වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කේලම් නිසා මට බොහෝ දේ අහිමි වුණා

කේලම් නිසා මට බොහෝ දේ අහිමි වුණා

සු ග ත් ජා න ක

මේ වෙන විට පුංචි තිරයේ ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්ය. සුළු චරිත හරහා ආ ගමන් මෙඟ් අද වන විට ඔහු රඟ දක්වන්නේ උප ප්‍රධාන චරිතය. සෙමින් තැබූ පියවර ඔහු ජය ගෙන ඇත.

සුගත් ජානක පුංචි තිරයේ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙකි. ගැහැනු ළමයි ටෙලි නාට්‍යයේ ‘මතං’ අදට ද බොහෝ දෙනාගේ මතකයේ රැඳුන චරිතයකි. ‘හිතට වහල් වීම’, ‘මිලා’ ඔහු රැඟූ ජනප්‍රියම චරිතය.

සරසවියට කවදත් ලෙන්ගතු සුගත් ඔහුගේ අලුත්ම විස්තර රැගෙන අප සොයා ආවා.

‘කොහොමද සුගත් . . .’

හොඳයි . . . දැන් ඉස්සර වාගේ නෙමේ පාරේ බැහැලා යන්න හරිම අමාරුයි. හැමෝම හඳුනනවානේ. ළඟටම ඇවිත් හැමෝම ආදරයෙන් කතා කරනවා. මේ රසික ආදරය මට ගොඩක් වටිනවා.

මේ දිනවල මොනවද කරන්නේ?’

හැමදාම මම දවස පටන් ගන්නේ මොකක් හෝ අලුත් වැඩක් සමඟ. ඒක තමා මට ඇති ලොකුම සතුට. මොකද මට හැමදාම වැඩ. ‘අහංකාර ස්ත්‍රී’ කියන අලුත්ම ටෙලියේ වැඩ බොහෝ දුරට ඉවරයි. ස්වාධීන රූපවාහිනිය මඟින් කරන ‘සිහින සින්ඩ්‍රෙල්ලා’ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩ. මට එම ටෙලි නාට්‍යයේ හොඳ අවස්ථාවක් දුන් චාමර අයියට හදවතින්ම මම ස්තුති කරනවා. ඒ වාගේම මේ මැයි 09 වැනිදා බර්මින් අයියාගේ අලුත් ෆිල්ම් එකේ වැඩ පටන් ගන්න නියමිතයි. මොහාන් නියාස් ගේ’ඉසුරු විමන’ අලුත්ම නාට්‍යයේ වැඩ ඉවර වුණා. සුනිල් කොස්තාගේ ‘සුදුයි උසයි’ නාට්‍යයේ ‘සුගතේ’ කියලා හොඳ චරිතයකුත් කළා.

එයට අමතරව ඇරැයුම් ලැබෙන ප්‍රසංග සඳහාත් මම සහභාගි වෙනවා. මොකද මම ගීත ගයන්න හුඟාක් ආසයි.

ඉදිරියේ සුගත්ව දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියන්නකො?

කිහිපයක්ම තිබෙනවා. වැඩ ඉවර කරපු ‘දෙවන මවු’, ‘රොසලිනා’, ‘ආදර රිද්ම’, ‘සෙව්වන්දි’, ‘හිරුට පිපෙන සූරිය කාන්තා’ යන ටෙලි නාට්‍යයත් ‘මායා’ හා ‘රන්ජා’ යන චිත්‍රපට දෙකත් එන්න තියෙනවා.

රඟපාන්න පෙර ගෙදරදී පෙර පුහුණු කරනවාලු නේද?

ඇත්තටම ඔව්. සාර්ථක රංගන ශිල්පියකු වෙන්න නැතුව බෑ.අපේ කැප කිරීම මතයි පැවැත්ම රඳා පවතින්නේ. ගෙදර කණ්ණාඩිය තමා මගේ පළමු කැමරා ශිල්පියා වෙන්නේ.

ඔබව වැඩිපුර දකින්නේ මෙගා නාට්‍යවල?

අලුත් අයට මෙගා තුළින් අවස්ථාව තියෙනවා. මමත් හුඟාක් මෙගා නාට්‍යවල ඉඳලා තිබෙනවා. හැබැයි මගේ වාසනාවකට උසස් නිර්මාණත් ලැබුණා.

පසුගිය දවස්වල ඔබ කලකිරීමෙන් හිටියා කියලා ආරංචියි?

කලා ලොවේ සිදුවෙන සමහරක් දේ නිසා මම ඇත්තටම කලකිරුණා. මම මහත් කැපවීමෙන් නාට්‍යවලට යන්නේ. සමහරු අපි ගැන අධ්‍යක්ෂවරුන්ට කේලම් කියලා හිත් කඩනවා. ටෙලියක් රූගත කරන්න ගිහිල්ලා එවැනි අහිමිරි දෙයක් සිදු වුණා. එවිට අපිට එම චරිත අහිමි වෙන අවස්ථා තියෙනවා. කේලම් කියලා වෙන අයව අපේ චරිතවලට දානවා. හැම අධ්‍යක්ෂවරුම මේ කේලම්වලට අහු වෙන්නේ නැහැ. ඉතිං දුකයි තමා.

රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් ගැනත් කියන්න?

මම විවිධ චරිත කළා. තාම අන්ධ චරිතයක් කරන්න බැරි වුණා. ඒ වාගේම හොඳ පෙම්වතෙකුගේ චරිතයක් කරන්නත් ආසයි.

වෘත්තීය රංගනයම වෙලාද?

ඔව්. අද පූර්ණකාලීන රංගන ශිල්පියෙක්. මම කවදත් සෙමින් ගමනක් ආවේ. මේ යන විදිහ මට හොඳයි. දැන් මම කරන්නේ හුඟාක්ම උප ප්‍රධන චරිත. හෙට දවසේ ප්‍රධාන චරිතයක් කරන්න ලැබෙයි කියලා මම හිතනවා.

ඔව් එහෙනම් ඔබේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා.