වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මම අඩුවෙන් සිහින දකින කෙනෙක්

මම අඩුවෙන් සිහින දකින කෙනෙක්

ලංකාවට සම්මාන දිනා දුන් ඉන්දිය නිළි අංජලී පටිල් සරසවියට කියයි

මෙරට සිනමා ඉතිහාසයට ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල යනු ආගන්තුක එකක් නොවේ.ලොව ඉහල පෙලේ සිනමා උළෙලයන් ගෙන් එකක් ලෙස සැළකෙන එම උළෙල ආරම්භ කොට මේ වන විට වසර 60කි. එය ඇරඹෙනුයේ 1952 වසෙර්ය. ආරම්භයේ දෙවසරකට වරක් පැවැත්වුන එම උළෙල වර්තමාන ලෝක සිනමාවේ වාර්ෂික වැඩ සටහන් අතර කැපී පෙනෙන එකකි.මෙවර එය පැවැත්වූයේ 43 වැනි වරටය.

කලක් දිල්ලි උලෙල ලෙස ද හැඳීන්වූ එය වර්තමාන ඉන්දියාවේ සංචාරක පුරවරය වූ ගෝවේ නගරයේ වාර්ෂික සැණකෙළි අතර එකක් බවට ලක්ව ඇත්තේය. ශ්‍රී ලංකාව මුල් වරට ජගත් සම්මානයට පාත්‍ර කරමින් 1965 වසරේ ගම් පෙරළිය චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානයෙන් පුද ලද්දේ ද එම උළෙලේය. පසුව සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කළ මිනිසා සහ කපුටා චිත්‍රපටය එම උළෙලේ සම්මානයට පාත්‍ර වූ අතර ඉන්පසු එය වඩාත් ම අපේ අවධානය දිනා ගත්තේ මාලිනී ෆොන්සේකා සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ විශේෂ සහතිකයක් දිනා ගැනීමෙනි.

අනතුරුව අනෝජා වීරසිංහ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය උදෙසා හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ ද එම උළෙලේය.අනතුරුව මාලීනී ආකාස කුසුම් චිත්‍රපටය උදෙසා හොදම නිළිය වීමෙන් ජාත්‍යන්තර අවධානය දිනා ගත්තාය.කෙසේ වෙතත් මෙවර ඉන්දියානු සිනමා උළෙලේ ඉතිහාසය අලුතින් ලියන ආකාරයක් පෙළඹුනේ හොඳම නිළියට හිමි සම්මානය යළි ශ්‍රී ලංකාවට ම උරුම කොට දෙමිනි.

එහෙත් එහි විශේෂත්වය නම් එම සම්මානය සිංහල චිත්‍රපටයක් වෙත මෙවර ලබා දුන්නේ සිංහල නිළියක නිසා නොව ඉන්දීය නිළියක වූ අංජලී පටිල් වීම නිසාවෙනි.ඒ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහාය. එමෙන්ම මෙවර ප්‍රසන්න එකම අධ්‍යක්ෂවරයකු විසින් ඉන්දිය සිනමා උළෙලේ දී දෙවරක් හොදම නිළිය ට හිමි සම්මානය ලබා දුන් අධ්‍යක්ෂවරයා ලෙසද වාර්තාවක් තැබීය. ඒ එයට පෙර නිළි රැජන මාලිනීට ඉන්දියාවේ දී සම්මාන ලබා දුන් ආකාස කුසුම් චිත්‍රපටය ද ප්‍රසන්න ගේ නිර්මාණයක් වීම හේතුවෙනි.

එපමණක් නොව ඔහු නිර්මාණය කළ පවුරු වළලු චිත්‍රපටයේ සිට සෑම චිත්‍රපටයක්ම අන්තර් ජාතික සම්මාන උළෙලක දී රංගනය උදෙසා සම්මාන දිනා ගත් බැවිනි . පිළිවෙළින් සිහිපත් කරන්නේ නම් ඒ පවුරු වළලු චිත්‍රපටය උදෙසා නීටා ප්‍රනාන්දු ද ජෝ අබේවික්‍රම පුරහඳ කළුවර උදෙසා ද සිංගප්පූරු අන්තර්ජාතික සම්මාන උළෙලේ දී ද ඉර මැදියම චිත්‍රපටය සඳහා නිම්මි හරස්ගම ස්පාඤ්ඤයේ ලාස් පල්මාස් උළෙලේ ද මාලිනී ෆොන්සේකා අකාස කුසුම් චිත්‍රපටය උදෙසා ඉන්දියානු අන්තර්ජාතික උළෙලේ සහ ඉතාලියේ ලෙවන්තේ අන්තර් ජාතික සිනමා උළෙලේ දී දිනූ සම්මානයන්ය.

මෙවර හොඳම නිළිය ට හිමි සම්මානය දිනු අංජලී මේ වන විට ඉන්දියානු සිනමාවේ මතු බලාපොරොත්තු සපිරි නිළියකගේ ලකුණු පළ කොට ඇති නිළියකි. ඇය රඟපෑ මුල්ම හින්දි චිත්‍රපටය වූ චක්‍රව්‍යුහ චිත්‍රපටය පසුගිය දා තිර ගත වීම ඇරඹුවේය. එය ප්‍රකට සිනමාවේ දී ප්‍රකාශ් ජා ගේ අධ්‍යක්ෂණයකි.එහි ප්‍රධාන නිළිය ද ඇය වන්නීය.එහි සෙසු නළු නිළියන් වූයේ අර්ජුන් රාම්පාල්,අබේ ඩියොල්, මනෝජ් බජ්පායි,කබීර් බේඩි,ඕම් පූරි,සමීරා රෙඩ්ඩි ආදියයි.සිය ජීවිතයේ මුල්ම සිනමා සම්මානය දිනා ගත් මොහොතේම සරසවිය සමග ඇය සංවාදයට ඇය එක් වූයේ මෙපරිද්දෙනි.

අංජලී ඔබ සිනමාවට එක් වන අන්දම විස්තර කරමු

මා සිනමාවට එක් වන්නට පෙර පූනා විශ්ව විද්‍යාලයයේ දී රංගනය පිළිබඳ උපාධිය හැදෑරුවා.එයින් පසු මා පශ්චාත් උපාධිය දිනා ගත්තේ දිල්ලි විශ්ව විද්‍යාලයේ දීයි.ඒ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය පිළිබදවයි.

මේ උපාධියෙන් පසු මට සිනමා කර්මාන්තයට එක් විමට අවස්ථාව ලැබුණේ ගිය වසරේයි. ඒ ස්වාධීන සිනමාකරුවකු වූ ප්‍රසන්ත් නායර් නිර්මාණය කළ දිල්ලි ඉන් අ ඩේ චිත්‍රපටය සමගයි. මේ චිත්‍රපටය ගිය වසරේ මුම්බායි සිනමා උළෙලේ ප්‍රදර්ශනය වූවා. එහි වික්ටර් බැනර්ජි වැනි නළුවකු සමග කළ මගේ රංගනය යම් ප්‍රමාණයක විචාරක අවධානය දිනා ගත්තා.

ඔබ ප්‍රසන්න විතානගේ නම් ශ්‍රී ලාංකික සිනමාකරුවාගේ සිකමාවට එක් වනුයේ ඒ අවධානය නිසාද?

නැහැ. කොහොම උනක් මේ වන විට ප්‍රසන්න සර් තම අලුත් චිත්‍රපටය පිළිබඳ අලුත් නිළියන් කිහිප දෙනෙකු ගැනම අවධානයෙන් සිටියත් ඒ පිළිබඳ සෑහීමකට පත් වී නැහැ. අවසානයේ මා පිළිබඳ ඔහුගේ අවධානය යොමු කරවන ලද්දේ සම්මානනීය ශබ්ද පරිපාලකයකු වූ තපස් නාරායන් විසින්. මා ඔහු සමග දිල්ලි ඉන් අ ඩේ චිත්‍රපටයේ වැඩ කටයුතු කළා.

රංගනය පිළිබඳ අධ්‍යයනය ඔබට කෙතරම් මහෝපකාරි වූවාද?

එහි දී වඩාත් වැදගත් වනුයේ විවිධ රට රටවල නළු නිළියන් සිය රංගනය ගොඩ නගන ආකාරයයි. සමහර විට ඉන්දියාවේ වුවත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට රංගනයේ වෙනස් කම් තිබෙනවා. දෙමළ සිනමාවේ හෝ හින්දි සිනමාවේ පවා මේ වෙනස්කම දැක ගත හැකියි. විවිධ රටවල විවිධ චිත්‍රපට රංගනය පිළිබද අධ්‍යයනය කරන්නට ලැබීම මට මහත් පහසුවක් වූවා.

ඔබ එයට පෙර සිංහල චිත්‍රපට දැක තිබුණාද?

නැහැ. එහෙත් පසුව ප්‍රසන්න සර්ගේ ආකාස කුසුම්,පුර හඳ කළුවර වැනි චිත්‍රපට නැරඹුවා. ලංකාවට පැමිණි පසු සිංහල චිත්‍රපට කිහිපයකුත් නැරඹුවා

ඔබ සම්මාන දිනූ සෙල්විගේ චරිතය ශ්‍රී ලංකාවේ කඳුකර පෙදෙසේ වෙසෙන යාපනයේ තරුණියක්.එකම රටක වුවත් මේ පිරිස අතර වෙනස්කම් තිබෙන වග ප්‍රසන්න සර් මට කියා දුන්නා

ප්‍රසන්න විතානගේ විසින් ඔබව මෙහෙය වූ ආකාරය කොහොමද?

ඔහු මගේ සෑම ඉරියව්වක්ම,ඉඟියක් ගැනම විමසිලිමත් වුණා. ඔහු චිත්‍රපටයක නිවැරදිතාවය පිළිබඳ දැඩි වෙහෙසක් ගන්නා බැව් මට දැනුණා. එය සිනමා කරුවකු සතු ඉතා බලවත් ගුණයක්. රංගනයේ දී ඔහු තෘප්තිකිරීම ඉතා වෙහෙසකර අත්දකීමක් වුවත් එය ඇත්තටම හැම විටම සතුටු දායක අවසානයක් ලෙසයි මට දැනෙන්නේ.

මේ චිත්‍රපටය සදහා සිංහලෙන් දෙබස් කවන්නේත් ඔබමයි. මේ ආකාරයට සිංහල දෙබස් කියන්නට සිදුවීම අපහසුවක් වූයේ නැතිද?

සිංහල පමණක් නොවෙයි. මා දෙමළ බසින් දෙබස් කියන්නේත් මුල් වතාවටයි. මා දෙමළ බස දන්නේත් නැහැ. එහෙත් මගේ මව් බාසාව වන මරාති බසත් සිංහල බාසාවත් අතර යම් ප්‍රමාණයක සමාන කමත් කිබෙනවා.ඒ භාෂා දෙකම සංස්කෘත භාෂාවෙන් බිඳී ආ ඒවා බැවින්.එය මට යම් පහසුවක් වූවා. කොහොම උනත් මේ භාෂා දෙක පිලිබඳ මට දැඩිව වෙහෙසෙන්නට සිදු වුණා. එතැනදි මගේ සිංහල ගුරුවරයා වුනේ ප්‍රසන්න සර් මයි

ඔබට මුල් වරට සම්මානයක් ගෙන දුන් සෙල්වි චරිතය ඔබට දැනුනේ කොහොම ද?

ඇය නිර්භිත තරුණියක්.ජීවිතයට මුහුණ දෙන ආකාරය සිකන පතන ආකාරය ආදිය සියල්ල වෙනස් කරන්නට සිදුවනුයේ නොසිතූ ආකාරයටයි.එම තත්වයට ඇය මුහුණ දෙනවා.

හැබැයි ඔබ සෙල්වි නම් චිත්‍රපටයේ සිදුවන අවසානයට සමාන දෙයක් ඔබ සිදු කරනවාද?

මම සෙල්වි නම් නේද? නැහැ. මා එහෙනම් සිතන ආකාරය වෙනස් විය හැකියි. හැබැයි මෙතැන සෙල්වි මුහුණ දෙන සිදුවීම නිසා ඇයට වෙන ඉරණමක් නැහැ. ඇයගේ තීරණය ඇගේ පැත්තෙන් සාධාරණයි.

ඔබත් සමග විශිෂ්ට රංගනයක නියැලුණ නළුවන් පිළිබඳ ඔබේ අත්දැකීම් කෙලෙසද?

මේ චිත්‍රපටයේ තුනෙන් දෙකකටත් වඩා මට රඟපාන්නට ලැබුණේ ශ්‍යාම් ප්‍රනාන්දු සමග. ඔහු දක්ෂ නළුවකු පමණක් නොවෙයි. ගුණ යහපත් මිනිසෙක්. ඉතා වැදගත් මහත්මයෙක්. ඒ වගේම චිත්‍රපටයට දායක වූ ශ්‍රී ලාංකික පිරිස ඉතා දක්ෂ සහ ගුණ වත් සන්සුන් බවයි මගේ හැඟීම. ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම ඉතා අනර්ඝයි. ඒ වගේමයි චිත්‍රපටය රූප ගත කළ බගවන්තලාව ආශ්‍රිත පෙදෙස මා ජීවිතයේ දුටු ඉතාම ලස්සන පෙදෙසක්.

සිනමා ජූරීය, ආරාධිත අමුත්තන් හා සම්මානලාභින් වේදිකාවේ...

කොහොම උනත් ඔබ ප්‍රධාන චරිතය රඟපාන මුල්ම හින්දි චිත්‍රපටය මේ දින වල තිර ගත වනවා. එහි ඔබ රඟපාන්නේ ඉතා ජනප්‍රිය හින්දි නළුවන් සමග.එය අධ්‍යක්ෂණය කරනුයේ හින්දි සිනමාවේ කැපී පෙනෙන සිනමාකරුවකු වූ ප්‍රකාශ් ජා විසින්. මේ ගමන ඇතුළත හින්දි සිනමාවේ ප්‍රධාන තරු ගොන්නට එක් වීමේ සිහිනයක් ඔබට තිබෙනවාද?

මා කොහොමත් අඩුවෙන් සිහින දකින කෙනෙක් .ලොකු බලාපොරොත්තු මට නැහැ. මා කැමති හොඳ තිරනාටකයක් එක්ක හොඳ චරිතයක් හොඳ අධ්‍යක්ෂවරයෙක් සමග කරන්න. කොහොමටත් චිත්‍රපටයක අධ්‍යක්ෂගේ භාවිතය මට වටිනවා.

එනම් ඉන්දියාවේ බොහෝ සිනමා යුවතියන්ගේ තරු සිහිනය ඔබට නැතිද?

අපොයි.මටත් තියෙනවා.මාත් එයින් එක් කෙනෙක් නිසා. බොලිවුඩ් ඉහල තරුවක් වන්නට මා කැමතියි.

එවන් දවසක් උදාවේවායැයි සරසවිය ප්‍රාර්ථනා කරනවා.එදිනට ඔබට ඔබ මුල් වරට සම්මාන දිනා ගනිමින් ජාත්‍යන්තරව සහ ඉන්දියාව ඇතුළත අවධානය දිනා දුන් සිංහල සිනමාව හෝ එහි නියැළි පිරිස අමතක වේවිද?

නැහැ. කිසිසේත්ම නැහැ.මා කවර තැනකට ගියත් මට මේ ලැබුණු අවස්ථාව උදා කර දුන් ලංකාවේ සිනමාව කිසිසේත්ම අමතක කරන්නට මට බැහැ.

අවසාන වශයෙන් ඔබ ගැන යමක් දැන ගන්නට මාකැමතියි.

මා ගැන ද ? මගේ පියා ඉන්දියානු රජයේ සේවකයෙක්. මගේ අම්මා ගෘහණියක්.මගේ වැඩිමහල් සොහොයුරිය අර්චනා ශින්දේ.අපට වාසගම් දෙකක් තියෙනවා. එකක් ශින්දේ.අනික පටිල්.ඉතින් අක්කා පාවිච්චි තරන්නේ සින්දේ කියන වාසගම. ඇය ලොස් ඇන්ජලිස් නුවර වාසය කරනවා.සිනමාකාරියක් එමෙන්ම සිනමා සංස්කාරිණියක්. මගේ අය්යා සහ ඔහුගේ බිරින්දෑ ඒ අය තමා මගේ පවුලේ සාමාජිකයෝ. ඒ හැරෙන්නට මගේ සුරතලා.

මගේ අය්යාගේ දෑ හැවිරිදි පුතා.ඒ තමයි මගේ ලෝකය.ඒ වගේම සම්මානය මට දුන් මගේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සර්.ඔහුට තමයි මේ සම්මානය අයිති.එය ඉතා පැහැදිලිව කිව යුතුයි. ඒ වගේම මගේ ජීවිතයේ පිටුපස හැමවිටම ඉන්න මා දිරිමත් කරන මගේ පවුලේ සාමාජිකයන්.ඔවුන් හැමෝම මේ මොහොතේ මතක් කරන්නට කැමතියි.

මෙවර ඉන්දියානු ජාත්‍යන්තර උළෙලේ සම්මාන දිනූ පිරිස

හොඳම චිත්‍රපටය - ආනේ ගෝරේ දෝ දො ආන්-ඉන්දියාව/භාෂාව පංජාබි

හොඳම අධ්‍යක්ෂණය- ක්යූ හ්වාන් ජියොන්-චිත්‍රපටය ද වෙයිට් - දකුණු කොරියාව විට

හොඳම නළුවා - මාර්සින් දාරාසින්ස්කි - චිත්‍රපටය-රෝස්-පෝලන්තය.

හොඳම නිළිය - අංජලී පටිල්-චිත්‍රපටය - ඔබ නැතැව ඔබ එක්ක-ශ්‍රි ලංකාව

ජූරියේ විශේෂ සම්මානය - උනේ නෝච්-කියුබාව

ඉන්දියානු සියවස වෙනුවෙන් පිරි නැමුණු විශේෂ සම්මානය - ද රෙලුකාන්ට්න්ඩමෙන්ටලිස්ට් - අධ්‍යක්ෂනය මීරා නායර්-අමෙරිකාව/පාකිස්ථානය/ඉන්දියාව

පුවත්පත් කලාවේදීන්ගේ තේරීම

ඔබ නැතුව ඔබ එක්ක

උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය දිනයේ ඉන්දියානු පුවත්පත් කිහිපයක්ම සිනමා උළෙලේ හොඳම චිත්‍රපට පිළිබද විචාරකයන්ගේ මත විමසුමක් කර තිබුණා.පුදුමය නම් ඒ සියළු විචාරකයන්ගේ හොඳම චිත්‍රපටය ලෙස තෝරා ගෙන තිබුනේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ චිත්‍රපටය නොවේ. ඔවුන් සියල්ලම පාහේ ඔබ නැතුව ඔබ එක්ක තෝරා තිබුණා.විශේෂයෙන් එහි සිනමා භාවිතය සහ චරිත නිරූපණය ඔවුන් සියල්ලම අගය කොට තිබුණා.

සම්මාන උළෙලේ දී නිළි රැජන කැපී පෙනෙයි

මෙවර ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී නිළි රැජන මාලිනී ෆොන්සේකා උඩරට ඔසරියකින් සැරසී සිටීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ විලාසිතාවක් විය. සම්මානිත ජූරියේ සාමාජිකාවක් වූ ඇය වේදිකාවට පිවිසීමේ දී සියළු දෙනා අතර කැපී පෙනුනේ ඇය තම රට නියෝජනය කරමින් ඇඳ සිටි ඇඳුමත් සමගය.

මහාචාර්ය සුනිල් ආරියරත්න අන්තර්ජාලයට

මහාචාර්ය සුනිල් ආරියරත්න ද මෙවර ඉන්දියානු සිනමා උළෙල නැරඹිමට ගිය ද එහි පිරිනැමෙන ආරක්ෂිත හැඳුනුම්පත සදහා අවශ්‍ය ඡායාරූපය රැගෙන යෑමට අමතක වෙලා.ඉතින් ඡායාරූපයක් ගන්න තැන් කිහිපයකටම ගියත් ඒ කටයුත්ත ඉෂ්ට වුණේ නැහැ. බැරි තැන සංවිධාන කණ්ඩායමේ තරුණියකට ඒ බැව් පැවසුවා. ඇය එරට විශ්ව විද්‍යාලයක සිනමාව හදාරමින් සිටින යුවතියක්.ඇය මද වේලාවක් සුනිල් ආරියරත්න දෙස බලා සිට ඔබ ආරියරත්න නේදැයි විමසුවා. මහාචාර්ය තුමන් ඔව්යැයි පැවසුවා.

ඉතින් අමුතුවෙන් මොකටද? අන්තර්ජාලයේ ඔබේ ඡායාරූප මා දැක තිබෙනවා. යැයි පැවසූ ඇය ඉතා ඉක්මනින් අන්තර්ජාලයෙන් මහාචාර්යතුමන්ගේ ඡායාරූපයක් රැගෙන හැඳුනුම්පත් සකස් කර දුන්නා.

ඉතින් තම ඡායාරූපය අන්තර්ජාලයට යොමු වීමත් අර සුරූපී යුවතිය දුටු මතින් තම ඡායාරූපය අන්තර්ජාලයේ ඇතැයි පැවසීමත් නිසා මහාචාර්ය ආරියරත්න මවිතයට පත් වුණා. මේ ඡායාරූප අන්තර්ජාලයට යොමු වීම පිළිබඳ මහාචාර්යතුමන් කිසිවිටෙකත් දැන සිටියේ නැහැ.