වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වැවේ දියයි මට - කෙතේ නිලයි ගහවැලේ මලයි නුඹ අප්පච්චී

වැවේ දියයි මට - කෙතේ නිලයි ගහවැලේ මලයි නුඹ අප්පච්චී

එල්මෝ ඒකනායක

දිල්හානි අශෝකමාලා ඒකනායක නමින් සොඳුරු මතකයක් අප හදවතෙහි සනිටුහන් කළ ඕ අපට සිටිනා දක්ෂ රංගන ශිල්පිනියකි. එවන් වූ දක්ෂ රංගන ශිල්පිනියක මෙලොවට දායාද කිරීමට තරම් වාසනාවන්ත වූ එල්මෝ ඒකනායක නම් ඒ දයාබර පියාණන් පසුගියදා මොලොවෙන් සමු ගත්තේය. එවැනි සොඳුරු පියෙකුගේ සමුගැන්ම දියණියකගේ හදවත රිදුම් දීමට සමත් යැයි කීම අරුමයක් නොවේ. මේ ලියැවෙන්නේ සිය පියාණන් වෙනුවෙන් ඇගේ හදවතෙහි නැඟුණු ඒ ශෝකී රාවයයි.

‘නුඹ අහිමිවීමේ මතකය වරින්වර උඩු සිතට කොඳුරනු මට දැනේ. එවිට මම නෙත් විවර කර වටපිට බලමි. වෙනදා අවදි වනවිට පෙනුණු නුඹගේ රුව අසල අද ඇත්තේ හිස් අවකාශයකි. එතැන තිබුණා වූ යහන පසෙක ලා මතුªවන්නේ හිස් අවකාශයකි. නමුදු නුඹ ඒ යහන මත්තෙහි සතපා සිටි අයුරු මගේ නෙත් මානයෙහි විද්‍යමාන වන්නේ ක්ෂණයකිනි. ඒ ක්ෂණය මගේ සිත රැගෙන යන්නේ ගිය වසරෙහි උඳුවප් මහේ දිනයක් වෙත ය.

එදින මම නුඹව රථයෙහි නංවා ගෙන බොරැල්ල තෙක් ඇරළූයෙමි. බොරැල්ලෙහි තිබුණු රථවාහන තදබදය මගේ සිත නොසන්සුන් කළේය.

‘මේ ට්‍රැෆික් දවස්වල ඩැඩාටත් ගෙදරට වෙලා ඉන්න බැරි හැටි . . .’

මම නුඹට ඇසෙන සේ කොඳුළෙමි. එකල නුඹගේ මුවඟෙහි නැගුණු සිනහව මට අද මෙන් මතකය. එපමණකින් නොනැවතුණු නුඹ, නුඹගේ දෑත ඔසවා ආචාරයක් කිරීමට ද අමතක නොකළ අයුරු මගේ දෑසේ ඇඳී නෑඳී යයි. ඒ ජීවිත කාලයෙහිම නුඹ මට කළ අවසාන ආචාරය බව මා කෙසේ නම් සිහිපත් කරන්නෙම්ද? ඒ ආචාරය සිනහ පිරි මුවින් පිළිගත් මා රථය පණ ගැන්වූයේ ‘රිදී රැයක්’ ප්‍රසංගය දෙසට පිවිසෙන අදිටනිනි.

බොහෝ වේලාවක් එහි රැඳී උන් මා නිවෙසට පිවිසියේ රෑ බෝවීය. ගතෙහි නැඟුණා වූ තෙහෙට්ටුව මා නිදි දෙව් දුව තුරුළට රැගෙන යාමට ගත වූයේ නිමේෂයකි. පසුදා අවදි වූ මට කළ යුතු රාජකාරීන් බොහොමයකි. ඒ අතර ඔබ කවදත් ආදරය කරන නත්තල සැමරීමට අවැසි කළමනා සැකසීමයි. නිවෙසෙහි එක්කොණක නත්තල් ගස ය. අනෙක් කොණක යුහුසුළුව කටයුතු කරන අපගේ සිතට, දුරකථනය තවෙකක් මතක් කර දුන්නේය. ඒ නුඹ පිළිබඳ මතකයයි.

‘මිස්’ මිස්ගේ තාත්තා මහ රෝහලට ඇතුළත් කරලා’

පොලිසිය කළ ඒ හෙළි කිරීමෙන් මම මඳක් ගොළු වී ගියෙමි. නුඹ සොයා මහ රෝහලට ගිය ඒ ගමන ජීවිතයේ දිගුම ගමන දැයි මම මාගෙන්ම විමසා සිටියෙමි.

‘බස් එකෙන් එළියට විසි වෙලා . . .’

හෙදිය කිව්වේ එපමණකි. මම නුඹ දෙසම බලා සිටියෙමි. එහෙත් අප පැමිණි වග නුඹට වගේ වගක් නොමැත. ඊට දෙමසකට පසු නුඹ නිවෙසට පැමිණියේය. ඒ කලින් නුඹ සමඟ විසූ සහෘද මිනිසා නුඹ කෙරෙන් පලවා හරිමිනි.

අකුණු පහරක් ලද කලක මෙන් මට මා වාරු නැති වී ගිය නිසාවෙන් අසල අසුනකට බර වූ මම නුඹගේ උවන දෙසම බලා සිටියෙමි.

‘දිල්ලි මෙහෙ එන්න’

‘මේ බලන්න මේ ගීතය ලස්සන ද කියලා’

නුඹ සුපුරුදු ලෙස අසන ඒ වදන් පෙළ මගේ දෙසවන වැකිණි. නිරතුරුව නුඹගේ සුරතෙහි සිර වී නුඹගේ ඇතැඟිලි පහස ලැබූ ඒ ගිටාරයේ ස්වරය අද කම්පිතව ගොසිනි. නුඹත්, පුතු පසිඳුත් තරගයට මෙන් ගිටාරය වයනයුරු මම සිහිකරමි. වරෙක නුඹ ගිටාරය වයයි. පසිඳු පුතු ගී ගයයි. සමහර විටෙක නුඹ ගී ගයයි. පසිඳු පුතු ගිටාරය වයයි. එවැනි වරෙක මගේ සිතට දැනුණු සැනසුම් සුවය කොතරම් දැයි නුඹ දන්නෙහි නම් ඒ පිළිබඳ නුඹට කියා දිය හැකි නම් කොතරම් අගනේදැයි මට දැනුදු සිතේ.

ඒ සිදුවීම් පෙළ ඔස්සේ මම සැනෙකින් අතීතයට පිළිවිසියෙමි. ඒ කාලයක් නුඹ මැද පෙරදිගට වී අප වෙනුවෙන් සිය දහඩිය මහන්සිය කැප කළ අවධියයි. එවිට මම සත් හැවිරිදි කුඩා ළදැරියක වීමි. නුඹට දැඩි සේ ආදරය කළ මම වසරකදී ලැබෙන නිවාඩුවට නුඹ නිවෙසට එත්දැයි දින ගණන පැමිණෙන තුරු ඇඟිලි ගනිනා අයුරු මට අද මෙන් සිහියට නැෙඟයි. නුඹ පැමිණ ගතවන ඒ කාලසීමාව ඉක්මනින් අවසන් නොවේවායි මා කොපමණ දෙවියන් යදින්නට ඇත්දැයි මම දැනුදු සිතින් ගණනයක යෙදෙමි. දුක්මුසුම කාල පරිච්ඡේදය ඇරැඹෙන්නේ ඉන්පසු ය. නුඹ අප සැම තනිකරදා ගුවන් ගතවෙන ඒ නිමේෂය තරම් දුක්මුසු නිමේෂයක් ඇත්දැයි මට එකල සිතුණු වාර අනන්තය.

මා ප්‍රිය කරන නුඹගේ ස්වරය කැසට්පට ගතකොට එවන්නේ අපට ඇති ආදරයෙහි සංකේතයක් ලෙසිනි. නුඹ ගිටාරය වයා ගයන ‘දිල්හානි දුවනි’ ගීතයට අද ද මම ප්‍රිය කරමි. නුඹ ගීතයට කෙතරම් පෙම් බැන්දේ ද යත් ලංකාවෙහි විසුමට පැමිණි පසු ගී කණ්ඩායමක් සමඟ නිතර නිතර ගී ගයන්නට අමතක නොකළේය. නිතර නිතර නුඹගේ මුවඟ රැඳුණු බටහිර ගී අසන අපි නුඹ අගය කිරීමට අමතක නොකළෙමු.

දිනෙක අප නිවෙසෙහි සාදයකි. ඒ වන විට නුඹ සිටියේ බයිපාස් සැත්කමට බඳුන්වය. ඒ නිසාම එහිදී අපි නුඹට ගී ගයන්න ආරාධනා නොකළෙමු. ඊට නුඹ නෝක්කාඩු කියූ අයුරු මතක මං පෙතෙහි සිත්තමක් මෙන් ඇඳී තිබේ. ඒ නෝක්කාඩුව නුඹගේ සිතින් දුරු වූයේ ඊට දින කිහිපයකට පසුව ය. ඒ ද එවැනිම සාදයකදී ගීී ගයන්නට නුඹට කළ ඇරැයුමෙනි.

නුඹ නුඹට සිතූ පරිදිම කටයුතු කළේය. කාට වුවද, කුමන තරාතිරමේ අයකුට වුව ද කිව යුත්ත කෙළින් කීවේය. යම් කටයුත්කට පැමිණිය ද ඒ කටයුත්ත නිමකර ඉක්මනින් ආපසු යෑමට නුඹ ප්‍රිය කළේය. නිතරම නිශ්ශබ්දතාවය නුඹ පි‍්‍රය කළ අයුරු මට රහසක් නොවේ. නුඹගේ මේ ගතිගුණ මගේ ජීවිතයට ද තදින් බලපෑම් කළ බව මට සිතේ. ඒ මා ද නිතරම නිශ්ශබ්දතාවට ප්‍රිය කරන බැවිනි. අගය කරන බැවිනි. ජීවිතයෙහි තීරණ ගැනීමේ නිදහස නුඹ අප සතු කළේය. කිසිදු දිනක ඒ සඳහා බලපෑමක් නොකළ බව ඉඳුරා කිව හැකිය. ඒ නිසාමදෝ මා නිළියක යන හැඟීම නුඹට කිසි දිනෙක නොවීය. මා නුඹට නුඹගේම ‘දිල්ලි’ විය.

නුඹගේ ජීවිතයෙහි සැඟව සිටි ඒ සොඳුරු මිනිසාට මම බෙහෙවින් ආදරය කළෙමි. නුඹ වටා සිටි අය ද නුඹට බොහෝ සේ ආදරය කළ වග මම දනිමි. ඒ ආදරණීය සැමරුම් අප අසලම ගැවසී සිටී. ඒ නුඹ අප හැරදා ගිය දින සිට ය. නුඹ රැඳී සිටි ඒ මාස කිහිපයෙහි වූ සුවඳ තවමත් අප අතර ය. අසල්වාසීහු නුඹව තවමත් සිහිපත් කරති. නුඹගේ ගුණකඳ අසන මගේ සිතට දැනෙන්නේ අස්වැසිල්ලකි. නුඹ ඉල්ලූ ලෙසම නුඹ බොහෝ සේ ආදරය කළ අසන්නට ප්‍රිය කළ බටහිර ගී දෙණ අසල නුඹට ඇසෙන්නට මම සැලැස්වීමි. ඉකි ගසා හඬමින් දුක ප්‍රකාශ කිරීම නුඹට කරනා අගෞරවයක් යැයි සිතූ මම හදවතින් ශෝක වීමි. ඒ හදවතෙහි නැඟුණු ශෝකය හදවතට බරක් කර ගනිමින් මම හදවතින් වැලපෙමි. නුඹ යහපත් තැනක උපත ලබන්නට ඇතැයි යනු අපගේ හැඟීමයි. එය එසේම වන බව නොඅනුමානවම මම දනිමි.

‘මෝනා මේ අඹය ලොකුª මහත්තයගේ ගහේ තිබුණේ’

පියවි ලොවට පිවිසියේ ඒ කියුමෙනි.

‘දිල්ලි මෙන්න මගේ පළමු ගෙඩිය ඔයාට. ඔයත් කාලා මටත් කෑල්ලක් දෙන්න’

ඔබ සිටියේ නම් ඒ ලෙස පවසනු නියතය.