වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කොටස් ගණන වැඩි වුණාට මෙගා වෙන්නේ නෑ

කොටස් ගණන වැඩි වුණාට මෙගා වෙන්නේ නෑ

‘සත්‍ය’ ගෙනෙන ප්‍රියන්ත සමරකෝන්

ඔහු කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදියට. ‘එය මෙසේ සිදු විය’, ‘සොක්කානෝ රජානෝ’, ‘සක්විති රාවණා’ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වූ ඔහු පසුව ‘මිනිසා සහ හුස්ම ටිකක්’ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙස් මුහුණ’ නාට්‍යයෙන් සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙසත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියා.

පිනිවැස්ස, සඳමැදියම, සිරිවාසල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂක පැසසුම් ලත් ඔහු ප්‍රියන්ත සමරකෝන්. වසර දහයකට පමණ පසු චන්න පෙරේරා සහ චතුරිකා පීරිස් යළිත් පෙම්වතුන් කරමින් ‘සත්‍ය’ ටෙලි නාට්‍යය ඔබ වෙතට ගෙන එන්නත් ඔහු සූදානම්.

සත්‍ය ටෙලි නාට්‍යයේ අලුත්ම තොරතුරු ගැන මුලින්ම කියමු?

‘සත්‍ය’ ටෙලි නාටයයේ රූගත කිරීම් පසුගිය දිනවල නුවරඑළිය හා කොළඹදී සිදු කෙරුණා. නොකළ මිනීමැරුමකට මැදිවන තරුණයකු එයින් මිදෙන්නට ගෙන යන සමාජීය හා මානසික අරගලයත් එයින් තම ප්‍රේමණීය ආදරයට සිදුවන ඉරණම තමයි මේ තුළින් දිග හැරෙන්නේ.

චතුරිකා පීරිස් සමඟ චන්න පෙරේරා ප්‍රධාන භූමිකා නිරූපණය කරන මේ ටෙලි සිත්තම ළඟදීම සිරස රූපවාහිනිය ඔස්සේ විකාශයවීමට නියමිතයි.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ඔබේ දායකත්වය ලද නිර්මාණ?

මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ ‘බක්මහේ සිහිනය’ නම් ඒකාංගික ටෙලි නාට්‍යයක්. එය 2000 වසරේදී විකාශය වුණා. ඊට පසුව පිනි වැස්ස සහ සඳ මැදියම විකාශය වුණා. ඊට පසුව මම එංගලන්තයේ නාට්‍ය කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතුවල නිරත වෙලා සිටි කාලය තුළත් මම ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාව හා එංගලන්තයේදී එහි රූගත කිරීම් සිදු කළා. එයත් ඉදිරියේදී විකාශය කරන්න සූදානම්.

වර්තමානයේදී එළිදකිනා බොහෝ නිර්මාණ මෙගා ටෙලි නාට්‍ය. මෙවැනි පසුබිමක් තුළ ඔබේ නිර්මාණ සීමිත කොටස් සංඛ්‍යාවකට සීමා වෙනවා. එයට විශේෂ වූ හේතුවක් තියෙනවාද?

මගේ ටෙලි නාට්‍ය ය කොටස් 40, 50 හෝ 60 වැනි සංඛ්‍යාවකට සීමා වෙනවා. යම් නිර්මාණයක් අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීම තුළ එහි තියෙන ගුණාත්මකභාවය හීන වීමකට ලක්වෙනවා. ඒ තුළින් බිහි වෙන්නේ බාල වර්ගයේ නිර්මාණ. නමුත් කොටස් සංඛ්‍යාව දීර්ඝ වූ පමණින් අපට එය මෙගා නිර්මාණ ලෙස හඳුන්වන්න බැහැ. මෙයට හේතු වුණේ ඉන්දීය නිර්මාණ.

නමුත් එංගලන්තය වැනි රටක මෙගා නිර්මාණ ලෙස සැලකෙන්නේ විශාල පිරිසක්, අධික පිරිවැයක් යොදා කෙරෙන නිර්මාණයි. ලංකාවේ වේදිකා නාට්‍ය සහ සිනමාවට වඩා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ලැබෙනවා. ලක්ෂ අසූවක් පමණ වන ඒ පිරිස ආමන්ත්‍රණය කරන්න උසස් ගණයේ නිර්මාණ බිහි විය යුතුයි. ඒ පිළිබඳ නිර්මාණකරුවන් දැනුම්වත් විය යුතුයි. වැඩි කොටස් සංඛ්‍යාවකින් යුතු බාල බොලඳ නිර්මාණ නිසා ප්‍රේක්ෂකයා සරල වින්දනයකටයි යොමු වෙන්නේ. එහිදී ඔවුන්ගේ රසඥතාව මොටවීමක් සිදු වෙනවා.

ඔබේ මීළඟ ටෙලි නිර්මාණය ගැනත් සඳහන් කළොත්?

එයත් තරමක වෙනස් ආකාරයේ කතා පුවතක් ගෙන එන ටෙලි සිත්තමක්. ‘අඩැසි සඳ’ කියල තමයි එයට නම යොදල තියන්නේ. සාම්ප්‍රදායික බෙර වාදන ශිල්පීන් වෙසෙන ගම්මානයක සිදුවන කතාවක් තමයි එහි ඇතුළත් වෙන්නේ. මේ දිනවල මම එහි ප්‍රධාන නිළි චරිතය සඳහා සුදුසු තරුණියක් සොයමින් ඉන්නේ.

ඔබ ක්ෂේත්‍රයට පිවිසි කාලය තුළ මේ දක්වා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම කෙනකුට නිර්මාණ කරන්න අවකාශයක් ක්ෂේත්‍රයේ තියෙනවා. නමුත් බොහෝ නවකයන්ට ක්ෂේත්‍රය තුළ රැඳෙන්න නොහැකි බවක් පේනවා. එයට හේතුව ක්ෂේත්‍රයම නොවෙයි. බොහෝ අයට ජනප්‍රියත්වය දරා ගැනීමට නොහැකිවීමයි. කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන්න නම් සුහදශීලි බව, මිත්‍රශීලිත්වය වැනි මානුෂික ගුණාංග තිබිය යුතු වෙනවා. එහෙම නෙවන අය ඉක්මනින් ජනප්‍රිය වුණත් ඊටත් වඩා ඉක්මනට ජනප්‍රියත්වය අහිමි වී යනවා.

පෞද්ගලික විස්තර ටිකකුත් කියමුද?

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මේ වන විට ඔහු අප අතර නැහැ. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. මම තවම විවාහ වෙලා නැහැ. මට සහෝදරියන් තිදෙනෙක් ඉන්නවා.

කලා ජීවිතයේ ඉදිරිය ගැනත් කියමු?

වේදිකා නාට්‍යයක් සහ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දිනවල මම චිත්‍රපටයේ තිර පිටපත ලියමින් ඉන්නේ. මේ වසර අවසානයේදී එහි රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.