වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කැන්ගරු බිමේ සිට “තාරකාවියේ ”

කැන්ගරු බිමේ සිට “තාරකාවියේ ”

තරුවක් වෙන්න අකැමැති කවුද? තරු වෙන්නට වෙර දරනා තතනන අය, අද කලා ලොව ඕනෑතරම්... ඒ අතරේ, තරුවකට පෙම් බඳින්න ඔවුන්ට කොයින්ද ඉඩක් ?

රුක්මන් කනිෂ්ක විමලසූරිය...තරුවකට අමතයි... “තාරකාවියේ ” ඔහුගේ කුලුදුල් ගීත සමුච්ඡයයි.

රුක්මන් දැනට පදිංචි වී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෙකි. පේරාදෙණිය සරසවිය රුක්මන්ගේ විශ්ව දැනුමට මෙන්ම ගායන කුසලතාවටද තිඹිරිගෙයක් විය. 80 දශකයේ මුල් භාගයේ විශ්ව විද්‍යාලයීය හොඳම ආධුනික ගායකයා වීම, ඔහුගේ දිවියේ සදානුස්මරණීය මතක සටහනකි. එම කාලවකවානුව තුළම, විශ්ව විද්‍යාල මට්ටමින් හොඳම නථවා වීමට ද හෙතෙම සමත් විය.

පශු වෛද්‍යවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරමින්, ඔහු දුෂ්කර සේවයෙහි ද අත්දැකීම් ලැබුවෙකි. සිය වෘත්තීය ජීවිතයේ කඩඉමක් පසුකරමින් ඔහු විදෙස් ගත වන්නේද මෙම කාලය තුළයි.

කැන්ගරු දේශයේ සිටියත්, කලාවට දැක්වූ උනන්දුව බිඳකින් හෝ අඩු නොවිණි. ගීත 17 කින් යුත්, “ තාරකාවියේ ” එරට දී එළිදැක්වුණේ මේ නිසාමයි. ජ්‍යෙෂ්ඨ සංගීතවේදී, ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීතවේදී එච්. එම්. ජයවර්ධන, ුිආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, සංගීතවේදී මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ ඇතුථ තවත් ශිල්පීන් රැසකගේ සංගීත ඥානය මේ සඳහා හිමිව තිබේ.

ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ, බන්ධුල නානායක්කාරවසම්, සිසිර දිසානායක, මහින්ද දිසානායක දිවුල්ගනේ ගේය පද රචනයෙන් එක්වූවෝ වෙති.

යුග ගායනයෙන් සංගීතවේදී වික්ටර් රත්නායත, සහ ජනප්‍රිය ගායන ශිල්පිනියන් වන උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී එක්වූහ.

“ තාරකාවියේ ” සී.ඩී. තැටියේ මුල් පිටපත, හෙළයේ මහා ගාන්ධර්වයාණන්, ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් හට පිළිගැන්විණි. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “සුළග”
( A Poem of Love )
ටෙලිනාට්‍යය වෙනුවෙන් රුක්මන් ගැයූ ගීය, පසුගිය වසරේ සුමති සම්මාන උළෙලේදී , සම්මානයක් සඳහා නිර්දේශ වීම, මහත් ආඩම්බරයක් බව සමුගන්නා මොහොතේ ඔහු සරසවියට සිහිපත් කළා.