වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මිහිලිය හදද්දී මාර දේවල් වුණා

මිහිලිය හදද්දී මාර දේවල් වුණා

ස නි ධ ප ගැන අපූරු මතක පෙළක්

සනිධප විදෙස් සංචාර රැසක....

ප්‍රසංග වේදිකාවේ පෙරළි කරන ස්වර හතරේ නමක් ඇති සංගීත කණ්ඩායම කුමක්දැයි මා ඇසුවොත් ඔබේ නිසැක පිළිතුර වනුයේ සනිධප යි. සංගීත් ඉවත්වීමෙන් අනතුරුව යම්කිසි පසුබෑමකට ලක්වුවද මේ වනවිට ඔවුන් යළිත් ප්‍රාණවත් වෙමින් සිටියි.

එපමණක් ද නොව මෙම මස අගදී රටවල් ගණනාවක පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහා සහභාගී වීමට ද සනිධප සූදානම්. එය සංගීත් නොමැතිව යන කණ්ඩායමේ පළමු විදේශ සංචාරයයි.

එහි විස්තර සහ සනිධප සංගීත කණ්ඩායමේ අලුත් වැඩ කටයුතු ගැන කියන්න කණ්ඩායමේ නිත්‍ය ගායක නොයෙල් රාජ් සරසවියට පැමිණියා. ඔහු පැවසූ අදහස්වලින් කිහිපයක එකතුවකි මේ.

මේ දවස්වල සංගීත කණ්ඩායම හරිම කාර්යබහුලයි. ප්‍රසංගවලින් කිසිම අඩුවක් නැහැ. රසික රසිකාවන් ආයෙත් අප හා එක්වෙලා කියලා දැනෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ සංචාරය. ජුලි 07 වැනිදා වෙනකම් ඕස්ට්‍රියාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය ආදී රටවල් රැසක සනිධප ප්‍රසංග පවත්වනවා. ආත්මා ලියනගේ විතරයි ගායකයකු විදියට සහභාගී වන්නේ. මේක තමයි සංගීත් අයින් වෙලා ගියාට පස්සේ අපේ පළමු විදෙස් සංචාරය.

දැන් කවුද සනිධප හි නායකයා ?

එහෙම කෙනෙක් නැහැ. දැන් අපි ඔක්කොමලා නායකයො වගෙයි කටයුතු කරන්නේ. තම තමන්ගේ රාජකාරිය හරියට කරනවා. ඉදිරියටත් එහෙමම සිද්ධ වේවි.

සංගීත කණ්ඩායමකට නායකයකු අත්‍යවශ්‍යය කියලා කිව්වොත් ?

ඒක බොරුවක්. සංගීත කණ්ඩායමකට අවශ්‍ය හොඳ කළමනාකරුවෙක් පමණයි.සංගීතයේ දි නායකයො නැහැ.

සනිධපලගෙ නැවත පිබිදීමක් සිදුවී ඇති බවක් පෙනෙනවා. කොහොමද එහෙම වුණේ ?

අප පුථවන් තරම් ස්ව නිර්මාණ කළා. මමත්, අපේ කණ්ඩායමේ අනෙක් ගායකයින් වන නිලංග, ප්‍රසංග තිසේරා, සංජු ගැයූ ගීත ඉතාම ජනප්‍රිය වුණා. මගෙ ‘ දුක වැඩි තරමට, ළං වෙලා සිතින්’ ප්‍රසංගගේ ‘ මගෙ නොවන ආදරය’ නිලංගගේ ‘සඳ කින්නරාවි’ වගේ ඉන් කිහිපයක් සජීවී ප්‍රසංගවලදී මිනිස්සු ඉල්ලනවා. ඇත්තටම කිව්වොත් ඒ ගීත සංගීත කණ්ඩායමේ ගීත හැටියටයි අප පිළි ගන්නේ. ඒවාවලින් සනිධප ඉදිරියටම ආවා.

ඔබලාගේ අලුත්ම ගීතය වන මිහිලිය ගැන කතා කළොත් ?

ඇත්තටම ඒක පරිසරය ගැන නිර්මාණය වුණු එකක්. අමුතුම වෙනසකුත් එක්ක යම් පණිවුඩයක් දෙන්නයි අපට ඕනෑ වුණේ. ජගත් පෙරේරා ගීතය ලිව්වා. සංගීතය අපේ. එහි වීඩියෝව මේ දිනවල ප්ලේ වෙනවා. අපේ කොස්ටියුම් එහෙම පරිසරයේ ස්වාභාවික දෑ වලින් නිර්මාණය කළේ. ලක්ෂ හතරක් විතර වැඩේට වියදම් වුණා. අපේ ප්‍රසංගයක් ආරම්භ කරන්නේ එම ගීතයෙන්.

මිහිලිය හි වීඩියෝව කරද්දි ඔබ ඇතුළු සැවොම හරිම බයෙන්ලු හිටියේ නේද?

ඉංගිරියේ අත හැරදා තිබූ රබර් කර්මාන්ත ශාලාවකයි මෙය රූගත කළේ. අප එතනට ගියාට පසුවයි දන්නේ ඒ හරියේ සෑහෙන්න සර්පයෝ ඉන්නවා කියලා. අවට කිහිපදෙනෙකුත් ඒක අපට දැන්වුවා. වාසනාවට රූගත කිරීම අවසන් වනතුරු ගැරඩි පැටියෙක්වත් ඇහැට දැක්කේ නැහැ. ඒත් අපි එනකම්ම බය වෙලා උන්නේ.

සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හඳුන්වා දෙන්නටයි ඇරැයුම?

මම සහ නිලංග නිත්‍ය ගායකයන්. බේස් ගිටාර් - අජිත් ගමගේ. රිදම් - ගිටාර් සංජු පෙරේරා. ලීඩ් ගිටාර් - ශාන් ඩයස්. ඔක්ටර් පෑඩ් - අජිත් ගමගේ. ඩම්ස් - ප්‍රසංග තිසේරා. කීබෝඩ් - චන්දන ජයතිලක.

කණ්ඩායමේ හැමෝටම ඉක්මනින් කේන්ති යනවා කියලා දැන ගන්නට ලැබුණා?

අපේ සෙට් එකේ හැමෝම කුකුල් කේන්ති කාරයෝ තමා. ඒත් ඉතාම ඉක්මනින් කේන්තිය නිවෙනවා.

කොහොමෙද ඔබගේ සංගීත කටයුතු?

කණ්ඩායමේ වැඩ තමයි.

ඔබ ඉස්සර තරම් වේග රිද්ම ගීත ගයනවා අඩුයි නේද?

එහෙම එකක් නැහැ. මං හිතන්නේ පසුගිය කාලයේ මම කිව්වේ විරහා ගීත හින්දා වෙන්න ඇති ඔය ප්‍රශ්නය අහන්න ඇත්තේ. හැබයි ප්‍රසංග වේදිකාවේ පෙර වගේම බයිලා කියනවා. සමහරු හිතාගෙන හිටියා නොයෙල් රාජ්ට කියන්න පුළුවන් වේග රිද්ම සහ හින්දි ගීත විතරයි කියලා. මට හැම වර්ගයකම ගීත කියන්න පු¼ථවන්. ඒකයි ඔප්පු කරලා පෙන්නුවේ.

සංගීත් සහ ඔබලා අතර යම් ගැටුමක් එහෙම ඇතිවී නැතිද?

අනේ නැහැ. අප අදටත් හොඳ යාළුවෝ. පුරුදු පරිදි මිත්‍ර සමාගම පවත්වනවා. කණ්ඩායමෙන් අයින් වුණාට ඔහු අපේ මිතුරෙක්. අනික අප නිතර දෙවේලේ හමුවන මනුෂ්්‍යයෝ.

සනිධප ලා සම්බන්ධ කර ගන්න කාට හෝ වුවමනා වුණොත්?

0777745754 කියන මේ අංකය අපේ ශාන්ගේ. ඔහු හරහා කණ්ඩායමේ ඕන අයකුව සම්බන්ධ කර ගන්න පුළුවන්.