වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සාම ත්‍යාගයක් අරන් දීපිකා එයි

සාම ත්‍යාගයක් අරන් දීපිකා එයි

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අප ගායනවේදිණිය පිලිපීිනයේ අන්තර් ජාතික ගුසී සාම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.

ඉකුත් 28 පිලිපීනයේ මැනිලා නුවර අන්තර් ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී ඇය මෙම සම්මානය ලබාගත්තීය.

‘මා තොටින් එන උතුරු සුළඟේ ( සරෝජා)’ ගීතයට අපූර්වත්වයෙන් යුතුව හඬ මුසු කිරීම ඇය මෙම සම්මානයට පාත්‍රවීමට හේතුව විය.

මීට වසර දහහතරකට පෙරාතුව මෙරට යුද බියෙන් වෙලාගිය සමයක නිර්මාණය වූ මෙම ගීතය රචනා කළේ මහින්ද චන්ද්‍රසේකර විසිනි.

එය තනු නිර්මාණය කොට සංගීතය සපයන ලද්දේ ආචාර්ය රෝහණ වීරසිංහය.

මෙම සම්මාන උළෙලෙහි සංගීතය, දේශපාලනය, වෛද්‍ය විද්‍යාව, පර්යේෂණ ආදී විවිධ අංගයන් සඳහා සම්මාන පිරිනැමූ අතර රටවල් විස්සක් අතරින් දීපිකාට මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි. ඇය හැරුණු කොට සංගීත ක්ෂේත්‍රය සඳහා වූ අනෙක් සම්මානය පිරිනැමුණේ ඉරාකයේ අති දක්ෂ සංගීතවේදියකු වන ලක්ෂි ෂර්මා හටය.

ඉඳිආප්ප කතාවට ආයෙත් පණ එයි අධ්‍යක්ෂණය එරංග සේනාරත්නගෙන්

නිෂ්පාදනය එච්. එස්. පෙරේරා
 

අසූව දශකයේ මැද භාගයේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වූ හර්බට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාවෙන් හෙවත් ඉඳිආප්ප කතාව එරංග සේනාරත්න යළිත් පුංචි තිරයට ගෙන ඒමට සූදානම් වේ. එදා කොටස් දහහතකට නිර්මාණය වූ එය මෙදා තැනෙනුයේ කොටස් සියයක මෙගා නාට්‍යයක් වශයෙනි.

භාතිය මදනායක හිරුට මුවාවෙන් නව නිෂ්පාදනයේ තිර රචනය සකසන අතර ගීතරාණි චිත්‍රපට වෙනුවෙන් එච්. එස්. පෙරේරා නිෂ්පාදනය කරයි.

රංගන ප්‍රේමරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, සේනක විජේසිංහ, සංකේත් වික්‍රමගේ, ශලනි තාරකා, සුජීව ප්‍රියලාල්, දයා අල්විස්, මනෝහාරී විමලතුංග, පවිත්‍රා වික්‍රමගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, නිලන්ති ගුණවර්ධන, මල්කුමාරි ගීතරාණි, භාග්‍යා හෙට්ටිආරච්චි මෙහි චරිත මවනු ඇත.

පුෂ්පකුමාර බණ්ඩාරගම අංග රචනා ශිල්පියාය. ශාන් ප්‍රනාන්දු කැමරාව මෙහෙයවයි. මහේෂ් ඉන්දික සහාය අධ්‍යක්ෂවරයාය. නන්දන විජයකුමාරගේ කලා අධ්‍යක්ෂණයකි. අයේෂ් සමරසිංහ නිෂ්පාදන කළමනාකරුය.

හිරුට මුවාවෙන් හි තේමා ගීතය ප්‍රබුද්ධ ගීතරුචි සමඟ මල්කුමාරි ගීතරාණි විසින් ගයනු ලබයි.

ප්‍රබුද්ධ ගීතරුචි මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. හිරුට මුවාවෙන් හි මුහුරත් උළෙල දා එහි පිරිවර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

සිනමා අධ්‍යක්ෂවරු එකතුවෙති

ප්‍රසන්න සභාපති, ලේකම් බෙනට්
 

මෙරට ප්‍රථම වතාවට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයක් පසුගිය 4 වැනිදා සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ උත්සවයකදී පිහිටුවා ගන්නා ලදී. දේශීය සිනමාව කලාවක් ලෙසත් කර්මාන්තයක් ලෙසත් යළි ගොඩ නැංවීමේ කාලීන අවශ්‍යතාවය මත මෙය ස්ථාපනය කළ බව එහි සංවිධායක බූඩි කීර්තිසේන ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම වර්තමාන සිනමාවෙහි පවතින විවිධ අර්බුදයන් යථා කාලයේ විසඳීමට ද මෙමගින් බලාපොරොත්තුªවේ. මෙම අධ්‍යක්ෂවරුන්ගේ සංසදය අප ක්ෂේත්‍රයේ ප්‍රවීණතම පිරිසකගෙන් සැදුම්ලත් එකක් වීම සුවිශේෂී කරුණකි.

සංසදයේ විධායක සභාව එදින පහත පරිදි පත් කෙරිණ.

සභාපති – ප්‍රසන්න විතානගේ, ලේකම් - බෙනට් රත්නායක, භාණ්ඩාගාරික – උදයකාන්ත වර්ණසූරිය, උප සභාපති – ජැක්සන් ඇන්තනී, උප ලේකම් – ජයන්ත චන්ද්‍රසිරි, සංවිධායක – බූඩි කීර්තිසේන, සංස්කාරක – ප්‍රසන්න ජයකොඩි

විධායක සභිකයන් – ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ආචාර්ය ධර්මසේන පතිරාජ, සුමිත්‍රා පීරිස්, තිස්ස ලියනසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම, චන්ද්‍රන් රත්නම්, සුනිල්සෝම පීරිස්, ආචාර්ය මාලිනී ෆොන්සේකා, චන්ද්‍රරත්න මාපිටිගම, සෙනේෂ් දිසානායක බණ්ඩාර, වී. සිවදාසන්, සරත් ධර්මසිරි

කේරළ උළෙලේ ‘නෙට්පැක් ජූරිය’ ට ජයන්ත චන්ද්‍රසිරි

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි 17 වැනි කේරළ අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ ‘නෙට්පැක්’ ජූරිය නියෝජනය කිරීමට නියමිතය.

අන්තර් ජාතික චිත්‍රපට උළෙල තිහකට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක මෙම නෙට්පැක් විනිශ්චය මණ්ඩලය සඳහා මෙවර චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි (ශ්‍රී ලංකාව), පාක් ස්‍යුන්ග් හෝ (බුසාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙල අධ්‍යක්ෂ - කොරියාව), ටීනා ලොක් (බ්ලැක් නයිට් ජාත්‍යන්තර සිනමා උළෙල – එස්තෝනියාව) නියෝජනය කිරීමට නියමිතය.

කේරළයේ අගනුවර වන තිවේන්ද්‍රම්හිදී හෙට (07) සිට ලබන 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා උළෙල කේරළ සිනමා, වනජීවි සහ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ගනේෂ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මෙහිදී ආසියා, අප්‍රිකා සහ ලතින් ඇමරිකානු චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’, අශෝත හඳගමගේ ‘ගිනි අවන්’ සහ ප්‍රසන්න ජයකොඩිගේ ‘කර්ම’ යන චිත්‍රපට මෙහිදි ප්‍රදර්ශනය කෙරේ.

මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හෙට (07) කේරළය බලා පිටත්වීමට නියමිත අතර විවිධ රටවල සිනමා කර්මාන්තය වෙනුවෙන් අවධානය යොමු කෙරෙන විශේෂ අංශය යටතේ මෙවර අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ඒ මහතා සරසවියට ප්‍රකාශ කළේය.

ඒ අනුව 17 වැනි කේරළ අන්තර් ජාතික චිත්‍රපට උළෙල සමඟින් සමකාලීන සිංහල සිනමාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වසන්තගේ ‘මවුස්’ 14 දා තිරයට

තාක්ෂණයට ලොල්ව නව නිපැයුම් සොයා යන සංවේදී කුඩා දරුවකු වටා ගෙතුණු කතා ශරීරයකින් හෙබි වසන්ත මොරගොඩගේ කුළුදුල් චිත්‍රපටය ‘මවුස්’ මෙම මස 14 දා සිට රිත්මා ප්‍රමුඛ සෙල් මණ්ඩලයේ තිරගතවේ.

වසන්තගේම තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ මවුස් හි රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවින්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුල්නිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත් රංගන දායකත්වය සපයයි.

සුරේන් රාජපක්ෂ සහ සහන් බෙල්ලන්ගමගේ කලා අධ්‍යක්ෂණයකි. හේමන්ත ගමගේ අංග රචනයෙන් එක්වෙයි.

සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන්. පෙරේරා විසින් සිදු කොට ඇත. නුවන් චාමර වික්‍රමසිංහ නිෂ්පාදන කළමනාකරුය. මේනකා මොරගොඩගේ මූල්‍ය කළමනාකරණයකි.

චින්තන ජයකොඩි පසුබිම් සංගීතයෙන් ද, සුනිල් දයානන්ද කෝනාර පද රචනයෙන් ද, චන්දන ඩිල්ෂාන් සංස්කරණයෙන් ද, ක්‍රිෂාන්ත ජිනේන්ද්‍රසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.