වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 “ටයිටැනික්” පොතක් වූදා

 “ටයිටැනික්” පොතක් වූදා

“ ටයිටැනික් ” ලොවම සසල කළ කතා පුවතක්. ඒ පිළිබඳ ලොව පුරා ප්‍රචාරය වූ පුවත් ද ඕනෑතරම්. සිනමා පටයක් ඔස්සේ ද අපි එය රස වින්ඳෙමු. දැන්, “ ටයිටැනික් ” සත්‍ය කතාව, කෘතියක් ලෙසින් එළි දැක ඇත.

ඒ, අපේ රටේ පාඨකයින් වෙතයි. ආචාර්ය නිමල් සේදරයන්ගේ රචනයක් වන මෙහි, කාරණා 3ක් පිළිබඳ විස්තර කෙරේ. “ ටයිටැනික් ” නෞකාවේ මංගල චාරිකාව, මුහුදුබත් වීම සහ හැත්තෑපස් වසරකට පසු, මුහුදු පත්ලෙන් එහි සුන්බුන් සොයා ගැනීම එකී කරුණු වේ.

ඒ සම්බන්ධයෙන් ඔබ නොදත්, දුර්ලභ තොරතුරු “ ටයිටැනික් ” කෘතියේ අන්තර්ගතය. පසුගිය දා මෙම කෘතියේ මුල් පිටපත, කලාකීර්ති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන් හට පිළිගැන්විණි. “ටයිටැනික් ” සරසවි ප්‍රකාශනයකි.

නිමල් ගුණසේකරගෙන් පොත් යුගලක් 26 වැනිදා

සුප්‍රකට ගායක නිමල් ගුණසේකරයන් තිස් වසරක ගුවන් විදුලි අත්දැකීම් ඇසුරෙන් රචනා කළ “මියැසි මග සහ ගුවන් විදුලියේ නොඇසූ රසකතා” යන ග්‍රන්ථ ද්විත්වය මෙම මස 25 වැනිදා, දහවල් 12.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී එළි දැක්වෙයි.

මෙදින ප්‍රධාන අමුත්තන් වශයෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.

සුජීව දිසානායකගේ ‘සහෝදරියෝ’ 27 දා පුස්තකාල ශ්‍රවණගාරයේදී

ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව දිසානායක පරිවර්තනය කළ අලුත්ම ග්‍රන්ථය ‘සහෝදරියෝ’ ලබන 27 වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘සහෝදරියෝ’ පරිවර්තන කෘතිය දොරට වැඩීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමිපාණන් හොබවන අතර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරුන් විශේෂ දෙසුම් පවත්වති.

මෙම අවස්ථාවේදී දයාවංශ ජයකොඩි සහ සමාගම 2011 වසරේ දීප ව්‍යාප්තව පැවැත් වූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කළ අම්පාර මල්වත්ත පාරේ, පියදාස උඩවත්ත ලියූ ‘බැද්දට හඳ පායාවිත්’ නවකතාව සඳහා වන රුපියල් 50,000/- ක මුදල් ත්‍යාගය සහ සම්මාන ප්‍රදානය ද සිදු කෙරේ.

ගුණරත්න ඒකනායක රචිත ‘අපේම අම්මා’ නිපුන් පොත් මැදුරේ

සම්මානලාභී සාහිත්‍ය ලේඛක ගුණරත්න ඒකනායක විසින් රචිත නවතම නවකතාව ‘අපේම අම්මා’ මාර්තු 27 වැනිදා සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වැඩීමට නියමිතය.

සම්මානනීය ‘තෑගි ගොඩයි’, ‘යාපනය තවමත් ඈතයි’ කෘති ඇතුළුව යොවුන් නවකතා, නවකතා, කෙටි කතා ඇතුළු කෘති රැසක් ඔහු රචනා කළ කෘති අතර වෙයි.

‘සිංහ දියණී’ 27 දා ලුම්බිණියේ

අශෝක සෙනරත් මුදලිගේ ‘සිංහ දියණී’ වේදිකා නාට්‍යය මේමස 27 වැනි දා සවස කොළඹ ලුම්බිණි ශාලාවේ දී රංග ගතවේ. සඳුන් විජේසිරි, ප්‍රසන්න ෆොන්සේකා, සරත් පීරිස්, කරු අතුකෝරල, සුදත් විජේසේකර, මයෝමි කාංචනා, රොෂාන් ජයසුන්දර, සුනිල් සමරකෝන්, නන්දන විජය ශාන්ත, අජිත් ප්‍රනාන්දු, සමන්ති මානගේ, අනුර ආටිගල, ඩිල්ෂාන් නාකුළුගමුව, මධුශානි ආටිගල මෙහි චරිත මවති.

මාලක උදාන වාදන ගී ප්‍රසංගයදා

නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන මාලක විනෝද් ජයවීර විසින් සංගීතය සැපයූ ‘මාලක උදාන වාදන ගී ප්‍රසංගය’ පසුගියදා රන්පොකුණගම නරිතසං රඟහලේදී පවත්වන ලදී.

ටී. එම්. ජයරත්න, ජූඩ් සොයිසා, අනුර පලිහවඩන, රන්ජන් ඩයස් ගායනයෙන් එක් වූ මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයමින් මාලක ජයවීර, ප්‍රවීණ ශිල්පීන් සඳහා ඒක පුද්ගල වාදකයකු ලෙස කටයුතු කරනු ලැබිණි.