වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමා ගාමිණී ඇවිත් යන්න එන්නම් කියා නොකියාම ගියේය

ගාමා ගාමිණී ඇවිත් යන්න එන්නම් කියා නොකියාම ගියේය

ගාල්ලේ සිට කොළඹ ඇවිත් යන ගාමා ගාමිණී ඒ යන විට සරසවියට ගොඩ වදිනුයේ දුක සැප බලා යන්නටය.නිතර තොප්පියක් පැලඳීය ද අනුනට තොප්පි නොපැලඳී ගාමා ගේ සුහද කතාබහ අපට මහත් දිරියක් වූ බැව් නොකියාම බැරි කාරණයකි.

ගාමා ගාමිණී අද උදෑසන අභාවප්‍රාප්ත වුණා මේ බව සදහන් එස්.එම්.එස්.පණිවිඩයක් මට ලැබුණේ පසුගිය සිකුරාදා උදෑසනින්මය. එය එවා තිබුණේ ආනන්ද වික්‍රමාරච්චිය. ආනන්ද ඉහළ තල්දූවේය. ගාමා හබරාදූවේය.පණිවිඩය එවන්නේ සරසවියටය.මේ අපූරු සබඳතාවයකි.සරසවිය නිසා එබඳු රට පුරා එකතුවූ රසික රසිකාවන් එමටය.ඔවුන් සරසවියට නිහඩව ජිවය දුන් හිතවතුන්ය. ඒ ඔවුන් සරසවියේ පාඨකයන් බැවිනි. සරසවිය බඩ බැඳගත් එබඳු හිතවතුන් ගණන ලක්ෂ ගණනකි. එම නාමාවලිය ලියන්නට මට කිව හොත් එය පත්තරයකින් ලියා ඉවර කරන්නට බැරි ජාතියේ එකකි.ඔවුන් සමහරක් දෙනාගේ සරසවිය හා බැඳුණ බැම්ම අප උපදින්නටත් කලින් ඇති වුණ ජාතියේ එකකි.

ගාමා ගාමිණීට සරසවිය සමඟ තිබුණේ එහෙම හිතවත්කමකි.ඔහුගේ නම මා මුලින් ඇසුවේ කවදාදැයි මට මතක නැතත් එය කියවූ නමක් නොව ඇසූ නමක් බව නම් මතකය.ඒ අසන ලද්දේ ගුවන් විදුලිය ඔස්සේය. ඒ කාලයේ අසන්නන්ගේ ඉල්ලීම් වැඩ සටහනට නිබඳව ගීත ඉල්ලන අසන්නන් රාශියක්ගේ නම් අපට කටපාඩම් විය. ඔවුන් තැපැල්පත් වැය කොට ඉල්ලන ගීත නොමිලයේම අසා අපි සතුටු වීමු. ඒ ගීත ඉල්ලන ලැයිස්තුවේ සිටි ඇතැම් නම් අතර හබරාදූවේ ගාමා ගාමිණි සුබසිංහ ද එක් අයෙකි.

පසු කලක ඔහුගේ ගීත ඉල්ලන නාමාවලියට හිල්ඩා වික්‍රමබාහු ද සකුරා දිල්හානි ද එක් විය. හිල්ඩා ඔහුගේ ප්‍රිය බිරින්දෑ බවත් සකුරා ඔවුන්ගේ දියණිය බවත් දැන ගත්තේ පසු කලකය.එක් කාලයකදි ගාමා ගීත ඉල්ලා සිටියේ හබරාදූවේ සිට නොව මෝදර රොක් හවුස් කඳවුරේ සිටය.නැතහොත් යාපනයේ සිටය. ඒ කලක් ගාමා රට රකින්නට යුද්ධයට ගිය බැවිණි. යුද්ධය අතරතුර දී ද ඔහු ට පත්තරයකට ලිපියක් නොලියා ඉන්නට හෝ ගුවන් විදුලියේ ගීතයක් නොඉල්ලා ඉන්නට බැරි තරම් විය.මා ගාමා මුල්වරට හමුවූයේ ද එහෙම දවසකය.නිල ඇඳුමෙන් සැරසි ගාමා ගාමිණී සරසවියට ආවේය. ඒ දවස්වල සරසවියේ සිටි සුසිල් ජිනප්‍රිය මට මුලින්ම ගාමිණී හදුන්වා දුන්නේය.

ගාමා ගාමිණී යනු අපේ රටේ ආදරණීය සිනමා රසිකයනගේ වර්ගයේ කෙනෙකි. මේ රසිකත්වය නොවන්නට කලාකරුවන් මෙතරම් ඉහළින් වැජඹෙන්නේවත් ඔවුන්ට එතරම් ඉහළ ඉල්ලුමක් පවතින්නේත් නැත.බොහෝ අතිතයේ චින්තාමනී නම් චිත්‍රපටය තිර ගත වද්දී එහි රඟපෑ අස්වතම්මා නම් නිළිය දැක ගන්නට ඇතැමෙකු මෙරට සිට ඉන්දියාවට ගිය වග වාර්තා විය. සමහරුන්ට එය පිස්සුවක්යැයි හැඟැනද මේ රසිකයන් නොමැති නම් ලෝකයේ කලාවන් ව්‍යාප්ත වන්නේත් ?සිනමාව ආදී නිර්මාණ පවතින්නේත් නැත.

සරසවිය සම්බන්ධව ගාමා වැන්නන් නිරන්තරයෙන් අවදිව උන් පිරිසකි. එහි දුක සැප දෙකෙහිම බිතු සිතුවම් රූ මෙන් වෙනස් නොවී සිටියහ. සමහර කලාකරුවන්ට සරසවිය අවශ්‍ය වනුයේ තමන්ට අවශ්‍ය වූ විට පමණකි. එහෙත් ගාමා වැන්නන් කවදත් සරසවියට ආදරය කළහ. එමෙන්ම අවශ්‍ය විටක විවේචනාත්මක ගෝරනාඩුවක් දමන්නට වුවද ඔවුහු මැලි නොවෙති.ඒ ඔවුන්ගේ පරම අයිතියේ කොටසක් බැවිනි. කලාකරුවන් පිළිබද ඔවුන් දන්නා බොහෝ දේ එමටය.

ගාමා පසුපස නිර්මාණාත්මක මිනිසකු ද වූයේය.සාමාන්‍ය රසිකයකුට වඩා ඔහු ගේ විශේෂ ලක්ෂණය එය විය. එමෙන්ම ඔහු පොත පත ඇසුරු කළ වගක් හැඟී යන්නකි.ගාමා ඉතා මෑතක ක්‍රීඩාවන් පිළිබඳ පොතක් රචනා කොට එය පළ කළේය.ඔහු අතින් ලියැවුණු ගීත කිහිපයක් ද විය. මේ හැම දෙයක්ම ඔහු අපට පෙන්වා දුන්නේ රසිකයෙක් වීම නිසා මුහුකුරා යන්නට ඉඩ නොදුන් නිර්මාණාත්මක මිනිසකු පිළිබඳවය.ගාල්ලේ සිට කොළඹ ඇවිත් යන ගාමා ගාමිණී ඒ යන විට සරසවියට ගොඩ වදිනුයේ දුක සැප බලා යන්නටය.

නිතර තොප්පියක් පැලඳීය ද අනුනට තොප්පි නොපැලඳී ගාමා ගේ සුහද කතාබහ අපට මහත් දිරියක් වූ බැව් නොකියාම බැරි කාරණයකි.ගාමා සරසවියට අවසන් වරට ලිපියක් එව්වේ එහි පනස් වසර වෙනුවෙනි.මේ ලිපිය මෙවර පළ වෙයි.සරසවිය උපන් දවසේ කතා කළ රසිකයන් අතර ගාමා ද විය.ඇවිත් යන්න එන්නම් ඔහු එදා පැවසුවේය.එහෙත් ඇවිත් යන්නට එන්නම් යැයි පැවසුව ද ඔහු නොකියාම යන්නට ගියේය. එක් අතකින් එබඳු රසිකයන් අද දුර්ලභය. එයට හේතුව අද කලා රසිකයන්ට කලාකරුවන් සොයා යෑම එදා මෙන් දුෂ්කර නොවිම විය හැක.එහෙත් අද කලාකරුවන්ගේ පැවැත්ම ගොඩ නැගුණේ ගාමා ගාමිණී වැන්නන්ගේ අවංක ආදරය මත්තෙහි බැව් සදහන් කරනු කැමැත්තෙමි.ගාමා ගාමිණි හිතවතාණන්ට නිවන් සැප ලැබේවා

ගාමා ගාමිණී සරසවියට ලියූ අවසන් ලිපිය

ශ්‍රී ලංකාවේ පැරණිම හා ජනප්‍රියම සරසවිය පාඨකයා හා රසිකයා මම වෙමි

වසර 1963 අප්‍රේල් 10 දින කලා රසික අපට සුවිශේෂි දිනයකි. ඒ සරසවියේ උපන් දිනයයි. එවක මට අවුරුදු 12 ක් පමණ ඇතැයි සිතමි. මා එදින පියා සමඟ නුවරඑළිය නගරයට පියමං තැබුවේ (එකල මා පාසල් ගියේ නුවරඑළිය වීම නිසාය) 1963 වසරේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට කමිසයක් සහ කලිසමක් පියා විසින් රැගෙන දෙන නිසාය. එකල අද මෙන්ම කලා තොරතුරු කියැවීමේ ආශාවක් තමාට තිබුණි.

පත්තර කඩයක එල්ලා තිබූ අලුත් පුවත්පතක් මම දුටුවෙමි. පියාට ඇවිටිලි කොට ශත 10 ක් හෝ 15 ක් ගෙවා එම පත්තරය මිලදී ගත්තෙමි. එය නමින් සරසවිය විය. එදා - සිට අද දක්වා නොකඩවා සතිපතා නොවරදවා සරසවිය මිලදී ගැනීම මාගේ පුරුද්දක් විය. මා යාපනයේ සේවයේ යෙදී සිටි සමයේ කොළඹ සිටින මිතුරන්ට දන්වා ගුවන් මගින් සරසවිය ගෙන්වා ගත් අතර මා විදේශීය පාඨමාලාවන්ට එතෙර ගිය විට මාගේ ආදරණීය බිරිඳට (හිල්ඩාට) සහ ආදර දියණිය (සකුරාට) කියා ගුවන් තැපැල් මගින් ගෙන්වා ගෙන කියෙව්වෙමි.

සරසවිය රසිකයකු ලෙසින්ද පාඨකයකු ලෙසින්ද ලද සෑම විවේකයේදීම සම්බන්ධවීමටත් අමතක නොකළෙමි. එදා - මෙදා තුර සරසවියට යොමු කළ ලිපි - තැපැල්පත් ප්‍රමාණය දහසකට අධිකය. එකල තිබූ සරසවිය විශේෂාංග අතර, ජෝට කියන්න, ගාමිණීට කියන්න, ගීතාගෙන් අහන්න, ශ්‍රියානිට කියන්න, ප්‍රෙඩීගෙන් අහන්න, වැනි විශේෂාංග වලින් නිබඳවම මා හට පිළිතුරු ලැබුණි. රසික පැන, සරසවිය ප්‍රහේලිකා වැනි දේ තුළින් තෑගි ජයග්‍රහණ ලබා ඇත්තෙමි. එදා එලෙස සරසවිය පාඨකයකු වූ මා අද දක්වා විනෝදාංශයක් ලෙසින් සරසවියට සම්බන්ධ වෙමි. සරසවිය පුවත්පත ආදරයෙන් හා ආශාවෙන් එකතු කළෙමි.

ඒ නිසාම මා දැනට ශ්‍රී ලංකාවේ සිටින පැරණිම හා ජනප්‍රියම පාඨකයා හා රසිකයා බව නිරහංකාරව පවසමි. සරසවිය ආරම්භක කතුතුමන්ලාසේම වර්තමාන කර්තෘත්වය හොබවන අරුණ ගුණරත්න මහත්මා ප්‍රමුඛ සියලුම සරසවිය කර්තෘ මාණ්ඩලිකයන් මම පුද්ගලිකව හඳුනාගෙන ඇත්තෙමි.

එදා සිනමා සක්විති ගාමිණි පොන්සේකා, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ආනන්ද ජයරත්න, රවීන්ද්‍ර රංදෙනිය, විජය කුමාරතුංග, රංජන් රාමනායක වැනි ජනප්‍රිය ශිල්පීන් මෙන්ම, රුක්මනී දේවා, මාලනි ෆොන්සේකා, ගීතා කුමාරසිංහ ශ්‍රියානි අමරසේන, විශාකා සිරිවර්ධන වැනි ප්‍රවීණ නළු නිළියන් මෙන්ම නවක නළු නිලියන් රැසක් මා පුද්ගලිකව දැන හඳුනාගත්තේ සරසවිය රසිකයකු වීම නිසාය.

වර්තමානයේ මා ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු, කවියෙකු, නිවේදකයකු ලෙස ඉදිරියට ඒමට පන්නරය ලැබුවේද සරසවිය රසිකයකු වීම නිසා බව යැයිද මට සිතේ.

මෙවන් වකවානුවක අපගේ සරසවිය පුවත්පතට වසර 50 ක් පිරීම සහ ස්වර්ණ ජයන්තිය සැමරීමේදී රසිකයකු ලෙසින් ඉතා සතුටට පත්වන්නෙමි. එමෙන්ම කෙටි අතීත ආවර්ජනයක යෙදීමට හැකිවීමද සතුටට කරුණකි.

දිවි ඇතිතාක් කල්, සරසවිය පුවත්පත පවතිනතුරාවට නොවෙනස්ව රසිකයෙකු පාඨකයකු ලෙස හිඳීමට බලාපොරොත්තු වෙමි.

එදා - සරසවිය කුමරිය

අද - සරසවිය රැජිණිය – ඔබට රසික මගේ

උණුසුම් සුබ පැතුම්

සාමවිනිසුරු
ගාමා ගාමිණී සුබසිංහ
සකුරා හවුස්
හබරාදූව
071-8166696