වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ටන් ජූඩ් අපෙන් සමුගෙන වසරයි

ඇන්ටන් ජූඩ් අපෙන් සමුගෙන වසරයි

19, 20, 24 පිංකම් රැසක්

ඇන්ටන් ජූඩ් කලාකරුවාණන් අප අතරින් සමුගෙන මෙම මස 20 වැනිදාට වසරක් සපිරේ. ඒ හේතුවෙන් ඔහුට පින් පැමිණවීම පිණිස පුණ්‍ය කටයුතු කිහිපයක්ම සිදු කෙරෙන බව ඔහුගේ ආදරණීය බිරිය මානෙල් ජූඩ් සරසවියට දන්වා සිටියි. ඒ අනුව මෙම මස 19 වැනිදා සවස 6.00 ට ගල්කිස්ස ශාන්ත අන්තෝනි දෙව් මැදුරේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ. එමෙන්ම 20 වැනිදා ගල්කිස්සේ ජූඩ්ගේ නිවෙසේදී වියළි ආහාර බෙදාදීමක් ද සිදුවනු ඇත. ලබන බ්‍රහස්පතින්දා එනම් 24 වැනිදා කිතුලාගම බෝතලේ ආරාමයෙහි වැඩ වාසය කරන සංඝයා වහන්සේලා විසිපස් දෙනකුට දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට නියමිතය.

ආදරණිය ජූඩ් මාමා,

සැමට අත වනා සැම සිත් පුබුදන්නේ
තමා වෙහෙස වී අන් අය සනසන්නේ
උඩඟු නොවී සැම දෙන සමඟ දොඬමළු
වන්නේ
නැත අප හට ඔබ අමතක වන්නේ
පියාණෙනි,
ඔබගේ සිනාරැලි නැවත දකින්නට,
ඔබත් සමඟ යළි කථා කරන්නට,
වරම් නොලැබුණත්
මතු ආත්මයකදීවත් ඔබව හමුවන්නට
අප හට වරම් ලැබේවා,
මාමේ ඔබ අප අතර සදා අමරණීයයි.
 

මෙයට

ඔබට කවදත් ආදරේ,

ලක්ෂාන්, ලක්ෂිකා, මලිෂා, චතුරි, අසංක,
චිරාත්,
ඔනෙත්මා චෙනුත්මි

මගේ දයාබර හිමියනි,

නිල් මානෙල් මලක් වගේ නුඹ හැන්දෑවට
කියා පැවසූ නුඹ
හැමදාමත් ආදරේද මට කියා නුඹ
අද නැත
එහෙත් උපදින උපදින හැම භවයකදීම
හැමදාමත් ආදරෙයි මම නුඹට
මතු සංසාරයේදිත් ඔබ මගේම
වී ඉපදේවා!
 

මීට ප්‍රිය බිරිඳ මානෙල්


එච්. කේ. සිරිසේනගේ 70 වැනි උපන් දිනයට වැඩිහිටි නිවාසයට දානයක්

රංගන ශිල්පිණී ශ්‍රියාණි මහවත්තගේ දයාබර සැමියා වන එච්. කේ. සිරිසේනගේ 70 වැනි උපන් දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ රන්මුතුගල වැඩිහිටි නිවාසයේදී. එදින එහි සිටි සියලුම සාමාජිකයින්ට උදෑසන ආහාර වේල ඔහුගේ වියදමෙනුයි ලබා දුන්නේ. මේ ආදර්ශවත් උපන් දින සැමරුම ගැන බොහෝ දෙනා කතා කළේ ප්‍රශංසා මුඛයෙන්.

මේ එම මොහොතේ ගත් සේයාරුවකි.