වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මා කිසිවකු විවේචනය කරන්නේ නැහැ

මා කිසිවකු විවේචනය කරන්නේ නැහැ

රනිල් මල්ලවාරච්චි

රනිල් මල්ලවාරච්චි කියන නම අපේ රටේ සංගීත ප්‍රේමීන්ට ආගන්තුක නැහැ. නමුත් පසුගිය කාලය මුළුල්ලේම රනිල් සජීවීව අපට හමු වුණු වාර ඉතා අල්පයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින රනිල් පහුගිය දවසක ලංකාවට ආවේ අපූරු ප්‍රසංගයක් සඳහා. මිල්ටන් මල්ලවාරච්චි මහතාට උපහාර පිණිස පැවැත්වුණ ඒ ප්‍රසංගය පැවැත්වුණේ නෙළුම් පොකුණ රඟහලේ. ඉන් අනතුරුව මෙම ප්‍රසංගයේ ඩී. වී. ඩී. තැටියක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත්වුණා. මේ කටයුතු සියල්ල නිමාවේදී නිස්කලංක වූ රනිල් සමඟ අපි කලකට පසුව කළ කතාබහයි මේ.

* රනිල් කාලෙකට පස්සේ?

ඔව්, තාත්තාට උපහාර පිණිස ප්‍රසංගයක් වගේම ඩී. වී. ඩී. තැටියකුත් නිකුත් කළා. ඒ නිසා ටිකක් කාර්ය බහුල කාලයක් තමයි ගත කළේ. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් අලුත් දෙයක් කරන්න ලැබීම ගැන මට තියෙන්නේ තෘප්තියක්. මේ ප්‍රසංගය සඳහා මට බොහෝ දෙනෙක් එදා වගේම උදව් කළා. ඒ අතරින් නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, සිනෙ ස්ටාර් පදනම වගේම මැලිබන් ආයතනයත් මට අමතක කරන්නට බැහැ.

* මේ ප්‍රසංගගයේදී මල්ලවාරච්චි පරපුරේ තවත් පුරුකක් අපට හමුවෙනවා?

ඔව්, ඒ තමයි පවන්. මමයි පුතයි මෙම ප්‍රසංගයට යුග ගීතයක් ගායනා කළා. මෙම ගීතය රචනා කළේ ආනන්ද පද්මසිරි. සංගීතය රජිව් සෙබස්තියන්. කුඩා කාලයේ ඉඳලම සංගීත පරිසරයක හැදුණු වැඩුණු නිසාම පුතාට හොඳට ගීත ගයන්නට පුළුවන්. ඇත්තටම මගේ ගීත අහලා මගේ තාත්තා කොච්චර සතුටට පත්වෙන්නට ඇද්ද කියලා මට හොඳින්ම දැනුණේ පුතාගේ ගීතයන් අහද්දී.

ඒ වගේම නිලාර් එන්. කාසිම් ලියූ ‘මේ ලොව’ කියන ගීතයත් මමයි පුතයි ගායනා කළා. ඒ වෙනුවෙන් රූප රචනාවක් ද සිදු කළා. රූප රචනා කළේ ප්‍රදීප් බෝගහවත්ත.

ඒ වගේම පවන් ඉංග්‍රීසි ගීත ගායනයටත් දක්ෂයි. තාත්තා ගායනා කරපු ගීතයක් ඉංග්‍රීසි බසට හරවා පවන් ගායනා කරනවා. එහි තනු නිර්මාණය සහ සංගීතය භාතිය ජයකොඩිගෙන්.

* ඔබේ පියාගේ ගීත දැන් අපට ඇහෙන්නේ වෙනත් හඬවලින්?

ඔව්, ඇත්තටම ඒක තාත්තා තනු නිර්මාණය කළ ගීත නෙවෙයි. ඒ ගීතවල ගායනයේ හිමිකාරිත්වය පමණයි තාත්තාට තිබුණේ. ඒ නිසා ඒ ගැන මට කනගාටුවක් නැහැ. නමුත් තාත්තා නිර්මාණය කළ ගීතවලට අනිසි කටයුත්තක් කළොත් මං ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

* ඕස්ට්‍රේලියාවේ ගෙවෙන ජීවිතය කොහොමද?

වරදක් කියන්න බැහැ. එහිදීත් විටින් විට මම සංගීත කටයුතුවලට සහභාගි වෙනවා. ශ්‍රී ලාංකිකයන් මුල් වෙලා ඕස්ට්‍රේලියාවේ විවිධ කටයුතුª සංවිධානය කරනවා. ඉඩ ලැබෙන හැම වෙලාවේදීම මම ඒ කටයුතුª සමඟත් එකතු වෙන්නට අමතක කරන්නේ නැහැ. ඉඩ ලැබෙන හැම විටම ගීත ගැයීම වෙනුවෙන් තවමත් කැප වෙලා ඉන්නවා.

* මෑත කාලයේ මියුසික් වීඩියෝ අතිශය ජනප්‍රියයි. මේ රැල්ලේ ඔබත් මුල්ම පුරුකක්?

ඔව්, මම හා හර්ෂ ගායනා කළ මේ මගේ මලයි ගිීතය හරහා තමයි අපේ රටේ රූප රචනා කලාව උඩු යටිකුරු වුණේ. ඒ ගීතයට තැනූ මියුසික් වීඩියෝව බොහෝ දෙනකුට අදටත් මතකයි. ඉන් පස්සේ භාතිය - සන්තුෂ්ලා මේ රූප රචනා කලාවට වෙනස්ම අරුතක් ලබා දුන්නා.

මම මේ ශෛලියේ වරදක් දකින්නේ නැහැ. මොකද මේක ලෝකයේ ප්‍රබල කලාවක්. නමුත් අපේ මේ කලාව විධිමත්ව හසුරුවන්නේ නැති ගතියක් මට පේනවා. මේ කටයුතු විධිමත් වුණොත් මියුසික් වීඩියෝ කියන්නේ නරක දෙයක් නෙවෙයි.

* හර්ෂ – රනිල් හවුලට මොකද වුණේ?

අපි අලුත් යමක් කරන්නට උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථක වුණා. අපි නිර්මාණය කළ ඇතැම් ගීත අතිශය ජනප්‍රිය වුණා. නමුත් ඇතැම් හොඳ ගීතවලට මාධ්‍ය ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ වගේම කාලයාගේ ඇවෑමෙන් මං රටින් පිට වුණා. හර්ෂ කාර්යය බහුල වුණා. අපේ නිර්මාණ බිහි වුණේ නැහැ. නමුත් අදටත් අපි හොඳ යාළුවෝ. හර්ෂ මගේ පුතා වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කළා.

ආයෙත් දවසක ගීතයක් කරන්නට හිතුණොත් අපි එකතුවේවි.

* අද ලංකාවේ පවතින සංගීත රැල්ල ගැන මොනවද හිතෙන්නේ?

කාලෙන් කාලෙට විවිධ රැලි බිහිවෙනවා. ඒ රැලිවලට විවිධ අර්ථ කථනත් එකතු වෙනවා. ඒත් මං මේ කිසිම දෙයක් විවේචනය කරන්නට යන්නේ නැහැ. මොකද අලුත් කාලෙට අලුත් විදියට අලුත් නිර්මාණ බිහි විය යුතුයි.

* කොහොමද පවුලේ තොරතුරු?

මගේ බිරිය නිරාෂා. පුතා පවන්, දුව අනුපජා. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. පුතාට දැන් වයස අවුරුදු දාහතරයි. දුවට එකොළහයි. වසරකට දෙකකට වතාවක් අපි ලංකාවට ඇවිත් මව්බිමේ සුවය විඳලා යනවා. ඒ ඇරුණාම ඉතිං ජීවිතේ කාර්ය බහුලයි.

* අලුත් ගීත ටිතක් කරන්න හිතක් නැද්ද?

මේ අලුත් ඩි. වී. ඩී තැටියේ ගීත තිහක් ඇතුළත් වෙලා තියෙනවා. ඊට අලුත් ගීත ඇතුළත්. මේ සඳහා ලැබෙන ප්‍රතිචාර අනුව තවත් අලුත් ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.