වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මට විරුද්ධ වූ අය අද ඉන්නේ මාත් එක්ක

එදා මට විරුද්ධ වූ අය අද ඉන්නේ මාත් එක්ක

රංගන ශිල්පිනී නිලූ හෙට්ටිහේවා

ප්‍රසංග වේදිකාවේ ගී ගයමින් කලා ලොවට ප්‍රවේශ වී චිත්‍රපට හා ටෙලි නාට්‍ය ඔස්සේ අප අතරට ආ නිලූ හෙට්ටිහේවා නම් රංගන ශිල්පිනියගේ වසර 20 ක අත්දැකීම් අප හා කියන්නට නොබෝදා සරසවිය පියසට ගොඩ වැදිනි.

කලා ක්ෂේත්‍රයේ තම අත්දැකීම් පිළිබඳව නිලූ අපට කිව්වේ මෙවැනි කතාවකි.

අද සමාජයට වඩා එදා සමාජය හරි වෙනස්. හැබැයි අද මෙන්ම එදත් හැම ක්ෂේත්‍රයකම රැවටිලිකාරයෝ හිටියා. හැබැයි කලා ක්ෂේත්‍රයේ ඒ අය වැඩියි කියලයි මගේ හැඟීම.

රඟපාන්න තෝර ගත්ත එන්න කියනව, ගියහම නොයෙක් දේ කියමින් මඟ හරිනවා. හරියට රස්තියාදු කරනවා. ගෙවීම් හරියට කරන්නේ නැහැ. දක්ෂතාවට වැඩිය ඒ අයගේ නොයෙක් ආසාවන් ඉෂ්ට කර ගන්න ඉඩ දෙනව නම් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න ටික දෙනෙක්ගේ මේ වැඩ නිසා හරියට කලකිරෙනවා. වසර 20 ක්ම කලා ක්ෂේත්‍රයේ නියැලුණත් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණේ මෙන්න මේ නිසයි. මට මගේ නම හදා ගන්න ආත්මය උකසට තියන්න බැහැ. ඊට වැඩිය මගේ පවුල් ජීවිතේ වටිනවා.

අද ක්ෂේත්‍රයට එන බොහෝ දෙනා තමන්ගේ නම හදාගන්න ඕනෙම දෙයක් කරයි. මම නම් කියන්නේ තමන්ගේ ආත්මය උකස් කරල ප්‍රසිද්ධිය පසුපස යන්න එපා කියලයි.

මම පාසල් ගියේ අම්බලන්තොට තේරපුත්ත මහා විද්‍යාලයට. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පාසල් කාලයේදී මම ක්‍රීඩාවෙන් දස්කම් දක්වා තිබෙනවා. මගේ පවුලේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් හය දෙනෙක් ඉන්නවා. මම පවුලේ පස්වෙනියා. පාසල් කාලයේ සිටම ගීත ගායනා කරන්න හැකියාව තිබුණත් විවාහයෙන් පසුව තමා කලාවට නැඹුරු වුණේ.

පළමුව ප්‍රසංග වේදිකාවේ ගී ගැයුවා. රඟපාන්න පළමුව ලැබුණේ බර්මන් ලයිලි මහතාගේ කෙටි කතා ටෙලි නාට්‍යයේ. ඩග්ලස් රණසිංහගේ පෙම්වතිය ලෙස තමයි මට රඟපාන්න තිබුණේ. මට මේ අවස්ථාව උදා කර දුන්නේ වේහැල්ලේ පියතිලක මහත්තයයි.

1992 දී ආරම්භ කළ රංගන දිවිය අද වන විට ටෙලි නාට්‍ය හා චිත්‍රපට 50කට අධික ප්‍රමාණයකට දායක වෙන්න අවස්ථාව උදා වුණා.

මම රඟපෑ භූමිකා අතරින් සිදන්ගනාවෝ ටෙලි නාට්‍යයේ රංජි අම්මාගේ චරිතයට කැමැතියි. මේ චරිතයෙන් කෙරෙන්නේ පවුලක අබිරහසක් එළි කරන්නට උදව් කිරීමක්.

ලෙස්ටර් ජේම්ස් පීරිස්, බර්මින් ලයිලි ප්‍රනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි, වසන්ත ඔබේසේකර, උදයකාන්ත වර්ණසූරිය, ප්‍රසන්න විතානගේ, සුනිල් සෝම පීරිස්, රෝයි ද සිල්වා, සුදේශ් වසන්ත පීරිස් ඇතුළු බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා රඟපාන්න අවස්ථාව ලැබීම මා ලැබූ ජයග්‍රහනනයක් ලෙස සිතනවා.

මගේ රංගනයට අගැයීමක් මෙන්ම ලොකු ප්‍රසිද්ධියක් නොලැබුණත් මගේ රංගන කුසලතා හඳුනාගත් අධ්‍යක්ෂවරුන්ගේ බොහෝ ටෙලි නාට්‍ය සඳහා මගේ දායකත්වය ලබා ගත්තා.

ගීත ගායනය, රංගනය ඇරුණු කොට නිවේදනයෙන් හා හඬ කැවීම් සඳහාත් දායක වෙන්න මට අවස්ථාව උදා වුණා.

මේ රජය දිනවීම සඳහා දේශපාලන වේදිකාවල ගායනයෙන්, නිවේදනයෙන් මෙන්ම කතා පවත්වමින් බොහෝ පළාත්වල සංචාරය කළා.

කලා ක්ෂේත්‍රයේ නියැළීම නිසා මගේ ඥාතීන් මාව කොන් කළා. මම ගමේ එනවටවත් ඔවුන් කැමැති වුණේ නැහැ. මට ඒ අයගෙගන් ලැබුණේ කෙනහිලිකම් විතරයි. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒ අය මාව තේරුම් අරගෙන මගේ දක්ෂතා ගැන දැන් කතා කරනවා. ඒ අය අතර දැන් මට පිළිගැනීමක් තියෙනවා. කොතරම් බාධක ආවත් මට මේ ගමන යන්න යෝධ ශක්තියක් වුණේ ශිරාන් බුද්ධිම රත්නවීර මගේ පුතායි.

2005 වර්ෂයේදී මගේ ජීවිතේ ලොකු පෙරළියක් වුණා. විජේරාම මගේ ගේ ළඟදී මාව ලොරියකට යට වුණා. ඒ නඩුව තවම ඉවර නැහැ. මම වසර තුනක් ගෙදරට සීමා කරන්න තරම් මේ අනතුර කුරිරු වුණා. 2008 වර්ෂයේදී තමයි මට ආයේ රංගන දිවියට එන්න පුළුවන් වුණේ.

මේ ක්ෂේත්‍රයට අලුතින් එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට අවස්ථාව දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

පාලම යට චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ රඟන ‘ඩොටී’ වැනි චරිතයකට ජීවය දෙන්න කැමැතියි. ඒ වගේම විදේශ චිත්‍රපටයක රඟපාන්නත් ආසයි. එකම රාමුවක කොටු නොවී පෙරළිකාර චරිත මවන්න ලැබෙනවා නම් කැමැතියි.

කලා ලොවේ ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක් නියැළෙමින් ගෙවන මේ රඟ භූමියේ මගේ දක්ෂතා මෙන්ම අඩුපාඩු පිළිබඳව ප්‍රේක්ෂක ඔබගේ අදහස් දැනගන්න මම හරි කැමැතියි. ඒ නිසා දුරකථන අංක 0112802538 හෝ නො: 619 හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයට ඔබේ අදහස් ලියන්න.

මට සිදු වූ රිය අනතුරේදී සහ මා මෙතෙක් ආ ගමන් මගේදී මට උපකාර කළ ජනාධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත්, හිටපු සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත, සජිත් ප්‍රේමදාස, විදුර වික්‍රමනායක මන්ත්‍රීවරු නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, හිටපු රෝහල් අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ, ඇතුළු වෛද්‍ය හා හෙදි කණ්ඩායම, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, විමල් දේශප්‍රිය, නිලාන් මලිගැස්ප, සමන්ත යහම්පත්, ලලිත් වසන්ත, උපුල් ජයසිංහ, ශිරාන් බුද්ධි රත්නවීර, හර්ෂණ කුමාර, හැරල් පීරිස්, සඳුන් රාජකරුණා, සිරි කහවල, නිලන්ති හීන්දෙනිය, ජී. ආර්. පෙරේරා, ප්‍රභා සඳසීලි යන සියලු කලාකරුවන්ව ආදර ගෞරවයෙන් සිහිපත් කරන අතර මගේ රංගනයන් දැක එය අනුකරණය කරමින් මාව නිතරම දිරි ගන්වන මිශාන් චින්තක රත්නවීර, චතුද් තනුජ ශනහස් රත්නවීර යන පුතුන් දෙදෙනාට ස්තුති කරන්නටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.