වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මොකක්ද මේ ජනතා කලාව ...?

මොකක්ද මේ ජනතා කලාව ...?

සුගතපාල සෙනරත් යාපා ගැන සොඳුරු සටහනක්

සුගතපාල සෙනරත් යාපා නම් නිර්මාණකරුවා පිළිබඳ අපගේ මතකය 1964 ටත් එහා කාලයකට දිවෙයි. ජී. ඩී. එල්. පෙරේරා නම් ප්‍රවීණ වේදිකා නාට්‍යකරුවාගේ ඒකාංග වේදිකා නාට්‍ය දෙකක් වරෙක අප හැව්ලොක්ටවුමේ ලුම්බිණි රඟහලේදී නැරැඹුවා’ ‘අන්දරේ’ නම් වූ දෙවන නාටකයේ අන්දරේගේ චරිතය ඉතා ශූර බවකින් රංගනය කළේ සුගතපාල සෙනරත් යාපායි. ඉන් අනතුරුව සෙනරත් යාපා ස්වීය නිෂ්පාදනයක් ලෙස ‘මැටි බළල්ලු’ වේදිකා නාට්‍යයත් ඉදිරිපත් කළාත් මතකයි.

1964, අපට මතක හැටියට අවුරුද්දේ හතරවන කාර්තුවේ තරම කලා පෙළ සංවිධානය මඟින් ජී. ඩී. එල්. පෙරේරාගේ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් නිර්මිත වූ ‘සාමා’ නම් පළමු වෘත්තාන්ත චිත්‍රපටයේ ගීත රචකයකු ලෙස සුගත් අපගේ මතකයට පිවිසෙයි. (සෙනරත් යාපා ‘සාමා’ චිත්‍රපටයේ චරිත රංගනයක ද යෙදුණා මතකයි).

අකල් වැස්ස හිම දෙගොඩට වැදුනාදෝ

පූදින මලට මළ හිරු රැස් හෙළුවාදෝ

ඉරණම සිනාසී මට පිටුපෑවාදෝ

මේ ගින්දරක් කවුරුන් මට දුන්නාදෝ

රචකයා මනා ලෙස ජන කවි රීතියෙන් හා වාං මාලාවෙන් පමණක් නොව, සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරෙන් ද මේ ගී පද නිෂ්පන්න කර ගන්නේ ශූර බවකිනි.

ජයතිස්ස අලහකෝන් සංගීතවේදියාගේ සුවිශේෂී ගී තනු හා සංගීත සංයෝජනයෙන් (දිවංගත) ත්‍රී සිස්ටර්ස් මල්ලිකා පෙරේරා (?) ගායන ශිල්පිනියගේ අපූර්ව හඬින් ගැයුණ ගීය, සුගතපාල සෙනරත් යාපාගේ ගී රචනයෙහි ඇති සුවිශේෂී දක්ෂතාව එදත් අදත් අපට සිහිපත් කරයි.

(පළමුවරට විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙනී සිට අසමත් වූ කාලයක, වරායේ වාප්පු ලිපිකරුවකු ලෙස දුෂ්කර රැකියාවක නිරතව සිටි මොහොතක, පාළු අඳුරු රැයෙක රේඩියෝවකින් වරෙක නැගුණ ‘වනන්තරේ ගල් අරණේ’ ගී හඬ, අපගේ සරසවි සිහින වියැකීම හද තවනා සෙනරත් යාපාගේ ගී වාං මාලාව ‘සාමා’ නම් තරුණියගේ අනාගත සිහිනය වියැකීම පමණක් නොව, අප මුහුණ පා සිටි එවක තත්ත්වය හා අත්‍යන්තයෙන්ම බැඳී ගත් බවයි අපට කල්පනා වුණේ!) ඉඳින් ඉනුත් වසර පහක් ගෙවුණ තැන, 1969 දී සුගතපාල සෙනරත් යාපා නම් සිනමාකරුවාගේ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් වූ ‘මිනිසා සහ කපුටා’ ඒ වසරේ නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබූ පුවත, අප කියෙව්වේ ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රමඛ පුවතක් ලෙසිනුයි.

එවක ලේක්හවුස් පත්තර කන්තෝරුවේ ‘සරසවිය’ සතිපතා සිනමා - කලා පුවත්පතේ විශේෂාංග ලිපි සම්පාදක නිදහස් පුවත්පත් කලාවේදියකු ලෙස ‘සුගත්’ හමුවන්නට අප ගියේ පරණ පාර්ලිමේන්තුව (වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය) අසබඩ බේරේ වැවට මෙහා පිහිටා තිබූ කම්කරු දෙපාර්තමේන්තුටයි. ‘මිස්ටර් සෙනරත් යාපා’ යැයි ඔහු ඇමතූ වේලේ ඔහු කීවේ ‘සුගත්’ කියා මට ඇමතුවාම ඇති’ කියායි.

ඉතා සමීප, සුහද මිතුªදමකට, සහෝදරාත්මක බැඳීමකට සුගත් හා අප අතර මුල පිරුණේ එලෙසින්. එතැන් පටන් ඔහු අපට ‘සුගත් අයියා’ වූයේය.

ඊට පෙර සිදුවීම් දෙකක් සුගත් හා සබැඳි නිසා මෙහිදී සිහිපත් කිරීම උචිතයි.

නුගේගොඩ අපේ ගමේ, තිලක උයනේ විසූ තිලක් අයියාගේ (තිලකරත්න කුරුවිටබණ්ඩාර) බාල මල්ලී සුනිල් ආරියරත්න විසූ මැද ගෙදරදී හමු වූ දිනයක, අලුත්ම සිංහල – වෘත්තාන්ත චිත්‍රපටයක් වූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ තනුව නාද මුසුවෙන්, සුගතපාල සෙනරත් යාපා සහ මහගම සේකර සුසංයෝගයෙන් ලියැවුණු අපූර්ව යුග ගීය, නන්දා මාලිනිය සහ වික්ටර් රත්නායක නම් නව ගායන ශිල්පියාගේ හ¼ඩින් සුනිල්ගේ ගී පටි වාදන යන්ත්‍රයෙන් (අද කැසට් රෙකෝඩරයකට වඩා එය ඉතා සුවිසල්) අපට වාදනය කර දැක්වූවා.

‘සරා සොඳුරු මල් පැටලී

ලිහී නොවන ජීවිතයයි’

එලෙස ගැයුන ගීය වාදනයෙන් අනතුරුව, සුනිල් ආරියරත්න අපට කීවේ -

‘ගීය නම් හරි අපූරුයි’

ඒත් චිත්‍රපටයේ රූ ගන්වා ඇති ආකාරයට නම් සෑහීමකට පත්වන්නට අමාරුයි කියායි.

එදා කම්කරු දෙපාර්තමේන්තු හමුවේදී සුගත්, අපගේ විස්තර තතු අසා ‘යං හවසට අපේ ගෙදර . . . සැහැල්ලුවෙන් අපි ගෙදරදී සාකච්ඡාවක් කරමු’ කීවේය.

ඉතින් කිසිදු වගකීමකින් බැඳී නොසිටි තරුණයන් වූ අපට, මේ අසිරිමත් ආරාධනය අනුව, නාරංගොඩපාලුවේ සුගත්ගේ ගෙදරට අප ගියේ දුම්රියෙන් - කොටුව දුම්රිය පොළේ සිට වල්පොල දුම්රිය නවතන පුංචි දුම්රිය පොළකින් බැස, තව ටිකක් දුර පයින් යාමෙන් පසුවයි. ඉන් පසු දිනක සුගත් කිව්වේ කොළඹ එම්පයර් සිනමාහලේ (දැන් ඒ සිනමාහල තිබූ තැන සුවිසල් තට්ටු නිවාස සංකීර්ණයකි ඇත්තේ) ‘හන්තානේ කතාව’ පුවත්පත් දර්ශනය පැවැත්වෙනවා . . . ඇවිත් බලන්න’ කියායි.

‘මිනිසා සහ කපුටා’ මුලින් සිනමාහලේ ප්‍රක්ෂේපණය කළ මොහොතේ එහි සිටි පුවත්පත් කලාවේදීන් දුටු දෙයින් එතෙක් නොවිඳි අත්දැකීමක් ලද තරමයි. රූප රචනයෙහිදී රූප සමෝධානයේදී (පෙළ ගැස්මේදී) මොන තරම් කාව්‍යාත්මක විලස රූප රාමු සකසා තිබුණා ද කියා ඉන් පසු සිනමා සඟරාවකට ලියා තිබුණා.

දැන් රූප රාමුවේ දැක්වෙන්නේ ලිපිකරුවා මුදල් මල්ල දෑත් දිගුකර ගන්නට හදන විලාසයයි.

නගරයේ පදික වේදිකාවේ එතෙක් සිය උකුලේ තබා සිටි දරුවා දෑතට ගන්නට අත දිගු කරනා සිඟන්නියගේ සිනාමුසු මුහුණේ රුව.

ලිපිකරුවා දෑතින් මුදල් මල්ල තුරුලු කර ගනී.

සිඟන්නිය ද දෑතින් දරුවා රැගෙන සිය මුහුණට ළං කර තුරුලු කර ගනී.

කවුරු කෙසේ කීවත්, සුගත්ගේ ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය මේ රටේ නව සිනමා පරපුරක් බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කෙටි චිත්‍රපටය බවට අවිවාදිතයි. මේ ඇත්ත සඟවා කතා කරන්නෝ, සුගත්ගේ සිනමා භාවිතයෙන් බිහි වූ මේ පුරෝගාමී කෙටි චිත්‍රපටය පිළිබඳ බොහෝ විට, සිතා මතාම අමතක කර ඇති බවයි අපට හැෙඟන්නේ.

දින වකවානු මතක නැතත්, එවක පළ වූ සිනමා පුවත්පතකට (විසිතුර) සුගත් විසින් ‘හන්තානේ කතාව’ චිත්‍රපටයට මුල පිරූ අවස්ථාවේ, කර තිබූ ප්‍රකාශයෙහි හරය මෙලෙස සඳහන් කළ හැකියි.

සිනමාවේ සැබෑ මූල ධර්ම පාදක කරගෙන, මම කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා, හන්තානේ කතාව වෘත්තාන්ත චිත්‍රපටය සමඟ . . . මොකද වෘත්තාන්ත සිනමාවේදී නිර්මාණකරුවාට පැනවෙන සීමා බන්ධන ඉක්මවා යන කෙටි චිත්‍රපටයක් . . .’

කෙටි චිත්‍රපට’ යන යෙදුම ශ්‍රීී ලාංකේය සිනමා සාහිත්‍යයෙහි වඩාත් ප්‍රචාරයට පැමිණියේ, සුගත්ගේ ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය ඉන්දීය නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානයෙන් පුද ලැබීමත් සමඟයි. අනෙක එවන් කෙටි චිත්‍රපට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල එක් තරගකාරී අංශයක් බවත් බොහෝ දෙනා දන්නේ ඉන් පසුවයි.

ආචාර්ය ධර්මසේන පතිරාජ, ඉන් අනතුරුව නිර්මාණය කළ ‘සතුරෝ’ කෙටි චිත්‍රපටය, රෝහණ වෙත්තසිංහ පුවත්පත් කලාවේදියාගේ ‘විප්පයෝගෝ’ කෙටි චිත්‍රපටය පී. යූ. ඩී. පෙරේරාගේ ‘මනස් පුතෙක්’.

කෙටි චිත්‍රපටය අයි. එන්. හේවාවසම්ගේ ‘කලල රූ’ කෙටි චිත්‍රපටය, සුනිල් ආරියරත්නගේ ‘සරාගී’ කෙටි චිත්‍රපටය, පරාක්‍රම ද සිල්වාගේ ‘එළිය’, චන්ද්‍රසේන පෙරේරාගේ ‘දයාබර දරුවෙක්’, සුගතපාල සෙනරත් යාපාගේ රජත මයුර සම්මානයෙන් ඔද වැඩී ගත් තරුණ සිනමාකරුවන් රැසකගේ දොරට වැඩුමට පාදක වූ සිනමා පූර්වාදර්ශය වූ බව නිසැකයි.

‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයේ රූ ගැන්වීම උදෙසා සුමිත්ත අමරසිංහ, සංස්කරණය ටයිටස් තොටවත්ත, නාද රටා නිමැවුම ප්‍රේමසිරි කේමදාස ආදි එවක තරුණ සිනමාවේදීන්ගේ දායකත්වය ලබාගෙන තිබුණා. රංගනයෙන් ගාමිණී ගනේගොඩ හා සමන් බොකළවෙල දායක වී තිබුණා.

රූප සමෝධානයේදී පමණක් නොවෙයි, සුගතපාල සෙනරත් යාපා නව මඟක් ගෙන තිබුණේ. ‘මිනිසා සහ කපුටා’ නාද හඬ පටය, තිරයේ ප්‍රක්ෂේපණය වන රූපයට සමාන්තරව සාමාන්‍යයෙන් යොදන නාද රටාවෙන් වෙනස් වූවක්. රේඩියෝවක මීටරයක් සෙවිල්ලේදී එහා මෙහා කරකවන විට ඇති වන විවිධ අවුල් සහගත නාද මාලා, ලිපිකරුවගේ මනසේ ඇති වන අවුල් වියවුල් සහගත බව වඩාත් තීව්‍ර කරන නාද මාලාවක් ලෙස යොදා ගැනීමට අධ්‍යක්ෂ සෙනරත් යාපා නිර්මාණාත්මකව කළ පර්යේෂණ අතිශය සාර්ථක භාවිතයක් ලෙස සිහිපත් වෙයි.

සිනමාවේදී රූපය හා ශබ්දය එකිනෙකට පරිපූරකව යොදා ගැනිම වෙනුවට, නිර්මාණාත්මකව හා පර්යේෂණාත්මකව කොතරම් සුවිශේෂී භාවිතයක් කළ හැකි ද යන්න පළමුවරට ශ්‍රී ලාංකේය සිනමාවට සහ සිනමාවේ නව පරපුරට වටහා දීමට පුරෝගාමී වූ සුවිශේෂී කෙටි චිත්‍රපටය සුගතපාල සෙනරත් යාපාගේ ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය බව අප යළිත් සිහිපත් කළ මනායි.

එනිසාම ‘මිනිසා සහ කපුටා’ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය ඉන්දීය – නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබීම අපූර්ව දෙයක් ලෙස ද සැලකිය නොහැකියි! එය සුදුස්සාට සුදුසු දෙය ලැබීමක් පමණි.

ඉන් අනතුරුව එම්පයර් සිනමාහලේ තිරයේ දිස් වූ ‘හන්තානේ කතාව’ පළමු රූප රාමුවේ පටන් ප්‍රකට කළේ නැවුම් බවකි. ඩී. සී. රණසිංහ (?) නම් චිත්‍ර ශිල්පියකුගේ නිර්මිතයක් වූ චිත්‍රපට නාමාවලියම, සන්සන්දනාත්මකව අද අපට සිහි කරන කල්හි, එය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජගත් සිනමාකරුවාගේ ‘නිධානය’ චිත්‍රපට නාමාවලිය හා සම සමව මතකයෙහි දිස්වන්නක් බව කිව යුතුයි.

කෙසේ වුවත් ‘හන්තානේ කතාව’ තරුණ ජවය සිංහල වෘත්තාන්ත සිනමාවේ ඉතා විශිෂ්ට අවස්ථාවක් සනිටුහන් කරන නිර්මාණයක්.

තිර රචනයේදී ආචාර්ය ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර සහ බර්ටි ගුණසේකර ත්‍රිත්වයත්, රූ ගැන්වීමේදී සුමිත්ත අමරසිංහ මෙන්ම, සංස්කරණයේදී ටයිටස් තොටවත්ත මෙන්ම භාවානුරූපී සංගීත නිර්මාණය හා සංයෝජනයෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආදී පිරිවර දැක ගත හැකි වුණා. සහාය අධ්‍යක්ෂවරයා වූයේ පසු කළ ප්‍රවීණයෙක් වූ විජය ධර්ම ශ්‍රී. රංගනයෙන් ටෝනි රණසිංහ සහ සෝබනී අමරසිංහ හරුණු විට, ස්වර්ණා මල්ලවආරච්චි, විජය කුමාරතුංග, දයා තෙන්නකෝන්, අමරසිරි කලංසූරිය, බර්ටි ජයසේකර, පුෂ්පානන්ද ඒකනායක, දයානන්ද ගලප්පත්ති, සෝමපාල ලැනරෝල් සහ සමන්ති ලැනරෝල් ආදී නවක ශිල්පීන් රැසකගේ මුහුණු දැක ගත හැකි වූයේ චිත්‍රපටයේ නැවුම් ප්‍රතිභා දක්වමින් වීම විශේෂයක්. සුගතපාල සෙනරත් යාපා ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් අප හා කළ සාකච්ඡාවේදී ප්‍රමුඛව කී අදහසක් මෙහිදී උපුටා දැක්වීම වැදගත්.

‘හන්තානෙ කතාව චිත්‍රපටයේ අනුර, සුබා සහ බන්දු හරියට මනමෙ නාට්‍යයේ මනමෙ කුමරු, බිසව සහ වැද්දා වාගෙයි.

මේ තේමාවට මුල් වූ ජපන් සිනමාපටය ‘රෂොමොන්’ බවත් ඊට මුල් වූයේ රේ‍යුනෙසුකෙ අකුතගාවාගේ රෂොමොන් කෙටි කතාව බවත් මහාචාර්ය සර්ච්චන්ද්‍ර කීවා වගේම, මමත් ඉන් ආභාසයක් ලද බවක් කියන්නට කැමතියි . . .!

එපමණක් නොවෙයි, මේ වෘත්තාන්තයට ඉතා උචිතම පසුබිම විශ්වවිද්‍යාලය බවයි මට හැඟුණේ . . .

නැත්නම් මට මේ වෘත්තාන්තය පැක්ටේරියක පසුබිමේ වුවත් කරන්නට තිබුණා!

ත්‍රිකෝණ ප්‍රේමය පමණක් නොව, තිදෙනකුªªගේ කෝණය මෙහිලා උපයෝගීව තිබුණා. අනුර ගමේ උරුමයන් සමඟ කුලෑටි බවින් යුතුව හැදී වැඩුන තරුණයෙක්. (බොහෝ දෙනා සිරි ගුණසිංහගේ ‘හෙවණැල්ල’ නවකතාවේ ජිනදාසගේ චරිතය අධ්‍යක්ෂවරයාට අනුබලයක් වූ බවට අනුමාන කළා! සෙනරත් යාපා එය කෙළින්ම පිළිගත්තේ නැහැ! විශ්ව විද්‍යාලයේ නවක - ජ්‍යෙෂ්ඨ උපාධි අපේක්ෂක දරු දැරියන්ගේ විවිධ ක්‍රියාකාරකම් ‘හන්තානේ කතාව’ චිත්‍රපටය ගෙන හැර පෑවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය වශයෙන් අත් කරගෙන තිබූ සුවිශේෂතා සියල්ල අධ්‍යක්ෂ සෙනරත් යාපා ගෙනහැර පෑමට සමත් වූ බවයි අපගේ අදහස. නවක වදයේ පටන් කොලු - කෙලි හැඬුම්, දෙඩුම්, වැලපුම්, ගහ – බැන ගැනීම් වගේම, මැරවරකම් , වීරත්වය ද ඊට කැටිව තිබුණා. (සුබා ඉදිරියේ වීරත්වය පෑමට බන්දු (විජය කුමාරතුංග) උස් ගල් පර්වතය මුදුනේ ඇති මලක් නෙලා ගැනීමට දරන ත්‍රාසය මුසු ජවනිකාව සැලකිය හැකියි).

සියලු දෙය අවසන හන්තානෙ කන්ද නැඟීමට යන තරුණ නඩය කඳු නැගීමේදී අධ්‍යක්ෂවරයා මනා වූ ප්‍රයෝගයක් භාවිත කරයි. එනම් ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන බැතිමතුන් ගායනා කරන ‘ශ්‍රී පාදේ කන්ද නඟින විට තාලයකට ගයන කවි ගායනා’ තරුණ නඩයේ හැඟීම් ප්‍රකාශනයට මනා ලෙස උපයෝගී කර මුසු කිරීමයි!

මේ පිළිබඳ තවත් ප්‍රකාශ කළ ශ්‍රී ලාංකේය පුරෝගාමී සිනමා - චිත්‍රපට කලා උළෙල සංවිධානයේ පුරෝගාමී වූ සිනමා විද්වතෙකුª වූ නීල් අයි. පෙරේරා (හරි හැටි නම මතක් කළ නොහැකි) සිනමා ප්‍රකාශනයක ලියා තිබූ අදහස කැටි කර දැක්වුවහොත් මෙලෙස බවයි කිව හැක්කේ.

‘හන්තානේ කතාව චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළ රැගත් විනාඩි කිහිපය, සිංහල වෘත්තාන්ත සිනමාවේ විශිෂ්ටතම අවස්ථාවක් සනිටුහන් කරන බව එකහෙළාම කිව හැකිය . . .!’

එපමණක් නොවෙයි, හැට – හැත්තෑව දශකයේ සිංහල වෘත්තාන්ත චිත්‍රපට අතර විශිෂ්ට ස්ථානයක් (එදත් – අදත්) සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තනේ කතාව’ චිත්‍රපටය අත් කර ගන්නා බව අප නොපැකිළව ප්‍රකාශ කිරීම යුතුකමක්. එය මේ නව ප්‍රතිභාවක් ගෙන හැර පෑ සිනමාකරුවාට කරන ගෞරවයක්.

ඇත්තෙන්ම හැට නවය – හැත්තෑව කාලය තුළ සුගතපාල සෙනරත් යාපා මෙන්ම දයානන්ද ගුණවර්ධන ආදී වූ සිනමාකරුවන් උද්යෝගිමත් කිරීමට, මෙරට ආණ්ඩු කළ කිසිදු ආණ්ඩුවකට පැහැදිලි සංස්කෘතික ප්‍රතිපත්තියක් නොතිබීම විශාල ඛේදවාචකයක් පමණක් නොවෙයි; අභාග්‍යයක්! මේ කලාකරුවෝ බිහි වූයේ රාජ්‍ය සේවයේ පැය අටක රාජකාරි කරමින්, ඒ සියලු රාජ්‍ය නීති රීතිවලට යටත්ව සිය රාජකාරිය ද ඉටු කරන අතරයි! එහෙත් ඒ ආණ්ඩුවේ කන්තෝරුවල ප්‍රධානින්ද මේ අපූරු ප්‍රතිභාවකින් යුතු කලාකරුවන් එදත් – අදත් අගය කරන්නේ නැත; රාජකාරි නීති රීතිවලින් දමා ගසනවා හැර . . .!

‘අපේ ආයතනයෙන් බිහි වූ මේ ප්‍රතිභාන්විත කලාකරුවන් උදෙසා අපේ ආචාරය!’ යනුවෙන් ක්‍රිකට් තරුවලට සුබපතන ආකාර දැන්වීමක්වත් මේ ජගත් කීර්තිය අත්කර දුන් සෙනරත් යාපා වැනි කලාකරුවකු උදෙසා පුවත්පතක පළ කළේ කොයි කවුරුන්ද? ‘හන්තානේ කතාව’ පුවත්පත් දර්ශනය නැරැඹූවන්ගේ ආහ්ලාදය අපට මතක් වෙයි! තිස්ස අබේසේකර වන් එවක තිර රචනයට පිළිගැනීමක් ලබමින් සිටි කලාකරුවෙක්, සුගත්ට කීවේ ‘චිත්‍රපට තවත් ටිකක් සංස්කරණය කළා නම් වඩා හොඳයි’ කියායි. ඒ කියන තැන අප ද සිටි නිසා, කනින් ඇසූ, ඇසින් දුටු සංසිද්ධියකි.

කෙසේ වුවත්, සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේදී දෙ ආකාර රස ජනනය කරන පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් සමඟ විනෝදාස්වාදයට වැඩි යමක් එක් කිරීමේ ප්‍රයත්නයක් වූ ‘හන්තානේ කතාව’ රසික – ප්‍රේක්ෂක ජනතාව සියයට සියයක්ම ඉහළින් පිළිනොගත්තත්, ලද ප්‍රතිචාර ඒ කාලයේ හැටියට තෘප්තිකර බවයි පෙනුණේ.

‘මං වැඩ කළේ නිෂ්පාදකවරු හතර – පස් දෙනෙක් එක්ක . . . සීමාසහිත සමකාලීන චිත්‍රපට සමාගම ඉන් එහාට චිත්‍රපට නිෂ්පාදනයට උනන්දු වුණේ නැති තරම්!’

(සුගත් අපට කීවේ, නිෂ්පාදකකවරු එක් අයෙකුට වඩා වැඩි පිරිසක් කටයුතු කිරීමේ අභියෝගය කියා පාමින්!)

1969 හන්තානෙ කතාව චිත්‍රපටයෙන් ඇරැඹි සුගත්ගේ වෘත්තාන්ත චිත්‍රපටකරණය 1974 වන තුරු යළි අක්‍රීය වන්නේ සිංහල සිනමාවේ අභාග්‍යයට හැර, වෙන කිසිවක් නිසාම නොවෙයි. 1956 – 1959 – 1964 වශයෙන් අවුරුදු තුනේ - පහේ ‘නිකම් බලා හිඳීමේ’ වකවානු පිළිබඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරෙක කීවේ, ‘මගේ ජීවිතයේ නිකම්ම ගත වු වටිනා කාලය . . .!

සුගත් 1969 – 1974 – 1982 වශයෙන් ඊටත් දීර්ඝ කාලයක් නිහඬ කරවනු ලැබූ නව සිනමාකරුවෙක්!

හැබැයි සුගත්, අපත් සමඟ චිත්‍රපට කිහිපයකට මුල පුරන මුහුරත් උළෙලින්ම උපන්ගෙයි මළගිය අවස්ථා කිහිපයකට අප ද සාක්ෂියි! ඉන් එකක් කළගෙඩිහේන පොල් වත්තක් මැද පිහිටි නිවෙසක පැවතියා. මාලිනී ෆොන්සේකා සමඟ ලයනල් දැරණියගල එහි ප්‍රධාන චරිත රඟන නළු නිළි යුවළ ලෙස සුගත් සමඟ චිත්‍රපට නිෂ්පාදකවරයා මුහුරත් උළෙලේ පහන් දල්වනු අපට මතකයි.

තවත් අවස්ථාවක් (පෙම්බර මධු චිත්‍රපටයට පසු) ආනන්ද අබේනායක නම් තරුණ චිත්‍රපට නිෂ්පාදකවරයාගේ නිවෙසේදී ‘වේදබ්භ ජාතකය’ නවින යුගයට ගලපා තිර රචනය ලිවීමේ ප්‍රයත්නය අසාර්ථක වී, ‘51 වැනි අක්කරය’ තිර රචනය ලියා, ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතයට යොදා අධ්‍යක්ෂණයට සුගත් අපේක්ෂා කළා. එයත් අවසන් වූයේ ආනන්ද අබේනායක, ගාමිණි ෆොන්සේකාගේ නිෂ්පාදකවරයා බවට පත්වීමෙන්.

තෙවැනි අවස්ථාව වුයේ ‘මහ සයුරෙන් දිය දෝතක්’ නවකතාව ඇසුරෙන් අපත්, රංජන් පෙරේරාත් එක්ව ලියූ තිර රචනයෙන්, සුගත් අධ්‍යක්ෂණයට සැලසුම් කළ නුගේගොඩ නවරස හෝටල් අධිපතිව සිටි යාපා සෝමවර්ධන නිෂ්පාදනයට අපේක්ෂා කළ චිත්‍රපටයයි. නවකතා රචිකාවගේ හිමිකම් පිළිබඳ අවුලක් ඊට හේතු විය.

අපගේ යෝජනාවක් පරිදි ‘පෙම්බර මධු’ නවකතාව ඇසුරෙන් සීතා රෝහිණී රත්වත්ත නිෂ්පාදකවරිය, සිනෙරු චිත්‍රපට සමාගම වෙනුවෙන් නිපැයීමට 1974 දී සුගත් අධ්‍යක්ෂවරයා වශයෙන් දැරූ ප්‍රයත්නය, සිනමාකරුවකු ඉල්ලුමට සැපයුම න්‍යායෙන් සහභාගි වූ නිර්මාණයක්.

‘පෙම්බර මධු’ චිත්‍රපටයේ විශේෂ දැක්ම නැරැඹීමට, කොළඹ, රීගල් සිනමාහලට පැමිණ සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපට ප්‍රකාශ කළේ ‘මේ චිත්‍රපටය දුවාවි!’ කියායි. කතාව ඇත්තක්ම වුණා. එල්ෆින්ස්ටන් සිනමාහලේ දින පනහද ඉක්මවා, දින හැත්තෑවක්ම ‘පෙම්බර මධු’ දිව්වේය!

පෙම්බර මධු චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක්. ‘පෙම්බර මධු මගේ’ ගීය ඇතුළු ගී හතරක සංගීත අධ්‍යක්ෂවරයා වූයේ පී. එල්. ඒ. සෝමපාලයි. ගීත දෙකක් නිර්මාණය ද සමඟින් චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි.

පෙම්බර මධු චිත්‍රපටයේ අවසාන වන අයුරු දෙ ආකාරයි. එක දර්ශනයක චිත්‍රපටයේ අවසන පෙම්වතුන් යුවළ එක්වෙති! දෙවන දර්ශනයේදිී වීරයා මැරෙන්නේ අනතුරකිනි.

පෙම්බර මධු චිත්‍රපටයේ ගීතා රඟපෑ ඇතැම් දර්ශන කෙරේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය උදහස් වී, අර්බුදකාරී තත්ත්වයක් ද ඇති වුණා. පරීක්ෂක මණ්ඩලයේ සිටි සුප්‍රකට කරුණාසේන ජයලත් නවකතාකරුවාත්, සුගත්ගේ සමකාලීන සිනමාකරුවකු ද වූ දයානන්ද ගුණවර්ධනත් ඊට එකඟතාවය පළ නොකර සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා.

පෙම්බර මධු වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙසයි මහජන ප්‍රදර්ශනයට අනුමත වුණේ.

සුගත් නිර්දය විවේචනයටත්, ඇතැම් අංශවලින් සිනමා භාවිතය පිළිබඳ යම් යම් ශක්‍යතාත් පෙන්නුම් කළ බවටත් අදහස් පළ වුණා.

ඇත්තෙන්ම සම්ප්‍රදායික ජන-ප්‍රිය හොලිවුඩ් චිත්‍රපට සිනමා මාධ්‍ය භාවිතය අතින් (ඉතාම කබල් හොලිවුඩ් චිත්‍රපට පවා) තිබූ ප්‍රමිතිය කෙරේ සුගත්ගේත්, අපගේත් සැලකිල්ල යොමු වුයේත්, අපගේ අභිලාෂය වූයේත් සම්ප්‍රදායික සිංහල (ජන-ප්‍රිය) චිත්‍රපටයක් නිර්මාණයේදී මේ ප්‍රමිතියට අනුකූලවීමයි. ‘සිල්කි කමර්ෂල්’ චිත්‍රපටයක් සිනමා භාවිතය පිළිබඳ ප්‍රමිතියත්, ජනප්‍රිය අංග (ගීත – නැටුම් - සටන් සහිතව වුවත්) ඇතුළත් විනීතාචාර සහිත චිත්‍රපටයක් නිර්මාණය ‘පෙම්බර මධු’ තුළින් අපේක්ෂිත වුණා.

නිෂ්පාදිකාවගේ ඉල්ලීමට අනුකූල නවකතාවක් (එය එවක අප්‍රකාශිත අත්පිටපතක් පමණි) අප විසින් සුගත්ට යෝජනා කළෙත් ඒ අනුවයි. ගැහැනියගේ පාරිශුද්ධ බව විවාහයේදී සලකන පිරිමි, තම පාර්ශ්වයේ පාරිශුද්ධ චර්යාව නොසැලකීම පිළිබඳ ගැටුමයි චිත්‍රපටයට තේමා වූයේ. ඉඳීන් නවකතාවේ මේ මූලික තේමාව, ජන-ප්‍රිය චිත්‍රපටයකට අතිශයින් උචිත බව අප හැමගේ පිළිගැනීම වුණා.

අවසානයේ නිර්මිත වූ චිත්‍රපටය තුළ පරස්පරතා වූවා. අධ්‍යක්ෂවරයකු ලෙස සුගත් නොබියව නිරුවත් ජවනිකා රුවාලීම, බොහෝ සම්ප්‍රදායික විචාරකයන් අතර පුවත්පත් වාද විවාදවලට පවා ලක්වුණා. කෙසේ වුවත් සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කළ යුතුª චිත්‍රපට, විවිධත්වයට පත්ව, පවත්නා ප්‍රදර්ශන රටාව තුළදී අවශ්‍ය පැවැත්ම ‘පෙම්බර මධු’ චිත්‍රපටය සුගත්ට සලසා දුන්නා; එහෙත් සිනමාව යනු ගැඹුරු අරුත් දනවන සිනමාව පමණක් යැයි යන මතයේ සිටි ඇතැම් දෙනා, සුගත්ව ප්‍රතික්ෂේප කළ බවකුයි අවසානයේ අපට හැඟුණේ.

සුගතපාල සෙනරත් යාපා මේ වාද විවාද මැද තවත් අවුරුදු පහක් චිත්‍රපට නිර්මාණයට ලද පැහැදිලි අවස්ථා දෙකක් මේ අතරතුර අනපේක්ෂිත ලෙස මැකී යනවා. ආනන්ද අබේනායක (පසු කල ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ නිෂ්පාදක) නිපැයීමට සැලසුම් කළ ‘51 වැනි අක්කරය’ චිත්‍රපටයටත්, යාපා සෝමවර්ධන නිපැයීමට සැලසුම් කළ ‘මහ සයුරින් දිය දෝතක්’ චිත්‍රපටයත්, අභාග්‍ය සම්පන්න ලෙස ඇණ හිටීම, සුගත්ගේ නිර්මාණ ශක්තිය, ඔහුගේ දිවියෙහි ක්‍රියාශීලීභාවය තිබූ කාලයෙහි ශක්තිය අපතේ හැරීමට සමත් වුණා.

ඔගස්ටස් විනයාගරත්නම්ගේ තිර රචනයක්, නිෂ්පාදක මාක් ප්‍රනාන්දු (ශිරාන් ෆිල්ම්ස්) නිපැයුමට මිල දී ගෙන තිබීම හේතුවෙන්, සුගත්ට ඊළඟ වාරයේ සිදු වූයේ ‘තෝරා ගැනීමක් කළ නොහැකි’ චිත්‍රපටයක් නිර්මාණ අධ්‍යක්ෂණයට උරදීමටයි. අවස්ථාව පැහැර නොහැරි සුගත් අප කිහිප දෙනෙකු හා එක්ව ඔගස්ටස් විනයාගරත්නම්ගේ තිර රචනය යම් මට්ටමක් දක්වා සංස්කරණයට වෙර දැරුවා.

අවසානයේ සුගත්ගේ නිර්මාණශීලී ශක්‍යතා මේ කටු කොහොල් හරින ලද තිර රචනය උදෙසා භවිත වුවත්, එය ප්‍රේක්ෂක ජනයාගේ ආකර්ෂණයට ලක් වූවේ අඩු මට්ටමකින්. නිෂ්පාදකවරයා හා සුගත් අතර දැඩි මතභේද ඇති වූ බවට වාර්ත වුණා.

මේ වූ කලී, සුගතපාල සෙනරත් යාපා මුහුණ දුන් සියලු අභියෝගයන් ඔහු පීඩාවට පත් කළ මොහොතක්. දේශපාලනයේ ද ක්‍රියාකාරීභාවයක් දැරූ සුගත්, ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ආරම්භයත් සමඟ, රජයේ චිත්‍රපට අංශයේ ද සහභාගිත්වය ඇතිව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය, ඔහුගේ සියලු මතවාද උඩු යටිකුරු කළ මොහොතක්. එය රනිල් වික්‍රමසිංහ අගමැති ධූර කාලයේ ද යළි ඉස්මතු වුණා.

කෙසේ වුවත් නිර්මාණකරුවකුගේ මේ ඉරණම පුද්ගල බද්ධ මට්ටමකින් විග්‍රහ කිරීම අනුචිතයි! සුගත්ගේ ඇතැම් කියුම් කෙරුම්, ඇතැම් විට ඔහු සතු විය යුතු විනය ඉක්මවා යාමක් ලෙසයි අපට හැඟෙන්නේ; එහෙත් එනිසාම ඔහු බොහෝ දේ අහිමි කර ගත්තෙක්.

රජයේ ලිපිකරු සේවා සංගමයේ හැත්තෑව දශකයේ මුල භාගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ සුගත්, සිිරිමා බණ්ඩාරනායක හා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ සභාග නොහොත් සමගි පෙරමුණු ආණ්ඩුව සමයේදීවත් අගැයීමට ලක් නොවූයේ, නිදහසින් පසු කිසිදු බලයට පත් ආණ්ඩුවකට පැහැදිලි ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් නොවීමේ මුඛ්‍ය හේතුවෙනුයි.

ඉන්දීය නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මාන දිනූ ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයේ තිර රචනය රඟන කුඩා පුස්තිකාව, එඩ්වින් ආරියදාස විද්වතාගේ පෙරවදනක් සහිතව ප්‍රකාශනයට රජයේ එක්තරා බැංකුවක් ප්‍රකාශනාධාර මුදලක් ඉල්ලීමේ සිද්ධිය, තම රටේ කලාකරුවන් පිළිබඳ පවත්නා අව තක්සේරුව හෙළි කරන්නකි. එවකට එම බැංකු වේ සභාපති වරයා වූයේ වාමාංශික පක්ෂ න්‍යායාචාර්යවරයෙකි . සුගත් පිළිබඳ තක්සේරුවක්, කලාකරුවෙක් ලෙසට අගැයීමක් වැටහීමක් ඔහු කෙරෙහි දක්නට අපහසු වුණා; හෙතෙම අපව බැංකු ණය පිළිබඳ නිලධාරීන් වෙත යොමු කළා; පිළිගත් ඇපකරුවෝ දෙන්නෙක් ඇත්නම් පොත ගහන්න රුපියල් තුන්දහස් පන්සියයක් නිකුත් කරන්නම් ඔවුහු කීහ. කතාව ඇත්තය! ඒ බැංකුª ණය ප්‍රතිපත්තියයි. එහෙත් රටට - ජාතියට ගෞරවයක් අත්කර දුන් කීර්තිමත් කලාකරුවා අවසන බැංකුª ණයක් ඉල්ලන සාමාන්‍ය ගනුදෙනුකරුවකුට ලඝු නොකර, ඊට වෙනස් දෙයක් අත්කර දීමට ‘අවිඥානක’ (කිසිම කලාකාරයෙක් – කිසිම කලා නිර්මාණයක් නොහඳුනන) නිලධාරි පැලැන්තියගෙන් මීට වැඩි යමක් අපේක්ෂා කළ හැකිද?

ඊට වසර ගණනාවකට පසු ‘මිනිසා සහ කපුටා’ තිර රචනයේ අත්පිටපත් සහ පෙරවදන දිවයිනේ පැරැණිම පොත් ප්‍රකාශන ආයතනයකට භාර දුනිමු. ප්‍රකාශ කළමනාකාරවරයා මෙන්ම, අත් පිටපත ද අභාවයට ගොසිනි. සුගත්ටත්, අපටත් ඇත්තේ උපේක්ෂා සහගත පශ්චත්තාපයක් පමණි. අපට අත්පිටප තවත් කිසි ලෙසකින් ආපසු ලබා ගැනීමට නොලැබුණි. සුගත්ගේ දේහය අඩපණ වූ පුවත මා ලද්්දේ මේ කෘතියේ සම්පාදක ජීවන්ත දයානන්ද සොයුරාගෙනි. අපට ඒ ගැන පුදුමයක් නැත. මිනිසකුට දරා ගත හැකි ප්‍රමාණයක් තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කියන යෙදුමකින් සුගත් මේ රටේ රසික ජනයාගෙන් ‘වේදනාත්මක සමු ගැනීමක්’ කළේ මින් වසර බොහෝ ගණනකට පෙරයි. ඊට එකම හේතුව සුගතපාල සෙනරත් යාපාගේම යැයි ඇතැම් දෙනා කියනු අප අසා සිටින්නේ උපේක්ෂාවෙන්. සංස්කෘතික කාන්තාරයක, ‘නියං සමයෙහි හඬනා අහසක්’ මෙන් සුගත් දන්නා හැම පරිපාලකයකුම දන්නා හැම දේශපාලනඥයකුටම යම් ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව සිනමාවටත් අවශ්‍ය යැයි කියාගෙන – කියාගෙන ගොස් ඇත්තේ කාලාන්තරයක සිටයි. එහෙත් නෑසූ කන්ව, නුදුටු ඇස් ඇතිව, හොරට නිදා සිටින පරිපාලක / ආණ්ඩු කරන දෙපිරිසක් තවමත් මේ රටේ වැජඹෙති. අපට සුගත්ගේ ගී පදයකින්ම මෙම ලියවිල්ල අවසන් කිරීමට සිතෙයි.

‘වනන්තරේ ගල් අරණේ විමානෙට

නිරන්තරේ මඟ අවුරා මුවා කොට’

එනමුදු සහෘද කලාකරුවාණෙනි; අප පරපුර මියෙන තෙක් අප හදේ කොනක ඔබ සදා ජීවත්වීම සත්තයි! පෙර දින සම්මුඛ සාකච්ඡාවකදී, චිත්‍රපට උළෙලක චිත්‍රපට නැරැඹුමකදී, තෝරා - බේරා රසිකත්වය - සිනමා සවිඥානකත්වය දනවන සිනමා පට නැරැඹිමකින්, ඉන් අනතුරුව කළ පැහැදිලි කිරීමෙන්, හොඳ හිතැති මිනිසකුª වශයෙන් ඔබ ඇසුරු කළ අප වන් හැට – හැත්තෑවේ සිනමා මාධ්‍යය කෙරේ භක්තියෙන් රස විඳි පරපුරෙන් ඔබට සැමදා සිහි කිරීම් අනන්තවත් ලැබෙනු සත්තයි.

ඉතින් ගතින් දුබල වුවත්, සිතින් ශක්තිමත් මිනිසාට අප ආසිරි පතන්නෙමු.

අප – අපගේ දරුවන්ට ද ඔබ ගැන කියා ඇත්තෙමු. ඔබගේ නිර්මාණ ශක්තිය එදත් – අදත් – අප ජීවන හුස්ම පොද හෙළන තුරුත්, අපට අගී. එය දුක දිනා ජය ගත් හපන් මිනිසෙක් සහ නිර්මාණශීලී කලාකරුවෙක් උදෙසා එක ලෙස අප තුළ පවතිනු ඇති. එවිට ජීවිතය එකම ආනන්ද ප්‍රවාහයකි. සුගත්ගේම ගිී පදයක කියනා ලෙසට

අනන්ත වූ දෙරණ සරා

දෑස නිවන නිලක් සොයා

අහස් ගව්ව නැඟ ගත්තේ

නිල්ල දකින්නයි//

සරා සොඳුරු මල් පැටලි

ලිහී නොයන ජීවිතයයි

නුරා දියර ගඟුල් හැලී

ලිහීී නොයන ජීවිතයයි//

හෙට උදාවන දසවසටවත් සුගත්ගේ ‘හන්තානේ කතාව’ සමඟ ‘මිනිසා සහ කපුටා’ චිත්‍රපට යුගලය හෝ අනාගත පරපුරට සිනමාහලකදී දැකගන්නට ඉඩහසර සලසන කෙනෙකු මම සොයමි !

සුගතපාල සෙනරත් යාපා, රජයේ ලිපිකරු සේවා සංගමයේ 1969 කලා උපහාර උළෙලක් කොළඹ ආනන්ද විදුහල් ශාලාවේ පැවැත්වීමට පුරෝගාමී වුවා. ‘ජනතා උපහාර’ තිළිණයක් මහගම සේකර කලාකරුවාට පිරිනැමීමෙහි ද ඔහු පුරෝගාමී වූවා.

‘මොකක්ද බන් ජනතා කලාව කියන්නේ . . .?’

සේකර අපෙන් ඇසීය. අපට එදත් පිළිතුරු නැත; අදත් පිළිතුරු නැත!