වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී සිද්ධාර්ථ ගෞතම විශිෂ්ට චිත්‍රපටයකැයි මා කියන්නේ නැහැ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම විශිෂ්ට චිත්‍රපටයකැයි මා කියන්නේ නැහැ
 

නීති වෘත්තියත්, දේශපාලනයත් අතැර සිනමාකරුවකු වූ විප්ලවවාදියා

සමන් වීරමන්

වෙනත් චිත්‍රපටවලට වඩා සිදුහත් චරිතයට සාධාරණයක් වුණා

නීතිවේදියකු, දේශපාලනඥයකු, තිරකතා රචකයකු වැනි විවිධ භූමිකාවන් ඔස්සේ මින් පෙර ඔබ ඔහු හඳුනාගෙන සිටියද, අද දවසේ ඔහු අප හා වඩාත් සමීප වන්නේ සිනමාව හරහාය.

ඔහු නමින් සමන් වීරමන්ය. තවත් විදිහකින් කියතොත් මෙතෙක් වැඩිම පිරිවැයක් දරා නිපද වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. සිදුහත් චරිතය පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ මෙරට බහුතර බෞද්ධ ජනතාවක් නැරඹූ චිත්‍රපටයක් සේ මේ වන විට ඉතිහාසයට එක්ව තිබේ.

අද මෙසේ අප හා සංවාදයට එක් වන්නේ එහි අධ්‍යක්ෂ සමන් වීරමන්ය.

මේ ඔබ සිනමාවට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව නෙවෙයි. වර්තමානයට අපි පිවිසෙමු. ඒ අතීත ගමන් මග ඔස්සේ.

පාසල් වියේ පටන්ම මම කලාවට ලැදියාවක් තිබුණ කෙනෙක්. මම ගියේ ගාල්ලේ මහින්ද විදුහලට. ඒ කාලේ මම නිෂ්පාදනය කළ නාට්‍යයක් පාසල් වේදිකා නාට්‍ය තරගාවලියක ජයග්‍රහණය හිමි කර ගත්තා. ඒ පන්නරය අපේ ගුරුවරුන්ගෙන් හා විදුහල ආශ්‍රිත දේවලින් අපට ලැබුණා. මොකද දකුණු පළාතෙන්ම කලාවට, සාහි්‍යයට ලැදි පාසලක් තමයි ගාල්ලේ මහින්දය.

නමුත් පසු කලෙක ඔබ ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ වෙනත් ක්ෂේත්‍රයක්?

ඔව්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම නීති විද්‍යාලයට ඇතුළු වුණා. 1973 වසරේ නීති විද්‍යාලයට ගියාට පස්සේ මම එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ පාඨමාලාවක් හැදෑරුවා සිනමාව පිළිබඳ. ලියාපදිංචි නාට්‍ය රචකයකු වුණා ඒ වසරේදීම. රාජකාරිය අතරතුරේම ඒ කලා හැකියාවන් වගේම දැනුම ප්‍රායෝගික තලයට ගේන්න උත්සාහ කළා.

නීතිඥ වෘත්තියයි . . . කලාවයි . . .?

ඔව්. හැබැයි කලාව මගේ වෘත්තියට බාධාවක් කර ගත්තේ නෑ. මුලින්ම මම ගියේ මාතර උසාවියට. මොකද මගේ ගම් පළාත මාතරනේ. ඒ නිසා එතනින් පටන් ගත්තා. ටික ටික මට නඩු ලැබෙන්න පටන් ගත්තා. දැන් මම පළාතේ ටිකක් ප්‍රසිද්ධ තරුණ නීතිඥවරයෙක්. හැබැයි සිනමාවට, කලාවට මගේ තිබුණ ආසාව නැතිව ගියේ නෑ. දවසක් මම මගේ සහෝදර නීතිඥවරු කිහිප දෙනෙකුට අපූරු යෝජනාවක් කළා.

මොකක්ද ඒ?

අපි එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරමු කියලා. ඒ වෙලාවේ ධර්මසේන පතිරාජ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය කරලයි තිබුණේ. ඒ අලුතම වගේ එයා මාතර යුනිවර්සිටි එකේ ලෙක්චරර් කෙනෙක් විදිහට පත්වෙලා ආවා. දවසක් අපි ගිහින් පතීව හමුවුණා. පස්සේ අපි එකිනෙකා හඳුනාගෙන ගොඩක් කුලුපග වුණා. මම කිව්වා පතිත් එකක් වැඩක් කරන්න ආසයි කියලා. අධිකරණ පරිසරයෙන් අහුලා ගත්ත තේමාවක් ඔස්සේ මම ‘සිර කඳවුර’ කියලා තිර රචනයක් ලිව්වා. පතීට මේක පෙන්නුවාම ඔහු බොහොම කැමැති වෙලා තිර නාටකය ටිකක් සංශෝධනය කරලා අපි ප්‍රොඩක්ෂන් එකට ගියා. මම තිර නාටක රචක සහ නිෂ්පාදන කළමනාකරු විදිහටයි ඊට දායක වුණේ. එවකට මාතර උසාවියේ හිටපු හොඳම නීතිඥවරු පිරිසක් තමයි ඒකට මුදල් යෙදුවේ.

නමුත් මම දන්න තරමින් එහෙම චිත්‍රපටයක් කවදාවත් ප්‍රදර්ශනයට එක් වෙලා නැහැ?

ඒකට හේතුව මම කියන්නම්. 1983 ජූලි කලබලවලදී මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒක අපේ වගේම පේ‍්‍රක්ෂකයන්ගේත් අවාසනාව. මම හිතන්නේ පතී අතින් නිර්මාණය වුණ විශිෂ්ටතම චිත්‍රපටයත් ඒක.

කවුද රඟපෑ නළු, නිළියන්?

ජෝ, ගීතා, කලං, උපාලි අත්තනායක, දයා තෙන්නකෝන්, ලූෂන් බුලත්සිංහල වගේ නළු නිළියෝ තමයි රංගනයෙන් ඊට දායක වුණේ. සංගීතය කේමදාස මාස්ටර්ගේ. පී. යූ. ඩී. පෙරේරා ගේ කැමරාව. ඒක හොඳ චිත්‍රපටයක්. මට මෙහෙම කියන්න අයිතියක් නෑ. ඒත් චිත්‍රපටය ආවා නම් හැමෝම කියයි, ඒක පතීගේ හොඳම චිත්‍රපටය කියලා. ඉතිං ඒක හරිම ඛේදවාචකයක්. ඔය සිද්ධියත් එක්ක මම සෑහෙන කලකිරීමකට පත් වුණා.

හැබැයි සිනමාව නම් එපා වුණේ නෑ නේද?

නෑ. ඊට අවුරුද්දකට විතර පස්සේ මම ආයේ ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. ඒකත් හරි ලස්සනයි. ‘කිරි මදු වැල්’ චිත්‍රපටය නිර්මාණය වුණේ එහෙම. ආරියදාස විතානගේ එය අධ්‍යක්ෂණය කළා. මම සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා. සනත්, සබීතා, නදීකා, රෙක්ස්, මර්වින්, සොමී ආදී වශයෙන් ඒ වෙලාවේ හිටපු හොඳම නළු, නිළි පිරිසක් මේ චිත්‍රපටයේ රඟපෑවා. සංගීතය කේමදාස මාස්ටර්. ලස්සන ගීත හතරක් තිබුණා. වැලිගම අවට ඉතාම රමණීය පෙදෙසක අපි මෙහි රූගත කිරීම් සිදු කළේ. චිත්‍රපටය කුණු කූඩෙට ගියේ නෑ. අදටත් අවුරුද්දකට සැරයක්, දෙකක් මේ චිත්‍රපටය කුමන හෝ රූපවාහිනී නාළිකාවක පෙන්වනවා.

කේමදාස මාස්ටර් සමඟ ඒ කාලේ ඔබේ කිට්ටු සම්බන්ධයක් තිබූ බව මා අසා තියෙනවා?

අපි ඒ කාලේ සතියකට සැරයක්වත් හමු වෙනවා. දවසක් මාස්ටර් මට කිව්වා එයාගේ හිතේ හීනයක් තියෙනවා කියලා. මම ඇහුවා මොකක් ද මාස්ටර් ඒ හීනේ කියලා. ඔහු, ‘මට මේ රටේ පළමු ඔපෙරාව කරන්න ඕනෑ’ කියා එවිට පැවසුවා. 1984 දී විතර මේ. නමුත් මාස්ටර් ගාව ඒ වෙන කොට ඊට ප්‍රමාණවත් මුදලක් තිබුණේ නෑ. ලක්ෂ තුනහමාරක පමණ මුදලක් ඊට වැය වෙන බව ඔහු සඳහන් කළා. රණවීර සහ වික්‍රමසිංහ කියන මගේ මිතුරන් දෙන්නෙක් සමඟ මේ කාර්යයට මුදල් යොදන්න අපි එකග වුණා. එහෙම තමයි ‘මානසවිල’ට අඩිතාලම වැටුණේ. මාස හයක් පමණ පුහුණු වෙලා මාස්ටර් ඒ කාර්යය ඉතාම හොඳීන් කළා.

මේ වෙන කොට වෘත්තීය ජීවිතය?

මාතර උසාවියෙන් මම මොරවක, දෙනියාය ප්‍රදේශයට එන්න සිදු වුණා. බොහොම අහිංසක ගැමියන් හිටපු සුන්දර, රමණීය පළාතක් ඒක. මාසයක් දෙකක් යනකොට ඒ මිනස්සුන්ට මාව නැතිව බැරි වුණා. දවසකට මම නඩු තිහ, හතළිහක් තියෙන නීතිඥයෙක් බවට පත් වුණා. හැබැයි ඒකත් මට අවාසියට හිටියා. එක්තරා පළාත් සභා මැතිවරණයකදී ඔක්කොම යාළුවෝ ටික එකතු වෙලා මට කිවා ඡන්දයට ඉදිරිපත් වෙන්න කියලා. ‘ඔයා ජනතාවගේ හිතවතෙක් නිසා මේ ඡන්දය දිනන්න පුළුවන්’ කියා ඔවුන් කිව්වා. මම 50% ක් විතර නඩු කතා කළේ නොමිලේ. සමහර නැති බැරි උදවියට දඩ මුදල් ගෙවලා, අතටත් සල්ලි දීලා පිටත් කළා මම. ඉතිං ජනතාවගේ ඉල්ලීම මත මට දේශපාලනයට එන්න සිදු වුණා. පළාත් සභා මැතිවරණ දෙකකට පොදු පෙරමුණෙන් මම තරඟ කළා.

ජයග්‍රහණයත් කළානේ?

ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා ඒ මැතිවරණ දෙකෙන්ම දකුණු පළාත් සභාවේ පමුවැනියා වුණා. මම දෙවැනියා. ඊට පස්සේ මම මහ මැතිවරණයටත් තරග කළා. 53,000 කට වඩා ඡන්දය අර ගත්තා. ඒත් . . .

ඒත් පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා?

ලංකාවෙන්ම 50,000 ට වඩා ඡන්දෙ අරගෙන ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට යන්න බැරි වුණ එකම මනුස්සයා මම. ඡන්ද දෙසීයක් විතර මදි වුණා. යාපනේ පැත්තේ ඡන්ද දෙසීය, තුන්සීය ගත්ත අයත් පාර්ලිමේන්තුවට ගියා. ඒත් මම දකුණු පළාත් සභාවේ අවුරුදු පහක් වැඩ කළා. අමරසිරි දොඩංගොඩ, මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරුත් සමඟ ඒ කාලය තුළ දකුණු පළාතේ ජනතාවට යම් තරමකින් හෝ සේවයක් කරන්නට පුළුවන් වුණා කියා මම හිතනවා.

එහෙම නම් ඇයි දේශපාලනයෙන් ඉවත් වුණේ?

නෑ, පස්සේ මට තේරුණා මගේ විෂය මේක නෙවෙයි කියලා. මම කලාවට උපන්න මිනිහෙක්. කලාවට ආස කරන මිනිහෙක්. ඒ නිසා මගේ ක්ෂේත්‍රයට මම නැවත යා යුතුයි කියා සිතුණා. අවසානයේ නීති වෘත්තියටත් මම අකැමැති වුණා. ඊට පස්සේ ඔය දෙකෙන්ම අයින් වෙලා මම කොළඹට ආවා.

ඒ ඇවිත්?

ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විදිහට පත්වීමක් ලැබුණා. ඉන් පස්සේ මහින්ද යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ නියමයෙන් මාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී තනතුරට පත් කළා.

මම හිතන්නේ සමන් වීරමන් නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඇරඹෙන්නේ එතැනින්?

ඔව්. දවසක් අමරනාත් ජයතිලක මහත්මයා සිද්ධාර්ථ චරිතය පසුබිම් කර ගනිමින් ලියූ තිර නාටකයක් මට ගෙනත් දුන්නා. මට හරි සතුටුයි. ඉතින් මම ඒකත් අරගෙන අපේ නවීන් ගුණරත්න මහත්මයා සොයාගෙන ගියා. සාරසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරලා සම්බුද්ධත්වයට පත් වුණා නම් මේ බෝසතාණෝ ඇයි අපට මේ යුගයේ ජීවත්වන අය හැටියට අඩු ගණනේ එම චරිතය පාදක කරගෙන චිත්‍රපටයක්වත් හදන්න බැරි කියා මට හිතුණා. කලාකරුවන් හැටියට එය අපේ සමාජයට කළ යුතු මෙහෙවරක් හා යුතුකමක් හැටියටයි මම දැක්කේ.

වැඩ කටයුතු අරඹා සෑහෙන කලකට පසුවයි ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ ප්‍රේක්ෂකයා අභිමුවට එන්නේ?

2005 වසරේ ඉඳන් මේ සඳහා මම උනන්දු වුණා. ඒත් සුදුසු තිර නාටකයක් ලැබුණේ නෑ. ඊට පස්සේ ආසියාවේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ශ්‍යාම් බෙනගල්ට අපි ආරාධනා කළා මේ චිත්‍රපටය කරන්න. ඔහු මුල් තිර නාටකය බලලා එය ප්‍රතික්ෂේප කළා. මම මේකට සම්බන්ධ වෙනවා නම් මගේ ස්ක්‍රිප්ට් රයිටර් මේක ලියන්න ඕනෑ කියා පසුව ඔහු කිව්වා. ඊට පස්සේ ඔහු අතුල් සිවාරි කියන බොලිවුඩ් ස්ක්‍රිප්ට් රයිටර් ලවා තිර නාටකය ලියෙව්වා. නමුත් අපි ඊට එකඟ වුණේ නෑ.

ඇයි ඒ?

බෞද්ධ චරිතයට හානිවන අන්දමේ යම් යම් දේවල් එහි තිබුණා. අපි මේ චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමාරෝප්පත්තියේ ඉඳලා බුද්ධත්වයට ගියා මිසක ඉන් එහාට ගියේ නෑ. අර තිර නාටකයේ සම්බුද්ධ චරිතයත් තිබුණා. ඒ වගේ ශ්‍රේෂ්්්ඨ චරිතයක් නිරූපණය කරන්න සුදුසු කෙනෙක් නෑනේ. අපේ රටේ කළොත් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි ශ්‍යාම් බෙනගල්ට කිව්වා ඔබතුමා එක්ක අපට වැඩ කරන්න බෑ කියලා. ඊළඟට ආචාර්ය වල්පොල පියනන්ද හාමුදුරුවන්ගේ යෝජනාවක් අනුව අපි හොලිවුඩ් ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ලවා ආයේ මේක ලියෙව්වා. ඒකත් අපි ප්‍රතික්ෂේප කළා. ඒක කළා නම් අපි මෙහෙන් ගුටි කනවා. නැතිනම් බැණුම් අහනවා. නැතිනම් නරක නාමයක් එනවා.

ඊට පස්සේ ඔබට ඒ කාර්යයට මැදිහත් වෙනවා?

ඔව්. ඊළඟට මම පටන් ගත්තා සිංහලෙන් ලියන්න.ඒ 2008 දී. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ ‘සිද්ධාර්ථ ගෞතම’ කෘතිය පාදක කරගෙනයි තිර නාටකය ලිවීම ආරම්භ කළේ. ඒ අනුසාරයෙන්. ඊට පස්සේ එඩ්වින් ආරියදාස මහත්තයා අල්ලා ගත්තා. චන්ද්‍රන් රත්නම් මහත්තයා මේ පැත්තෙන් ආවා. අපි මේ ස්ක්‍රිප්ට් එක ඩිවලොප් කළා.

හැබැයි ඉංග්‍රීසි බසින්?

ඔව්. මොකද අපට අවශ්‍ය වෙලා තිබුණේ ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් කරන්නනේ. මුලින්ම අපි හිතාගෙන හිටියේ එහෙම.

මේ තිර නාටකය ලියද්දී ඒ පිිටුපස මහා සංඝරත්නය හිටියද, ඔවුනගෙන් අවවාද අනුශාසනා ලැබුණාද?

ඒක මෙහෙමනේ, මුලින්ම අපි මේ තිරනාටකය ලියාගෙන යද්දී බෙල්ලන්විල නායක හාමුදුරුවෝ හමුවෙන්න ගියා. උන් වහන්සේ යම් යම් අදහස් දුන්නා. ඊළඟට කැලණියේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේත් පිටපතේ යම් යම් සංවර්ධනයන් සිදු කළා. අපි ඒ වෙනකොට විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු විද්වත් සභාවකට තිර නාටකය පෙන්වලයි තිබුණේ. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති. නමුත් ඔබතුමා කියූ පරිදි අපට වැටහුණා මේ රටේ මහා සංඝරත්නයට මේ තිර පිටපත ඉදිරිපත් කරන්න ඕනැයි කියලා. ඒ නිසා ඒ කටයුත්ත මට පැවරුණා.

එතනින් පස්සේ?

මමයි, නිෂ්පාදක නවින් ගුණරත්න මහත්මයයි ගිහින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මණ්ඩලයට මේක පෙන්නුවා. එතනදි ඔවුන් මහා නායක හිමිවරු විසි හය දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළා. අපි ඒ මණ්ඩලය රැස් වූ දවසේ පැය හතර හමාරක් තිස්සේ පින්තූර 308 කින් ස්ටෝරි බෝඩ් ක්‍රමයට ප්‍රොජක්ටරයකින් පෙන්වලා මේක ඉදිරිපත් කළා. සේනක නවරත්න සහ රොෂාන් චන්ද්‍රරත්න තමයි මේ රූප ඇන්දේ.

අනුමැතිය ලැබුණාද?

යම් යම් යෝජනාවන් ඉදිරිපත් කර අවසරය ලබා දුන්නා. ඊට පස්සේ රූගත කරලාත් උන්වහන්සේලාට ඒ රූප රාමු පෙන්වන්න කිව්වා. අපි ඒකත් කළා. මේ මණ්ඩලයට අමතරව අපි තවත් සංඝයා වහන්සේලා වැඩම කරලා මේ දර්ශන පෙන්නුවා. සමහර තැන් ඉවත් කරන්න කිව්වා. අපි කැපුවා. එතකොට මහා සංඝරත්නයේ අනුමැතිය හා පූර්ණ ආශිර්වාදය මතයි අපි මෙතනට ආවේ.

සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය සඳහා ඔබ ඉන්දියාවෙන් ගගන් මලික් ගේනවා. යශෝදරා දේවියත් එහෙමයි. ඇයි ලංකවේ හිටියේ නැද්ද ඒ චරිතවලට ගැළපෙන නළු නිළියන්?

මුල ඉඳන්ම අපේ අදහසක් තිබුණා සිද්ධාර්ථ කුමාරයාටයි, යශෝධරා දේවියටයි, මහමායා දේවියටයි, ප්‍රජාපති ගෝතමියටයි ලංකාවේ නළු, නිළියන් යොදා නොගන්න. ඔවුන්ට අගෞරව කරන්න නෙවෙයි අපි ඒක කළේ. මේ චිත්‍රපටය නරඹන්නේ ලාංකික ප්‍රේක්ෂකයෝ. මේ අයගෙන් 90% කවත් ප්‍රමාණයක් තුළ සිද්ධාර්ථ කුමාරයාගේ රූපය මැවිලා තියනවා. ඉතින් ඒකට අපේ ලංකාවේ නළුවකු දැම්ම හැටියේ ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.

මොන වගේ ප්‍රශ්නයක්ද?

ඊළඟට එයාට අපේ තරුණ නිළියො එක්ක මල් ගස් වටේ දුවන චරිත රඟපාන්න බෑ. ඒක එක. දෙක අපි එහෙම නළුවකු මේ චරිතයට දැම්ම හැටිය අපට විශ්වසනීයත්වයක් ගොඩ නගා ගන්න බෑ අර චරිතය ගැන. මොකද ලංකාවේ තරුණ නළුවකුට වාණිජ චිත්‍රපටවලත් රඟපාන්නම වෙනවනේ. ඒ නිසා අපි තීරණය කළා මිනිසුන්ගේ හදවත්වල මේ පූජනීය චරිත පිළිබඳ විශ්වාසනීයත්වය ගොඩනගන්න නම් ඒ නළු නිළියෝ අපට ආගන්තුක අය වෙන්න ඕනෑ කියලා. ‘අන්නෝන්’ කැරැක්ටර්ස්.

ඒ කාර්යය නම් සැබෑම අභියෝගයක් වෙන්න ඇති?

මුලින්ම මේ සඳහා මැදිහත් වුණේ කෞෂල්‍යා වික්‍රමසිංහ. ඒ මාර්ගයෙන් අපට අල්ලගන්න පුළුවන් වුණා කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක්. ඔහු ඉන්දියාවේ සහිඩ් හසන් කියලා. ඔහු ළඟ තිබුණ ඉන්දියාවේ තරුණ, තරුණියන් 3,000 කගේ විතර පින්තූර. මොකද හේතුව ඉන්දියාවේ නිෂ්පාදනයට සැරසුණු ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ කාස්ටින් ඩිරෙක්ටර් මෙයා.

නමුත් ඒ චිත්‍රපටය කෙරුණේ නෑනේ?

කෙරුණේ නෑනේ. නමුත් එයාගේ ලයිබ්‍රරි එකේ ඒ පින්තූර තිබුණා. සහීඩ් හසන් අපට ඒ සියලු දේ පෙන්නුවා. නවීන් ගුණරත්න, චන්ද්‍රන් රත්නම් සහ මම කිව්වා හරි එහෙනම් මෙයින් දෙතුන් සීයක් අපට තෝරලා දෙන්න කියලා මුලින්. හොඳම පිරිස ඒ විදිහට තේරුවා. චන්ද්‍රන් රත්නම් මහත්මයා තමයි ඇත්තෙන්ම මේ කාර්යයට මුල් වූයේ ඩේ වන් එකේ ඉඳන් ඔහු අපත් එක්ක හිටියා. ඊට පස්සේ අපි ඉන්ටර්නැෂනල් ෆිල්ම් එක පස්සට තියලා මේ චිත්‍රපටය කරන්න තීරණය කළා. එහි අධ්‍යක්ෂවරයා ලෙස මම ඉස්සරහට ආවා. ගගන් මලික් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගන්න ඕනෑ කිව්වේ මම.

ඒ තෝරා ගැනීම 100% ක් නිවැරදියි කියා අද සිතෙනවාද?

ඔව්. හැබැයි මගේ අදහසට නවීන් ගුණරත්න, චන්ද්‍රන් රත්නම්, කෞෂල්‍යා මේ කට්ටියම එකඟ වුණා. අපේ විහාරවල, බිත්තිවල ඉන්න සිද්ධර්ථ කුමාරයාට ආසන්න රූපයක් තියෙන්නේ ඔහුට කියා හැමෝම කිව්වා. ඒ තමයි අපේ මිනිසුන්ගේ මනසේ ඇඳිලා තියෙන රූපය. අපි දේවදත්තත් එහෙන් ගෙනාවා.

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ සැබෑ සිදුහත් චරිතයේ රුව, ගුණ, තේජස ඉස්මතු වී නැතැයි යමකු තර්ක කළොත්? මොකද ඔබ සිනමාවට නැගුවේ අප්‍රමාණ චරිතයක්?

මෙහෙමයි මහත්මයා, කිසි වරදක් නෑ චෝදනාව නැගුවට. අමෙරිකානු ඩොලර් මිලියන 140 කුත් තියාගෙන ඉන්දියාවේ ඩොක්ටර් මූඩිට සිද්ධාර්ථ චරිතය අලළා චිත්‍රපටයක් නිර්මාණය කරන්න පසුගිය අවුරුදු දහයේදීම බැරි වුණා. එයාගේ ඩිරෙක්ටර් අතුතෝෂ් ශවරිකාර්. ‘ජෝදා අක්බාර්’, ‘ලගාන්’ වැනි දැවැන්ත චිත්‍රපට කරපු අධ්‍යක්ෂවරයා. එහෙම තියාගෙනත් ඒ ගොල්ලන්ට කරන්න බැරි වුණා. හරි එතකොට සල්ලි තිබුණට විතරක් මදි. ඕනෑකම විතරක් තිබුණට මදි. මොකක්දෝ මන්දා අපහසුවක් තියෙනවා මේ චිත්‍රපටය කරන්න. ඒක මොකක්ද කියලා අපටත් තේරෙන්නේ නෑ.

අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා?

එහෙම බලවේගයක් තියෙනවා. ලේසි නෑ මේක කරන එක. ඒ නිසා මහත්තයා මේකේ චිත්‍රපට තුනකට විතර තිර නාටකය ලියලා තිබුණේ. අපි පැය අටකට වැඩියෙන් ෂූට් කරලා තිබුණා. ෆස්ට් කට් එක එනකොට පැය තුනයි විනාඩි හතළිහකට ෆිල්ම් එක තියෙනවා. ඉතින් අපටත් ලොකුª ගැටලුවක් වුණා සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයේ අපි පෙන්වන්නේ කුමන පරාසයද කියලා. අපේ ව(ර්)ෂන් එක මොකක්ද කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ පිරිස නැවත එකතු වී ජත්‍යන්තර චිත්‍රපටයක් කරනවා කියලා. ඒ විතරක් නොවේ අපි ආයාචනා කරනවා මේ තේමාවම අරගෙන ලංකාවේ කාට හරි චිත්‍රපටයක් කරන්න කියලා. අපි සම්පූර්ණයෙන් සහයෝගය දෙනවා.

ඒ කියන්නේ මේක හරියට කෙරුණේ නෑ කියලද?

නෑ, නෑ ඒ නිසා නෙවෙයි මහත්තයා. මම ඔබතුමාට දුන්නොත් කැන්වස් එකක්, දිය සායම් එක්ක ඔබ චිත්‍රයක් අඳියි. මට දුන්නොත් මමත් චිත්‍රයක් අඳියි. ඒත් අපි දෙන්නගේ චිත්‍ර දෙක, දෙකක් වෙනවා. ඒකේ අයේ දෙකක් නෑ. අපේ සිතිවිලි හා චින්තන රටාව වෙනස්. අපි බැලුවා හොලිවුඩ්වලින් කොහොමද මේ චරිතය ඉදිරිපත් කරලා තියෙන්නේ ‘ලිට්ල් බුද්ධ’ චිත්‍රපටයේ. ඉන්දියාවේ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ. මේවා බලනකොට අපට තේරෙනවා මේ සිද්ධාර්ථ චරිතයේ ඒ කියන්නේ උප්පත්තියේ සිට සම්බුද්ධත්වයට පත්වෙන තෙක් එක් පැත්තක් සම්පූර්ණයෙන්ම අතෑරලා තියෙනවා කියලා.

ඒ කිව්වේ?

අඩු ගානේ ආත්ම පනහකවත් බෝධිසත්ව චරිතවල තමන්ගේ බිරිය විදිහට යශෝධරා දේවි ඉඳලා තියෙනවා. එතකොට ඒ දෙන්නා අතර තිබුණ සම්බන්ධය, කැපවීම, මේ ආත්ම ගණනාවක් පුරාවට තිබුණා. යශෝධරා දේවිය ඒ ආත්මයේදී කුමක් ද කැප කළේ සිද්ධාර්ථ කුමාරයාට සම්බුද්ධත්වය ලබා ගැනීමට.

සිදුහත් කුමාරයා, චන්න ඇමැති සමඟ හොර රහසේ මාළිගාවෙන් පිටව ගිය බවනේ අප අසා තිබෙන්නේ. නමුත් මෙතනදි ඔබ ඒ ඉතිහාසය වෙනස් කරනවා. සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මෙන්නේ යශෝධරාවගෙන් සමුගෙන?

අපි ගොඩක් තර්ක කරලා, සාකච්ඡා කරලා තමයි ඒ දර්ශනය ඇතුළත් කළේ. අපට තිබුණ ලොකුම චෝදනාව තමයි සිදුහත් කුමාරයා, රාහුල කුමරා උපන් වෙලාවේ ඇවිත් තිර රෙද්දෙන් එබිලා බලලා ඔවුන් නිදි සුවයෙන් සිටින නිසා විගසින් එතනින් ඉවත් වුණාය කියන එක. අපි කලාකරුවන් හැටියට මේ සඳහා පිළිතුරක් දිය යුතුයි කියා සිතුවා. එහෙම වෙන්න බැහැ. ජාතක කතා පනහක පමණ අප දකින්නේ මේ යශෝධරා දේවිය සම්බුද්ධත්වයට පෙරුම් පුරන බෝසතුන් උදෙසා කළ අප්‍රමාණ කැපවීම. ඉතින් මේ තරම් වටිනා ආත්මේදී, බුදුවන ආත්මේදී ඒ සමු ගැනීම කොහොමද රහසක් වන්නේ.

කලාව, ඉතිහාසයට වඩා දාර්ශනිකයි යන ඇරිස්ටෝටල් මතයයි ඔබ මේ හරහා ගම්‍යමාන කරන්නේ ?

බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් පවා අපට කිව්වේ මේක වෙන්න බෑ. කොහොමද මේ තරම් ආත්ම ගණනක් එකට ඇවිත් නොකියා යන්නේ කියලා. මේ දෙදෙනා පාරමී දම් පුරද්දී මස්, ලේ දන් දීලා තියෙනවා. දූ දරුවෝ දන් දීලා තියෙනවා. එකට තපසට ගිහින් තියෙනවා. මේ සිතිවිලි පරම්පරාව ඔස්සේ තමයි සිද්ධාර්ථ කුමාරයාගේ – යශෝධරා දේවියගේ සෙනෙහස, බැඳීම තහවුරු වෙන්නේ. ඉතින් මේ යුගයේ ජීවත්වන කලාකරුවන් හැටියට අපට අයිතියක් තියෙනවා නේ ඒක අර්ථ දක්වන්න.

ඇතැම් පිරිස් මේ චිත්‍රපටය ගැන විවිධ විවේචන, චෝදනා එල්ල කළා. සුප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශකයකු වන දයාවංශ ජයකොඩි එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය බුදු දහමට අපහාසයක්ය කියායි.?

මම ඒ ලිපිය කියෙව්වේ නෑ. ඒ එක හේතුවක් උඩ. එයා කියා තිබුණලු මේ චිත්‍රපටය බලලවත් නෙවෙයි මේ ලියන්නේ කියලා. මම ඒ ප්‍රකාශයට කැමැති නෑ. දැන් ඔබතුමා යම් ලිපියක් පුවත්පතකට ලියනවා. කවුරු හරි ඒක නොබලා දොස් පවරනවා නම් ඒක කොයි තරම්දුරට සාධාරණ ද කියලා මට කියන්න. ලංකාවේත් ප්‍රදර්ශනය වූ ‘ඩේ ආෆ්ටර් ටුමෝරෝ’ නමැති හොලිවුඩ් චිත්‍රපටයේ හිටපු සුනඛයාට නම දාලා තිබුණේ ‘බුද්ධ’ කියලා. ඒ අය වෙන විදිහට ශබ්ද කරනවා ද දන්නේ නෑ. නමුත් අපිට ඇහෙන්නේ එහෙම. ඒවා තමයි නියම අපහාස. ඒත් කවුද ඒවට කතා කළේ.

අවසන් වරට ඔබට මේ චිත්‍රපටය ගැන අධ්‍යක්ෂවරයා ලෙස කියන්නට තියෙන්නේ මොනවාද?

මෙය විශිෂ්ට හෝ සර්ව සම්පූර්ණ නිර්මාණයක් යැයි මා සිතන්නේ නෑ. එහෙම කියන්නේත් නෑ. නමුත් සිදුහත් චරිතයට හෝ ගෞතම බුදුන්ට හානියක් වෙන කිසිම දෙයක් මේ චිත්‍රපටයේ නෑ. ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. තවමත් ලැබෙනවා. මම හිතන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයට එය කදිම නිදසුනක්.