වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයේ බොහෝ දේ අහිමි වූ මට මේ සම්මානය සතුටක්

ජීවිතයේ බොහෝ දේ අහිමි වූ මට මේ සම්මානය සතුටක්

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ධනංජය සිරිවර්ධන

වසර දහයක් පුරා රංගනයෙන්, නිවේදනයෙන් රසික රසිකාවන් වසඟයට ගත් ‘ධනා’ ජනප්‍රිය නළුවා ලෙස අභිසෙස් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනප්‍රියත්වය ලද සැණින් හිස උදුම්මවා නොගත් ඔහු සම්මානනීය වූ සැනින් පෙර සේම සුපුරුදු ළෙංගතුකමින් ‘සරසවිය’ සමඟ කතාබහක නියැලුණු අයුරුයි මේ.

ධනා, බලාපොරොත්තු නොවූ මොහොතක බලාපොරොත්තු වූ සම්මානයක් නේද මේ ලැබුණේ?

සත්තකින්ම. පසුගිය වසරේ මං රංගනයෙන් දායක වූ නාට්‍ය දොළහක් විකාශය වූවා. නම් වශයෙන් කියනවා නම් ආදරියේ, සඳට අහස ආදරෙයි, සුදු ගින්දර, සුබා, සුලෝචනා, ඉන් කිහිපයක්. පිපෙන මල් සහ සංසාර සක්මන නාට්‍ය දෙක මේ දිනවල විකාශය වෙනවා. මේවා විකාශය වෙද්දී මට හිතුණා මොන මොනව හරි වෙයි කියලා. ඒක හුදු අවිහිංසක බලාපොරොත්තුවක් පමණයි. මගේ රසික රසිකාවන්ට ගොඩක් ස්තුතියි මාව සම්මානිත කළාට.

මෑතකාලීනව ඔබට ලැබුණු චරිත බොහොමයක් හරිම අවිහිංසක ගති පැවතුම් ඇති ඒවා. ඒ හින්දා මේ සම්මානය ලැබුණා යැයි කිව්වොත්?

ඒක නිවැරදියි. ඇතැම් විට එකක් දෙකක් දුෂ්ඨ චරිත වූවා නම් ජනප්‍රිය නළුවා මං නෙවෙයි.

මේ තත්ත්වය මත කළු චරිතයකට කතා කළොත්?

අනිවාර්යයෙන්ම රඟපානව. ජනප්‍රිය නළුකම මට අහිමි වුණත් කමක් නැහැ. මං ඒක කරන එක කරනවා.

සම්මානයක් ලැබුණ සැනින් වැඩි දෙනෙකු වෙනස් වෙනවා. ඔබ?

මං ක්ෂේත්‍රයට එන්නෙම වෙනස් වෙලා. එහෙම කියන්නේ මං ප්‍රධාන චරිතයක් මැවූ පළමු ටෙලි නාට්‍යය අශෝක හඳගම මහත්තයාගේ මේ පාරෙන් එන්න සඳහා 2004 වසරේ රයිගම් සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මාන ලැබුණු හින්දා. එතන ඉඳලා මං ක්‍රියාත්මක වුණේ වෘත්තීය රංගන ශිල්පියකු විදිහට. කවදාවත් නාට්‍යයක් මැද ගියේ නැහැ. කාර්යබහුල නොවන අවස්ථාවකදී නොදන්න අංකයකින් ඇමතුමක් ලැබුණහොත් පිළිතුරු නොදී ඉඳලා නැහැ. එවන් වූ වගකීමක් ඇතුව මං ඉන්නේ. ඒක අදටත් හෙටටත් මතුවටත් එහෙමයි.

පසුගිය ඉරිදා සවස ඉඳලා ධනංජය සිරිවර්ධනගේ මිල ඉහළ ගියේවත් නැතිද?

නැහැ නැහැ, කොහෙත්ම නැහැ.

කොහොමද ධනාගේ මිල තීරණය වන්නේ?

මට ලැබෙන චරිතයේ සොභාවය සහ කැප කරන්න පුළුවන් කාලය මත.

සම්මානනීය වූ සතුට සැමරුවේ?

මං සම්මානය ලබා ගත්තු මොහොතේ මගේ අයියා මධුමාධව සමඟ අම්මා හිටියා. ඇයත් එක්ක වචනවලින් සතුට සැමරුවා. එච්චරයි.

මේ වෙලාවේ ආදරවන්තයෙක් වෙලා හිටිය නම් හොඳයි කියලා හිතුණෙ නැද්ද?

බොරු කියන්නෙ මොකටද ඇත්තටම එහෙම හිතුණා. ඒ වුණාට ජීවිතයේ රඳවාගන්න බැරි දේවල් මගෙන් ඈත් වුණා. ජීවිතයේ ගොඩක් දේවල් අහිමි වෙච්ච කෙනෙකු හැටියට මේ ලද සම්මානය සතුටක්. ආදරවන්තියකුත් හිටියා නම් අගෙයි තමා.

ඉතින් ඇයි පමා?

මට ආදරේ කරන කෙනෙකු මාව සොයගෙන ඒවි. එතකම් මං දෑස් දල්වා බලාගෙන ඉන්නවා.

ඔයාව හොයාගෙන ඇවිත් ඇති ගෑනු ළමයි ඕන තරම්?

එත් ඒ අය හැමෝම ගාව තිබුණේ ධනංජය සිරිවර්ධන කියන නළුවා කෙරෙහි ආදරයක් මිසක මා තුළ ජීවත්වන සැබෑම පුද්ගලයාට ආදරයක් නෙවෙයි. මට ඕන මං රංගනයෙන් ඈත්වුණත් මගේ ළඟින් ඉන්න ඕන කෙනෙක්.

එහෙම කෙනෙකු ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් කොට මට කියන්නකෝ ඔබේ ඉදිරි වැඩ කටයුතුª ගැන?

මං මගේ තොරතුරු අළලා වෙබ් පිටුවක් පටන් ගන්නවා. ඊට මගේ නම හදන්න තල්ලුවක් දුන් අධ්‍යක්ෂවරු හැමෝම ගැනත් සඳහන් කරනවා. මේ ක්ෂේත්‍රය තුළින් තමයි මං සල්ලි හම්බු කෙරුවේ. ඒවා මේ ක්ෂේත්‍රයටම යට කරමින් මගේම නිෂ්පාදනයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. මේ සියල්ල කරන්නේ මගේ කලා දිවියට දස වසරක් පිරීම නිමිත්තෙන්.