වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයෙන් දිගු ගමනක් යන්න පුළුවන් කියා සිතනවා

රංගනයෙන් දිගු ගමනක් යන්න පුළුවන් කියා සිතනවා
 

‘සඳ මැදියමේ’ හිච්චි මහත්තයා

ගයාන් චතුරංග කියයි

ඔහු පුංචි කාලේ පටන්ම කලාවට ලැදි වුණත් පාසල් අධ්‍යාපනයෙන් පසුව යොමු වුණේ බැංකු ක්ෂේත්‍රයට. වෘත්තීය මට්ටමෙන් ඒ හා බැඳුණත් ඔහුගේ කලා හැකියාවන් යටපත් කරන්න කාලය ඔහුට ඉඩ දුන්නේ නැහැ. කලා ලොවේ විවිධ අංශවලින් දස්කම් දැක්වූවත් අප වඩා හොඳින් ඔහු හඳුනන්නේ නළුවෙක් විදියට. ‘සඳ මැදියමේ’ හිච්චි මහත්තයා, ගයාන් චතුරංග. මේ සරසවිය ගයාන් සමඟ කළ කෙටි පිළිසඳරක්.

කලා ක්ෂේත්‍රයට පැමිණි ගමනේ ආරම්භය ගැන මුලින්ම කියමු නේද?

මම ඉසුර එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ නිවේදකයෙක් විදියට තමයි මුලින්ම කටයුතු කළේ. ඊට පසුව ජාතික රූපවාහිනියේ මාස හයක පුහුණු නිවේදකයෙක් විදියට කටයුතුª කළා. ඒ කාලය අතරතුරේදී තමයි මට ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්නට අවස්ථාව ලැබුණේ. ඒ අනුව මට ‘සක්විත්තෝ, බිනරි, සඳ මැදියම’ ටෙලි වෘතාන්ත සඳහා රංගනයෙන් දායක වෙන්න හැකි වුණා.

පාසල් කාලයේත් කලා කටයුතු සමඟ සම්බන්ධ වුණාද?

මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල නාගොඩ රාජකීය ජාතික පාසලේ. කලාවට ගොඩක්ම සමීපව කටයුතු කළේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබන කාලයේදී. ඒ කාලෙදිත් මම හිතුවා රංගනයට යොමු වුණොත් හොඳයි කියලා. නර්තනය හදාරණ අතරම පාසලේදී නිවේදන කටයුතු සඳහාත් දායක වුණා. නර්තන අංශයෙන් උඩරට නර්තන ශිල්පියෙක් ලෙස වෙස් පැලඳුවා.

පාසල් නර්තන තරගවලදී දකුණු පළාත් හොඳම උඩරට බෙර වාදකයා ලෙසත්, දකුණු පළාත් හොඳම පාසල් නර්තන ශිල්පියා ලෙසත් සම්මාන ලැබුවා. ඒ අතරතුරේදී පාසල් වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. පාසලේ අධ්‍යාපනයෙන් පසුව බැලේ නර්තනය සහ මුද්‍රා නාට්‍ය පිළිබඳ හැදෑරුවා.

ඔබ පෞද්ගලික බැංකුවක නිලධාරියෙක්. රැකියාව රංගනයට බාධාවක් වෙලා නැද්ද?

දැනට නම් එහෙම වෙලා නැහැ. මේ දෙඅංශයේම කටයුතු සමබරව කරගෙන යනවා.

අනාගතයේදී ඔබ මේ අංශ දෙකෙන් එකක් තෝරා ගනියිද?

රංගනයෙන් මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙනවා. තාම එය ආරම්භ කළා විතරයිනේ. ඒ වගේම නිවේදන කටයුතුªවලටත් හැකි උපරිමයෙන් දායක වෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

කලා අංශයෙන් පැමිණි මේ ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?

කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට ලැබීම ගැන ගොඩක් සතුටුයි. මුලින්ම ඒ ගැන මම මගේ අම්මාටයි තාත්තාටයි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මට මේ ගමන එන්න ශක්තියක් වුණේ. ඒ වගේම නයනා මල්කාන්ති සහ අනෝමා ශ්‍යාමලී නම් පාසල් ගුරුතුමියන් දෙදෙනාත් ආදරයෙන් මතක් කරනවා. මගේ බැලේ නර්තන ගුරුවරයා වන නිලාන් මලිගස්පේ සහ මම සේවය කරන බැංකුවේ හිටපු වෙළෙඳ අලෙවි කළමනාකාර දසුන් සිරිවර්ධන සහ දැනට වෙළෙඳ අලෙවි කළමනාකරු ලෙස කටයුතු කරන අෂේන් කර්තේලිස්ගෙන් ලද සහායත් අමතක කරන්න බැහැ.

කලා ක්ෂේත්‍රයේ මේ දේවල් කරන්න මට අවස්ථාව ලැබුණේ මේ හැමෝගෙන්ම ලද සහාය නිසා. එය තවදුරටත් සාර්ථක කර ගන්න උපරිමයෙන් කැප වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.