වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මට භාෂා කිහිපයක් හසුරුවන්න පුළුවන්

මට භාෂා කිහිපයක් හසුරුවන්න පුළුවන්

සිරස සුපිරි තරු මාවතෙන් සමුගත් නාසියා

ඇය සිරස සුපිරි තරු වේදිකාව තමාගේම කරගත්තීය. ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ ඇය පසුගිය සෙනසුරාදා ඉන් නික්මුණේ නොසිතූ පරිදිය.

නාසියා නයීමි.

නම තරමක් නුහුරු වුවත් සිය මිහිරිතම කටහඬින් රටක් වසඟ කළ ඈ සංගීතයෙන් දිගු ගමනක් අපේක්ෂා කරන්නීය.

මේ ඇය ගැන ලියවෙන මොහොතයි.

ඔබ ගැන මට තවදුරටත් හඳුන්වා දුන්නොත්?

මගේ ගම මිගමුවේ. ජීවිතයෙන් වැඩි හරියක් ගත කළේ පාකිස්ථානයේ. ඉගෙන ගත්තෙත් එහෙ. මගේ අම්මා සිංහල, තාත්තා මුස්ලිම්. මට අක්කා කෙනෙක් ඉන්නවා. සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ පාකිස්ථානයේ ඉන්න කොටමයි.

ඒ රටේ ඉඳලා මෙහෙ සිංදු කියන්්න අපහසුවක් දැනුණේ නැද්ද?

මගේ රට ලංකාවයි. මට ඒක හොඳට දැනෙණවා. එහෙ කාලයක් හිටියත් මං වඩාත් ආස ජෝතිපාල, සුජාතා අත්තනායක, නිරෝෂා විරාජිනී යන මහත්ම මහත්මීන්ගේ ගීත. ඔවුන්ගේ ගීත මාව මනමත් කළා. ලංකාවේ ගීත අනෙක් රටවල ගීත වගේ නෙවෙයි වඩාත් සිතට දැනෙනවා.

ඇයි සුපිරි තරු වැඩසටහනට අයැදුම් කළේ?

සිරස නාලිකාවට මං කොහොමත් ආසයි. ඉන් බිහි වූ ගායක ගායිකාවන්ට හොඳ පිළිගැනීමක් තියනවා. ඒ වගේම තරගයෙන් ඉවත් වුණත් ඉදිරියට යන්න උදවු කරනවා. ඒක නිසයි මෙයට අයැදුම්පතක් දැම්මේ.

මීට ප්‍රථම මෙම තරගය අදියර කිහිපයක්ම පැවැත්වුණා. මන්ද ඒවාට සහභාගී නොවූයේ?

එතකොට මං ඉගෙන ගන්නවා. ඉගෙන ගැනිල්ලයි සිංදු කියන එකයි එකට කරන්න කොහොමත් බැහැනේ. ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඊට පස්සේ සිංදු කියන්න පටන් ගත්තේ.

ගායනයට අමතරව ඔබට ගීත ලියන්නටත් පුළුවන් නේද?

ඔව්. මං මේ වෙන කොට සිංදුවක් කියලා තියෙන්නේ. ඒක ලිව්වේ මමමයි. එකේ ලොක විශේෂත්වයක් තියෙනවා. ඒ එය හින්දි භාෂාවෙන් ලිය වෙච්ච එකක් නිසා.

ඔබට වෙනත් භාෂා පුළුවන්ද?

පාකිස්ථානයේ හිටිය නිසා උර්දු පුළුවන්. ඒ වගේම හින්දි, පංජාබ්, ජපන්, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් මට හොඳට හැසිරවිය හැකියි.

සුපිරි තරු තරගයට ආව පළමු දින මතකද?

ඒ දවස නම් කවදාවත් අමතක වන්නේ නැහැ. මං කිව්වේ ජෝති සුජාතා යුවළ ගැයූ ’ඝන අන්ධකාරයෙන් මිදී’ ගීතය. පසුව වේදිකාවෙත් ඒක ගැයුවා. හොඳ ප්‍රතිචාර ලැබුණා ඒකට. හැබැයි කුමන වටයේදී වුණත් බය වුණේ නම් නැහැ.

එතකොට ඉවත් වූ මොහොත?

මට ටිකක් දුක දැනුණා. ඒත් මෙච්චර දුරක් ආවනේ. ඒ ගැන හිතලා සතුටු වුණා.

මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

සංගීතයම තමයි කරන්නේ.

අලුත් නිර්මාන කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා.

අවසන් කොට තුති පුදන්න පිරිසක් ඇති?

මගේ අම්මාගේ මල්ලි සහ ඔහුගේ බිරියව මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම සිරස ආයතනයට සහ සුසාර දිනාල් සර්ට තුති පුදනවා.