වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




උඩින් සිතා බිමින් ගිය චිත්‍රපට

උඩින් සිතා බිමින් ගිය චිත්‍රපට
 

ලෝකයේ වැඩියෙන්ම පාඩු ලැබූ චිත්‍රපට දහය

නූතන ලෝකයේ ධනෝපායන මාර්ග අතුරින් සිනමාව ඇත්තේ ප්‍රමුඛස්ථානයකය. සිනමා කලාව කෙසේ වෙතත් අතට යහමින් මුදල් ලැබෙන විට බොහෝ දෙනා නැඹුරු වන්නේ සිනමා කර්මාන්තයටය. සිනමාවේ මුවාවෙන් ඇතැම් යටි අරමුණු ඉටු කර ගැනීමේ අභිප්‍රායයන් කොතෙකුත් දක්නට ලැබුණත් අවසානයේ මූලික පරමාර්ථය වන්නේ මුදල් යහමින් උපයා ගැනීමයි. මෙම න්‍යායය ලෝකයේ කුමන දේස දීපංකරේකට වුව ද එකසේ වලංගුය.

කර්මාන්තයක් ලෙස ගත් කල අද ඉන්දියාවේ ප්‍රධාන විදේශ විනිමය උල්පත වන්නේ බොලිවුඩ් සිනමාවයි. එය දෙවැනි වන්නේ ඇමෙරිකාවේ හොලිවුඩ් සිනමාවට පමණි. හොලිවුඩය ලෝකයේ අති දැවැන්ත සිනමා කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. එහි නිරන්තරයෙන් නිෂ්පාදනය වන චිත්‍රපට අතර බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පිහිටුවන සහ නැවත එම වාර්තා බිඳ හෙලන චිත්‍රපට වශයෙන් වර්ග කළ හැකි චිත්‍රපට රාශියක් ඇත. ඇතැම් නිෂ්පාදකවරු තම සිනමා නිර්මාණ සඳහා අත දිග හැර ඩොලර් බිලියන ගණනක් වියදම් කිරීමට සැදී පැහැදී සිටින්නේ නැවත එම මුදල ඩොලර් ට්‍රිලියන ගණනින් පැටව් ගස්වා ආදායම් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

2012 තිරයට පැමිණි ‘ජෝන් කාටර්’ ද එවක අධික වියදමක් දරා නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයකි. මෑත යුගයේ නිෂ්පාදිත ‘අවතාර්’ චිත්‍රපටය හැරුණු විට පරිගණක සජීවිකරණ භාවිතය උපරිම වශයෙන් භාවිත කරගන්නා ලද චිත්‍රපටය ‘ජෝන් කාටර්’ය. ටාසන් කතා නිර්මාතෘ එඩ්ගා රයිස් බරෝස් ගේ කෘතියක් වූ ‘ප්‍රින්සස් ඔෆ් මාර්ස්’ ඇසුරින් අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෲ ස්ටැන්ටන් විසිනි. අඟහරු ග්‍රහයා වෙත අහම්බෙන් ගොඩ බසින පෘථිවිවාසී වීරයකුගේ පුවතක් රැගත් මෙය විද්‍යා ප්‍රබන්ධයකි.

ජෝන් කාටර් ගේ චරිතය රඟපෑවේ ටයිලර් කිට්ෂ් විසිනි. ප්‍රධාන නිළි චරිත ලින් කොලින්ස් සහ සමන්තා මෝටන් විසින් නිරූපණය කෙරිණි. සෙසු චරිත රඟපෑවේ මාක් ස්ට්‍රොන්ග්, සියරන් හින්ඩ්ස්, තෝමස් ගෝඩ්න් චර්ච් සහ විලියම් ඩැෆෝ විසිනි. වෝල්ට් ඩිස්නි සමාගම හරහා බෙදා හැරුණු චිත්‍රපටයේ මුළු පිරිවැය ඇ. ඩොලර් මිලියන 250 කි. එහෙත් අවසානයේ 2012 වසරේ වානිජමය වශයෙන් අසාර්ථක මෙන්ම උපරිම පාඩු ලැබූ හොලිවුඩ් චිත්‍රපට නාමාවලියේ මුල් තැනට පත් වුණේ ජෝන් කාටර් චිත්‍රපටයයි. වියදම් වූ ඇ. ඩොලර් මිලියන 250 ට ආදායම ලෙස උපයා ගත්තේ ඇ. ඩොලර් 282,778,100 ක මුදලක් පමණි.

අසාර්ථක හොලිවුඩ් චිත්‍රපට නාමාවලියේ ප්‍රමුඛ තැනක් ගන්නා චිත්‍රපටයක් ලෙස 1995 වසරේදී සම්මානලාභී හොලිවුඩ් නළු කෙවින් කොස්ට්නර් විසින් නිෂ්පාදනය කරන ලද ‘වෝටර් වර්ල්ඩ්’ හැඳින්විය හැක. වසර 2500 දී බිහිවන අනාගත ලෝකය පිළිබඳ කතා පුවතක් පාදක කර ගනිමින් චිත්‍රපටය නිර්මාණය වී ඇත. පෘථිවි ධ්‍රැව දෙකෙහි තැන්පත් අයිස් අනාගතයේ දැඩි උණුසුම හේතුවෙන් දිය වී මිහිතලය සහමුලින්ම ජලයෙන් යට වූ පසු මිනිසා මුහුණ දෙන අභියෝග මෙහි නිරූපණය වෙයි.

කොස්ට්නර් හට සම නිෂ්පාදනයෙන් එක් වූයේ චාල්ස් ගෝඩ්න් සහ ජෝන් ඩේවිස්ය. අධ්‍යක්ෂණය කෙවින් රෙනෝල්ඩ්ස් විසිනි. ප්‍රධාන චරිතය කෙවින් කොස්ට්නර් නිරූපණය කළ අතර සෙසු චරිත රඟපෑවේ ඩෙනිස් හොපර්, ජීන් ට්‍රිපල්හෝන්, ටීනා මැජොරිනෝ සහ මයිකල් පෙටර් විසිනි. සංගීතය ජේම්ස් නිව්ටන් ගොඩාර්ඩ් ගෙනි. එහෙත් අවසානයේ කොස්ට්නර්ලාගේ මහන්සිය සහ කැපවීම වතුරේ පා කර හරිමින්, චිත්‍රපටයට වැය කළ ඇ. ඩොලර් මිලියන 175 ක මුදල වෙනුවෙන් උපයා ගත් ආදායම වූයේ ඇ. ඩොලර් 264,218,220 කි.

2002 වසරේ තිරගත වූ ‘ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලුටෝ නෑෂ්’ ද තවත් එවැනි චිත්‍රපටයකි. විද්‍යා ප්‍රබන්ධ විකට චිත්‍රපටයක් වු එහි ප්‍රධාන නළුවා වූයේ විකට රජකු වන එඩී මර්ෆිය. එහෙත් ඔහුගේ රංගනයෙන් චිත්‍රපටය ගොඩ දමා ගැනීමට රුකුලක් ලැබුණේ නැති සෙයකි. චිත්‍රපටය රොන් අන්ඩර්වුඩ් ගේ අධ්‍යක්ෂණයකි. එඩී මර්ෆි සමඟ සෙසු චරිත රඟපෑවේ රැන්ඩි ක්වේඩ්, රොසේරියෝ ඩෝසන්, ජෝ ඇන්ටොලියානෝ සහ ජේ. මෝර් විසිනි. 2002 අගෝස්තු 16 දා වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් ප්‍රදර්ශනයට මුදාහල ‘ප්ලූටෝ නෑෂ්’ හි නිෂ්පාදන වියදම ඇ. ඩොලර් මිලියන 100 කි. එහෙත් උපයා ගත් ආදායම වූයේ ඩොලර් මිලියන 7.1 කි. මෑත හොලිවුඩ් සිනමාවේ උපරිම පාඩු ලැබූ චිත්‍රපටයක් ලෙස මෙය සිනමා ඉතිහාසයට එක් වෙයි.

මයිකල් මෑන් ගේ අධ්‍යක්ෂණයෙන් 2006 වසරේදී තිරයට ආ ‘මියාම් වයිස්’ 80 දශකයේ එම නමින් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී මාලා නාටකයක සිනමා සම්ප්‍රාප්තියයි. එදා රූපවාහිනිය දෙවනත් කළ ‘ක්‍රොකට්’ සහ ‘ටබ්ස්’ නමැති තරුණ පොලිස් නිලධාරීන් ලෙස රඟපෑවේ ඩොන් ජොන්සන් සහ ෆිලිප් මයිකල් තෝමස්ය. චිත්‍රපටයේ ක්‍රොකට්ගේ චරිතය කොලින් ෆැරල් සහ ටබ්ස් ලෙස ජේමි ෆොක්ස් ද රඟපෑ අතර, ලියා අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේ මයිකල් මෑන් විසිනි.

ප්‍රධාන නිළිය වූයේ චීන ජාතික ගොන්ග් ලී වන අතර සෙසු චරිත නයෝමි හැරිස් සහ සියරන් හින්ඩ්ස් ෂසින් රඟපෑවේය. 2006 ජූලි 28 දා යුනිවර්සල් චිත්‍රපට සමාගම විසින් ප්‍රදර්ශනයට මුදා හල චිත්‍රපටයේ මුළු පිරිවැය ඇ. ඩොලර් මිලියන 135 ක් වූ අතර ආදායම වූයේ ඇ. ඩොලර් 163,794,509 ක් පමණකි. රූපවාහිනී මාලා නාටකයේ අහලකටවත් ළඟාවීමට චිත්‍රපටයට නොහැකි වූයේ නිෂ්පාදන අධ්‍යක්ෂක මයිකල් මෑන්ගේ අවාසනාවට විය හැක.

‘ද ගෝල්ඩන් කොම්පස්’ 2007 වසරේ තිරයට ආ අපූර්ව මනඞකල්පිත කතා ආකෘතියකට අයත් සිනමාපටයකි. පිලිප් පුල්මන් ගේ කෘතියක් ඇසුරින් අධ්‍යක්ෂණය කළේ ක්‍රිස් වේට්ස් විසිනි. ප්‍රධාන චරිත සුරූපී ජනප්‍රිය නිළි නිකොල් කිඩ්මන්, ඩැනියෙල් ක්‍රේග්, ඊවා ග්‍රීන් සහ සෑම් එලියට් විසින් නිරූපණය කෙරිණි. නිව් ලයින් සිනමා සමාගම විසින් ඇ. ඩොලර් මිලියන 180 ක් වැය කොට දක්ෂතම ජනප්‍රිය නළු නිළි පිරිසක් යොදා නිෂ්පාදනය සිදු කළත්, අවසානයේ ආදායම ලෙස උපයා ගත හැකි වූයේ ඇ. ඩොලර් 372,234,864 ක තරම් සුළු මුදලකි.

‘දි අයිලන්ඩ්’ චිත්‍රපටය මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ කතා පුවතකි. 1960 සහ 1970 දී තිරගත වූ ‘ලෝගන්ස් රන්; ෆැරන්හයිට් 451’ සහ ‘ද ක්ලෝනස් හොරර්’ වැනි චිත්‍රපටවල ආකෘතියට සමාන වූ මෙම චිත්‍රපටය 2005 ‘ටීන් වොයිස්’ සම්මාන උළෙලේ සම්මාන තුනක් සඳහා නිර්දේශ වුවකි. ප්‍රධාන චරිත රඟපෑවේ ඉවාන් මැක්ග්‍රෙගර් සහ ස්කාලට් ජොන්සන් විසිනි. ඇ. ඩොලර් මිලියන 126 ක වියදමින් නිපැයූ චිත්‍රපටය ලබාගත් ආදායම ද ඇ. ඩොලර් 126 කි. ආදායමට වියදම සමාන වූ තැන කුමන ලාභයක්ද?

‘දි ඉන්සයිඩර්’ 1999 වසරේ තිරගත වුණු, සත්‍ය කතාවක් ඇසුරෙන් මයිකල් මෑන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. ලෝක දුම්කොළ නිෂ්පාදන ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වන ජෙෆ්රි විගාන්ඩ්ගේ කතා පුවත පාදක කර ගනිමින් චිත්‍රපටය නිර්මාණය වී ඇත. ඔස්කාර් සම්මානලාභී අල් පැසිනෝ සහ රසල් ක්‍රෝ සහ ක්‍රිස්ටෝපර් ප්ලමර් ඇතුළු බෲස් මැක්ගිල්, ඩයනි වෙනෝරා, මයිකල් ගැම්බන්, ලින්ඩ්සේ ක්‍රවුස්, ජීනා ගර්ෂන් සහ ඩෙබී මසාර් යන නළු නිළියන් රංගනයට දායක විය. ඇකඩමි සම්මාන උළෙලේ දී රසල් ක්‍රෝ හොඳම නළුවා ලෙසත්, හොඳම අධ්‍යක්ෂණය, සංස්කරණය ශබ්ද පරිපාලනය සහ හොඳම චිත්‍රපටය ලෙසත් නිර්දේශ ලැබීමට චිත්‍රපටය සමත් විය. ඇ. ඩොලර් මිලියන 90 ක වියදමින් නිපැයූ චිත්‍රපටය ලබාගත් ආදායම ඇ. ඩොලර් 60,289,912 කට පමණක් සීමා විය.

1997 තිරගත වුණු ‘ද පෝස්ට්මන්’ ද වාණිජමය අතින් අසාර්ථක වූ තවත් එවන් චිත්‍රපටයකි. ඇමරිකාවේ තැපැල් සේවයේ ව්‍යාප්තිය අලළා ඩේවිඩ් බ්‍රින් විසින් රචනා කරන ලද ‘ද පෝස්ට්මන්’ කෘතිය ඇසුරින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සම්මානනීය නළු කෙවින් කොස්ට්නර් විසිනි. ප්‍රධාන චරිතය ඔහු රඟපෑ අතර සෙසු චරිත සඳහා විල් පැටන්, ලැරෙන්ස් වේට්, ඔලිවියා විලියම්ස්, ජේම්ස් රුසෝ, ටොම් පෙටී සහ රොබෙටා මැක්ස්වෙල් රංගනයෙන් දායක විය. ඇ. ඩොලර් මිලියන 80 ක් වැය කරමින් නිපයූ චිත්‍රපටයේ ලත් ආදායම ඇ. ඩොලර් 17,626,234 ක සොච්චම් මුදලකි.

‘හඩ්සන් හෝක්’ 1991 තිරගත වූ ක්‍රියාදාම සහ විකට චිත්‍රපටයකි. ට්‍රයිස්ටාර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද චිත්‍රපටය සිනමා නළු බෲස් විලිස් ගේ කතාවක් ඇසුරින් මයිකල් ලෙහ්මන් විසින් අධ්‍යක්ෂණය කෙරිණි. නිෂ්පාදනය ජොඑල් සිල්වර්ගෙනි. රංගනය බෲස් විලීස්, ඩැනී ඇජෙලෝ, ඇන්ඩි මැක්ඩොවෙල්, ෆ්රෑන්ක් ස්ටැලෝන් සහ සැන්ඩ්‍රා බර්න්හාඩ් විසිනි. නිෂ්පාදන පිරිවැය ඇ. ඩොලර් මිලියන 65 ක් වූ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් උපයා ගත්තේ ඇ. ඩොලර් 17,218,080 කි.

‘කට්ත්‍රෝට් අයිලන්ඩ්’ චිත්‍රපටය අනෙකුත් චිත්‍රපට අතුරින් සුවිශේෂ වන්නේ එතෙක් මෙතෙක් උපරිම අඩු ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමේ ගෞරවය ලබාගත් නිසාවෙනි. 1995 දී තිරගත වුණු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රොනී හැලින් විසිනි. ප්‍රධාන චරිත රඟපෑවේ සුරූපී නිළි ජීනා ඩේවිස් සමඟ මැතිව් මෝඩින් සහ ෆ‍්‍රෑන්ක් ලැන්ජෙලා විසිනි. ඇමෙරිකාවේ ප්‍රකට සිනමා සමාගමක් වන එම්. ජී. එම්. විසින් ප්‍රදර්ශනයට මුදා හරින ලද චිත්‍රපටයේ මුළු නිෂ්පාදන වියදම ඇ. ඩොලර් මිලියන 98 ක් වූ නමුදු ලබාගත් ආදායම ඇ. ඩොලර් 18,517,322 ක සොච්චම් මුදලක් වීමම චිත්‍රපටයේ ප්‍රගතිය වටහා ගැනීමට හොඳම සාධකයක් වෙයි.

ඉහත සඳහන් චිත්‍රපට බොහොමයක ප්‍රධාන චරිත රඟපෑවෝ දක්ෂ සහ සම්මානලාභී ප්‍රවිණ නළු නිළියන් වීම ද සුවිශේෂ කරුණකි. චිත්‍රපටයක සාර්ථකත්වය රැඳී ඇත්තේ ප්‍රවීණ නළු නිළියන්ගේ රඟපෑම් මතම පමණක් නොවන බව මේ අනුව සනාථ වෙයි.

අධ්‍යක්ෂණය සහ තිර නාටකය ද චිත්‍රපට නිෂ්පාදනයෙහිලා අතිශය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව අවිවාදයෙන් විශ්වාස කරන්නට සිදු වන්නේ එහෙයිනි.