වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කැලෑහඳේ පෙනී හිටියා මිස රඟපෑවේ නැහැ

කැලෑහඳේ පෙනී හිටියා මිස රඟපෑවේ නැහැ

උදුලා දාබරේ ඇත්ත පහදා දෙයි

අප ද්වීපයේ බයිස්කෝප් යුගය ගැන කතා කරද්දී චලන චිත්‍රපට ප්‍රදර්ශනයේ ආරම්භය හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ හැකිය. ඉන් ඉක්බිති ඇරැඹෙන නිහඬ යුගය තුළ අපේ නිිර්මාණ තුන හතරකට වඩා සොයා ගැනීමට නොමැත. කතා නාදයෙන් ප්‍රබලත්වයට පත්වන පික්චර් යුගයේදී නම් කතා කළ හැකි නිර්මාණ රැසක් බිහිව තිබේ. ඒවායින් හඳුනා ගත් නළු නිළි කැල අති විශාලය. ඔවුන්ව පැරැණි හෝ ප්‍රවීණ කියා ආමන්ත්‍රණය කිරීම ගරු බුහුමනකි. මොවුන්ගෙන් වත්මන ජීවත්ව සිටින අතළොස්සක් පමණ අයගෙන් මැයත් ඒබන්දියකි. නමින් උදුලා දාබරේ යයි කීවාට වරදක් නැත.

* ඔබේ චරිතාපදානයේ ආරම්යක් වශයෙන් වාසගම සමඟ නම, උපන් දිනය, පවුලේ තොරතුරු හා බලාපොරොත්තුª විස්තර කරන්න සතුටුද?

මගේ වාසගම ගංගොඩවිලිගේ, නම උදුලා දාබරේ. ඒ අනුව පියා ජී. ආර්. දාබරේ. රජයේ සේවකයෙක්. මව අතාඋඩාරච්චිගේ එලිසියා දාබරේ. පවුලේ සාමාජික දරු පිරිස හතයි. ඉන් එක් කෙනෙක් පිරිමි. වැඩිමහල් ගැහැනු දරුවන් තිදෙනකු බාල වයසේම මිය ගොස් තිබෙනවා. මගේ උපන් දිනය සැප්තැම්බර් 22 වැනිදා. ඉගෙනීම කළේ මරදාන ලෝරන්ස් හා නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයන්ගෙන්. පාසැල් යන කාලායේ එකම පැතුම ගුරුවරියක් වීම. මොකද දන්නවාද? ඔවුන්ගෙන් සමාජයට සිදුවන අපරිමිත මෙහෙවර වෙනුවෙන් ලබන ගරු බුහුමන් මගේ පුංචි සිතට කාවැදී තිබුණ නිසා.

* පැතුම් ඉටු නොවුන තැන ඔබේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වන්නේ කෙළෙසද?

මගේ පාසැල් දිවිය කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ළමා පිටිය වැඩ සටහන් සමඟ බැඳුණු සමයක්. වරක් මා ඉදිරිපත් කළ විකට ජවනිකාවකට ඔහු බොහෝ සෙයින් පැහැදිලා සිටියා. ඔහුට පළමුවරට ගීත ලියන්න ලැබුණේ වරද කාගෙද චිත්‍රපටයේ. මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයේ රූපගත වෙමින් තිබුණු මේ චිත්‍රපටයේ විකට චරිතයට නවක නිළියන් තිදෙනෙක්ම ඉන්දියාවට කැඳවා තිබුණත් අධ්‍යක්ෂවරයා ඔවුන් ගැන සෑහීමකට පත්වෙලා නැහැ. එදවස චිත්‍රපටයක් සඳහා තෝරා ගත්තත් චිත්‍රාගාරය තුළ සිදු කෙරෙන තිර හා කට හඬ පරීක්ෂණ දෙකෙන් සමත්වීම අනිවාර්යයි. නැත්නම් ආපසු ගෙදර තමා.

වරද කාගෙද චිත්‍රපටයේ විකට නිළි පුරප්පාඩුව ගැන දැනගත් අබේසේකර මහත්තයා මාව සිනමාස් අධිපතිතුමා වෙතට යොමු කළා. ඒ වෙන කොට චිත්‍රපටයක රඟපා සිටි තවත් නිළියක් මේ සඳහා පැමිණ සිටි නිසා අපි දෙන්නාගෙන් කවරකු තෝරා ගන්නවාදැයි විනිශ්චය කර ගැනීමට සිරිසේන විමලවීර කාසියක් උඩ දැම්මා. කාසියේ වාසිය හිමි වුණේ මට. ඒ අනුව වරද කාගෙද චිත්‍රපටයේ මාග්‍රට්ගේ චරිතය රඟපෑම පිණිස මම 1954 පෙබරවාරි 04 වැනිදා මදුරාසිය බලා පිටත් ගියා. එම චරිතය ගොඩ නැ¼ගුණේ බර්ට්‍රම් ප්‍රනාන්දු නිරූපණය කළ සෝමපාල නම් චරිතයත් සමඟ.

* ඔබ මීට පෙර 1953 මදුරාසියේ සිට ඩල් චිත්‍රාගාරයට ගොස් තිබෙන කතාව බොරුවක්ද?

මිලී කහඳවල මගේ ඥාති සහෝදරියක්. විවාහක දෙදරු මවක්ව සිටි ඇයට කැලෑහඳ චිත්‍රපටයේ ජයපාල මැතිනියගේ චරිතය රඟපෑමට ඉන්දියාවට යාමට සිදු වුණා. ඇගේ තනි නොතනියට මාවත් කැටුව ගියා. මෙතරින් පිට දේශයක සිරිය දැක බලා ගන්න තිබුණ ආශාව නිසාම ඒ ගමනට එකඟ වුණා. එතකොට මගේ වයස අවුරුදු 14 පමණ ඇති. ළමා විය පසු නොකළ මට එහිදී අහඹු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වීම අදත් පටලැවිල්ලක්. එනම් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඇතුළු අපේ නළු නිළියන්ගේ බලවත් ඉල්ලීම පිට කැලෑහඳ චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ ගමේ කෙල්ලක් ලෙස පෙනී සිටීම. එය මගේ කුලුඳුල් සිනමා රංගනය කියා වරද්ද ගන්න එපා. සමූහ දර්ශනයක පෙනී සිටීමක් විතරයි. විශේෂත්වය සෙනඟ ගොඩක් මැද්දේ සිටි එකම ලාංකික කාන්තාව මම වීමයි. අන් සියලු දෙනාම ඉන්දියානු අතිරේක නළු නිළියන්.

* ඔබ මුල් චිත්‍රපට කිහිපයේ විකට චරිතවලට කොටුව සිටීමට හේතුවක් තිබුණාද?

වරද කාගෙද විකට චරිතය අතිශයින් රසික සිත් බැඳ ගත්තා. පාසැල් ගමන නතර කරන්න සිදු වුණා. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන් පවා පැසසුම් ලැබුවා. නිෂ්පාදකවරයා සිනමාස් සමාගමේ දෑ අවුරුදු ගිවිසුමකට බඳවා ගත්තා. ගමන් බිමන් සාප්පු ගියේ සමාගමෙන් ලබා දුන් වාහනවලින්. ඔවුන්ගේ රදල පිළිරුව චිත්‍රපටයේ අයේෂා නම් විකට චරිතයත් ජනප්‍රිය වුණා. සහාය නළුවා ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා. දොස්තර චිත්‍රපටයේ මැණිකා නම් මෙහෙකාරියගේ චරිතයට පණ දුන්නා. මට විහිළු තහළුවලින් බැහැර චරිතාංග නිළියක් ලෙස පෙරට එන්න ලැබුණේ දුප්පතාගේ දුක චිත්‍රපටයෙන්. මල්ලිකා නමැති එම චරිතය එහි දෙමළ නිර්මාණයේ රඟපෑවේ ලලිතා. ඇය ට්‍රැවල්කෝර් සහෝදරියන්ගේ වැඩිමලා.

* ඔබ මෙතැනින් පසුව විකට රංගනයෙන් මිදුණු බව කියනවාද?

නළඟන, සුවිනීත ලාලනී, අක්ක නගෝ, සූරයන්ගෙත් සූරයා හැරුණු විට දස්කම, ගැහැනු ගැට, පිරිමියෙක් නිසා, දරුවා කාගෙද, සුලලිත ශෝබනී, සුභසරණ සැප සිතේ, සැකය, සීගිරි කාශ්‍යප, කපටිකම, මනමාලයෝ, සරණ, දැන් මතකද, හිතුවක්කාරයෝ, චණ්ඩි සිරියා, රන්දිය දහර යන චිත්‍රපටවල රඟපෑවේ හිනා නොයන චරිත. දැන් මතකද චිත්‍රපට කතාවේ මට හිමි වෙලා තිබණේ උප ප්‍රධාන චරිතයක්. දවසක් දා නමින් එහි ආරම්භක නිෂ්පාදකවරයා දාස් මොහොමඩ්. රූපගත කිරීම් කිහිපයක් කර තිබුණු මෙය කැමරා ශිල්පී ලෙනින් මොරායස්ගේ මැදිහත්වීමෙන් වෙනත් නිෂ්පාදකවරයකුට බාර දීමෙන් පසු මගේ චරිත විකාශනය කෙටි කළා.

* මෙම චිත්‍රපට ලැයිස්තුව නිරීක්ෂණය කරන විට ඔබට ප්‍රධාන චරිතයක් ලද චිත්‍රපටයක් සොයා ගන්න නැත්තේ මන්ද?

මම ලද දෙයින් තෘප්තිමත් වන ගැහැනියක්. සිනමා චරිතවලට පොර කෑවේ නැහැ. ලැබුණු චරිතයට උපරිමය ඉෂ්ට කළා. එදා ජනප්‍රියත්වයක් දිනා ගැනීමට චිත්‍රපටයක කතා නායිකාව වෙන්නම උවමනා කළේ නැහැ. ගීතමය ජවනිකාවල ප්‍රධානත්වය ලැබීමම ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න. මුල් චිත්‍රපටයේම මගේ චරිතයට ගී දෙකක් ඇතුළත්ව තිබුණා. රදල පිළිරුව, දොස්තර, දුප්පතාගේ දුක, දස්කම, නළඟන, ගැහැනු ගැට, සුවිනීත ලාලනී යන චිත්‍රපටවලත් මම ගීතමය ජවනිකා නිරූපණය කෙරුවා. දොස්තරගේ දිළිඳු බව ලැබ ඉපදුනි මෙලොවේ, දුප්පතාගේ දුකේ පුරහඳ ලෙස මම බැබළෙනවා හා ආයි ආයි ලොව පෙරළෙනවා, නළඟනගේ පැණි වෑහෙන කතා වගේ ගීත සිනමා රසිකයින්ට දැනුත් අමතකවීමට නොහැකියි.

* ඔබ සිනමාස් සමාගමේ ස්ථිර රංගන ශිල්පිනියක් වුවත් එහි නිෂ්පාදන තුනකට පමණක් රඟපෑම සීමාවීමට හේතුව කුමක්ද?

මාව සිනමා නිළියක් කරන්න මාර්ගය විවෘත කර දුන්නේ කරුණාරත්න අබේසේකර. උනන්දු කෙරුවේ මව. මගේ රංගන දිවිය යම් පසුබෑමකට ලක් කෙරුවෙත් ඇයමයි. එය ද්වේෂයෙන් කළ ක්‍රියාවක් නොවෙයි. වනමෝහිනී චිත්‍රපටයේ රිචඩ් ඇල්බට්ගේ පෙම්වතියට තෝරා ගත්තේ මාව. එම අඩ නිරුවත් චරිත රංගනයට මව එකඟ වුණේ නැහැ. තදින්ම විරුද්ධත්වය පෑවා. මම මවගේ තීරණය මත වනමෝහිනී රඟපෑමෙන් ඉවත්වීම නිසා සිනමාස් සමාගම ඉන් ඉදිරියට නිෂ්පාදනය කළ කිසිම චිත්‍රපටයකට ආරාධනා කළේ නැහැ. ඔය වගේම සුහද සොහොයුරෝ චිත්‍රපටයට මා ඉල්ලූ මුදලට නිෂ්පාදකවරයා එකඟ නොවීමෙන් එම චිත්‍රපට චරිතය වෙන නිළියකට පැවරුවා. ඇය විජිත මල්ලිකා.

* ඔබ සිනමා රංගන ශිල්පිනියක් පමණකැයි පැවසීම සාධාරණද?

සිනමාවට පිවිසීමෙන් අනතුරුව වේදිකාවටත් පය තිබ්බා. රන් එතනා ඓතිහාසික නාට්‍යයේ මං ප්‍රධාන භූමිකාව නිරූපණය කළා. එහි ගැමුණු කුමාරයා එඩී ජූනියර්. මෙහි සැලකිය යුතුª චරිතයක් රඟපෑ ශිල්පියකු මට ගෙනා විවාහ යෝජනාව මල් ඵල නොගැනී යටපත්ව ගියා. තව බර්නාඩ් විජේවර්ධනගේ වරෙන්තුව නාට්‍යයේ ස්ටැන්ලි පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු සමඟ රඟපෑවා.

නැවත වරක් ස්ටැන්ලි පෙරේරා හා පර්ල් වාසුදේවි, ඩේවිඩ් ධර්මකීර්ති හර්බට් ජයසිංහ, එන්. ආර්. ඩයස් එක්ක ගනුදෙනු නාට්‍යයේ රඟපෑ මම සිවම්මා ධනපාල රංගනයටත් දායකත්වයක් ලබා දුන්නා. සමාජ පෙරළිය තවත් නාට්‍යයක්. එළිිවෙන තුරු, ගම සුන්දරයි රේවතී, රජ වරම්, සියපත, ගඟුලෙන් එතෙරට මං රඟපා තිබෙන ටෙලි නාට්‍ය.

* ඔබ මෙතෙක් කළ රංගන ඇගැයීමට භාජනය වෙලා තිබෙනවාද?

සිංහල සිනමාවට සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් 1977 සරසවිය, 1994 මාධ්‍යවේදී සහයෝගිතා හා 1978 ඕ. අයි. සී. සම්මානයෙන් පිදුම් ලැබුවා. කලා භූෂණ සම්මානය 2004 දීත්, ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2004 පුරෝගාමි සම්මානය 2005 දීත්, හෝමාගම විභූති සම්මානය හා ඩ්‍රිම්ස් ආයතනයේ උපහාරය 2011 දීත් පිරිනැමුවා.

* ඔබ රඟපෑමෙන් තොර යුග ජීවිතයක් ගැන නොසිතුවේ කුමන හේතුවක් පෙරදැරි කරගෙනද?

අප හැමෝටම යුතුකම් කියලා කොටසක් පැවරෙනවා. මටත් මගේ විශ්‍රාමික පියා, මව සතුටින් ජීවත් කරවන්න අවැසි වුණා. රඟපෑමෙන් ඉපයූ මුදලින් ඔවුන්ව පෝෂණය කළා. පියාගේ මරණින් පස්සේ මව රැක බලා ගැනිමේ පූර්ණ වගකීම මා වෙත පැවරුණා. එබැවින් 1977 පෙබරවාරි 17 වැනිදා ඇය මිය යන තුරුම විවාහයක් ගැන සැලකිලිමත් වුණේ නැහැ. ඉන් පසුව මගේ පැවැත්ම උදෙසා ජාතික ලොතරැයි මණ්ඩලයේ රැකියාවට ගියා. එතැන 18 අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කළා. එහිදී හරි හම්බ කරගත් මුදල් මම ආයෝජනය කළේ නිවසක් මිලදී ගැනීමට. එය තමා මත්තේගොඩ නිවාස සංකීර්ණයේ අංක 5/බී/20/8 දරණ මේ නිවහණ.

* සිතින් තවමත් වියපත්ව නැති ඔබ මේ වන විට රඟපෑමෙන් සමුඅරන්ද?

මම සිනමාවට වගේම රඟපෑමට ඇති ලෙන්ගතුකම මෙතෙකැයි කියන්න අපහසුයි. තවමත් නොනැසී පවතින මා පිළිබඳ මතකය, ජනප්‍රියත්වය, ස්ථාවරය ගොඩ නැ¼ගුණේ එයින්. ඊට කෘතගුණ සැලකීමක් හැටියට මියැදෙන තෙක් රඟපෑමෙන් ඉවත් වෙන්න කොහෙත්ම බැහැ. වයසට සරිලන චරිතයක් ලැබුණොත් ඉදිරියටත් රඟපෑමට සූදානම්. එය රිදී තිරය, වේදිකාව, රූපවාහිනිය කියා භේදයකින් තොරයි.

මම රඟපෑ උපාලි පියරත්නගේ ප්‍රමාද වැඩියි හා ලාල් ප්‍රියදේවගේ යළි පිපුනෙමි චිත්‍රපට ළඟදී ප්‍රදර්ශනය කරාවි. දැනට වසර 23 පුරාවට හොබවන මත්තේගොඩ බෞද්ධ සමිතියේ උප සභාපති තනතුර දරමින් පුණ්‍ය කටයුතු සඳහා වැඩි කාලය මිඩංගු කරනවා.