වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තගෙ නම විකුණන්න මට වුවමනා නැහැ

තාත්තගෙ නම විකුණන්න මට වුවමනා නැහැ

- කේෂියා

මං සින්දු විකුණන කෙනෙක් නෙවෙයි

රොනී

තට්ටයා මං ලස්සන තට්ටයා
කාගෙත් හොඳ මිත්‍රයා
කවුරුත් දන්නා...

මේ ගීතය සවනට වැටෙත්ම ඔහුව මතක් නොවන්නෙ කාටද? ගායනයෙන් මෙන්ම හාස්‍යෝත්පාදක රංගනයෙන්ද රටක් නැළැවූ ඔහු රෝනී ලීච් බව නැවත නැවතත් හඳුන්වාදීම අනවශ්‍යයි.

ඔහුගේ ඇවෑමෙන් තවත් ලීච් කෙනෙකු වත්මනවන විට අප කලා නිම්නයට පාතබා සිටී. ඒ කේෂියා ලීච්ය. වැඩිදුරටත් හඳුන්වා දුන්නොත් ඇය රොනීගේ දියණිය වන්නීය. රෝයි ද සිලවාගේ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ සිනමා කෘතිය ඔස්සේ ඕ රංගනයට පිවිස සිටින්නීය.

මේ කතා නායකයන් දෙදෙනා සමඟ බොහෝ දේ කතා කරන්නට ඇත.

එන්න, අපි ඔවුනගේ නිවෙසට ගොඩවෙමු.

කෙල්ලෙ කෙල්ලේ සුදු කෙල්ලේ
ආදරේ දෙනවද කෙල්ලේ

රොනී ලීච්ගේ නිවස දෙසින් ඇසෙයි. එහෙත් ඔහුගේ හඬින් නොවේ. කාන්තා හඬකිනි. මම ටිකක් විපරම් කෙරුවෙමි.

ඒ ගයා ඇත්තේ කේෂියාය

ඒ තමයි මං තාත්තගෙ ආසම සින්දුව.

ඇය අපව පිළිගත්තේ උණුසුම් ලෙසටය.

ඉතින් ඔන්න මං ඉන්න ෆිල්ම් එකත් මේ දවස්වල යනවා. කැමරාවක් ඉස්සරහ කළ මගෙ පළමු රංගනය තමා ඒක. මීට කලින් ඉංග්‍රිසි වේදිකා නාට්‍යවල ඉඳලා තියෙනවා.

ඇය කතාවට චතුර බව ක්ෂණිකව මට වැටහිණ. ඇයගේ රුව දුට පළමුව මා සිතා සිටියේ කේෂියා ආඩම්බරකාරියක කියාය. ඒ පිළිබඳවද මම ඇසුවෙමි.

මගෙ පෙනුමෙන් ගොඩක් අය හිතන්නෙ මං හරිම ආඩම්බරකාරියක් කියලා. ඒත් ෆිට් වුණාට පස්සේ ෆිට්ම තමා ආයේ.

කොහොමද ඔබට ඉට්ස් අ මැටර් ඔෆ් ලව් චිත්‍රපටයෙහි රඟපාන්න ලැබුණේ?

එහි අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතා සහ සුමනා අමරසිංහ මහත්මිය අපේ පවුලේ සමීපතමයෝ. ඔවුන් ගොඩක් කල් ඉඳලා මට රඟපාන්න එන්න කිය කියා ඉන්නවා. ඒත් කාර්යබහුලකම නිසා ඒවා මඟහැරුණා. ඒත් මේ කාලයේ ටිකක් නිදහස් ඒකයි මේ චිත්‍රපටය භාරගත්තේ. මෙහි මං යහළුවකුගෙ චරිතයක් රඟපාන්නෙ. එහි නම චතුරි.

රංගනයට ආසාවකින්ද හිටියෙ?

ඔව්. ඒත් අවස්ථා ඉල්ල ඉල්ල පස්සෙන් යන්නවත් මම රොනී ලීච්ගේ දුව කියලා තාත්තගෙ නම විකුණන්නවත් මට වුවමනා වුණේ නැහැ.

එතකොට ගායනය?

ගයන්න, මියුසික්වලට ආසයි. ඒත් එළිමහන් ප්‍රසංගවලදි කාන්තාවක් හැටියට මාර අභියෝගවලට මුහුණදෙන්න වෙන්නේ. එහෙම අවහිර විඳ විඳ ෂෝස්වල ගයන්න මං අකැමැතියි.

කලක් ඔබ මාධ්‍යවේදිනියක් නේද?

ඩේලිමිරර් පුවත්පතට ලිව්වා. එම්. ටී. වී. ආයතනයේ නිවුස් කිව්වා. කිස් එෆ්. එම්. නාලිකාවේ ප්‍රසන්ට් කළා. දැන් ඒ හැම එකකින්ම ඉවත්වෙලා බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි එකේ මහජන සබඳතා කළමනාකාරිණියක විදියට සේවය කරනවා.

අනේ අනේ මාව අමතකම වෙලානේද ඔයාලට?

සිනහමුසු මුහුණින් පුරුදු වාග් රටාවෙන් සංග්‍රහකොට රොනී අප අසලින් වාඩිවිය.

දුව මොකෝ කියන්නේ?

ඔහු නැවතත් අසයි.

ගොඩක් දේවල් කිව්වා. ෆිල්ම් එක ගැන තමයි වැඩිපුර කතා කළේ.

මගෙත් ෆිල්ම් පහක් විතර එන්න තියනවා. ඔක්කොම විකට චරිත.

ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු කොහොමද?

සුපුරුදු ලෙසම කරගෙන යනවා. අදටත් තට්ටයා ගීතයට පුදුම ඉල්ලුමක් තියෙන්නේ.

කේෂියා නම් එච්චර කැමැත්තක් නැහැ වගෙයි ප්‍රසංග වේදිකාවට?

ඇත්තටම මමත් කැමැති නැහැ. මගෙ දරුවන් මං කාපු කට්ටවල් කනවට. ඒ වගේම දරුවන් ලවා හම්බකරගන්නෙත් නැහැ මම.

පවුලෙ අය එකතුවුණාම මොකද කරන්නේ? බොහොම විනෝදෙන් කාලය ගෙවනවා ඇති නේද?

අපි විනෝද චාරිකාවක් යනවා. පුලුවන්තරම් සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නේ.

කේෂියා ගැන නොදත් කතා දෙකතුනක් කියන්නකෝ?

මෙයා කුකරි ක්ලාස් යනවා. ගෙදර ඇවිල්ලා උයන්න ට්‍රයි කරනවා. ඒත් අන්තිමේ මොකක් හරි අමුතු කෑමක් තමයි හැදෙන්නේ. ඒක ඉතින් කන්න වෙන්නෙ අපිට. ඊට පස්සෙ කුස්සිය අස්කරන්න වෙන්නෙත් අපිට. කේෂියාට හොඳට තවත් අයකුව අනුකරණය කරන්න පුළුවන්. වෙලාවකට මෙයා මාවත් අනුකරණය කරනවානේ.

රොනී කියන මේ දේවල් කේෂියා අහගෙන හිටියෙ හිනාවෙවී.

මේ මමත් තාත්තා ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් හෙළි කරන්නද? තාත්තා ගාව තියනවා පැරැණි සිංහල හින්දි චිත්‍රපට ගිත එකතුවක්. එයා තනිවම ඒවා අහනවා. වෙලාවකට මටත් පුදුමයි. විකට චරිත කරන තාත්තමද මෙතරම් සංයමයකින් ඒ ගීත රසවිඳින්නෙ කියලා.

මේ අතරතුරදි රොනී තමන් සතු තැටි එකතුවෙන් කිහිපයක් ගෙනත් පෙන්නුවා.

රොනී අයියේ ඔයාගෙ සිංදු රිගිං ටෝන්වලට ඉල්ලලා නැතිද?

මොකද නැත්තෙ. මං දෙන්නෙ නැහැ. දැනට අවුරුදු 39 ක් ක්ෂේත්‍රයට ඇවිල්ලා මමම කලා කටයුත්තක් කරලා සල්ලි හොයනවා මිසක රිගිං ටෝන් දාලා මගෙ සිංදු විකුණන්නෙ නැහැ කවදාවත්.

අලුත් පරපුර ගැනත් කියන්න යමක් ඇති?

අලුත් අයගෙන් සමහරු මටත් වඩා දක්ෂයි. ඒ අය ඒක්ක රොනී ලීච්ට හැරෙන්නවත් බැහැ. මේ මං මාව අඩුතක්සේරු කරනවා නෙවෙයි. ඇත්තයි කිව්වේ.

කේෂියා තාත්තා ගැන යමක් කිව්වොත්?

තාත්තා තරම් නිහතමානී කෙනෙක්ව මං දැකලා නැහැ.

රොනී අයියෙ දුව ගැන තවත් මොනවාහරි කියමු?

කේෂියා හරිම විවෘත කෙනෙක්.

කේෂියාගෙ කලවයසත් හරි නේද?

අපේ ආදරය ගැන දැන්ම මාධ්‍යන්ට කියන්න බැහැ.

කේෂියා පුරුදු දඟකාරකමින් කිව්වා.

රොනී අවසන්කොට ප්‍රසංග වේදිකාවේ නමක් හදාගන්නට උදව් කළ ජිප්සීස් සංගීත කණ්ඩායම සහ මවුපියන්ව මෙන්ම චිත්‍රපට ලොවට තමන්ව හඳුන්වා දුන් එච්. එම්. පී. ප්‍රනාන්දු, සේන සමරසිංහ යන මහත්වරුන්ව මතක් කළා.

අප නිවෙසින් නික්මයන්නට මත්තෙන් රොනීගේ ප්‍රිය බිරිය ඉවෙට් සහ පුතු කේෂාන් වචන දෙකතුනක් කතාකරන්න අමතක කළේ නැහැ.