වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




නිවේදන කලාවෙන් රංගනයට ආ සම්පත්

නිවේදන කලාවෙන් රංගනයට ආ සම්පත්

ඔබ ඔහුව වැඩියෙන්ම හඳුනා ගත්තේ ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක් විදියටයි. ඔහු සතු රංගන හැකියාව නිසාම රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නටත් දැන් ඔහුට වරම් ලැබිලා.

තරු පිරි අහසේ ශාලුක ලෙස ඔබ හමුවට පැමිණි ඔහු සම්පත් චමින්ද වික්‍රමසිංහ. මිලා නාට්‍යයෙන් ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වූ සම්පත් සිහිනයකි ජීවිතේ, සැරද බඹගුරු, මං ආසයි පියාඹන්න, සුන්දර චන්දරේ, ආදරේ අහස තරම්, සබ්බ සකලමනාව, පබළු පාලම වගේම මහින්දාගමනය, කුසපබා, විජය කුවේනි වැනි චිත්‍රපට සඳහාත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මේ අවස්ථාව සම්පත්ගේ කලා ජීවිතයේ පෙළ ගැස්ම ගැන කියන්නයි.

මම අධ්‍යාපනය හැදෑරුවේ කඳාන ද මැසනොද් විද්‍යාලයෙන්. ඒ කාලේ පටන්ම මම කලාවට ලැදියාවක් තිබුණා. පාසල් අවධියේදී නාට්‍යවලට වගේම නිවේදන කටයුතුª සඳහාත් දායක වුණා. පසුව එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු තමයි වැඩි වශයෙන් කළේ.

මේ වන විට රංගනයටත් යොමු වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා. මගේ පියා මම පුංචි කාලෙදිම අපෙන් සමුගත්තා. අම්මා මේරි ඇලන් පෙරේරා. ඇය ගොඩක් දුක් විඳල මාව හැදුවේ.

ඇය බලාපොරොත්තු වූ පරිදිම රටට වැඩදායක ලෙස ජීවත් වෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව. කෙටි කාලයක් ඇතුළත ටෙලි නාට්‍ය දහයකටත් විතර සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයට පැමිණි පසු ප්‍රවීණයන්ගෙන් හොඳ සහායක් ලැබුණා.

ඉදිරියටත් ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේම සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතුවලත් යෙදෙමින් කලා ක්ෂේත්‍රයේ ඉහළටම යන්න බලාපොරොත්තු වෙනවා.