වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




විජයගේ දේහය ළඟ රසිකයකු ගිනි තබා ගත්තා

විජයගේ දේහය ළඟ රසිකයකු ගිනි තබා ගත්තා

සරසවිය හිටපු කර්තෘ

අනුර බණ්ඩාර රාජගුරු

ක්‍රීඩා නමින් පුවත්පතක් ලේක්හවුස් ආයතනයෙන් එළි දැක්කේ 83’ මාර්තු මසදීය. මට ද ජනතා පුවත්පතින් එයට මාරුවක් ලැබිණ. ක්‍රීඩා සහ සරසවිය තිබුණේ සමීපයෙහිය. සරසවිය සමඟ බැඳීීම නිසා විශේෂයෙන් සරසවිය සම්මාන උළෙලයන්හිදි එහි කටයුතු කිරීම සඳහා පරිපාලන අංශයෙන් මට ලිඛිත අවසරයක් ද දී තිබිණ. එහි චිත්‍රපට සතියේ නිවේදක වූයේ මාය. එක් සතියක පෙර පුහුණුවීමකට පිටත්ව යෑම නිසා ක්‍රීඩා පත්තරයේ ඇති වූ මත ගැටුමකින් මට ක්‍රීඩා පත්තරයෙන් සමුගන්නට සිදු විය. මා එක් වූයේ නවයුගය පත්තරයටය. එවිට එහි කර්තෘ පදවිය හෙබ වූයේ සෝමවීර සේනානායකයන්ය.

ක්‍රීඩා මෙන්ම නවයුගය ද තිබුණේ සරසවියට සමිපවය. සරසවියේ රාජකාරී කිරීමට ද බාධාවක් නොවූයේ සෝමවීරයන්ද එයට අවසර දී තිබූ නිසාමය. සරසවියට මා ලියූ බොහොමයක් ලිපි රටේ ආන්දෝලනයක් ඇති කළ සිද්ධීන් විය. ලකී ඩයස් - මාලිනී ෆොන්සේකා විවාහය පිළිබඳව ද, එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී විවාහය ද මුලින්ම රටට හෙළි වුණේ මගේ ලිපි මඟිනි. රමණී බර්තෝලමියුස් හදිසිියේ මිය යාම පිළිබඳ මා 1987. 7. 9 වැනි දින සරසවියට ලියූ ලිපිය රට තුළ රසික රසිකාවන්ගේ පාඨකයන්ගෙත් සිත්සතන් කඳුළින් තෙත් කරන්නට සමත් විය. එය එදා සරසවියේ පළ වී තිබුණේ සොහොන් බිම වළ දැමූ තැන රතු රෝස කුසුමක් පිපේවි යනුවෙනි.

සුජානි මේනකා එදා පුංචි දැරිවියකව සිටිමින් සතෙන් සතේ එකතු කරන කාලේ ඈ ගැන මුල්ම ලිපිය ද මම සරසවියට ලිව්වෙමි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ සම්මුඛ සාකච්ඡාවක් මා මුලින්ම පැවැත් වූයේ සරසවිය සම්මාන උළෙල සම්බන්ධයෙනි. එය එදා සරසවිය පත්තරයේ පිටු දෙකක් පුරා මැද පිටුවේ පළ වූයේ 1987. 7. 23 වැනිදාය. මා ලියන ලිපි සරසවියේ ජනප්‍රියවීමත් සමඟ එය නොරිස්සූ සමහර සියුමැලි දෑත් මගේ ලිපියක අවසානයේ ඇති මගේ නම කාටත් හොරා ඉවත්කරනු ලැබුවේ මගේ නිර්මාණ හැකියාව ඉවසා ගන්නට බැරිවය. එවන් පහත් ක්‍රියාවන්ගෙන් සලිත නොවූ මම දිගටම සරසවියට ලිව්වේ කවුරුත් නොසිතන ආකාරයේ ලිපිය.

 විජය කුමාරතුංගයන්ගේ හදිසි මරණය අප සැමට ගෙන ආවේ මහත් වූ කම්පනයකි. එදා අඟහරුවාදා දිනයක් විය. පසුදාට සුපුරුදු පරිදි සරසවියේ සියලු වැඩ කටයුතු අවසන් වී තිබුණි. ඒ නිසා සරසවියේ කවුරුත් එකිනෙකාට විහිළු කරගනිමින් විනෝදබර වේලාවක් ගත කරමින් සිටි මොහොතක් විය. විජයගේ මරණය අපට කෑ ගසා කීවේ දිනමිණේ සේවය කල එම්. ඩී. ධර්මසිරිය. මෙය අපට අදහාගත නොහැකි විය. සරසවියේ සිටි කාන්තා නියෝජනයන් මහ හයියෙන් ඉකි ගසා අඬන්න වූයේ තමන්ටම එවැන්නක් වූ පරිද්දෙනි. සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා මට කතා කොට කීවේ රාජා පුළුවන්තරම් ඉක්මනින් විජයගේ ගෙදරට යන්න. එහෙ වෙන තොරතුරු මොනවද කියලා බලා ගන්න. මම මුද්‍රණය කරන්න තියෙන පත්තරය ප්‍රමාද කරගන්නම් යනුවෙනි.

මා ලේක්හවුස් ආයතනයෙන් පිටව ගියේ අසුරු සැනින්ය. ප්‍රවාහන අංශයෙන් වාහනයක් ලබා ගැනීමට තරම් කාලයක් මට නොවීය. ඡායාරූප ශිල්පී බන්දුල විජේසුරේන්ද්‍ර සමඟ මා සතුව තිබූ සී නයින්ටි මෝටර් සයිකලයෙන් නාරාහේන්පිට පොල්හේන්ගොඩ විජයගේ ගෙදර සොයා ගියේ අතුරු පාරවල් ඔස්සේ යමිනි.

අප යන විටත් විජයගේ දේහය එතැනින් කොළඹ රෝහලට ගෙනවිත්ය. මිදුල පුරා පතරොම් කොපු කිහිපයක් විසිරී තිබිණි. විජයගේ හිසට දමන විග්එක ගැල වී ඒ අසල වැටී තිබුණේ ලේ විලක් මැදය. වෙන යම් හෝ දෙයක් එහිදී අපට ලබා ගන්නට කිසිවකුත් නොවූ හෙයින් අප ඊළඟට පැමිණියේ කොළඹ මහ රෝහලටය. විජය මිය ගොස් ඇති බව නිල වශයෙන් අපට දැනගන්නට ලැබුණේ එහිදීය. මේ ප්‍රවෘත්තිය වරින් වර විකාශය වනු අසන්නට මිනිසුන් ගුවන් විදුලි යන්ත්‍ර වට කරගෙන සිටියේය. අප රෝහලට යන විටත් විජයගේ දේහය මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් තිබුණි.

කිසිදු අයුරකින් රෝහල් භූමියට ඇතුළුවීමට ද නොහැකිය. වෙන කිසිවක් කරගත නොහැකි තැන මා බයිසිකලය රෝහලේ තාප්පයට හේත්තු කොට එයට ගොඩ වී ඇතුළට පැන ගතිමි. කිසිදු අයකුට විජයගේ හිසට වෙඩි වැදුන සිරුරේ පින්තූරයක් ගැනීමට නොහැකි වුව ද ආරාධනා පත්තරයේ ඡායාරූප ශිල්පී ලීනස් කල්දේරාට පමණක් ඒ ඡායාරූපය ගැනීමට හැකි විය. මෘත ශරීරාගාරය තුළ සිදු වූ සියල්ලත් මම දෑසින් දුටු දේවල් ද සමඟ සියලු තොරතුරු රැගෙන මම සවස් යාමයේ නැවත ලේක්හවුස් පැමිණියෙමි.

ඒ වන විටත් විජයගේ ඡායාරූප සමඟින් හා විජය පිළිබඳ ලිපි කීපයක් ඇතුව පිටු සැකසෙමින් තිබිණි. ග්‍රැන්විල් සිල්වා මට කීවේ රාජා දැක්ක සියලු දේ කැටි කොට ලිපියක් ලියන ලෙසය. මම ඒ සියල්ල සරසවියට ලිව්වෙමි. එම ලිපියට හෙඩිම දමා තිබුණේ මම කඳුළෙන් තෙත් නොවූ දෑසක් නොදුටුවෙමි කියාය. පසුදා පත්තරය මුද්‍රණය වී පැමිණීමත් සමඟ මගේ ලිපියට ප්‍රතිචාර ගලා එන්නට විය. පසුදා පත්තරය අලෙවි වූයේ උණු කැවුම් ලෙසිනි.

විජයගේ මරණය හේතුවෙන් සරසවිය විශේෂ කලාපයක් ද මුද්‍රණය කෙරිණි. එය ලක්ෂ සංඛ්‍යාත පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කෙරුණු අතර එය පැය කීපයක් තුළ විකිණී අවසන් විය. ඒ සඳහා ද තොරතුරු සොයා ගෙන ඒමට පිටත්කර හරිනු ලැබුවේද මාය. එවිට විජයගේ මෘත දේහය කලා භවනට ගෙන ගොස් තිබිණි. එහිදී හමු වූ ජීවන් කුමාරතුංග සමඟ විජය ගැන කතා කොට තොරතුරු ලබා ගතිමි. ඒ තොරතුරු අලළා මා සරසවිය විශේෂ කලාපයට ලිපියක් ලිව්වේ මගේ විජය බාප්පා යනුවෙනි. ඔය අතරේ කිසියම් පුද්ගලයකු විජයගේ මරණය ඉවසා ගන්නට බැරිව තම සිරුරට ගිනි තබා ගනු ලැබුවේ ද මාගේ දෑස් ඉදිරියේය.

කලාගාරය අසල එක් පුද්ගලයකු හඬමින් කතාවක් කිය කියා මහ හයියෙන් අඬන්නට වූයෙන් මා ඔහු ළඟට ගොස් ඒ කතාව ඇසුවේ මහත් වූ සාවධානයෙනි. ඒ කතාව ඔහු මට කිව්වේ මා තුළ ද සංවේගයක් ඇති කරමිනි.

මේ පුද්ගලයා විජයගෙ රසිකයෙකි. ඔහු විජය රඟපෑ බිනරි හා සුදු බණ්ඩා චිත්‍රපටයේ රූපගත කිරීම් කරන අවදියේ දර්ශන තලයට පැමිණ තිබුණේ බත්මුලක් ද රැගෙනය. එය එහිදී මහත් වූ ආශාවෙන් ඔහු විජය අතට දුන්න ද සෙසු පිරිස් එය විජයට කෑමට දීමට ප්‍රතික්ෂේප කර තිබුණේ කිසිවක් එයට දමා තිබේ ද කියා සැක සිතූ නිසාය. එහෙත් විජය කිසික් නොසිතා මේ අහිංසක මිනිසා ඉදිරිපිටදීම බත්මුල ලිහාගෙන කෑමට තරම් නිහතමානී වී තිබිණි. මේ පුද්ගලයා එම සිද්ධිය සිහිපත් කරමින් විජයගේ දේහය ළඟ හඬා වැටෙමින් සිටියේය. මා එම කතාව සරසවිය පත්තරයේ විශේෂ කලාපයට ලිව්වේ ඔබ මිය ගිය බව තවම සිහිනයක් යන සිරස්තලය යටතේය.

මේ අනුවේදනීය කතා ඇතුළත්ව මා සරසවියට ලියූ ලිපි කීපය නිසාම මට නොසිතු ජනප්‍රසාදයක් ගොඩ නැගෙන්නට විය. මම මාස නමයක් පුරාවට විජයගේ ජීවිත කතාව සරසවියට ලිව්වෙමි. එක් පුද්ගලයකුගේ කතාවක් එවැනි දීර්ඝ කාලයක් සරසවියේ පළ වූ ප්‍රථම වතාව එය විය.

එවක චිත්‍රපටයක් තිරගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී චිත්‍රපටයේ කතාව පින්තූර සමඟ සති කීපයක් මැද පිටුවේ පළ විය. ප්‍රාර්ථනා, රජ වැඩකාරයෝ, අවුරුදු දා, අහිංසා, ජය අපටයි ආදී චිත්‍රපට රාශියක කතා පෙළක් මම සරසවියේ මැද පිටුවට ලිව්වෙමි. කතාව ලිවීම සඳහා චිත්‍රපට සංස්ථාවේ මිනි සිනමාහලේ විශේෂ දර්ශනයක් චිත්‍රපට නිෂ්පාදකයන් විසින් සූදානම් කරන ලද්දේ මා වෙනුවෙන්මය. රන්ජන් රාමනායකගේ ජීවිත කතාව කොටස් හතරකින් ලිව්වෙමි. දිල්හානි අශෝකමාලා චන්න විජේවර්ධන සමඟ උකුස්සා උකුස්සී නමින් සරසවිය සම්මාන උළෙලේදී නැටුමක් ඉදිරිපත් කළ අතර මා දිල්හානි හා සාකච්ඡා කොට ලිපියක් සරසවියට ලියනු ලැබුවේ මම ශ්‍රී දේවි නෙමේ, මම දිල්හානි කියාය. සමහර නළු නිළියන් තමන් ගැන ලිපි ලියවා ගැනීමට මා එවන මෙන් කර්තෘතුමාගෙන් උදෙක්ම ඉල්ලූ අවස්ථා ද තිබිණි. අනෝජා වීරසිංහ එවැනි ඉල්ලීම් කළ අය අතර ප්‍රධාන විය.

ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මරණය ද මා කම්පා කළ තවත් සිද්ධියක් විය. රාත්‍රී නමයට පමණ මට දුරකථන ඇමතුමක් ලැබුණේ ධර්මසිරි ගමගේ මහතාගෙන්ය. එතුමන් අඬ අඬා කීවේ රාජා, ප්‍රේමකීර්ති මරල දාලා. මට දැන්මම ගිහින් බලන්න ඕනේ. මාත් එක්ක යන්න එන්න යැයි ගමගේ මහතා පැවසුවේ බිඳුණු හඬිනි. ගමගේ මහතා, වික්ටර් රත්නායකයන් හා මම ද හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයට ගියේය. ඒ යන විටත් ප්‍රේමකීර්තිගේ මෘත දේහය ට්‍රොලියක් මත සුදු රෙද්දකින් වසා තිබිණි. අප දුටුවේ ප්‍රේමකීර්තිගේ අතක් හිසට උඩින් සිටින සේ තිබෙන බවය. අප තිදෙනාම ඉකි ගසා හැඬුවේ ප්‍රේමකීර්තිගේ දේහය දැකීමෙන් පසුවය. මා පසුදා මේ සිද්ධිය සරසවියට විත් පැවසීමෙන් පසු ප්‍රේමකීර්ති පිළිබඳ ලිපියක් ලියන ලෙස කර්තෘතුමන්ගෙන් ඉල්ලීමක් ලැබුණි. ඒ අනුව සරසවියට ලියූ ලිපිය මහත් ආන්දෝලනයක් ඇති කළ ලිපියක් විය.

එච්. ආර්. ජෝතිපාලගේ මරණයත්, එහි අවසන් කටයුතුª සිදු වූ බොරැල්ල කනත්තේ සිදු වූ සිද්ධීනුත් අලළා මා සරසවියට ලිපියක් ලිව්වේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ සොහොන් කොත් කඩා වැටුණු හැටිත්, ට්‍රම්පට් සෙබස්තියන් එදා කනත්තේ බියුගල් එක ගැසූ හැටිත් ඇතුළත් කොටය.

දොරට වැඩුම නමින් ලිපි පෙළක් මා සරසවියට ලියනු ලැබුවේ නළු නිළියන්ගේ මුල් ආරම්භය ගැනය. වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි අතර කලක් විරසකවීමක් හටගෙන තිබුණේය. මෙම තරහ මරහ වියැකී ගොස් දෙදෙනා යළි මිත්‍ර වූයේ මා සරසවියට ලියූ ඔවුන් දෙදෙනාගේ විශේෂාංගයත් සමඟය. වික්ටර් රත්නායකයන් සනත් නන්දසිරිගේ ගෙදරට ගෙනවිත් ඔවුන් දෙදෙනා සමඟ සාකච්ඡා කළේ මාය. දෙදෙනාගේම සාකච්ඡාව එදා සරසවියේ පළ වූයේ අප වෙන් කළ බලවේග අද දූවිලි බවට පත්වෙලා - සනත් නන්දසිරි, අපි ඈත්ව සිටි කාලේ මට විශාල තනියක් දැනුණා - වික්ටර් රත්නායක. මේ ලිපි ශීර්ෂ යටතේ එදා මේ ලිපිය පළ වුණේ 1989. 6. 8 වැනිදාය.

සෝමවීර සේනානායක මහතා නවයුගය කර්තෘ පදවියෙන් ඉවත්ව යාමත් සමඟ ඒ තනතුරට පැමිණියේ අජන්තා රණසිංහ මහතාය. මේ වන විට ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමන් වූයේ සුනිල් රොඩ්රිගෝ මහතාය. නවයුගයේ සිට මෙතෙක් කලක් සරසවියට ලිපි ලියූ මට සරසවි කර්තෘ මණ්ඩලයේම ස්ථිර සමාජිකයකු වීමේ අවස්ථාව උදා විය. නවයුගයේ සිට මාරුවක් ලබා සරසවියට පැමිණෙන විට එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ ඒ. ඩී. රංජිත් කුමාර මහතාය. කැමිලස් පෙරේරා, සුසිල් ගුණරත්න, දීප්ති ෆොන්සේකා, උපාලි ෆොන්සේකා, නෙළුම් විමලරත්න, සුනිල් හොරේෂස්, අරුණ ගුණරත්න, විමල් තිලකරත්න, සුසිල් ජිනප්‍රිය, ආරියරත්න පෙරේරා සරසවියේ සෙසු සාමාජිකයන් වූහ. සරසවියට වසර තිහක් සපිරෙන මොහොත වන විට මම සරසවියේ සාමාජිකයෙක් වී සිටිමි. මගේ පත්තර කලා ගුරු ධර්මසිරි ගමගේ එදා සරසවියේ සාමාජිකයන් ගැන තිස්වන සංවත්සර කලාපයට සටහනක් එක් කෙරිණි. එහි එතුමන් මා ගැන සටහනක් තැබුවේ,

විශේෂාංග රචනයෙන් අපූරු හුරුබුහුටි බවක් රාජගුරුගේ ලියන ශෛලියේ ඇත. රාජගුරු සංවේදී ශෛලියකින් ලියන ලිපිවලට අපූරු උපමා රූපක යොදන ගමන් තම ලේඛනයටත් නැවුම් බවක් ලබා දෙයි යනුවෙනි.

ගායක ගායිකාවන්ගේ මතක අතීතය පිළිබඳ ලිපි පෙළක් මම සරසවියට ලියන්නට පටන් ගත්තෙමි. අප එම ලිපි මාලාව තුළින් කරනු ලැබුවේ ඒ අයට ජීවිතයේ වටිනාකමක් අරන්දීම තුළින් ඔවුනට රසික ප්‍රසාදය වැඩි කිරීම පමණි. ඔවුන් පිළිබඳ නොදන්නා තොරතුරු මා සරසවියට ලියනු ලැබුවේ මහන්සි වෙලා මිසක් හාන්සි වෙලා නොවේ. අප්‍රකට සංගීතඥයකු වූ පී. එල්. ඒ. නන්දන කීර්ති වැන්නවුන් සොයා ගොස් මා සරසවියෙන් හෙළි කළේ ඔවුන්ගේ වටිනාකම රටට හෙළි කිරීමටය. ‘මාද ඔබද විය’ මාලිනී බුලත්සිංහලගේ ඒක පුද්ගල ප්‍රසංගය පිළිබඳ ඇයත් සමඟ සාකච්ඡා කොට 1991. 10. 24 වැනිදා සරසවියට මා ලියනු ලැබූ ලිපිය වූයේ මට සකුන්තලා වන්නට නම් බෑ කියාය.

එවක ගම්උදාව සඳහා සරසවිය විශේෂ අතිරේකයක් පළ කරන ලදී. එහි සියලු මූලික බර පැවරුණේ මා හටය. සරසවියේ සිටින කාලයේ මට සම්මාන උළෙල ළං වන විට විශේෂ වරප්‍රසාදයක් ලෙස ලැබුණේ කලාකාරුවකුට ජිීවිතයේ එක් වරක් පමණක් පිදෙන රණ තිසර සම්මානය සඳහා හේතුª පාඨය ලිවීමටය. එවක දෙනවක හාමිනේ ගේ සිට ඒ අවධියේ සම්මානයට උරුමකම් කී කලාකරුවන් ගැන මා ඔවුනට හේතුªපාඨ ලිව්වේ කිසිදාක හමු වෙලාවත් නැතුවය. රවීන්ද්‍ර රන්දෙණියට මා රණ තිසර සම්මානය හේතු පාඨය ලියන විට ද මට ඔහු හමු වී තිබුණේ නැත. ඔහු ගැන සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ලිපියක් ලියනු ලැබුවේ ද බොහෝ කලක් ගිය විටය. කලාකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පුදන ඒ සම්මානයට ජීවිතයේ එක් වරක් පමණක් ලියන ලියවිල්ලක් මට එදා ලිවීමට ලැබීම මා සැලකුවේ මට ලැබුණු භාග්‍යයක් කොටය.

මා සරසවියට ලියූ ලිපි අතරින් මහත් ආන්දෝලනයක් ඇති කළ එක් ලිපියක් වූණේ සනත් ගුණතිලක පිළිබඳ ලියූ ප්‍රසන්න භීතිකාවේ අප්‍රසන්න සිදුවීම් ශීර්ෂ පාඨයෙන් පළ වූ ලිපියයි. අහිමි දඩමං චිත්‍රපටය රූපගත කර වසර පහළොවක් පමණ පසුවීමෙන් අනතුරුව එය තිරගත වීම ඇරැඹිණි. චිත්‍රපටයේ තිරගතවීම ඇරැඹීමත් සමඟ මා එහි ප්‍රධාන චරිතය රඟපෑ රොබින් ප්‍රනාන්දු සමඟ ගොරොක්ගහදෙණියේ වලව්වට ගියේ අහිමි දඩමං හි එදා රොබින් සමඟ රඟපෑ ඇතා සොයා ගෙනය. වසර පහළොවක් ඉක්ම ගොස් තිබුණ ද ඇතාට රොබින්ව හඳුනා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවිණි. ඇතා සමඟ බොහෝ සේ ළෙන්ගතු වූ රොබින් එදා ඇතා සමඟ පිට උඩ නැග ද පින්තූර ගත්තේ ඇතා සමඟ බොහෝ කලක් ආශ්‍රය කළ කෙනෙක් ලෙසිනි. එදා ඇතා හමුවීමට ගිය මේ ගමන මා සරසවියට ලිව්වේ නළු ඇතාගේ කතාව, හස්ති රජාට තේජ අයියා හමුවෙයි යනුවෙනි.

සමීප රූපය කියා මා ආටිකල් පෙළක් සරසවියට ලිව්වේ සියලු නළු නිළියන් නියෝජනය වන පරිදිය. සංවාද කියා මා ලිපි පෙළක් ලිව්වේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පටන් විල්සන් කරු දක්වා සියල්ලන් තැටි කොටය. මේ ලිපි පෙළ මා පසු කලෙක ග්‍රන්ථයක් ලෙස එළි දැක් වූයේ නිම්තෙර නින්නාද කියාය. මෙම පොත අද නිර්මාණශීලී ලේඛනයට පිවිසෙන අලුත් පිරිස් මෙම ග්‍රන්ථය ගුරු කොට ගැනීම ගැන ද මම අද නිහතමානීව සතුටු වෙමි.