වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘රන් මිහිතැන්න’ රන් මිහිතැන්නේ දී රූ ගැන්වේ

‘රන් මිහිතැන්න’ රන් මිහිතැන්නේ දී රූ ගැන්වේ

දේශීය වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා සබැඳි පාරම්පරික ජන ජීවිතය අලළා නිර්මාණය වන ‘රන් මිහිතැන්න’ නමින් ටෙලි සිතුවමක් පසුගිය දා හම්බන්තොට රන් මිහිතැන්න මහින්ද රාජපක්‍ෂ ටෙලි සිනමා ගම්මානයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.

සුරේශ් කුමාරසිංහ ගේ අධ්‍යක්‍ෂණයෙන් යුතු එහි රූ ගතකිරීම් රන් ඳහිතැන්නේ දී මේ දිනවල සිදුවෙමින් පවතියි.

ක්ලීටස් මෙන්ඩිස්, සංකේත් වික්‍රමගේ, දිලිනි ලක්මාලි, ශාලිකා එදිරිසිංහ, චංචලා වර්ණසූරිය, සෝමවීර ගමගේ, මෙලනි අශෝකා, රූපා ගෝමස්, බර්ටි නිහාල් සුසිරිපාල, කුමුදුනී අධිකාරී, සරණපාල ජයසූරිය, සජීව මල්මාලආරච්චි, ලක්‍ෂමන් අමරසේකර, ලක්‍ෂමන් මානවඩු, ෂර්ලි ජයසිංහ, ස්වර්ණලතා රණසිංහ, ප්‍රියන්ත මංගලිකා, පබසරා කාරියවසම් ඇතුළු පිරිස සමඟින් සඳරු කුමාරසිංහ, ඉසුරු සහන් සහ නිරෝෂන් මධුසංක යන ළමා නළුවන් රන් මිහිතැන්න රංගනයෙන් හැඩකරන නළු නිළි පිරිවරයි.

මෙය ක්‍රියේටීව් මීඩියා කෝපරේෂන් හි නිෂ්පාදනයකි. සංජීව සමරවීර පිටපත් රචකයාය. රංජිත් ද සිල්වාගේ කලා අධ්‍යක්‍ෂණයකි.

විරාජ් සූරියආරච්චි සංස්කරණයෙන් ද, ප්‍රසාද් අමරසේකර සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, මනොජ් ලක්සිරි කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද, රසික තෙන්නකොන් වෙස් ගැන්වීමෙන් සහ කොණ්ඩා සැකසුමෙන් රන් මිහිතැන්න සඳහා එක්වෙති. ජයනාත් වරකාගොඩ සංගීත අධ්‍යක්‍ෂවරයාය. සේනානායක වේරලියද්ද ගේ මියුරු හඬින් රන් මිහිතැන්න ඔපවත් වේ.

ලෝක නාට්‍ය දිනය සයිමන් නවගත්තේගම වෙනුවෙන් සම්මන්ත්‍රණය 27 දා සුදර්ශී ශාලාවේ

සිංහල සංස්කෘති ආයතනයේ නාට්‍ය අනුමණ්ඩලය මෙවර ලෝක නාට්‍ය දිනය ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම වෙනුවෙන් වෙන් කර එතුමාගේ නාට්‍ය කලා නිර්මාණ පිළිබඳ අගයමින් සම්මන්ත්‍රණයක් ලබන 27 වැනිදා පස්වරු 4.00 ට ‘සුදර්ශී’ ශාලාවේදී පැවැත් වේ.

‘සයිමන් නවගත්තේගම ප්‍රණාම උළෙල’ නම් වන මෙහිදී සමරු දේශනය මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් පැවැත්වීමට නියමිත අතර රංජිත් ධර්මකීර්ති, පරාක්‍රම නිරිඇල්ල, කේ. බී. හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලාල් රෝහණ යන නාට්‍යකරුවන් ද අදහස් දැක්වීමට නියමිතය.

ලෝක නාට්‍ය දිනයට සමගාමීව සන්දේශය කලා කේන්ද්‍රයෙන් නාට්‍ය උළෙලක්

27 සිට 31 දක්වා ඉඩම්පිටියේ දී

ලෝක නාට්‍ය දිනයට සමගාමීව යටිනුවර කිරිබත්කුඹුර ඉඩම්පිටිය සන්දේශය කලා කේන්ද්‍රය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍ය උළෙල මේ මස 27 සිට 31 දක්වා ඉඩම්පිටිය සන්දේශය ශාලාවේදී පැවැත්වේ.

එහිදී නාට්‍ය දර්ශනයවන පිළිවෙළ මෙසේය.

27 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘හුටපට කෝලම’
28 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘අපි ඔව්වට නැහැ’
29 වැනි දා බණ්ඩාර කැලේගමගේ ‘නල්ලතම්බි සාජන්’
30 වැනි දා චමින්ද රාජපක්‍ෂගේ ‘මට බැරි වුණා’
31 වැනි දා විරාජ් කරුණාමුණිගේ ‘ඔබේ ද මගේ ද ඈ’
 

‘සුභාවි රඟමඩලක්’ 24 දා බොරැල්ලේ

මෙලනි අශෝකා ගේ ‘සුභාවි රඟමඩලක්’ මේ මස 24 වැනි දා සවස බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ දී වේදිකා ගතවේ. එහි මෙලනි අශෝකා සහ වසන්තා ගීතාරච්චි රඟන ජවනිකාවකි මේ.

ලෝක කාව්‍ය දිනය වෙනුවෙන් ‘කවි වරුණ’ 21 දා සුදර්ශී ශාලාවේ

ලෝක කාව්‍ය දිනය වෙනුවෙන් සිංහල සංස්කෘති ආයතනයේ ‘කවි වරුණ’ විශේෂ වැඩසටහනක් මාර්තු 21 වැනිදා පස්වරු 4.00 ට සුදර්ශී ශාලාවේදී පැවැත්වේ.

එදින පෙරවරු 10.00 සිට කවි කිවිඳියන් සහ නිර්මාණ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කෙරේ. මෙදින කවිය පිළිබඳ විශේෂ දේශනය ප්‍රවීණ සාහිත්‍යවේදී ආරියවංශ රණවීර විසින් පවත්වනු ලැබේ.

‘කවි වරුණට’ සමගාමීව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳ වැඩසටහනක් ආරම්භ කිරීමට සිංහල සංස්කෘති ආයතනය අපේක්ෂා කරයි. මෙම වැඩසටහන හා කවි වරුණ කවි සැඳෑව පිළිබඳ තාරතුරු 011-2687979 දුරකථන අංකයෙන් විමසා දැනගත හැකි බව සංවිධායක ගාමිණී මලවැන්න ගමගේ ප්‍රකාශ කළේය.- යතේජා