වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




නළු නිළියෝ හදන්න මට වුවමනා නැහැ

නළු නිළියෝ හදන්න මට වුවමනා නැහැ

එම්. සෆීර් ජාත්‍යන්තර රංග කලා උළෙල ගැන කතා කරයි

එම්. සෆීර් නම කියූ පමණින් කලාවට හිතැති ඔබට ඔහු කවුරුන්දැයි අමුතුවෙන් හඳුන්වා දිය යුතු නම් නොවේ. වේදිකා නාට්‍ය නළුවකු, තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, ග්‍රන්ථ කතුවරයකු වැනි විවිධ අංශ ඔස්සේ එම්. සෆීර් නම් කලාකරුවාගේ මෙහෙය මෙරට කලා ලෝකයට සවියක්. වසර විසි දෙකකට අධික කාලයක් පුරා විවිධ අත්හදා බැලීම් කරමින් නූතන කලාව දැයට තිළිණ කිරීමට වෙහෙසෙන සෆීර් තම කර්තව්‍යයේ පියවරක් ලෙස මෙරට තුළදී ජාත්‍යන්තර රංග කලා උළෙලක් පවත්වන්නට කටයුතු කළ අයෙක්. එහි දෙවැන්න දිග හැරෙන මේ මොහොතේ සරසවිය ඔහුගෙන් ඒ පිළිබඳව විමසන්න අමතක කළේ නැහැ.

මේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ. දෙවැනි ඇරඹුමයි. අපේ කතාව එතැනින් අරඹමු?

මෙය ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල. මෙවර අපි එය සංවිධානය කරන්නේ දෙවැනි වතාවටයි. ලබන 27 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී සමාරම්භක උත්සවය පවත්වන්නට නියමිතයි. මාර්තු 28 වැනිදා සිට අප්‍රේල් 04 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැලේදී නාට්‍ය උළෙල පැවැත්වෙනවා. මෙවර නාට්‍ය උළෙලට ඉන්දියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, සෞදි අරාබිය, ඊජිප්තුව, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාට්‍ය ඇතුළත්.ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ මෙම නාට්‍ය උළෙල අවම දෙබස් හා නූතන නාට්‍ය නිෂ්පාදනවලින් සමන්විත වෙන්නේ. නාට්‍ය උළෙල පැවැත්වෙන සෑම දවසකම ප්‍රධාන අරාධිතයන් ලෙස අදාළ රටේ තානාපතිවරයා හෝ මහ කොමසාරිස්වරයා හා දේශීය රංග කලාවේ ප්‍රවර්ධනයට දිගුකාලීනව දායකත්වයක් ලබා දුන් දේශීය නාට්‍යකරුවකු සහභාගි වෙන්න නියමිතයි.

මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන්නට අරමුණු වුණේ?

මූලික අරමුණ වන්නේ මෙරට රංග කලාවේ ප්‍රගමනයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගැනීමයි. එමඟින් නූතන තරුණ තරුණියන්ගේ මේ පිළිබඳ වූ සංවෘත දැනම විවෘත දැනුමකට පරිවර්තනය කිරීම වගේම නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී නාට්‍ය දර්ශනවලට අමතරව වැඩමුළු හා විද්වත් හමුවීම් ද පවත්වන්න සූදානම්. මේ නාට්‍ය උළෙලට සහභාගි වන අනෙක් රටවල ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ දැනුම මෙරට නාට්‍ය කලාවේ පෝෂණයටත් දායක වේවි.

ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘කවිතා’ වැඩසටහනේ වර්ධනය වෙනුවෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ දී නාට්‍ය දර්ශන හා වැඩමුළු පවත්වන්නත් කටයුතුª සූදානම් කරලා තියෙනවා. ඒ වගේම දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වය ලබා දීම වගේම දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිරීම උදෙසා කළ කැප කිරීම වෙනුවෙන් දේශිය නාට්‍යකරුවන් ගෞරව සම්මානයට පාත්‍ර කරන්නත් නියමිතයි.

ඒ කවුරුන්ද කියලත් සඳහන් කළොත්?

මු. දු. රංජිත් සිල්වා (ගාල්ල), ඩී. කේ. ආටිගල (පොළොන්නරුව), ප්‍රියංකර රත්නායක (කැලණිය විශ්වවිද්‍යාලය), මංගල සේනානායක (සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය), සමන් ගාමිණී (කුරුණෑගල), ජෝසුවා පියතුමා (යාපනය), අමිතා රබ්බිඩිගල (නුවර), රුවන්ති ඩී. චිකේරා (කොළඹ), ට්‍රේසි ෂොල්සිංගර් (කොළඹ) මේ පිරිසට අයත් වෙනවා. මේ හැම කෙනෙක්ම ප්‍රාදේශීය මට්ටමෙන් කලාවේ පෝෂණයට අප්‍රමාණ දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්.

කලාව වෙනුවෙන් වූ මෙවැනි වැඩ පිළිවෙළක් ඔබ විසින් සංවිධානය කෙරෙද්දී ලැබෙන අනුග්‍රාහය කොහොමද?

මෙවර දෙවැනි වරටත් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල සංවිධානය කෙරෙනවා. මේ දක්වා ලංකාවට ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් තිබුණේ නැහැ. මම ඒ විපර්යාසය සිදු කළා. නාට්‍ය කලාව කියන්නේ සමාජ මෙහෙවරක්. නමුත් ලංකාව තුළ අද වන විට නාට්‍ය උළෙලක් වෙනුවෙන් අනුග්‍රාහකයෙක් හොයා ගන්න එක තමයි අසීරුම කාර්යය. ප්‍රතිපත්තිමය වශයෙන් උදව් කළ හැකි පිරිසක් ඉන්නවා.

මෙවර ආයතන කිහිපයකින් අපට අනුග්‍රහය ලැබිලා තියෙනවා. මෙවැනි කටයුත්තක් වෙනුවෙන් අනුග්‍රාහකයන් හොයන එක හරිම අප්‍රසන්නයි. ෆැෂන් ෂෝවලට අනුග්‍රහය දක්වන්න ඕනෑ තරම් අනුග්‍රාහකයින් ඉදිරිපත් වන යුගයක නාට්‍ය කලාවට මෙවැනි තත්ත්වයක් උදාවීම හරිම කනගාටුදායකයි. මෙවර නාට්‍ය උළෙල සඳහා විදේශීය නාට්‍ය කණ්ඩායම් 11 ක් පැමිණෙන්න නියමිතයි. එහිදී ගමන් වියදම් වැනි දේ ඔවුන් විසින්ම දරා ගන්නවා.

ඔබ මෙරට නාට්‍ය කලාවේ දියුණුව වෙනුවෙන් වූ මෙහෙවර තුළ  Black Box  නාට්‍ය ක්‍රමය මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වුණා. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්?

ලෝක නාට්‍ය කලාව තුළ රඟහල සංකල්ප තුළින් බිහි වූ නාට්‍ය ක්‍රමවේද හයක් තියෙනවා. ඇරිනා තියටර්, ඇමිපි තියටර්, ට්‍රස්ට් තියටර්, ප්‍රොසිනියම් තියටර්, බ්ලැක් බොක්ස් සහ ක්‍රියේටඩ් ඕර් ෆවුන්ඩඩ් ස්පේස් තියටර් කියලා. ලංකාව තුළ තියෙන්නේ ප්‍රොසිනියම් තියටර්. බ්ලැක් බොක්ස් නාට්‍ය ක්‍රමයේදී යොදා ගැනෙන්නේ ඉතා කුඩා අවකාශයක්. මෙහිදී ප්‍රේක්ෂකයා හා රංගන ශිල්පියා අතර දුර අඩුයි. ඒ වගේම මෙහිදී අපට අවශ්‍ය පරිදි රඟහල වෙනස් කර ගැනීමට ද පුළුවන්. මම පසුගිය අවුරුදු කිහිපය තුළම මේ වෙනුවෙන් කටයුතුª කළා. ඒ වෙනුවෙන් දැනට රඟහල් දෙකකුත් ඉදි කරලා තියෙනවා. මෙහිදී නිර්මාණය අවසන් වන විට ප්‍රේක්ෂකයාට නාට්‍ය නිර්මාණය පිළිබඳ අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා.

වසර විසි දෙකකටත් අධික කාලයක් පුරා නාට්‍ය කලාව වෙනුවෙන් කැප කිරීම් කරන ඔබ, වර්තමානයේ තරුණ ප්‍රජාව නාට්‍ය කලාවට පිවිසීම සහ නූතන ප්‍රේක්ෂකාගාරය දකින්නේ මොන විදියට ද?

ඇත්තටම මට නළු නිළියන් හදන්න වුවමනාවක් නැහැ. මට මිනිසුන් හදන්නයි ඕනෑ. මගේ නාට්‍ය කවදාවත් ප්‍රධාන නාට්‍ය ශාලාවල වේදිකා ගත කරලා නැහැ. සමාජයේ නාට්‍යකරුවෙක් යන්න හිතන්නෙවත් නැති තැන්වලට අපි ගියා. කොටගල තේ වත්තක මුදුනේ මහ රෑ පෙන් වූ නාට්‍යයක් බලන්න තුන්දහසක් විතර ජනතාව පැමිණ හිටියා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නේවත් නැති වෙයි.

තව යුද්ධය පැවති කාලයේදී මහවිලච්චියේ පැවති නාට්‍ය බලන්න දෙදාහකට ආසන්න පිරිසක් රැස් වෙලා හිටියා. තරුණ තරුණියන් බොහොමයක් අද නාට්‍ය කලාවට එන්නේ නළුවෙක් නිළියක් වෙන්න. මගේ දැක්ම එය නොවෙයි. ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ හැකි මට්ටමේ සාර්ථක නාට්‍යකරුවන් බිහි කිරීමයි සිදු කළ යුත්තේ.

ඔබටත් ජාත්‍යන්තර මට්ටමෙන් නාට්‍ය කලාව උදෙසා කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා නේද?

පසුගිය වසරේදී ඉන්දියාවේ පූනේ ෆ්ලේම් රංග කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය උළෙලක් සහ වැඩමුළුවක් පැවැත්වූවා. මා සමඟ ඉන්ටර් ඇක්ටි ආර්ට් බ්ලැක් බොක්ස් නාට්‍ය කණ්ඩායමේ එස්. දයාලන්, තිවංක රණසිංහ, රෙජී චන්දිම, නාට්‍ය පරිවර්තක එස්. ගෝමස් මේ සඳහා සහභාගි වුණා. එම විශ්වවිද්‍යාලයේ විශේෂ ආරාධනයකට අනුවයි අපි එහි ගියේ. එය සුවිශේෂ වන්නේ එවැනි ආරාධනාවක් ලංකාවට ලැබුණේ ප්‍රථම වතාවටයි.

 එහිදී මාසයකට ආසන්න කාලයක් අපේ කණ්ඩායම එම විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ නූතන රංග කලා ප්‍රවණතා, සිරුර හා එහි නම්‍යශීලී රංග ක්‍රමවේද ආදිය පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වූවා. එහිදී අපි නාට්‍යයක් නිර්මාණය කළා. මෙවර කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට ඔවුන් එය රැගෙන එනවා. ලාංකිකයන් විදියට අපි ලද ඒ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි.

අපි දූපතක් විදියට එයටම කොටු වෙලා සිටිය යුතු නැහැ. රවීන්ද්‍රනාත් තාගෝර්, ස්ටැනිස්ලවුස්කි, බර්ටෝල් බෙස්ට් වැනි නාට්‍යකරුවන් පිළිබඳ අපි දැනගත්තට අපේ දේශීය නාට්‍යකරුවන් පිළිබඳ ජාත්‍යන්තරය දැනුම්වත් ද කියා අපි සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා අතීතයට වඩා අනාගතයේදී අපි ලෝකය සමඟ කටයුතු කරන්න ඕනෑ. මෙවැනි ජාත්‍යන්තර උළෙලවල් තුළින් ඒ සඳහා මාර්ගය විවර වෙනවා.

චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනෙන අවධියක මෙරට වේදිකා නාට්‍ය කලාවට එයින් ලැබෙන දායකත්වය ගැනත් සඳහන් කළොත්?

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් අප රට තුළ දී පෙන්වන්න සුදුසු එකම ස්ථානය කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැලේ රංග ශාලාවයි. රඟහලකට අවශ්‍ය නූතන තාක්ෂණය එහි තියෙනවා. මෙවැනි නාට්‍ය උළෙලක් තුළ අපට අවශ්‍ය පරිදි වේදිකාව වෙනස් කර ගත යුතු වෙනවා. නවීනතම තාක්ෂණයෙන් යුතු ආලෝක පද්ධතියක් නැතත් ලංකාවේ තියෙන තාක්ෂණය අනුව එය ලොකුª දෙයක්.

ලෝකයේ වුණත් බොහොමයක් නාට්‍ය ශාලා නඩත්තු කරන්නේ පවතින රජයන්ගෙන්. පාඩු ලබන තත්ත්වයන් තුළ දී අද වන විට මොස්කව්, බර්ලින් රඟහලවල් පවා වැසී යන අවධානමකට මුහුණ දීලා තියෙනවා. මෙවැනි කාලයකදී බ්ලැක් බොක්ස් නාට්‍ය ශෛලිය අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් මූලික අවශ්‍යතාවන් සපුරා ගන්නේ නැතුව අපට නවීන තාක්ෂණය ගැන හිතන්න බැහැ.

දේශීය රංග කලාවේ යහපත උදෙසා ඔබේ ඉදිරි පියවර කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද?

අපි හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කළ යුතුයි. මම මේ වන විට බ්ලැක් බොක්ස් නාට්‍ය ශෛලිය හඳුන්වා දුන්නා. නුදුරේදීම තවත් අලුත්රංග කලාවක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මූව්මන්ට් තියටර් නම් වූ එය වෙනුවෙන් දැනටමත් කටයුතු යොදල තියෙන්නේ.