වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ආරංචිය මාව ලෝක දෙකක අතරමං කළා

ඒ ආරංචිය මාව ලෝක දෙකක අතරමං කළා
 

ගාමිණී ජයලත්ට

‘සමනල සංධ්වනිය’ අතරේ ලැබුණු ඇමතුම

ඔහු කවදත් කලාවට දැක් වූයේ පුදුමාකාර ලෙංගතුකමක්. එකිනෙකට වෙනස් වූ චරිත කාහටත් නොදෙවෙනි අයුරින් ඉදිරිපත් කළ ආකාරය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නොවන බව විශ්වාසයි. මේ වන විට ජාතික මෙහෙවරක කාර්යබහුලත්වය නිසාම ඉස්සර වගේ නිතරම ඔහු ඔබ හමු නොවෙනවා ඇති. ඒ වුණත් පසුගිය කාලය පුරාවටම ‘ඉසුරු සංග්‍රාමය’ තුළින් ඔහු ඔබ හමුවට පැමිණියා. ඔහු ගාමිණී ජයලත්. දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය හොබවමින් කාර්යබහුල වූ අවස්ථාවක සරසවිය හමු වූ මොහොතකි මේ.

විවිධාකාර චරිත මවන ඔබ ‘අග්නිදාහය’ චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් කළා. තවමත් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වන ඒ පිළිබඳ මතක අවදි කරමින් සංවාදය ආරම්භ කරමු?

ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය චිත්‍රපටයේ කිකිළි අක්කාගේ චරිතය මා ලද චරිත අතර වෙනස්ම වූ චරිතයක්. එය අමුතු තාලේ කාන්තා චරිතයක්. ඉතිහාසයේ පිරිමි අය කාන්තා චරිත නිරූපණය කළත් මෑත කාලයේ එය මා ලද විශේෂ අවස්ථාවක්. එහිදී කාන්තා ලාලිත්‍ය මතුවන අන්දමින් මා වේශ නිරූපණයට ලක් කළා. චිත්‍රපටය නරඹන අයට පමණක් නොවෙයි දර්ශන තලයේ සිටි සමහර අයට පවා මම ගාමිණී ජයලත් කියලා හඳුනාගන්න බැරි වුණා.

විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම මට එහිදී විශාල සහයෝගයක් ලබා දුන්නා. මම හිතනවා එය මගේ රංගන දිවියේ ලද අභියෝගාත්මක චරිතයක් වුවත් සාර්ථකව ඉදිරිපත් කළ චරිතයක් කියලා. විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සම්මාන උළෙලේදී මට ඒ වෙනුවෙන් සම්මානයක් පවා හිමි වුණා.

පසුගිය දිනවල විකාශය නිමාවුණු ඉසුරු සංග්‍රාමයේ ගීතදේවගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ නාලන් මෙන්ඩිස්ගේ ඉසුරු සංග්‍රාමය ටෙලි වෘත්තාන්තයේ කලාකරුවකු වූ ගීතදේවගේ චරිතයත් මට සුවිශේෂයි. මුදල් නැතත් තම මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරන පුද්ගලයෙක් තමයි ගීතදේව. නමුත් ඔහු කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මේ චරිතය නිරූපණයේදී මම අද අප අතර නැති කලාකරුවෙක් පසුබිම් කර ගත්තා. ඔහුගේ අංග චලන, කතා විලාශය මම ඒ චරිතයට ආරූඪ කළා.

රූපගත කිරීමෙන් පසු නාලන් මෙන්ඩිස් මහතා මගේ නිරූපණය ඉතා ඉහළින් අගය කළා. ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම ලැබෙන රසික ප්‍රතිචාරත් ගොඩක් ඉහළයි. දවසක් මම මාළු ගන්න මාකට් එකට ගියා. මාළු මුදලාලි දෙන්නේ නැතුව ඔහු මා දිහා බලාගෙන හිටියා. මම ඇහුවා ඇයි ඔය විදියට බලාගෙන ඉන්නේ කියලා. එතකොට ඔහු මගෙන් ඇහුවා ‘මහත්තයා කොහොමද අර විදියට උරහිස හොල්ලන්නේ’ කියලා. ඔහු හිතල තියෙන්නේ මම සැබෑ ජීවිතයේදීත් ඒ වගේ කියලා. ඇත්තටම ගීතදේවගේ චරිතය මම ලොකු තෘප්තියකින් කළ චරිතයක්.

මේ වන විට මෙරට ප්‍රධාන ජාතික පුවත්පතක කතුවරයෙක් ලෙස ගෙවන ජීවිතය ගැනත් කතා කළොත්?

රංගන ශිල්පියෙක් වගේම පුවත්පත් කලා ජීවිතයේදිත් මට හොඳ අවස්ථා ලැබුණා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. එහි සුවිශේෂම අවස්ථාව දිනමිණ පුවත්පතේ කර්තෘ ධූරය ලැබුණු දිනයයි. ඒ බව දැනගන්නට ලැබුණේ මම ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගිවීමට යන අතරතුරේදියි. එහි මට ලැබිල තිබුණේ බෝඩිමේ අයියාගේ චරිතය. ඒ වෙලාවේ මම ලෝක දෙකක් අතරේ තනි වුණා. චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම රංගන ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්.

කර්තෘ ධූරයක් ලැබීම පුවත්පත් දිවියේ සුවිශේෂ අවස්ථාවක්. වසර ගණනාවක් දුක් විඳලා බාධක මැදින් පැමිණි පුවත්පත්කලා දිවියේදී මාර්ටින් වික්‍රමසිංහයන් වැනි මහා පුරුෂයන් දරපු පුටුවක මට වාඩිවෙන්න ලැබීම මගේ ජීවිතයේ ලද ස්වර්ණමය අවස්ථාවක්. ඒ වෙලාවේ මම ජයන්ත අයියාට දුරකථන ඇතුමක් දීල ඇහුවා ‘අයියේ මොකද කරන්නේ?’ කියලා. ඔහු කිව්වා ‘ඔයාට ලැබුණ අවස්ථාව ගොඩක් වටිනවා.

ඒක භාර ගන්න මගේ සුබපැතුම්’ කියලා. ඉතිං මං ඒ ගමන නතර කරලා ආපහු ඇවිත් දිනමිණ කර්තෘ ධූරය භාර ගත්තා. දැන් බොහොම වගකීමෙන් එහි කටයුතු කරගෙන යනවා. මේ නිසාම රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් යොමු කළ කාලය සීමා කරන්න සිදු වෙලා තියෙනවා. එහෙම වුණත් රංගනයෙන් ඈත්වෙලා නම් නැහැ.

ඔබ ජාතික පුවත්පතක කතුවරයෙක් වගේම වගකිවයුතු කලාකරුවෙක් ලෙසත් කලාව පෝෂණය කරන්න වෙහෙසෙන කෙනෙක් ද?

දිනකර පුවත්පතෙන් පසු මම දිවයින පුවත්පත සමඟ එක් වුණා. එහිදී මගේ දායකත්වය ලැබුණේ සිනමා අතිරේකයට. සිනමා කලා සංග්‍රහයට සම්බන්ධ වෙලා කටයුතු කිරීම මගේ ජීවිතයට ජනප්‍රියත්වයක් හිමි වුණා. එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා තමයි මට ලේක්හවුස් ආයතනයට එන්න ආරාධනා කළේ. ඒ අවස්ථාවේදිත් මට කලා අංශයට තමයි යොමුවෙන්න අවස්ථාව ලැබුණේ.

මගේ රංගන ජීවිතයත් ඒ සඳහා විශාල පිටුවහලක් වුණා. කලාකරුවන්ගේ ජීවිත මට දැනෙනවා. පුවත්පත් කලාවේ වැඩිම කාලයක් මම ගත කළෙත් ඒ වෙනුවෙන්. එය ඉදිරියටත් එසේමයි. ඒ වෙනුවෙන් මම උපරිමයෙන් කැප වෙලා කටයුතු කරනවා.

රංගන ජීවිතයේදී ඔබ බොහෝ සෙයින් ඇලුම් කරන ඔබට නොලැබුණ චරිත එහෙමත් තියෙනවාද?

මට එහෙම හිතෙන්නේ නැහැ. විවිධ චරිත නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතින් මම වාසනාවන්තයි. ඒ වගේම තෘප්තිමත්. මේ දිනවල කාර්යබහුලත්වය නිසා රංගන ක්ෂේත්‍රයේ නියැලෙන කාලය යම් ප්‍රමාණයකට අඩු වුණත් මේ වගකීම්වලින් නිදහස් වුණදාට ඒ වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තරත් ටිකක් කියමු නේද?

මගේ බිරිඳ ජීවනී දිල්රුක්ෂි. ලොකු දුව බිනු දිලාරා ගමගේ. පොඩි දුව මීනු නිංසා ගමගේ. දෙදෙනාම නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මේ තුන්දෙනා තමයි මගේ ජීවිතේ. මගේ ලෝකය. පවුලේ යුතුකම් සියල්ල බිරිඳ නොඅඩුව ඉටු කරන නිසා මගේ ජීවිතේ කර්තෘ ධූරය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ඇය තමයි මගේ ජීවිතයේ ශක්තිය.

ඔබ විසින් රචිත ග්‍රන්ථයක් ළඟදීම එළි දක්වන්නත් නියමිතයි නේද?

ඩී. ඒ. රාජපක්ෂ මහතා පිළිබඳ පළ වූ ලිපි ඇසුරෙන් සම්පාදනය කළ ‘මැදමුලන මහ රුක’ ග්‍රන්ථය එළිදක්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 45 වැනි ගුණ සමරුව නිමිති කරගෙන අරලියගහ මන්දිරයේදී එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව දියවන්නාවේ නෑදෑයෝ නමින් තවත් කෘතියක් එළිදක්වන්න සූදානම් කෙරෙමින් තියෙනවා.