්ලක් මෝදු වේ.

ආ... සේරම මතකයි නේද...?

එතුමන් මගෙන් එසේ විමසන්නේ සොම්නස් හඟුමෙන් යුතුවය.

ඉන්දියාවට යන්න කලින් මගේ නම වෙනස් කරන්න ඕනෑ කියලා යෝජනාවක් ආවා. එක් එක් අය විවිධ නම් යෝජනා කළා. මේඝවර්ණ කියන නම යෝජනා කළේ මා මිත්‍ර දොස්තර ගුණදාස අමරසේකරයන්. එදිරවීර සරච්චන්ද්‍ර මහාචාර්යතුමා තමයි අමරදේව කියන නම යෝජනා කළේ. හැමෝම කැමැති වුණා ඒ නමට.

අමරදේව... අමරණීය දෙවියන්...?

ඇයි වරෙක අරිසෙන් අහුබුදු ශූරීන් කවක් රචනා කළා, මා පිළිබඳ මේ විදිහට...

දෙවරක් දෙවි

නමෙනුත් හිමි

ගැයුමෙන් කිචි

ඔබ දෑ සවි

එතුමන් දෙවරක් දෙවි කිව්වේ අමර කියන්නෙත් දෙවියෙක්. දේව කියන්නෙත් දෙවියෙක් කියන එකයි. එතකොට ‘ගැයුමෙහි කිවි’ කවීන්ද්‍රයා. ඒ කියන්නේ කවියා තමයි සකලවිධ කලාවන්ගේ අග්‍රේෂ්වරයා. කවිය තමයි අග්‍රඵලය. හොඳ ගීයක් කියන්නේ හොඳ කවියක්. හොඳම නාට්‍යය අපි කියන දෘෂ්‍ය කාව්‍යය කියලා. හොඳම සිම්ෆනියට අපි කියනවා ‘ශ්‍රව්‍ය කාව්‍යය. කියලා. හොඳම සිනමාව ‘සිනමා කාව්‍යය’ හැටියට හඳුන්වනවා. ඒ වගේ සියලු කලාවන්ගේ අග්‍රස්ථානය කවිය.

ඔබතුමාත් හොඳ කවියෙක්...?

ගේය කාව්‍යය කිහිපයක් මම මුල් කාලේ රචනා කළා. ‘ශාන්ත මේ රෑ යාමේ’, ‘පීනමුකෝ කළු ගඟේ’, ‘වඳිමු සුගත ශාක්‍ය සිංහ’ වැනි ගීත බිහිවුණේ ඒ කාව්‍යය රචනා ඇසුරෙන්.

කාලය කෙමෙන් ගෙවී යයි. එහෙත් කිසිවකුටත් ඒ වගක් නොහැඟේ. විමලා අමරදේව මැතිනිය, ෂර්ලි, දීපාල්, දමින්ද, ටෙනී අප සංවාදයට සවන් යොමු කර සිටින්නේ මහත් ඕනෑකමිනි. අමරදේවයන්ද මේ කතාබහට එක්ව සිටින්නේ අපමණ සංතෘෂ්ටියකින් යුතුව යැයි මට හැඟේ.

ෂර්ලි, දැන් මෙතුමා හමුවීම මා ලද භාග්‍යයක්.

අමරදේවයන් ෂර්ලි දෙස බලමින් මා සුරත දැඩිව අල්ලාගනිමින් එසේ පවසයි. මසිත සියුම් ආඩම්බරයකින් වෙළී යයි. සැබැවින්ම මේ මහා පුරුෂයා කෙතරම් සොඳුරු, නිහතමානී ගුණනේ පිරිපුන් අයකුදැයි මට සිතේ.

‘සසර වසන තුරු

නිවන් දකින තුරු

පිං කෙත හෙළ රන් දෙරණේ

යළි උපදින්නට

හේතු වාසනා වේවා... හේතු

වාසනා...’

අමරදේවයන් එදා එසේ ගයන්නට ඇත්තේ සිය උපන් දේශය පිළිබඳ කොතරම් අභිමානයකින්, පහන් සිතිවිල්ලකින් විය යුතුද? එහෙත් ජාතියේ පිනට උපන් මේ මහා කලාකරුවාගේ නිවෙස පවා පෙර දිනක බැංකුවට උගස් වන්නට ගියේ ගත් ණය මුදලකට හිලව් වශයෙනි. එදා මේ අකටයුත්ත පිළිබඳ ‘ලක්බිම’ පුවත්පත හරහා එවකට එහි කර්තෘවරයාව සිටි වත්මන් ලේක්හවුස් සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් නැඟූ ප්‍රබල හඬ තවමත් අපට අමතකව නැත.

ඈත කඳුකර හිමව් අරණේ

සීත චන්දන ලපළු හෙවණේ

සුළං රැල්ලේ පාව එන්නේ

ඔහුගෙ නාමය වේ...

අමරදේවයන් සිය ගීත අතුරෙන් ඔහු වඩාත් ප්‍රිය කරන ගීය අප හමුවේ ගයයි. හදපුරා නැගෙන පහන් සංවේගය කඳුළු බිඳක් වී නෙත් කෙවෙනි මත විසිර යන්නේ කාටත් හොර රහසේය.