වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපේක්ෂා මගේ ජීවිතේ වෙනස් කළා

අපේක්ෂා මගේ ජීවිතේ වෙනස් කළා

මෙන්න පහන්දි

සනත්, කමල් වගේ ප්‍රවීණයන් සමඟ රඟපාන්න ආසයි

ෂර්ලි පී. දෙලංකාවලගේ නිර්මාණයකට දායක වීම බලාපොරොත්තුවක්

ඇයට ඇත්තේ කතා කරන ඇස් දෙකකි. පිවිතුරු වතමඬල පුංචි තිරයට ගෙන ආවේ අපූරු ආකර්ෂණයකි. අප රංගන නිම්නයට පියඹා ආ අලුත්ම අවිහිංසක සමනලිය ඇයයි. ලිලන්ත කුමාරසිරිගේ අපේක්ෂා ටෙලි සිතුවමේ පහන්දි. ඒ ඇය රටක් හඳුනා ගත් චරිතයයි. එමෙන්ම ඇගේ පළමු ටෙලි රංගනය ද එය වූවාය.

කවුද මේ පහන්දි?

අහන්න . . .

ඇය දැන් මෙතැන් සිට කතා කරයි.

පහන්දි . . . මමත් ඔබව එනමින් අමතන්නද?

පහන්දිට හැමෝම ආදරෙයි. මගේ ඇත්ත නම යටපත්වන තරමටම පහන්දි ජනප්‍රිය වෙලා. මං හරිම ආසයි පහන්දි කියලා මට කතා කරනවට. මොකද රටක් මාව හඳුනා ගත්තේ ඒ චරිතයෙන් නිසා.

මොකක්ද පහන්දිගෙ ඇත්ත නම?

නදීශා රංගනී දයාරත්න.

ඔබ කොළඹින් පිටස්තර කෙනෙක් නේද?

ඔව්. මගේ ගම පොලොන්නරුව. දවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ යුදගනාව කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ගායිකාවක් වන්නයි මං හිතාගෙන හිටියේ.

එතකොට කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වුණේ?

මං ගමේ කලා ආයතනයක සංගීතය හැදෑරුවා දර්ශන රුවන් දිසානායක සර් යටතේ. ඔහු සංගීවත් කරපු අමරසිරි පීරිස් මහතා ගැයූ ‘අතින්වත් අත ඇල්ලුවේ නැහැ’ ගීතයේ රූප රචනාවට සම්බන්ධ වන්න අවස්ථාව ලැබුණා. ඉන් දිමුතු චින්තක මහතාව හඳුනා ගත්තා. ලිලන්ත කුමාරසිරි සර් ගාවට මාව එක්කගෙන ගියේ ඔහුයි. එතකොට ඔහු අපේක්ෂා ටෙලි නාට්‍යයට අලුත් කෙනෙක් හොයමිනුයි ඉඳලා තියෙන්නේ. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් අනතුරුව ලිලන්ත සර් පහන්දි සඳහා මාව තෝරා ගත්තා.

මොන වගේ හැඟීමක් ද දැනුණේ?

හරියට මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ හැඟීමක් සිතට නැඟුණා. ලිලන්ත කුමාරසිරි මහත්මයාගේ කලින් නාට්‍යවල නළු නිළියන් බෙහෙවින් ජනප්‍රිය වුණා. මාවත් ඒ ගොඩට වැටේවි කියලා හිතුණා.

ඔබේ කතා ශෛලයෙන් තේරෙනවා රංගනයට ද ඉතාම ආසාවෙන් සිටි බව?

ඒක හංගාගෙන සිටි සිතුවිල්ලක්. අප වගේ කොළඹින් ටිකක් දුර අයට අවස්ථාව හිමිවනවා අඩුයිනෙ. සංගීතය කළේ ඒ පැත්තෙන් කොහොම හරි මං පෙත් විවර කරගෙන ඉදිරියට යන්න. ඒ මං කලාවට හරිම ආස නිසා. ඒත් දෛවය මාව ගෙනත් තිබුණෙ වෙනම තැනකට.

පහන්දි හරිම දඟකාරයි, ඔබත් එහෙමද?

මමත් දඟකාරයි. ඒත් ඒක පිට අයට පෙන්වන්නේ නැහැ. ගෙදරට නම් මං දඟම දඟ මල්ලක්.

රඟපාන්න එද්දි ඔබ ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියද?

එහෙම ලොකු දැනුමක් තිබුණේ නැහැ. බරපතළ විදිහට හිතන අය වෙන්න ඇති ක්ෂේත්‍රයෙ ඉන්නෙ කියලා නම් හිතුණා. ඒත් මේකෙ ඉන්නේ බොහොම සුන්දර මනුස්සයෝ.

සාමාන්‍යයෙන් නදීශාට දුකක් හිතුණම මොකද කරන්නේ?

කොලයක් අරගෙන දුක ලියනවා. පස්සෙ ඒ කොළය විසික් කරනවා.

එහෙම කොළ කීයක දුක ලියලා තියනවද?

අපෝ . . . එහෙම මතක නැහැ.

ආදරය ළඟදී ඔබ මොන වගේද?

හරිම සංවේදීයි.

මේ වන විට ආදරවන්තියක් ද?

ඒ ප්‍රශ්නය පාස් කරනවෝ.

කලාව කරද්දී නිදහස නැති වෙනවා කියන්නේ ඇත්තද?

මට නම් එහෙම වෙලා නැහැ. කාලය කළමනා කර ගත්තොත් ගැටලු රැසක්ම නිමවනවා. කොච්චර වැඩ තිබුණත් සතියකට වරක්හෝ මං ගමට දුවනවා.

ඔබ කොළඹ රූගත කිරීම් යෙදේදී කොහෙද නතර වෙලා ඉන්නේ?

පන්නිපිටියේ.

අනිවාර්යයෙන්ම ඔබ කොළඹට වඩා ගමට ප්‍රිය කරනවා ඇති?

සත්තකින්ම. ගම තරම් නිසංසල පරිසරයක් තවත් නැහැ.

බැරි වෙලාවත් දිගින් දිගටම රංගනයට වරම් ලැබිලා කොළඹ නවතින්න වුණොත්?

ඒත් මට ඉඩක් ලැබිච්ච ගමන් ගමේ යනවා. රජකම ලැබුණත් ගමේ නොයා ඉන්නේ නැහැ මම.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න රංගන ශිල්පියකු සිටීද?

සනත් ගුණතිලක සහ කමල් අද්දරආරච්චි යන රංගවේදීන් සමඟ රඟපාන්න ආසයි.

ඉදිරියේදී රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවාද කවුරු හෝ අධ්‍යක්ෂවරයකු යටතේ?

ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වන්න තියනවා නම් ඒක භාග්‍යයක්.

ගායනය පැත්තෙනුත් යමක් කරන්න හිතාගෙන ඉන්නවාද තවමත්?

ඇයි නැත්තේ. මේ වන විට ‘ඈත පටන් සංසාරේ’ කියලා ගීතයක් මං ගැයුවා. ඒක ලිව්වේ විහාරගම සිරිධම්ම හාමුදුරුවෝ. රංජිත් ඩයස් මහතායි සංගීතවත් කළේ.

නදීෂාගේ කෙටි විස්තර ටිකක් අහන්නද?

අහන්න.

එහෙනනම් උපන් දිනය කියන්නකෝ?

දෙසැම්බර් 4.

ලග්නය?

ධනු.

වැඩිපුර අඳින්න කැමැති?

ෂල්වාර්, ගවුම්.

ජීවිතයේ සමීපතමයා?

මගේ අම්මා.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

සරල කෙනෙක්.

ඔබට කාට හරි කතා කරන්න අවශ්‍ය නම්?

0723984670.

කාටද තුති පුදන්න ඕනේ?

දර්ශන රුවන් දිසානායක, ලිලන්ත කුමාරසිරි, දිමුතු චින්තක, මලික්, ප්‍රදීප් සමරකෝන්, ප්‍රසන්නජිත් අබේසූරිය, ජනක, ජනක සම්පත්, මනෝජ් රණසිංහ, තිලංග, ඉමේෂ්, සුරංග, නිශාන්ත, ප්‍රදීප් යන මහත්වරන්ට, අපේක්ෂා සියලුම පිරිවරට සහ මං පුරකලණි කියලා නාට්‍යයක් කළා. එම කණ්ඩායමට.