වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු චිත්‍රපට කතාව 10

ඉන්දියානු චිත්‍රපට කතාව 10

1915 වසරේ මුළු ඉන්දියාවේම නිෂ්පාදනය වූ චිත්‍රපට සංඛ්‍යාව එකකි.එහෙත් ඒ වන විට හොලිවුඩ් නගරයේ යුනිවර්සල් සමාගම සිය දැවැන්ත යුනිවර්සල් චිත්‍රාගාරය ඉදි කොට අවසන්ය.එමෙන්ම එපමණකින් නොනැවතුනු ඔවුහු ඉන්දියාවේ සිය මුල්ම කාර්යාලය ද විවෘත කිරීමට සමත් විය.හොලිවුඩ් පුරවරයේ පැරමවුන්ට් චිත්‍රපට සමාගම ද මේ වන විට බිහි ව අවසන්ය.

චීන චිත්‍රපට ආසියාකරයෙන් බැහැරව ලොව පුරා තිර ගත වීම ඇරඹෙනුයේ ද 1914 වසෙර්ය. මේ සියලු සිනමාවට ප්‍රධානම වෙළඳ පොළක් වූයේ ඉන්දියාවයි.පාල්කේ සිය මුල්ම ඉන්දියානු චිත්‍රපටය තනා දෙවසරක් ගත වූ තැන එනම් 1915 වසරේ දී එරට සිව් වැනි චිත්‍රපටය තිර ගත විණ.එය පතන්කර් ෆ්‍රෙන්ඩ්ස් සමාගම මගින් නිෂ්පාදිත ඩෙත් ඔෆ් නාරායන්රාඕ පෙශ්වා ය. මුල් වරට ඉන්දියාවේ සත්‍ය හා ඵෙතිහාසික කතාවක් පසුබ්ම් කළ කතාව වූයේ එයයි.නාරායන්රාඕ යනු 18 වැනි සියවසේ මහාරාෂ්ට්‍රය පාලනය කළ මරාති අධිරාජ්‍යයාගේ අගමැතිවරයායි.රණ ශූරයකු වූ ඔහු ව ඝාතනයට ලක් කෙරිණ.

පතන්කාර් චිත්‍රපටයට පාදක කොට ගත්තේ එම සිදුවීමයි.පතන්කර් ෆ්‍රෙන්ඩ්ස් සමාගමේ නිර්මාතෘ වූයේ ශ්‍රී(එස්) නාත්(එන්) පතන්කර් ය.පතන්කර් ඉන්දීය නිදහස් සටනේ වීරයකු වූ ලෝකමාන්‍ය තිලක් ගේ ප්‍රබල අනුගාමිකයකු විය.පතන්කර් මුලින්ම නිශ්චල ඡායාරූප ශිල්පියකු වන අතර හෙතෙම භතව්දේකර්ගෙන් සිනමා කැමරාවක් මිල දී ගෙන දිල්ලි නගරයේ සිදු වූ පස් වැනි ජෝර්ජ් රජුගේ රාජකීය ඔටුනු පැලඳවීමේ උත්සවය රූ ගත කිරීමට සහභාගි වනුයේ හිරාලාල් සෙන් සමග එක් වෙමිනි. පසුව වී.පී.දිවාකර් සහ ඒ.පී.කරන්දිකාර් සමග එක්ව පතන්කාර් පාර්ට්නර්ස් පිහිට වන ඔහු එමගින් විවිධ වාර්තා චිත්‍රපට නිර්මාණය කරනුයේ මූලික වශයෙන් ලෝකමාන්‍ය තිලක්ගේ නිදහස් සටනට අවශ්‍ය අරමුදල් රැස් කරන්නටය.ඔහු ගේ මුල්ම චිත්‍රපටය වනුයේ සාවිත්‍රි නමැති නාටකය රූ ගැන්වීමයි.

ඔහුගේ දෙවැනි චිත්‍රපටය ඩෙත් ඔෆ් නාරායන්රාඕ පේශවා ය. 1917 වසරේ දී පතන්කාර් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් කම්පැණි බිහිවනුයේ ඒ වෙනුවෙනි.එවර ඔහුගේ හවුල් කරුවනුයේ ද්වර්කදාස් සම්පත්ය.පසුකලක ඉන්දියානු නිහඬ සිනමා යුගයේ කැපී පෙනෙන ඉතිහාසයකට හිමි කම් කියන කොහිනූර් චිත්‍රාගාරය ගොඩ නගනුයේ සම්පත්ය.එහි කතා රචකයා වනුයේ ඩෙත් ඔෆ් නාරායන්රාඕ පේශව් චිත්‍රපටයේ තිර කතා රචකයා වූ මොහාන්ලාල් දේව්ය.1920 වසරේ දී ද්වර්කදාස් සම්පත් කොහිනූර් චිත්‍රාගාරය ඇරඹීම සඳහා වෙන්වයන අතර පතන්කර් නැෂනල් ෆිල්ම් සමාගම ආරම්භ කළේය.

ඒ සඳහා තකූර්දාස් වාල්කී සහ හරිදාස් ආයෝජනයෙන් දායක විය.සිව්වැනි ව පතන්කර් ගේ ආයෝජක හවුල්කරු වනුයේ වසීර් හාජිය. ඔහු එක්සෙල් චිත්‍රාගාරයේ හිමිකරු විය.පතන්කර් ඉන්දියානු සිනමාවේ දෙවැනි නිෂ්පාදකවරයා ලෙස පමණක් නොව වෘත්තිය නිපුණත්වය හා පරිපූරණත්වයෙන් වඩා වැදගත් සිනමාත්මක ලක්ෂන පහළ කළේය.ඔහු ගේ චිත්‍රපට සමකාලින දේශපාලන ගති ලක්ෂණවලින් යුක්ත විය.පසු කලක චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් පතන්කර් බැහැර වුව ද කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස චිත්‍රපට කිහිපයකටම දායක වූයේය.පතන්කර් ගේ චිත්‍රපට සියල්ලේම කලා අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහු මය.

1918 වසරේ දී පතන්කර් විසින් නිර්මාණය කරන ලද රාම් වන්වාස් රීල හතරකින් යුත් සීරියල් ගණයේ චිත්‍රපටයකි. වර්තමානයේ තැනෙන ටෙලි නාට්‍ය මෙන් කොටස් වශයෙන් තැනුණ රාම් වනවාස් සති හතරක් මුළුල්ලේ තිර ගත කරද්දී ඒ සදහා සති හතරම නැරඹිය හැකි ටිකට් පතක් ද නිකුත් කෙරිණ.එමෙන්ම මොහාන්ලාල් දේව් ඉන්දියානු සිනමාවේ මුල්ම වෘත්තිමය තිර කතා රචකයා ලෙස බොහෝ දෙනා සලකති.බොම්බායේ පිහිටි ඉම්පීරියල් තියටර්ස් හි ගණකාධිකාරිවරයා වූ මොහාන්ලාල් වැඩි කලක් අංක ඉලක්කම් අතරේ සැරිසැරුවේ නැත. එයට වඩා නිර්මාණශීලි ගුණයෙන් යුත් ඔහු එහි ප්‍රචාරක අංශය තෝරා ගත්තේය.

ඒ සඳහා ඔහු රචනා කරන ලද ඇතැම් පිටපත් කෙතරම් ජීව ගුණයෙන් යුක්ත වීද යත් බොම්බායේ පිහිට වන ලද පැතේ ෆෙරර් සමාගමේ ප්‍රචාරක කටයුතු මුළුමනින්ම සියතට ගැන්මට එහි ආරම්භයේ දීම ඔහු සමත් විය. මේ යුගයේ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන ලද්දේ අත් පත්‍රිකාවන්ය. වඩා ආකර්ෂණීය බසින් ඔහු විසින් ලියන ලද මේ අත් පත්‍රිකා එම යුගයේ අතිශය ජනප්‍රිය විය.ඔහු සිනමාවට එක් වනුයේ පතන්කාර් හරහාය.පතන්කර් විසින් එක් පිටපතක් සඳහා ඔහුට රුපියල් දස දහසක් වෙනු ලැබීය.1918 වැනි සමයක මේ මුදල කෙතරම් ඉහල අගයක් ගනීදැයි සලකා බලනු වටී.

ඔහු ගේ පිටපත් ශෛලිය ඉන්දියානුවන් ප්‍රිය කරන ලද වර්ගයේ එකක් විය.එමෙන්ම ඔහු විසින් රචනා කරන ලද තිර පිටපත් සියල්ල කැමරාකරණයේ සිට චිත්‍රපටයේ සියලු අංග පිලිබඳ සම්පූර්ණ එකකි. මොහාන්ලාල්ගේ තිර පිටපතක් අතට ගත් කළ අධ්‍යක්ෂවරයකුට කරන්නට තිබෙන්නේ එය රූපයට නැංවීම බැව් එකල මතය විය.1924 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද ගුල්-ඊ-බකවාලී දර්ශන 92 කින් යුක්ත විය.පසුකලක කොහිනූර් සමාගම වෙනුවෙන් ඔහුගේ තිරනාටක පාදක කර ගනිමින් තැනූ චිත්‍රපට තිර ගත කිරීමේ දී වැඩි ප්‍රචාරයක් ලබා දුන්නේ එය මොහාන්ලාල් දේව් ගේ කතාවක් බැව් කීමටය.භක්ත විධූර්,කාලනාග්,රංක් දේව් වැනි චිත්‍රපට මේ අතර කැපී පෙනෙන අතර පසුකලක කතානාද චිත්‍රපට බිහිවීමේදී ඔහුගේ නිහඬ චිත්‍රපට රැසකටම දෙබස් කැවිණ.රංක දේව් ඔහු ගුජරාටි බසින් ලියන ලද චිත්‍රපටයකි.

පළමු ලෝක මහා යුද්ධය නිමාවන විට ඒ වන විට පැවැති ලෝකය ආර්ථික දේශපාලනික ආකල්පයන්ගේ බලවත් විපර්යාසයන්ට ලංවෙමින් තිබිණ.එය සිනමාවට ද බලපෑවේය.මේ සමග ලොව බොහෝ සිනමාහල් ප්‍රදර්ශනය කරන්නට පටන් ගත්තේ යුද්ධය පිළිබඳ ප්‍රචාරාත්මක චිත්‍රපටයන්ය. ඒ සදහා අති විශාල ඉල්ලුමක් ද තිබිණ.එමෙන්ම යුරෝපයේ සිනමා කර්මාන්තයට යුද්ධය සෘජුව බලපා තිබිණ.චිත්‍රාගාර ඇතැමෙක් විනාශ වී තිබිණ.ඇතැම් සිනමාකරුවන් යුරෝපය අතහැර අමෙරිකාවට ගොස් තිබිණ.හොලිවුඩය සිනමා ලෝකයේ අගනුවර බවට පත්ව තිබිණ.

ඒ වන විට ලොව පුරා නිපද වන චිත්‍රපට අතරින් සියයට අසූවක් අමෙරිකානු චිත්‍රපට විය.දළ සේයා පට හිඟකම, ආර්තික සම්බාධක යනාදිය අමෙරිකානු සිනමාවට බලපෑ?වේ නැත. ඉන්දියාවේ පාලනය ඒ වන විටත් එංගලන්තය අත පැවැතිය ද ආනයනිත චිත්‍රපට අතරින් සියයට අනූවක්ම අමෙරිකානු චිත්‍රපට විය.යුරෝපා රටවල් හි වියදම් කපා හැරීම ඒ ඒ රටවල සිනමාවට මහත් බලපෑමක් ගෙන දුන්නේය. එහෙත් එහි වෙළඳ වාසිය සම්පූර්ණයෙන් අමෙරිකාව ඩැහැ ගත්තේය.

පැහැර ගැනීම් සහ මංකොල්ලකෑම් වලින් පිරි ද පර්ල්ස් ඔෆ් පෝලීන් ,ද එක්ස්ප්ලොයිට්ස් ඔෆ් එලය්න් වැනි චිත්‍රපට ඇමෙරිකාවට සමගාමිව ඉන්දියාවේ ද තිර ගත කෙරිණ.සීරියල් ගණයේ මේ චිත්‍රපට තිර ගත වූයේ එක් දර්ශනයක් අවසන්වූයේ ඊළඟ දවසේ කුමකින් කුමක් වේදැයි ප්‍රේක්ෂකයා කුතුහලයට පත් කරලමිනි.දැවැන්ත වැය ශීර්ෂයන්ගෙන් යුතුව තැනුණ මේ චිත්‍රපට කොටස් වශයෙන් ප්‍රදර්ශනය කිරීමෙන් අපේක්ෂිත ආදායමටත් වඩා ඉහළ ආදායමක් ඉපැයීමට ඔවුහු සමත් විය.

මේ බව ඉන්දියානු නිෂ්පාදකවරුන් ඉක්මනින් වටහා ගත්හ. මහා භාරතය,රාමායණය, අරාබි නිසොල්ලාසය වැනි කෘති ඇසුරෙන් චිත්‍රපට තැනූ ඉන්දියානුවෝ ඒවා තිර ගත කරන ලද්දේ සීරියල් ක්‍රමයටය. නැතිනම් කොටස් වශයෙනි. මේ නිසාම කතාන්දරයේ ඊළඟ කොටස නැරඹීම සඳහා දෙවැනි සතියේ ද සිනමාහල් වටා ප්‍රෙක්ෂකයන් පෙළ ගැසීම සුලබ කරුණක් විය.හෝමි වාඩායා ගේ වාඩියා මුවිටෝන් සමාගම මේ පැරණි ඉන්දියානු කතාන්දර වෙනුවට වීර වරියක සිනමාවට එක් කළාය. ඇය අයුක්තිය ඉදිරියේ පිරිමින් හමුවේ සටන් වැදි නාදියා ය.

ඉන්දියානු සිනමා ප්‍රදර්ශනයේ මෙන්ම නිෂ්පාදනයේ දී ද ජේ.එෆ්.මදාන් අතිශය කැපී පෙනෙන පුරෝගාමියකු වූයේය. එක් අතකින් චිත්‍රපට ප්‍රදර්ශකයකු ලෙස ඔහු මුළු මහත් අග්නි දිග ආසියාව පුරාම සිය සිනමා ශාලා ජාලය ව්‍යාප්ත කරන ලද්දේ යම් සේ ද ඒ ආකාරයටම චිත්‍රපට නිෂ්පාදනයේ දි ද සිය පුරෝගාමි මෙහෙවර ඉටු කළේය.එකිනෙකට වෙනස් ව්‍යාපාර ජාලයක හිමි කරුවා වූ මදාන් පාල්කේගේ රාජා හරිහ්චන්ද්‍ර චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ආරාධනා ලද අතලොස්සෙන් කෙනෙකි.මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශනයේ මෙන්ම ආනයනයේ යෙදුන මදාන් සතුව ඇල්ෆ්‍රඩ් සහ කොරින්ටන් නමින් නාට්‍ය සමාගම් දෙකක් පැවැති අතර ඒවායේ මාසික වැටුප් ලබන නාට්‍ය රචකයන් මෙන්ම නළු නිළියන් ද සිටියහ.මේ අතරින් අතිශය ජනප්‍රිය නාට්‍ය රචකයා වූයේ උර්දු නාට්‍ය රචකයකු වූ අගා හශීර් කාශ්මීර්ය.

එබැවින් මදාන් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනයට එක් වීම පුදුමයක් නොවේ. පුදුමය නම් එය එතරම් කල් ගත විමය. සැබැවින්ම ඉනදියානු සිනමාවේ මුල්ම මෝගල් වරයා ජේ.එෆ්.මදාන් ලෙස හැදින්වීම වඩා නිවැරදිය. ඒ ඔහු චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම ප්‍රදර්ශනයට ද දායක වූ රාජ්‍යයක් පවත්වා ගෙන ගිය බැවිනි.ඔවුන් සිය මුල්ම චිත්‍රපට යුගල සඳහා තෝරා ගන්නා ලද්දේ ඒ වන විටත් පන්සිය වාරයකටත් වඩා වේදිකා ගත කරන ලද ඔවුන්ගේම හරිශ්චන්ද්‍ර කතාව සහ බිල්වා මංගල්ය. මදාන් සිය හරිශ්චන්ද්‍ර චිත්‍රපටයට නැගුවේ සත්‍යවාදි හරිශ්චන්ද්‍ර නමිනි.එහි සවාරියා සහ හෝමි තන්ත්‍රි ප්‍රධාන චරිත නිරූපණය කළහ.මේ චිත්‍රපට නිපදවන ලද්දේ එල්ෆින්ස්ටන් බයිස්කෝප් කම්පැණි යටතේය.කල්කටාවේ සුරූපි, හැඟුම්බර නිළි සවාරියා මෙනවිය රඟපාන ඡායාරූප නාටකය ලෙස එය ප්‍රචාරය කර තිබිණ.

අනතුරුව නිපදවූ බිල්වා මංගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සිනමාවට හඳුන්වා දුන් ගොහාර් ජාන් මෙනෙවියයි. ඇගේ මුල්ම රඟපෑම බොම්බේ ක්‍රෝනිකල් පුවපතතේ ලිපියකින් අගය කොට ඇය පැහැබර අනාගතයකට හිමි කම් කියන්නියක ලෙස හඳුන්වි දී තිබිණ.1873 ජූනි 26 වැනි දින ඇන්ජැලිනා යොවාඩ් ලෙස උපත ලද ඇය ආමේනියානු සම්භවයක් ඇත්තියකි.බරණැස පදිංචිව සිට නර්තනය හා සංගිතය හැදෑරු ඇය මදාන්ගේ පාර්සි නාට්‍ය සමාගමට එක්වනුයේ ගායිකාවක සහ නිළියක හැටියටය.

සැමියාගෙන් වෙන්වුන වික්ටෝරියා හෙමිං නම් ඇගේ මව ඉස්ලාම් දහම වැලද ගෙන එතැන් පටන් මල්කා ජාන් ලෙස හැඳීන්වා ගත් අතර ඇයගේ දියණිය එතැන් පටන් ගොහාර් ජාන් ලෙස නම් කළාය.මල්කා ජාන් ද ගායිකාවක වූ අතර එවකට මල්කා නමින් ගායිකාවන් තිදෙනකු සිටි බැවින් ඇය හැඳීන්වූයේ බඩී (වැඩිමහල්) මල්කා නමිනි.පසුව කල්කටාවේ නවාබ් වජිඩ් අලි ශාහ්ගේ නෘත්‍ය කණ්ඩායමේ ගායිකාව වන ඇය සිය දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් කෙතරම් කැපවිමක් කළා ද යත් කල්කටාවේ චිප්තූර් වීදියේ (වර්තමාන රබීන්ද්‍ර සරණි) නිවසක් රුපියල් 40000කට මිළයට ගත් වග පැවසෙයි.

ගසල් සහ රබීන්ද්‍ර සංගීතය සම්බන්ධව එකල ජීවත් වූ විශිෂ්ටයන් ලවා සිය දියණියට ඉගැන්වීමට මල්කා කටයුතු කළාය.1887 වසරේ දි බිහාරයේ රාජකීයන් වූ දර්බන්ගා රාජ්ගේ රාජකිය සංගිත කන්ඩායමේ ප්‍රමුඛ ගායිකාව වන ගොහාර් ඇය මුල්වරට ප්‍රසිද්ධ රංගනයක් ඉදිරිපත් කළ නිළිය ලෙස 1896 වසරේ දී කල්කටාවේ දී වාර්තාවක් තැබුවාය.පස් වන ජෝර්ජ් රජු වෙනුවෙන් දිල්ලියේ පැවැත් වු රාජකීය මංගල්‍යයේ දී ගී ගැයිමට ද වරම් ලද ගොහාන් සිය ජිවිත කාලයේ දී බෙංගාලං,හින්දි,ගුජරාටි.දෙමළ.මරාති, අරාබි,පර්සියානු ,ප්‍රංශ, ඉංග්‍රීසි ආදි විවිධ භාෂාවන්ගෙන් ගී ගයා ඇත්තීය.මුල් වරට ග්‍රැමෆෝන් තැටියකට ගී ගැයු ඉන්දීය ගායිකාව ද ඇය වන්නීය. ඒ වෙනුවෙන් 1903 වසරේ දී ඇය රුපියල් තුන් දහසක මුදලක් අය කළාය.

ඉන්දියානු කොටස් වෙළඳ පොළට අවතීරණය වූ මුල්ම සිනමා ව්‍යාපාරය වූයේ ද මදාන් ගේ සිනමා ව්‍යාපාරයයි.එම සිනමා සමාගම ඒ අනුව මදාන් තියටර්ස් ලිම්ටඩ් යනුවෙන් නම් කෙරිණ. මේ සමග ඉන්දියාවේ දැවැන්තම චිත්‍රපට සමාගම බවට මදාන් සමාගම පත් විය.1920 වසරේ දී මදාන් සමාගම නල දමයන්ති චිත්‍රපටය නිෂ්පාදනය කළේය.මෙහි අධ්‍යකෂවරයා වූයේ ඉතාලි ජාතිකයකු වූ ඉයුජිනියෝ ඩි ලිගුවෝරෝය.එහි දමයන්ති ලෙස පේෂන්ස් කූපර් ද නල කුමරු ලෙස කේකි අදජානියා ද චරිත නිරූපණය කළහ.

මතු සම්බන්ධයි