වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීතයෙන්ද පිරවිය නොහැකි අසාමාන්‍ය ජීවිතයක්

සංගීතයෙන්ද පිරවිය නොහැකි අසාමාන්‍ය ජීවිතයක්

සිරගෙයක් දෙදරවමින් සංගීත නාදයක් මතුව එයි. සිර මැදිරි පසු කරමින් ජේලර්වරු ඇවිද යයි. ඉන ගසාගත් යතුරු කැරළි ශබ්ද වෙන්නේ වෙනත් දිනවලටය. අද සංගීත නාදය ඒ සියල්ල යටපත් කර දමා ඇති සැටියකි.

ෆොල්සම් සිරගෙදර සිරකරුවන් සංගීතයෙන් උමතු වන්නට ආසන්න බවකි. පුටුවල වාඩි වී සිටින්නන් එකම තාලයකට තම සපත්තුවලින් පොළොවට ඇති කරන තෙරපුම සංගීතය හා සමගාමීය. මේස මතට අත්ලෙන් කරන ශබ්දය මෙන්ම අත්පුඩි වර්ෂාවකින් ඇති කරන ශබ්දයත් සුළුපටු නොවේ. මේ සියල්ල ඔහු එන තෙක්ය.

කෑෂ් මහත්තයා....කෑෂ් මහත්තයා...කෑෂ් මහත්තයා....

ජේලර්වරයා ආමන්ත්‍රණය කරන්නේ සිරගෙදර මුළුතැන්ගෙයි කුඩා කියත් තලයක් පිරිමදින් සිටින ඔහුටය. මේ කියත් තලය ඔහුගේ ජීවිතයේ අමතක නොවන මතකයකි.

දැන් ඡේදනය වෙන්නේ අතීත ස්මරණයකටය. 1944 වසරේ ආර්කන්සාස් හි ඩයෙස් ගමටය.

තාත්තා හඬ ගාන්නේ 'ජේ.ආර්' කියමිනි. දෙවැනි වර අණ කරන්නේ රේඩියෝව නිවා දමා නිදා ගන්නා ලෙසයි. ජේ.ආර් ට සොහොයුරා කියන්නේ ශබ්දය අඩු කරන ලෙසයි. ඔහු රේඩියෝව වෙත ඇලවී ගී අසන්නේ මෝහනය වූවාක් මෙනි. අවුරුදු 10 ක් වයස ජූන් රේඩියෝවෙන් කුඩා පිරිමි ළමයින් දෙදෙනාගේ ආකර්ශනය දිනා ගනී. ඈ ගයන්නේ විස්මිත ස්වරයකිනි. ජේ.ආර් තවත් මදක් රේඩියෝව වෙත ළං වෙයි.

එවර මහත් හඬින් දොරට තඩිබාන පියා අණ කරන්නේ 'මළ ඉලව් රේඩියෝව වසා දැමීමටයි '

ඉතා යහපත් සොහොයුරෙකු සිටින ජේ.ආර් ඔහුගෙන් අසන්නේ එකම ප්‍රශ්නයකි.

'ජැක්,ඔයා කොහොමද ඔය තරම් හොඳ කෙනෙක් වුණේ?'

'නෑ.එහෙම නෑ'

ජේ.ආර් ගේ සොහොයුරා වූ ජැක් බයිබලය කටපාඩම් කරමින් සොහොයුරාට පිළිතුරු දෙයි. සිනමාපටයේ රිද්මය කෙමෙන් අඩු වෙමින් හෘදයාංගම දෙබස් සහ පුළුන් වගාවකින් ජීවිකාව ගෙන යන පවුලක් වෙතට සියලු ආලෝකය යොමු කරවයි. සංගීතය සියුම් හුයක් සේ බැදී පවතින මේ පවුලේ වැඩිමලා වුන් ජැක් අමතර ආදායමක් උපයා ගැනීම පිණිස අසල ලී මෝලක ලී ඉරීමට භාර ගනී. සියල්ල දැති රෝදයක වේගයෙන් අවසන් වන්නේ අන්න එවිටය. වඩා යහපත් ජැක් දැති රෝදයට හසු වීමෙන් ඉක්මන් මරණයක් අත් කර ගනී. කිසිත් නොදන්නා ජේ.ආර් සොහොයුරා පැමිණෙන තෙක් මාළු බාමින් සිටියි. මේ කම්පනීය දැති රෝදය දැන් ප්‍රේක්ෂකයාට යමක් පසක් කරවයි. තාත්තා අසන්නේ එකම ප්‍රශ්නයකි.

'උඹ කොහෙද හිටියෙ'

වෝක් ද ලයින් සිනමාපටයේ අධ්‍යක්ෂ ජේම්ස් මැන්ගෝල්ඩ්

1963 දෙසැම්බර් 16 වැනිදා උපන් ජේම්ස් වඩාත් ප්‍රකට අධ්‍යක්ෂවරයෙකු හා තිරනාටක රචරකයෙකු ලෙසිනි. 1995 දී ඔහු අධ්‍යක්ෂණය කළ 'හෙවි',1997 දී 'කෝප් ලැන්ඩ්, 2001 දී 'කේට් ඇන්ඩ් ලියෝපෝල්ඩ්' මෙන්ම 2005 දී අධ්‍යක්ෂණය කළ 'වෝක් ද ලයින්' කැපී පෙනේ.
2010 දී තරගත වූ 'නයිට් ඇන්ඩ් ඩේ' ද ඔහුගේ අධ්‍යක්ෂණයකි. 2013 දී නිකුත් වීමට නියමිත 'ද වුල්වරින්' අධ්‍යක්ෂණය කර ඇත්තේද ජේම්ස් මැන්ගෝල්ඩ් විසිනි.

ජොනී කෑෂ් ගේ මුළු ජීවිතය පුරාම පසුපසින් එලවන එකම වචනයත් එයයි. අනෙක දැති රෝදයයි. මේ සියල්ලට තමා වක්‍රාකාරයෙන් වඟකීමකින් බැදී සිටින බව ජේ.ආර් දනී. තාත්තාගේ හොඳම පුත්‍රයා මිය ගොස් අනෙකා ඉතිරි වූ බව ඔහු දනී. මේ ආත්මානුකම්පාවෙන් ගැලවීමට ඔහු හමුදා සේවයට බැදෙයි. රේඩියෝ පණිවුඩ ලිවිය යුතු විට තම පෙම්වතිය 'විව්' ගේ සේයාරුවක් ඉදිරිපිට තබාගෙන ඔහු ඈට ලිපි ලියයි. ගීත ලියයි. ගිටාරයක් මිලදී ගනී. ඒ වයන්නට ගනී. දැන් ඔහු අන් තැනකය. රැකියාව හෝ තම අතීතය හෝ ඔහු ළඟ නැති සැටියකි. උමතු ආවේශයක් ලත් සැටියකි. ඔහු තනිව ගී නිර්මාණය කරයි. ජර්මනිය පුරා ඇවිළුණු මහත් යුද්ධයක් ඇතිවා,නැතිව හෙතෙම ගී තනයි. දැන් ප්‍රකට ගායිකාවකව සිටින ජූන් ගේ සේයාරූ නරඹයි.

'වෝක් ද ලයින්' යනු ප්‍රකට ගායකයෙකු වන ජොනී කෑෂ් ගේ ස්වයංලිඛිත චරිතාපදානය ඇසුරින් නිර්මාණය කරන ලද සිනමාපටයකි. ඔහුගේ ළමා කළ ජීවිතයේ පෙති කපා පෙන්වන අතරතුර ගායකයෙකු ලෙස මතුවීම කතාව මැදින් නිරුත්සාහිකවම ගලා ඒමට ඉඩ දී ඇත. පුළුන් වවන්නන් වූ පවුලක නොයෙකුත් අසීරුතා සහ ව්‍යාසන මැද ලොකු මහත් වූ කෑෂ් රැකියා කිහිපයකින් අසාර්ථක වීම හේතුවෙන් සංගීතය කෙරෙහි බැදුණෙක් විය. ගුවන් හමුදාවේ රැකියාව මෙන්ම ජංගම භාණ්ඩ විකුණන්නෙකු ලෙස ගත කළ දිවියට නැවතීමේ තිත තැබෙන්නේ ඔහුගේ සමකාලීනයෙකු වූ එල්විස් ප්‍රෙස්ලි ගී තැටිගත කිරීමේ ශබ්දාගාරයක ගීයක් ගයන'යුරු දැකීමෙනි. ජොනී කෑෂ් ලෙස ජෝකුයින් ෆීනික්ස් රඟන අතර ජූන් කාටර් ට රඟන්නේ රීස් විතර්ස්පූන්ය. විවියන් කෑෂ් ලෙස ගිනිෆර් ගුඩ්වින් ද රේ කෑෂ් ලෙස රොබර්ට් පැට්‍රික් ද කරන රංගනය අති විශිෂ්ටය.

ජේම්ස් මැන්ගෝල්ඩ් අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමාපටය නිෂ්පාදනය කර ඇත්තේ ජේම්ස් කේෂ් සහ කැතී කොනාඩ් විසිනි. තිර රචනය ජේම්ස් මැන්ගෝල්ඩ් සහ කැතී කොනාඩ් ගේය. 2005 නොවැම්බර් 18 වැනිදා සිනමාශාලා වෙත නිකුත් කරන ලද 'වෝක් ද ලයින්' පළමු සතිය ඇතුළත පමණක් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 22.3 කි. අමෙරිකානු ඩොලර් මිලියන 28 ක ඇස්තමේන්තුවකට අනුව නිමැවූ සිනමාපටය මෙතෙක් උපයාගත් මුළු ආදායම අමෙරිකානු ඩොලර් 186,438,883 කි.

ආගමික ගී රැල්ලක් මතුව තිබූ කලෙක ගී ගැයීමට සපැමිණි ජොනී කෑෂ් එකී ආගමික රැල්ල සමතික්‍රමණය කළේ ඔහුම ලියූ අමුතු ගී හේතුවෙනි. ඔහුගේ සමකාලීනයෙකු වූ එල්විස් ප්‍රෙස්ලි ආදීන් අභිබවා යමින් හෙතෙම මහත් ජන ප්‍රසාදයක් දිනා ගන්නා ලදී. එහෙත් සෑම ජනප්‍රිය පුද්ගලයෙකුටම පාහේ ආවේනික රෝගය ජොනී කෑෂ් වෙතත් පැමිණුනි. ඒ මත්පැන්,මත්පෙති සහ දුම්වැටියි. ඉනුත් වඩාත් ඔහුව වික්ෂිප්ත කරනු ලැබූයේ මත්පෙති ආදියෙනි.

එක් රැයක ජොනී කෑෂ් ගේ ගීයක් අසල්වැසි නිවෙසක රේඩියෝවකින් වාදනය වනු අසන ඔහු තම කුඩා දියණිය වඩාගෙන එළියට ගොස් අසා සිටින්නේ තමන්ගේම ගීයකි. ගායකයෙකු විසින් තමාටම ආසා කළ,තමාවම උත්කර්ෂයට නංවාගත් ඒ මොහොත යළි කිසි දිනෙක ඔහු වෙත යළි නො එන්නකි. ජූන් කාටර් විත් ජොනී කෑෂ් ගේ ඇගේ හැප්පෙමින් තම ගවුමේ කොටසක් කෑෂ් ගේ ගිටාරයේ තතක පැටලුණු දා පටන් ඔවුනොවුන් එකිනෙකා වෙත පැටලීමෙන් සහ ආශක්ත වීමෙන් යුක්ත වූ බව නොසැඟවිය මනාය. විවාහකව තුටින් දිවි ගෙවීමට සිතාගත් ජොනී කෑෂ් උන්මන්තකවම ජූන් වෙත බැදී යාමෙන් සියල්ල උඩු යටිකුරු වෙයි. ජොනී කෑෂ් ජූන් කේන්ද්‍ර කර ගනිමින් තම ජීවිතය පවත්වා ගැනීමට පටන් ගනී. රට වටා යන සාමූහික සංගීත සංදර්ශන මෙන්ම ජූන් ගේ ආකර්ශනීය කටහඬ ගායකයෙකු වූ ජොනී කෑෂ් වසඟ කරවයි.

ජීවිතයේ එවන් අහඹු වසඟයන් සැමට තිබෙන බව ඔප්පු කරන ජොනී කෑෂ් නොනැවතීම ජූන් විවාහ කර ගැනීමට අසයි. ඈ අකමැත්ත ප්‍රකාශ කරයි. සියලු විට ඔහු විවාහ යෝජනාව ඉදිරිපත් කරයි. මේ අතරතුර ස්වකීය කුටුම්භය තුළ පිටස්තරයෙක් වෙන ජොනී කෑෂ් සංගීතයෙන් නොලත් සැනසීම සොය සොයා යනු පෙනෙයි. මේ සා ජනප්‍රිය,මේ සා දක්ෂ ගායකයෙකු තුළ ජීවත් වන හුදෙකලා මිනිසා පෙනී සිටින්නේ ඔහු ගේ පියා ඉදිරිපිට පමණි. ජැක් කෑෂ් ගේ මරණයට ජොනීට වක්‍රාකාරයෙන් චෝදනා කරන පියා මේ සා ජනප්‍රිය ගායකයා වුව පිළිගැනීමට සූදානමක් පෙන්වන්නේ නැත. ජොනී කෑෂ් සාර්ථක වන්නට උත්සාහ කරන්නේද හුදෙක් ස්වකීය පියා සැනසීමට,පිනවීමටය.

එහෙත් ඔහුට එතැනට ළඟා වනු නොහැකි සැටියකි. වෝක් ද ලයින් පුරා සංගීතයට යටින් ගලා යන ඛේදනීය කතාන්දරය හුදෙකලාවයි. ලොව ප්‍රකට පුද්ගලයන් අදෘශ්‍යමානව ලුහුබැදි අසාමාන්‍ය හුදෙකලාවයි. ජනප්‍රියත්වය ඔහුට ලබා දෙන යස,ඉසුරු මෙන්ම කිසිදා ඔහුට ලබා නොදෙන සතුට ප්‍රකට කරන්නට සිනමාපටයේ යෙදෙන රූපරාමු විශිෂ්ටය. ලෝකයා ඉදිරියේ මහත් යෝධයෙකු මෙන් පෙනී සිටින ජොනී කෑෂ් ස්වකීය පියා ඉදිරියේ හැකිලී ජීවත් වන අඟුටුමිට්ටෙකු වන්නේ පෙර කී අතීත සිද්ධි හේතුවෙනි. සහෝදරයාගේ මරණයට වක්‍රාකාරයෙන් හෝ ඔහු වඟකිව යුතුය යන හැඟීමෙන් මිදීමට ඔහුට අවසානය තෙක් හැකි නොවේ.

ඇත්ත ඇති සැටියෙන් කියන මේ සිනමාපටය වඩා සිනමාත්මක වන්නේ ජොනී කෑෂ් ලෙස රඟන ජෝකුයින් ෆීනික්ස් ගේ රංගනයත් ජූන් කාටර් ලෙස රඟන රෙසේ විතර්ස්පූන්ගේ ආකර්ශනීය රංගනයත් හේතුවෙනි.

සම්මාන රාශියක් දිනාගත් වෝක් ද ලයින් සිනමාපටය හුදෙක් කතාන්දරයක් හෝ කෙනෙකුගේ ජීවිත කතාවක් ලෙස හකුලා දැක්විය නොහේ. ඒ සාර්ථක ජීවිත කැපුමකි.

සංගීතයෙන් නොපිරුණු ජීවිතයක් ඇති අසාමාන්‍ය මිනිසෙකුගේ සාමාන්‍ය සිහිනයකි.