වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ඊ. ඒ. පී. එදිරිසිංහ ‘අංජලී’ නමින් සිංහල චිත්‍රපටයක් නිපදවා තිබේද?

විමල් රණසිංහ - කොළඹ 14

ඔව් විමල්, ඊ. ඒ. පී. එදිරිසිංහගේ මුල්ම නිෂ්පාදනය වූයේ අංජලී. එය සිංහල දෙබස් කැවූ චිත්‍රපටයක්. චිත්‍රපටය එකල නිපද වූයේ ඊ. ඒ. පී. චිත්‍රපට නමින් නොවේ. එදිරිසිංහ කම්බයින්ස් නමින්.

එක්තරා නාළිකාවක අර විකට චරිත රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙයි, චන්න පෙරේරාගෙයි බිරින්ඳෑවරු නේද ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඔවුන් දෙදෙනා එය හොඳින් කළ හැකි නම් එහි කිසිම වරදක් නැහැනේ. අනික ඔවුන් විකට රංගනයේ යෙදීම කිසිම වරදකුත් නැහැ.

මා ළඟ ඇති ‘ඩොක්ටර් කොට්නිෂ් කී අමර් කහානී’ චිත්‍රපටයේ නාමාවලිය නොමැති බැවින් එහි රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ සහ සංගීත අධ්‍යක්ෂණය කවුදැයි කරුණාකර සඳහන් කරනවද?

මැල්කම් ප්‍රදීප් ප්‍රදිනාන්දු - මොරටුව

ඩොක්ටර් කොට්නිෂ් කී අමර් කහානී හි අධ්‍යක්ෂවරයා වන්නේ වී. ශාන්තරාම්. එහි ප්‍රධාන නළු නිළි යුවළ වන්නේ, කොට් නිෂ් ලෙස රඟපෑ අධ්‍යක්ෂ වී. ශාන්තාරාම් සමඟින් ඔහුගේ චීන ජාතික පෙම්වතිය ‘චිං ලෑන්’ ලෙස රඟපෑ ජයශ්‍රීයි. එහි සංගීතය සැපවූයේ වසන්ත දේශායි.

ලංකාවේ රූගත කෙරුණ ඉංග්‍රීසි, හින්දි, දෙමළ චිත්‍රපට මොනවාද?

විජය ඉලංගකෝන් – ගම්පොළ

ඉංග්‍රීසි චිත්‍රපට ලෙස අවුට් කාස්ට් ඔෆ් දී අයිලන්ඩ්, බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, එලිෆන්ට් ඩූම්, එලිෆන්ට් වෝක්, අර්ත්, මිඩ් නයිට් චිල්ඩ්රන් ඇතුළු ඉංග්‍රීසි චිත්‍රපට මෙන්ම දෙමළ චිත්‍රපට වනුයේ පයිලට් ප්‍රේමනාත්, තී, රත්ත තිනම් රත්නය. හින්දි චිත්‍රපට වනුයේ ද්‍රෝහී, ප්‍රේම්, බොඩිගාඩ්, මර්ඩර් – 2 ඇතුළු චිත්‍රපට රාශියක් නම් කළ හැකියි.

පැරැණි ජනප්‍රිය නිළියන් වන ක්ලැරිස් ද සිල්වා, කාන්ති ගුණතුංග, ජීවරාණි කුරුකුලසූරිය, සෝබනී අමරසිංහ යන අය ලංකාවේ සිටිනවාද?

ආරී එගොඩවත්ත - දෙමටගොඩ

සෝබනී සහ ක්ලැරිස් ලංකාවේ සිටිනවා. ජීවරාණි හා කාන්ති විදේශ ගත වෙලා සිටින්නේ. ඒ අතරින් ජීවරාණි මෑතකදී ලංකාවට ඇවිත් ගියා.

ගායක සුමිත් අහංගම නළු පියසේන අහංගමගේ සහෝදරයෙක්ද?

වික්ටර් පල්ලිමුල්ල – හැඳල

අනේ නැහැ වික්ටර්. ගෙවල්වත් අහල පහළ නෙමේ.

මා හට හැඟෙන පරිදි 83 විජය චිත්‍රාගාරය ගිනිබත්වීමෙන් බලවත්ම පාඩුව සිදු වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට බවයි. දැනට ඉතිරිව ඇත්තේ ඔහුගේ සැබෑ තාරුණ්‍ය පිරි චිත්‍රපට නොවේ. එතුමන් රඟපෑ එකම චිත්‍රපට ටික නොපෙන්වා අද පරපුරට එතුමා ගැන හැඟීමක් එන්න උතුමාණෙනි, යුගාන්තය, තවලම, බාඳුරා මල්, සංඛපාලි වැනි පසුකාලිනව රඟපෑ දුර්ලභ ඝනයේ චිත්‍රපට ටිකවත් අඩු තරමේ සිනමා ශාලාවක හෝ රූපවාහිනී නාලිකාවක් මඟින් පෙන්වන්නේ නම් කොතරම් අගනේද?

නිරෝධ ජනක ඉලුක්කුඹුර – කඩවත

ඒ චිත්‍රපට ටෙලිවිෂන් එකේ කෙසේ හෝ පෙන්වනවාට මා එකඟයි. ඒත් මට දැනෙන අන්දමට ‘රන්මුතුªදූව’ තිරගත කළත් අද සිනමාහලට ප්‍රේක්ෂකයන් එන්නේ නැහැ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි නිරෝධ.

‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ පැරැණි පිටපත ඩී. වී. ඩී. පටයක් ලෙස වෙළෙඳපොළේ තියෙනවා. අලුත් පිටපත හා සසඳන කොට පැරැණි පිටපත ඉතාම ඉදිරියෙන් තියනවා. ඒ වගේම එහි රඟපාන නවක නළු නිළියන් ගැන කලකිරෙනවා. ඔබට සිතෙන්නේ කුමක්ද?

ප්‍රේමසිරි නාරසිංහ – මාතර

මම විශ්වාස කරන අන්දමට එහි නළු නිළියන්ගේ කිසිම ගැටුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ නළු නිළියන් තුළ නොවේ. එය නැවත නිර්මාණය කිරීමේදී කාලයට ගැළපෙන ආකාරයට නිර්මාණය නොවී තිබීමයි. වර්තමානයට මේ චිත්‍රපටය ගැළපුණත් අද තම පෙම්වතිය බලන්නට ගස් නගින පෙම්වතුන් නැහැ. වර්තමානයේ පෙම්වතියට පණිවිඩ කියන්න ජංගම දුරකතන ඕනෑ තරම් තියෙනවානේ.

හින්දි, දෙමළ චිත්‍රපට සඳහා සතුන් පුරුදු පුහුණු කරන ආයතනයක් පවත්වාගෙන ගිය චින්නප්පා තේවර් ගැන තෙරතුරු කියන්න.

ඩබ්. රණසිංහ - කොළඹ

තේවර් චිත්‍රපට සමාගම දැන් චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වගේම මීට කලකට ඉහත දී සින්නප්පා තේවර් මිය ගියා.

සබානා ආශ්මි, අමිතාබ් බච්චන් සමඟ පෙම්වතුන් ලෙස චිත්‍රපටවල රඟපෑවද?

ටී. අනුර – අවිස්සාවේල්ල

නැහැනේ අනුර.

ඔබ මේතාක් රිදී තිරියේ දුටු රූමත්ම තරුණිය සන්ධ්‍යා කුමාරිද?

චාමර ප්‍රේමනාත් – මිරිස්වත්ත

සන්ධ්‍යා කුමාරිත් ලස්සනයි. ඒත් මම හිතන ලස්සන තියෙන නිළිය තවම හමුවුණේ නැහැ. මා තවම චිත‍්‍රපට නරඹන්නේ තව තවත් ලස්සන නිළියන් හොයන්නයි.

සමහර චිත්‍රපට පොලිමේ පල් වෙද්දී පෝලිම කඩාගෙන සමහර චිත්‍රපට තිරගත වෙනවා. ඇත්තටම මෙය හරි අසාධාරණයක් නේද?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

සමහර චිත්‍රපට පෙන්වනවාට වඩා පෝලිමේ තියලා තියන එක වඩා සාධාරණයි කියන එකයි මට හිතෙන්නේ.

ගීත කෝකිලා ලතා වල්පොල චිත්‍රපටවල රඟපා තිබේද?

කේ. පී. පියසේන - බොරගොඩ වත්ත

ඔව්. ඇය රඳල පිළිරුව, වරද කාගේද වැනි චිත්‍රපටවල රඟපෑවා.