වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලොවම පහන් කරන බොදු සිනමා නිර්මාණ

ලොවම පහන් කරන බොදු සිනමා නිර්මාණ

සිය ගෞරවය, භක්තිය, සිනමා භාෂාවෙන් සම්මා සම්බුදු හිමියන්ට පූජා කළ අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණ වැඩිපුර නරඹන්න ලැබෙන්නෙත්, එවැනි නිර්මාණ වඩාත්ම බිහිවන්නේත් පින්බර වෙසක් මාසයේදීයි. බුදු බැතියෙන් රසික හදවත් පිවිතුරු කළ එවන් විශ්ව සිනමාපට ගණනාවකි. සම්බුදු චරිතය විදහා දක්වන සිනමාපට සේම, බෞද්ධ දර්ශනය පෙන්නුම් කරන සිනමා සිත්තම් ද ඒ අතර තිබේ.

බුද්ධ චරිතය වටා ගෙතුණු පළමු සිනමා පටය ලෙස හඳුනාගෙන ඇත්තේ ‘බුද්ධාදේව්’ සිනමා පටයයි. ඉන්දියානු සිනමාවේ පියා වශයෙන් සලකන දාදාසහීබ් පල්කේ සිය දේශයෙන් බිහි වූ අසමසම ආගමික නායකයාගේ චරිතාපදානය ලොවට ගෙන ආ සිනමා පියාණන් ද වෙයි. ‘බුද්ධාදේව්’(Buddhadev – Lord Buddha) තිරගත වී ඇත්තේ 1923 දීයි. ඊට දෙවසරකට පසු බෞද්ධ සිනමා වංශ කතාවට සුවිශේෂී නිර්මාණයක් එක් විය. ඒ ‘ද ලයිට් ඔෆ් ඒෂියා’ (හින්දියෙන් ප්‍රේම් සන්යාස්) සිනමා පටයයි. ජර්මානු සිනමා නිර්මාණකරුවකු වූ ෆ‍්‍රාන්ස් ඔස්ටින් තිරයට රැගෙන ආ ‘ද ලයිට් ඔෆ් ඒෂියා’ සිනමා පටයේ බුදු හිමිගේ චරිතයට පණ පොවා ඇත්තේ ඉන්දියානු සිනමාවේ පුරෝගාමියකු වූ හිමාන්ෂු රායිය. ශ්‍රීමත් එඩ්වින් අනොල්ඩ්ගේ ’ද ලයිට් ඔෆ් ඒෂියා’ කෘතිය පාදක කරගෙන සිනමා පටය නිර්මාණය විය. ඉන්දියාවේදීටත් වඩා සිනමා පටය සාර්ථක වූයේ යුරෝපයේ යි. ‘බුද්ධාදේව්’ මෙන්ම ‘ද ලයිට් ඔෆ් ඒෂියා’ සිනමා පටය ද නිහඬ සිනමා පටය. මේ සිනමා පටය ශ්‍රී ලංකාවේ සහ බටහිර මැලේසියාවේ තිරගත කිරීම තහනම් කර තිබුණි.

1952 මාර්තු 20 වැනි දින තිරගත වූ “ඩෙඩ්කේෂන් ඔෆ් ද ග්‍රේට් බුද්ධා” ජපන් සිනමාවේ පුරෝගාමියකු වූ තෙයිනොසුකී කිනුගාසාගේ විශිෂ්ට සිනමා පටයකි. 1953 කාන්ස් සිනමා උළෙලට ද ‘ඩෙඩ්කේෂන් ඔෆ් ද ග්‍රේට් බුද්ධා’ නිර්දේශ විය.

දෙදහස් පන්සිය සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉන්දියානු රජය 1957 දී “ගෝතම ද බුද්ධා’ නමින් වාර්තා සිනමාපටයක් තිරයට ගෙනා අතර එය මධුමතී, පරිනීතා, සුජාතා, බන්ධනී වැනි විශිෂ්ට සහ ජනප්‍රිය සිනමාපට නිර්මාණය කළ බිමල් රෝයි ගේ නිෂ්පාදනයකි. අධ්‍යක්‍ෂණය රාජ් බාන්ස් ඛාන්නාගේ ය. 1957 කාන්ස් සම්මාන උළෙලේ දී විශේෂ සහතිකයක් සිනමාපටයට හිමි විය. ‘ගෝතම ද බුද්ධා’ කළු සුදු සිනමාපටයක් වූ අතර ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය, ඓතිහාසික බිම්, අජන්තා බිතුසිතුවම් මඟින් මේ විශිෂ්ට නිර්මාණයට සොඳුරු බවක් එක්විය.

1960 දී තිරගත වූ ‘අංගුලිමාල්’ නමින් ජීවත් වූ මිනීමරුවකු බුදුහිමියන් ගේ මඟ පෙන්වීමෙන් යහපත් වූ ආකාරය කියවෙන්නකි. භාරත් භූෂන්, නිම්මි මෙහි ප්‍රධාන තාරකා යුගල වූහ. ආම්රපාලි නම් වෛශ්‍යා වෘත්තියේ යෙදුණු කාන්තාවක බුදු දහමින් ජීවිතය ඒකාලෝක කර ගන්නා කතාව සිනමාපටයකට නැඟුණේ 1966 දීය. ‘භාරතයේ ගිනි සිළුව‘ ලෙසින් හැඳින් වූ වෛජයන්තිමාලා ආම්රපාලි චරිතයට පණ පෙව්වාය. චේතන් ආනන්ද අධ්‍යක්‍ෂවරයා ද ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ උපස්ථායකයා වූ ආනන්ද හිමියන්ට උමතුවූ කාන්තාවකගේ චරිතයක් අන්ජලී (1957) නමින් තිරයට ගෙන ආවේය. 2001 දී තිරගත වූ ෂාරුක් ඛාන් සහ කරීනා කපූර් රඟපෑ අශෝක් සිනමාපටය ද බුදු දහමේ යහ බලපෑම විදහා පෙන්වන්නකි.

ශාඛා නම් ජපන් සිනමාපටය 1961 දී කෙන්ජි මිසුමි විසින් නිෂ්පාදනය කරන ලදී. 1963 දී එය ‘බුද්ධා’ නමින් අමෙරිකාවේ තිරගතකර ඇත.

1964 පෙබරවාරි 13 වැනි දා ‘සියොක්ගොමොනි’ (ශාඛ්‍යමුණි බුද්ධා) නමින් බුදු සිරිත ඇසුරින් කොරියාවෙන් ද සිනමා නිර්මාණයක් බිහි විය. එය මහායාන බුදු දහමට අනුව කෙරුණු නිමැවුමකි. හර්මන් හේස් ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූණු කොන්රඩ් රූක්ස් අධ්‍යක්‍ෂණය කළ ‘සිද්ධාර්ථ’ ද සාර්ථක සිනමා නිර්මාණයකි.

‘බුද්ධා’ නමින් 1997 දී ජී. ඒ. ශේෂගිරි රාඕ විසින් සිනමා නිර්මාණයක් සිනමාවට නැඟුව ද එය නරඹන්නට ලැබුණේ ඩීවීඩී තැටි වශයෙනි. මේ සම්බුදු චරිතය වටා ගෙතුණු දිගම සිනමාපටයයි.

කේ. රාජා ශේකර් 2008 දී නිපදවූ ‘තථාගත බුද්ධා’ තෙළිඟු සිනමා නිර්මාණයකි. පසුව එය හින්දි හඬ කවා තිරගත කරන ලදී. ඩීවීඩී තැටි ලෙසිනි ද සිනමාපටය අලෙවි කෙරිණි.

බුදු චරිතය දැන් සජීවීකරණ සිනමාපට ලෙසින් නව තාක්‍ෂණික ලොවේ ද ප්‍රතිනිර්මාණය වී අවසන්ය. 2004 දී ඉන්දියාවේ තිරගත වූ ‘ද ලෙජන්ඩ් ඔෆ් බුද්ධා’ ද 2007 දී තායිලන්තයේ තිරගත වූ ‘ලයිෆ් ඔෆ් බුද්ධා’ ද ද්විමාන සජීවීකරණ සිනමා පටය. ජපානයේ 2011 දී ‘බුද්ධා’ නමින් සජීවීකරණ සිනමා පටයක් පෙන්වා ඇත.

සම්බුදු සිරිත වටා පබැඳුණු නවතම සිනමා පටය ‘බුද්ධා - දි ඉනර් වොරියර්’ ලබන වසරේ දී තිරගත වීමට නියමිතය.

ඇතැම් බොදු සිනමාපටවල රඟපෑම නිසා තමන්ගේ ආගම වෙනස්කරගත් නළුවෝ ද සිටිති. කීනු රීව්ස් එවැන්නෙකි. ‘ලිට්ල් බුද්ධා’ (1993) සිනමා පටයේ රඟපෑමෙන් පසු ඔහු බුදු දහම වැලඳ ගත්තේය. ලිට්ල් බුද්ධා බර්නාඩෝ බර්ටොලුකි නම් ඉතාලියානු අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයකි.

ලෝක සිනමාවට එක් වූ විශිෂ්ට චිත්‍රපට අතර බොදු දර්ශනය ඇසුරින් ඬර්මාණය වුණු සිනමාපට රැසකි. සම්සාරා (2001) සිනමා නිර්මාණය ඉන් අති විශේෂය. දුකින් මිදීමට පිරිමියකු සටන් කරන අතර ගැහැනියක් ආදරයෙන් ජීවිතයේ විමුක්තිය සොයා යන්නීය. අවසානය කොයි කවුරුත් මවිත කරන්නකි.

ඉන්දියානු, ඉතාලියානු, ප්‍රංශ සහ ජර්මානු සිනමාපටයක් වන මෙය පෑන් පාලින් ගේ අධ්‍යක්‍ෂණයකි. පනස් එක්වැනි මෙල්බෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රේක්‍ෂකාගාරයේ වැඩිම මනාපය දිනූ සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සම්සාරාය. හොඳම ඉතාලි සහ ප්‍රංශ සිනමාපට දහය අතරට ද සිනමා පටය නම් කෙරුණි.

2003 වසරේ දී තිරගත වූ “ස්ප්‍රින්ග්, සමර්, ෆෝල්, වින්ටර්.... ඇන්ඩ් ස්පි‍්‍රන්ග්” කුඩා පාවෙන පන්සලක වැඩ වසන වයස්ගත භික්‍ෂූන් වහන්සේ නමක් හා ගෝල භික්‍ෂූන් නමක් අතර කාලානුරූපව වෙන සිද්ධි මාලාවකින් සමන්විත දකුණු කොරියානු සිනමාපටයකි. සිනමා පටයේ අධ්‍යක්‍ෂ කිම් කී-ඩුක්ය. 2004 දී අමෙරිකාවේ සිනමා පටය තිරගත කර ඇත. මෙය ද ඩොලර් 9,524,745 ක ආදායමක් ලබා, බොක්ස් ඔෆීස් වාර්තා පිහිට වූ සිනමා පටයකි.

පීස්ෆුල් වොරියර් (2006) ජිම්නාස්ටික් ක්‍රීඩකයකුට බොදු හිමි නමක් මුණ ගැසීමෙන් ඇතිවන අධ්‍යාත්මික වෙනස සහ ජීවිතයේ බලාපොරොත්තු ඉටුකර ගන්න ලැබෙන හැකියාව පෙන්නුම් කෙරෙන්නකි. වික්ටර් සැල්වාගේ අධ්‍යක්‍ෂණයක් වන මෙය ඉහළම ආදායමක් ලැබූවකි. සිනමා පටය ජර්මානු හා අමෙරිකානු නිර්මාණයකි.

ජාකොබ්ස් ලැඩර් (1990) දරුවකු අහිමි වූ පියකුගේ අනුවේදනීය කතාවක්ය. අමෙරිකානු සිනමා පටයක් වන මෙය ද ආදායම් වාර්තා පිහිටු වූවකි.

ට්‍රැව්ලර්ස් ඇන්ඩ් මැජීසියන්ස් (2003) භූතාන සිනමා පටයේ පිටපත සහ අධ්‍යක්‍ෂණය ඛියෙන්ට්යේ නෝබුගේය. තිබ්බත බුදු දහම ඇසුරින් නිර්මාණය වුණු සිනමා පටය භූතානයේ වාගේම ඔස්ට්‍රේලියාවේ ද ජනපි‍්‍රය වූවකි.

ද කප් (1999) ප්‍රංශයේ පැවැත්වූණු ලෝක සොකර් ශූරතාවලිය තිබ්බත සරණාගත නව යෞවනයන් පිරිසක් ජය ගන්නා ආකාරය දැක්වේ. ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි තිබ්බත සරණාගත ගම්මානයේ සිනමා පටය රූගත කර ඇත.

මිලරේපා (2006) ද තිබ්බත සිනමා පටයකි. නිතින් චොක්ලිං ගේ අධ්‍යක්‍ෂණයක් වූ මෙහි වීර ක්‍රියා, මිථ්‍යාවන්, ඉතිහාසය සියල්ල කැටිවූවකි. මිලරේපා (2009) දෙවැනි සිනමා පටයේ දී කථානායකයා ජීවිතයේ විමුක්තිය ළඟාකර ගනී.

කුන්දන් (1997) අමෙරිකානු සිනමා පටය අමෙරිකානු ඩොලර් 5, 684, 789 ක වාර්තාගත ආදායමක් ලැබූවකි.

මෙය 1937 සිට 1959 කාලය දක්වා තිබ්බතයේ වූ සිදුවීම් මාලාවක් පෙළ ගැස්වූ බෞද්ධ සිනමා පටයකි.

එර්ලෙයුච්තුන්ග් ගැරන්ටියර්ට් (1999) සෙන් බුදු දහම පාදක කොටගත් දෙආකාරයක සොයුරන්ගේ කතාවකි.

සෙන් ජනකතාවක් වූ ‘වයි හෑස් බෝධි – ධර්ම ලෙෆ්ටි ෆො ද ඊස්ට්?’ 1989 තිරගත වූ දකුණු කොරියානු සිනමා පටයකි. යන්ග් – ක්‍යුන් බේ එහි අධ්‍යක්‍ෂවරයායි. සම්මානනීය සිනමා කරුවකු වූ බේ සිනමා පටය නිපදවීම සඳහා සත් වසරක් කැප කළේය. 1986 කාන්ස් සිනමා උළෙලේ දී සිනමා පටය තිරගත කරන ලදී. මෙය භාවනාමය සිනමා පටයකි. සිනමා පටය කොරියාවේ අති සාර්ථක ලෙසින් තිරගත වූයේ ඉහළම ආදායමක් ලබා දෙමිනි.

1989 දී ලෙඛානෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම සිනමා පටය ලෙසින් ද ගෝල්ඩන් ලෙපඩ් සම්මානය දිනාගත්තේ මේ සිනමා පටයයි.

’සෙවන් ඉයර්ස් ඉන් ටිබෙට්’ (1997) දලයි ලාමාගේ මිතුරකු බවට පත්වන ඔස්ට්‍රේලියානු කඳු නගින්නකු ගැන කියවෙන කතා පුවතකි. ජින් – ජැක්ස් අනෞද් මෙහි අදියුරුවරයායි. සුපිරි නළු බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

ද ග්‍රේට් පිල්ගි‍්‍රම් (2009) ඉන්දියාවෙන් චීනයට සුන්සෑන්ග් භික්‍ෂූන් වහන්සේ බුදු දහම සම්බන්ධ පොත්, ඉගැන්වීම් යළි රැගෙන ගිය ආකාරය දැක්වේ.

කර්ම (2006) පුනරුප්පත්තිය ගැන කියවෙන තිබ්බත කතා පුවතකි. ‘වීල් ඔෆ් ටයිම්’ (2003) දී තිබ්බත බුදු දහම ඇසුරින් විශිෂ්ට ජර්මානු අධ්‍යක්‍ෂ වර්මර් හර්සොග් නිමවූ වාර්තා සිනමා පටයකි.

මයි රීඉන්කානේෂන් (2011) ප්‍රවීණ අධ්‍යක්‍ෂිකා ජෙනිෆර් ෆොක්ස් ගේ අධ්‍යක්‍ෂණයකි. ඉතාලි, අමෙරිකා, බ්‍රිතාන්‍ය, තිබ්බත සිනමා පටයකි. සිනමා පටයෙන් තිබ්බත බුදු දහම ගැන මනා අවබෝධයක් ලැබිය හැකියි.

ශ්‍රී ලංකාවේ මෙන් පිරිසුදු ථෙරවාදී බුදු දහම පවතින තායිලන්තයෙන් බුදු චරිතය සහ බුදු දහම තේමා කරමින් බිහි වූ සිනමා වෘත්තාන්ත රැසකි..Laung Ta(2000) ok Baytong(2003), ද හෝලි මෑන් (2005), ද ගෝල්ඩන් රයිඩර්ස් (2006), ද හෝලි මෑන් 2 (2008), Yom – Pee – Poa(2009), ඉන් ද ෂැඩෝ ඔෆ් නාගා (2010), සීක්‍රට් සන්ඩේ (2010, ද හෝලි මෑන් 3 (2010), මයින්ඩ් ෆුල්නස් ඇන්ඩ් මර්ඩර් (2011), දි අවුට්රේජ් (2010), බ්ලැක් සිල්ක් (1961), අංගුලිමාල (2003), අංගුලිමාල කතා වස්තුව, හූ ඊස් රනින් (1997) ඉන් කිහිපයකි.

චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය වැනි රටවලින් සිනමාවට නැඟෙන්නේ මහායාන ආගමට අයත් සෙන් බුදු දහම ඇසුරින් නිර්මාණය වූ කතා පුවත්ය. එවැනි සිනමාපට රැසකින් ලෝක ජනතාවගේ සිත් පහන් වී ඇත.

ඛඥද, බන්මෙල් තකාෂිගේ අධ්‍යක්‍ෂණයකි. ජපන් සිනමා පටයක් වූ මෙයින් කියවෙන්නේ “සෙන්” නම් බෞද්ධ උපදේශකයාගේ ජීවිත කතාවයි. වසර 1200 දී උපන් පුද්ගලයකු ස්වඋත්සාහයෙන් බුදු දහම හදාරා අවසානයේ සියල්ලන්ටම මග පෙන්වන්නකු බවට පත්වේ. ‘අමංග්ස්ට් වයිට් ක්ලවුඩ්ස්’ ගුරු ගෝල කතා පුවතකි. මේ චීන සිනමා පටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ එඩ්වඩ් ඒ. බර්ගර්ය. බුද්ධා මවුන්ටන් (2010) ඔපෙරා ගායකයකු තම දුක බුදු දහමේ සිසිලසින් නිවා ගන්නා අයුරු කියවේ.

ද බර්මීස් හාප්, කයිදාන්, ද තර්ටි සික්ස්ත් චැම්බර් ඔෆ් ෂඔලීන්, අ ටච් ඔෆ් සෙන්, සමාරා, ට්‍රැව්ලර්ස් ඇන්ඩ් මැජීසියන්ස්, බ්ලූ ස්නේක්, බුදු දහමේ සත්‍යයෙන් ලොවම එළිය කරන තවත් සිනමාපට රැසකින් කිහිපයකි.

බෞද්ධ සිනමා උළෙල

අන්තර් ජාතික බෞද්ධ සිනමා පදනම වසර 2000 තරම් මෑතක දී පිහිටුවා ගන්නා ලද්දකි. බුදු දහමේ ආලෝකය මුළු ලොවටම පතිත කරවීමේ උතුම් පරමාර්ථයෙන් අරඹන ලද අන්තර් ජාතික බෞද්ධ සිනමා උළෙල මේ වනවිට රටවල් ගණනාවකම පවත්වා ඇත. ලොස් ඇන්ජලීස් (2003), වොෂින්ටන් ඩීසී (2004), සැන්ෆ‍්‍රැන්සිස්කෝ (2005), ඇමස්ටර්ඩෑම් (2006), සිංගප්පූරුව (2007), මෙක්සිකෝ නගරය (2008), ලන්ඩනය (2009) අති සාර්ථක ලෙසින් බොදු සිනමා උළෙල පැවැත්වුණු රටවල් කිහිපයකි. බොදු සිනමාපට 150 කට වඩා බොදු සිනමා පදනම සතුව පවතී.