වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘අනිත්‍යා’ හෙට සිට

‘අනිත්‍යා’ හෙට සිට

නාලක විතානගේගේ කුලුඳුල් සිනමා පටය අනිත්‍යා හෙට සිට එම්.පී.අයි. මණ්ඩලයේ තිරගතවීම ඇරැඹේ. රොජර් සෙනෙවිරත්න, සංගීතා වීරරත්න, බන්දුල විතානගේ, මැණික් විජයවර්ධන, විශ්වලංකා, කිෂානි අලංකි පෙරේරා, උදිත් අබේරත්න මෙහි චරිත රංගනයේ යෙදෙති.

අධ්‍යක්ෂණය මෙන්ම චිත්‍රපටයේ සංකල්පය සහ තිර රචනය ද නාලක විතානගේය.

හරේන් නාගොඩවිතාන, චින්තක රණවීර, නුවන් වැලිවිට, කෝසල පී. තන්තුල අනිත්‍යා හි සම නිෂ්පාදකවරුන්ය. අදීෂ් පතිරණගේ විධායක නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය පී. බාලසූරියගෙනි. කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂවරයා වේ. බුද්ධික ඉරෝෂන් නිෂ්පාදක කළමනාකරුය.

අනිත්‍යා සින්ෂිප් වර්ෂන්හ ඉදිරිපත් කිරීමකි.

ගාමිණී හේවාවිතාරණගෙන් කලකට පසු ‘සෙබළ කුමරියෝ’ ශිරාණි නුගේරා යළි රංගනයට

රක්තා, හරි යන කොට ඔහොම තමයි, මැණික් මාලිගා, සාරංගා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ගාමිණී හේවාවිතාරණ දිගු කලකට පසු චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැරසේ.

‘සෙබළ කුමරියෝ’ යනුවෙන් නම තබා ඇති එය එල්. එන්. ජී. චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. රංගනයට විරාමයක් තැබු ජනප්‍රිය නිළි ශිරාණි නුගේරා යළි රංගන චාරිකාව අරඹන මෙම චිත්‍රපටය ගාමිණීගේ සය වැනි සිනමා කෘතියයි.

ශිරාණි සමඟ සෙබළ කුමරියෝ රංගනයෙන් හැඩගන්වන පිරිස අතර මොහාන් හෙට්ටිආරච්චි, අකිල සඳකැලුම්, චංචලා වර්ණසූරිය, මනීෂා නාමල්ගම, පූජා පතිරණ, සුමිත් මුදන්නායක, නිරෝ විජේසේකර, ධනංජි තාරුකා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, නිලන්ති ගුණවර්ධන, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, මනීෂා ජයලත්, නිලංගනී පෙෙරේරා, මංගල මඩුගල්ල, රනිල් රාජපක්ෂ, රන්ජන් ගලගෙදර, උපුල් සංජීව සහ ජනක වීරසිංහ වෙති.

තිර රචනය රංජිත් ජයසූරියගෙනි. කීර්ති රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. රංජිත් මතඟවීර අංග රචනයෙන් එක්වෙයි.

ගීත රචනා බන්දුල ජයසිංහ සහ රොඩ්නි විදානපතිරණගෙනි. රත්නවීර සිල්වා නිෂ්පාදන අධිකාරීවේ. නිෂ්පාදන සැලසුම ප්‍රසාද් ප්‍රනාන්දුගෙනි. සුමිත් මුදන්නායක සටන් අධ්‍යක්ෂවරයාය.

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි රචිත ‘සජීවී ලෝකය’ බෞද්ධ විද්‍යා ග්‍රන්ථය 28 දා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දකී

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ ‘සජීවී ලෝකය’ විමර්ශනාත්මක බෞද්ධ විද්‍යා ග්‍රන්ථය මාර්තු 28 වැනිදා කොළඹ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

මහ නා හිමියන් සමඟ ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා කළ පුවත්පත් සාකච්ඡා ලිපි ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර තිබේ. මේ යටතේ සක්වළ දැක්ම හා ජීවන පැවැත්ම, විදින විඳවන විවිධ ලෝක, ආධ්‍යාත්මික ශක්ති විශේෂ, සසර ගමන, රාවණ යුගය, අත්භූත ශක්ති හා විශ්ව බලවේග, පිටසක්වල ජීවය, ශ ªද්ධ භූමි හා විස්මිත ස්ථාන මෙන්ම නූතන් අබිරහස් යන කරුණු පෙළ ගස්වා ඇත. සූත්‍ර දේශනා, පර්යේෂණ වාර්තා සහ සේයාරූ ආශ්‍රයෙන් ඉතා සරලව කාලීන මාතෘකා 80 ක් මෙම කෘතියෙන් විස්තර කෙරේ.

අති පූජ්‍ය බෙල්ලන ඤානවිමල මහ නා හිමියන්ගේ 94 වෙනි ජන්ම දිනයට සමගාමීව පැවැත්වෙන මෙම උළෙලේදී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, කථාකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි සහ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි විශේෂ දෙසුම් පවත්වති. - යතේජා

පිළිකා රෝහලට විවේකාගාරයක්

My Wish හදක පැතුම – 2 ප්‍රසංගය 22 දා සුගතදාස ක්‍රීඩාංගනයේ

සියලු කලාකරුවන් සහභාගි වන්නේ නොමිලේ

මයි විෂ් පදනමේ සභාපතිනි නෙළුම් කියයි

මහරගම පිළිකා රෝහලේ නේවාසික දරුවන්ගේ මවුපියන් සඳහා විවේකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් මගේ පැතුම් පදනම විසින් සංවිධානය කෙරෙන ‘මයි විෂ් හදක පැතුම – 2’ ප්‍රසංගය මාර්තු 22 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීතයෙන් සංගීතවත් වන මෙම අවස්ථාවේදී පණ්ඩිත් අමරදේව, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, ආත්මා ලියනගේ, දමයන්ති ජයසූරිය, සුනිල් පෙරේරා, ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගායනයෙන් එක්වීමට නියමිතය. මේරියන්ස් සංගීත කණ්ඩායම සිය 25 වැනි සංවත්සරය සමරමින් මේ අවස්ථාවට එක්වන අතර මෙම සියලුම කලාකරුවන් කිසිදු අය කිරීමකින් තොරව මේ සඳහා සහභාගිවීමට තීරණය කර ඇත.

මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) රැස්වීම් ශලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේදී අදහස් දැක් වූ මයි විෂ් පදනමේ සභාපතිනි නෙළුම් ආරච්චිගේ පැවසූයේ, සුව නොවන රෝගවලින් පෙළෙන ළමුන්ගේ පැතුම් ඉටු කිරීම වෙනුවෙන් පිහිටුවන ලද මෙම පදනම හරහා මෙවර එම ළමුන් වෙනුවෙන් රෝහලේ සිට සිය කාලය කැප කරන දෙමව්පියන්ට විවේකයක් ගැනීමට සුදුසු ස්ථානයක් සකස් කර දීමට මෙය සංවිධානය කෙරෙන බවයි.

මෙම අවස්ථාවට එක් වූ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනි පවසා සිටියේ, ජීවිතය හැරයාමට සිටින අසරණ දරුවන් වෙනුවෙන් මෙවැනි කටයුත්තකට සහභාගිවීමට ලැබීම ගැන ඉතාමත් සතුටට පත්වන බවත් දරුවන් ලබන සතුට තමාට ඉතාමත් වැදගත් වන බවත්ය. මෙහිදී අදහස් දැක් වූ මේරියන්ස් නායක නලින් පෙරේරා සඳහන් කර සිටියේ, 25 වැනි සැමරුම වෙනුවෙන් මෙවැනි වූ කටයුත්තක් සඳහා දායක වීමට ලැබීම පිළිබඳවත් කලාකරුවන්ට ප්‍රසිද්ධියක් ලබා දුන් ජනතාව වෙනුවෙන් මෙවැනි වූ පුණ්‍ය ක්‍රියාවක් මෙවැනි වූ අවස්ථාවක ඉටු කිරීමට ලැබීම පිළිබඳව දැඩි ලෙස සතුටට පත්වන බවයි.

මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ඔබේසේකර, මයි විෂ් සංවිධානයේ සාමාජික ෂෙරින් ගුණතිලක, මයි විෂ් සංවිධානයේ සභාපතිනි නෙළුම් ආරච්චිගේ, ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනි, මේරියන්ස් නායක නලීන් පෙරේරා දැනුම්වත් කිරීමට එක් වෙමින්.