වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ තාත්තලා හොඳ කවියෝ ඒත් අපි දෙන්නටම කවි බෑ...

අපේ තාත්තලා හොඳ කවියෝ ඒත් අපි දෙන්නටම කවි බෑ...

නිසල රුවෙන් ‘සරසවිය’ හැඩ කළ රාජා පෙරේරා සොඳුරු යටගියාව සිහිපත් කරයි

මේ සඳහා විමලසිරි මහතාගේ හිතුවතුන් ද පැමිණ සිටියේය. මට ද මේ සඳහා ආරාධනා ලැබිණි. විමලසිරි මහතා මත්පැන් පානය නොකළ ද අනෙක් අයගේ අවශ්‍යතා ගැන හොඳින් අවබෝධ කරගෙන සිටියේය. මධුවිතෙන් සප්පායම් වන අතරේ එකිනෙකා අතරින් කවි පද කිය වෙන්නට විය.

අතකස හි මුල් පුටුවද හොබවමින් සිටි විමලසිරි මහතා මේ අතරේ කාගෙත් ඉල්ලීම්වලට කවියක් දෙකක් කීමට ද අමතක නොකළේය. විහිළු තහළු අතරේ ගෙවී ගිය ඒ දවස හරිම සුන්දරය. මට ද පමණ ඉක්මවා මධුවිත පෙවිණි. ඔය අතරේ මා විමලසිරි මහතා ළඟට ගොස් වෙරි මර ගාතේ ඔහුට විහිළුවක් කළේ දුරදිග නොබලාය. මගේ පියා වූ තිහාරියේ පීටර් පෙරේරා ද කවියෙක් විය.

විමලසිරි මහතාගේ පියා වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ද ප්‍රසිද්ධ කවියෙක් විය. මේ නිමිත්ත ගැන සිතමින් කවියක් කියන විලසින් ඔබේ පියතුමත් කවියෙක්, මගේ පියතුමත් කවියෙක්, ඒ උනාට අපි දෙන්නට කවි බැරිය කියා කීවෙමි. මා එසේ කීවද විමලසිරි මහතාට හොඳ හැටි කවි කීමට හැකියාව තිබිණි. මා කියූ දෙයට කවුරුත් කොක් හඬලා සිනාසීම නිසාම විමලසිරි මහතාගේ සිත පෑරී තිබිණි. මා විහිළුවට කියූ දෙය විමලසිරි මහතා සමඟ අමනාපයෙන් සිටි අයට හොඳ උත්තේජනයක් විය. ඔවුන් එය කවිය නිසා නමක් දිනා සිටි විමලසිරි මහතාට රිදවීමට යොදා ගැනිණි. ඒ නිසා මම කළ විහිළු වැඩේ විමලසිරි මහතාට සිත් වේදනාවක් ගෙන ඒම ගැන මම ද පසුව කනගාටු වුණෙමි.

විමලනාත් දිසානායකගේ මාතෘභූමි චිත්‍රපටය රූපගත කිරීම් සඳහා යාපනේ පලෙහි බලා ගිය ගමන ද මට මාධ්‍ය ජීවිතයේ අමතක නොවන ගමන් අතරින් එකක් විය. දයා විමලවීර කැමරාව මෙහෙය වූ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් වෙනුවෙන් මා එහි මාස එක හමාරක් පමණ එහි නැවතී කටයුතු කළෙමි. එක් දිනක් ගැඹුරු මුහුදේ බෝට්ටු දර්ශනයක් රූපගත කිරීම ඇරැඹිණි.

එස්. ඒ. සිමියොන් එහි කල්ලතෝනියකු ගේ චරිතයක් නිරූපණය කළේය. රැල්ෆ් විජේසේකර පොලිස් නිලධාරියකුගේ චරිතයක් නිරූපණය කළේය. රැල්්ෆ් එක් බෝට්ටුවකත්, සිමියොන් තවත් බෝට්ටුවකත් විය. සිමියොන් ගමන් ගන්නා බෝට්ටුව පන්නා ගෙන ගොස් ඔහුව අල්ලා ගැනීම රූපගත කිරීමට ඇතුළත් විය. දයා විමලවීර ඇතුළු අපි කණ්ඩායම තවත් බෝට්ටුවකින් මේ දර්ශනය රූපගත කිරීම අරඹා තිබිණි. කෙසේ හෝ සිමියොන් බෝට්ටුවෙන් මුහුදට වැටෙනු මම දුටුවෙමි. එය දුටුවේ මා පමණි. මට කෑගැසුනි. වැටුණේ සිමියොන්ය. මුහුදේ ගැඹුර නිසාම ඒ හරියේ රැල්ල තිබුණේ නැත. සිමියොන් කීප විටක් උඩ එයි, යට යයි. වහා ක්‍රියාත්මක වූ බෝට්ටුවේ සිටි කීප දෙනෙක් ලණු හා දැල් කූඩයක් දමා සිමියොන් බේරා ගැනිණි. එදා මම නොසිටින්න සිමියොන් නියමිත කාලයට කලින් පරලොව යනවා සිකුරුය.

මගේ මාධ්‍ය කලා ජීීවිතය හරිම රසවත්ය. එකල අද මෙන් එකිනෙකාට කපා ගැනීම් නැත. ඇස් රතුවන විහිළු අනන්තවත් කර ගත්ත ද හිත් අමනාපකම් පොට්ටනි ගසා ගෙන සිටීමක් සිදු නොවිණි. මා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ වැඩ කරන අවධියේ එහි සේවය කළ කලක් පතල වෙළෙඳ ව්‍යාපාරිකයකු හා සම්මානනීය නිෂ්පාදකවරයකු සිටියේය.

ඔය කාලයේ වෛද්‍යවරියක් විමට අපේක්ෂාවෙන් සිටි රූමත් යුවතියක් විශ්ව විද්‍යාලයට යාමට ප්‍රථම ලේක්හවුස් ආයතනයේ ලේකම් අංශයේ රැකියාවට පැමිණ සිටියාය. ඇය කෙරේ ආලවන්ත සිතක් ඇතිකර ගත් ඔහු ඇයට කොතරම් ඇඟෑලුම් පෑවද ඇයගෙන් ඔහුට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. බන්දු එස්. කොඩිකාර සමඟ ඇය මිත්‍රකමක් ගොඩ නඟා ගෙන තිබිණි. මෙයින් ප්‍රයෝජන ගත් අපේ හිතවතා බන්දුට කියා ඇගේ ඡායාරූපයක් ගත්තේය.

එම පින්තූරයට වටිනා රාමුවක් ද දැමූ හිතවතාගේ ඊළඟ උත්සාහය වූයේ මෙය ඇය අතට පත් කිරීමය. ඔය අතරේ ඈ ලේක්හවුස් ආයතනයෙන් අස් වී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුමට ගියාය. ඇය විශ්ව විද්‍යාලයට විත් නිවෙසට යාමට එන බස් හෝල්ට් එකට ගොස් පින්තූරය බාරදීමට ඔහු සැලසුම් කරගෙන තිබිණි.

 මෙය දැනගත් එඩ්මන් පෙරේරා දිනක් බස් හෝල්ට් එක ආසන්නයේදී ඔහුගෙන් පින්තූරය උදුරාගෙන විත් අර යුවතිය අසලට වී පින්තූරය ඇයට පේන්නට දිග හැරියේය. මෙවැනි විහිළු මධ්‍යයේ වුවද මිත්‍රයා තම උත්සාහය අත හැරියේ නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංවත්සරයක් උදා විය. පීඨාධිපති වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඒ වෙනුවෙන් සිළුමිණට අතිරේකයක් කිරීමට කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් අර යුවතිය හමුවීමට ද ඔහු වග බලා ගත්තේය. එහි ඡායාරූප ගැනීම වෙනුවෙන් මාද කැඳවා ගෙන යනු ලැබිණි. අතිරේකය කළ ද අපේ හිතවතාට අර යුවතිය නම් හමු නොවිණි.

1971 මාර්තු 31 වැනිදා මට අද වගේ මතකය. රිය අනතුරකට මා ලක් වුණේ එදාය. ආර්. ආර්. සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු නාට්‍යයේ හොඳම නිළිය වූයේ ප්‍රේමා ගනේගොඩය. හොඳම නළුවා වූයේ රංජිත් යායින්නය. මේ දෙදෙනාගේ පින්තූරයක් සිළුමිණට ගෙන ඒමට මට පැවරිණි. එදින රාත්‍රියේදී සම්මාන රාත්‍රිය ද යෙදී තිබිණ.

මොවුන් දෙදෙනා එකම තැනකට ගෙනවිත් පින්තූරයක් ගැනීමට මට අවශ්‍ය විය. මේ ගමන යාමට ලේක්හවුස් ආයතනයෙන් කාර් එකක් ලැබිණි. එය පදවනු ලැබුවේ කලින් ගාමිණී ෆොන්සේකාට අශ්වයන් පිට යාමට පුහුණු කළ බෙන්ජමින් පීරිස්ය. ඔහු පසුව ලේක්හවුස් ආයතනයට එක් වී තිබුණේ රියදුරකු ලෙසිනි. අපි අතර ජොකිය පීරිස් ලෙස ප්‍රසිද්ධව සිටි බෙන්ජමින් සමඟ මා මුලින්ම ගියේ රංජිත් යායින්නගේ ගෙදරටය.

ඔහුව ගෙදරින් කැඳවාගෙන ප්‍රේමා ගනේගොඩගේ ගෙදරට යාම මගේ අරමුණ විය. එදින සවස සම්මාන රාත්‍රිය සඳහා යාමට රංජිත් යායින්න සූදානම් වීමට ගොස් නාන කාමරයේ ඇද වැටීම නිසා ඔහුට තුවාල වී තිබිණි. කොහේවත් යාමට නොහැකි තත්ත්වයක සිටි රංජිත්ට නිවසේ සිටින්න සලස්වා මා ආර්. ආර්. සමරකෝන් සොයා ගොස් ඔහු ද සමඟ ප්‍රේමා ගනේගොඩ කැටුව විත් රංජිත් යායින්නගේ නිවසේ දෙදෙනා තබා පින්තූර ගතිමි. පින්තූර ගැනීමෙන් පසු එය සිළුමිණට භාර දුන් මා යළි සමරකෝන් සමඟ සම්මාන රාත්‍රිය නිමිත්තෙන් මධු පානයට එක් විය. මධු පානයේ සීමා ඉක්වා ගිය පසු සමරකෝන් හා මට පමණක් නොව බෙන්ජමින්ටත් කෙළින් සිටින්නටවත් බැරි විය.

වාහනයේ යාමට දුර ප්‍රමාණ සීමාකර තිබුණ ද වෙලාවේ හැටියට නිවසට යාමට වෙනත් වාහනයක් නොවූයෙන්, උඹ බය වෙන්න එපා, මාව ගෙදරට ගිහින් දාපන් යනුවෙන් මම අණ කළෙමි. බෙන්ජමින් එයට කැමති වුව ද ඔහුට කාරය පදවාගෙන යාමට තරම් සිහිකල්පනාවක් නොවිණි.

කොළඹ සිට කාරය පැදවීම මා භාර ගත් අතර බෙන්ජමින් වෙරිමතින් නින්දේය. ආර්. ආර්. සමරකෝන් ද හොඳ හැටි නින්දේය. කෙසේ හෝ රෑ දෙගොඩ යාමයේ වේයන්ගොඩට ඉගිල්ලුන රථය පාරේ ගැටියක් උඩින් ගොස් කඩයක් කඩාගෙන නතර වුණේය. කාරයට අලාභ හානි වී තිබුණ ද අපට වූයේ සීරීම් තුවාල පමණි. ඒ වගක් මට මතක් නොවීය. ඒ වෙලාවේ දුම්වැටියක් තිබේ නම් අගනේ යැයි මට සිතුණි. මම දුම් වැටියක් ඉල්ලීමි. මට පහරවල් කීපයක් වැදුනා ද මතකය. මම තිහාරියේ පීටර් පෙරේරාගේ පුතා, මට වදින පහරවල්වල සැර නිසාම ඉබේම කියවුණි.

යකෝ මේ තිහාරියේ පීටර් පෙරේරාගේ පුතා යැයි කවුදෝ කියද්දී ඒ පහරවල් නැවතිණ. ඒ මගේ තාත්තාට පින් සිදු වන්නටය. පසුදාට ලේක්හවුස් ආයතනයේ මේ සඳහා පරික්ෂණයක් සිදු වෙන බව මම හොඳ හැටි දනිමි. මා මොනවා කළ ද බොරුවක් වංචාවක් කිරීමට මගේ සිත ඉඩ දුන්නේ නැත. මා ඇත්තම හෙළි කළෙමි. එවක ආයතනයේ ප්‍රවාහන කළමනාකරු වූයේ නන්ද සෙනෙවිරත්න මහතාය. ඔහු රංජිත් විජයවර්ධන මහතාට නෑකමක් ද තිබිණි. මම ඔහුට සත්‍ය සිදු වීම පැවසුවෙමි. ‘හරි කොල්ලෝ මම ඒක බලාගන්නම්’ ඔහු මට පැවසුවේය. ඒ සිද්ධිය එතනින් අවසන් විය.

පී. බී. ඉලංගසිංහ, බෙනඩික්ට් දොඩම්පෙගම, එල්මෝ ගුණරත්න අනුරාධපුරයට ගියේ මාද සමඟිනි. නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් හදිසියේ රෑම පිටත්වීමට දොඩම්පේගමට අවශ්‍ය විය. අපි එළිවීමෙන් පසු යමු යයි කිව්ව ද එය දොඩම්පේගම පිළිගත්තේ නැත. මහ රෑ ආවද කෝච්චියට තව වෙලා තිබුණි. දොඩම්පේගම ගෙනවිත් තිබූ සීට් එලාගෙනකෝච්චිය එනතුරු ස්ටේෂමේ ඇල වී සිටියේ හොඳට සැප පහසුව ඇතිවය.

අපි කියන දේ නොඅසා මහ රෑම යාමට ඒම ගැන මා වාගේම එල්මෝත් හිටියේ දැඩි කේන්තියෙනි. බෙනඩික්ට් දොඩම්පේගම හොඳ හැටි හාන්සි වී සිටිනවා දුටු මා හට ඔහුට විහිළුවක් කිරිමට සිතිණි. මා ගෙතූ කතාවක් ඔහුට ඇහෙන්න කිව්වේ ඇඟට පතට නොදැනීය. මම දන්න එස් .එම් කෙනෙක් මේ ස්ටේෂමේ හිටියා. දවසක් රෑ නිදාගෙන ඉන්න කොට දිවි මකුළුවෙක් කාලා ඒ විසට අතපය වකුටු වෙලා. දැන් ඒ පුද්ගලයා යන්නෙත් මකුළුවෙක් වගේ වකුටු වෙලා කියලා. ඒක ඇහුන දොඩම්පේගම පොරවාගෙන සිටි රෙදි එහෙට මෙහාට විසි කරමින් නැගිට්ටේ එතනත් එහෙම සත්තු ඇතැයි සිතාය.

පාන්දර යාමය වෙනකන් මදුරුවෝ කමින් කෝච්චිය එනකන් නිදි වර්ජිතව සිටිමට දොඩම්පේගමට සිදු වූයේ මා කියූ බොරුව නිසාය.කොතෙකුත් නළු නිළියන් සමඟ කටයුතු කර තිබුණ ද මා වඩාත් ප්‍රිය කළේ ටෝනි රණසිංහ, විජය කුමාරතුංග වැනි කීප දෙනෙකුට පමණි. දේශපාලනයේ රූකඩයක් නොවුණු ටෝනිත්, මනුෂ්‍යත්වයේ නාමය කැටි වූ මිනිසෙක් වූ විජයත් මා ප්‍රිය කළේ එම ගුණාංග නිසාය. මා මිත්‍ර පී. බී. ඉලංගසිංහ නැවතී සිටියේ තලකොටුවේ ඇනෙක්ස් එකකය.

එයට අල්ලපු කාමරයේ නැවතී සිටියේ කේ. ඩී. කේ. ධර්මවර්ධනය. ඒ අසලම පදිංචිව සිටියේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඔහු හමුවීමට නිතර විජය එහි පැමිණියේය. ඒ සෑම අවස්ථාවකම පී. බී. ගේ ඇනෙක්සියේදී මට නිතර විජය මුණ ගැසුණි. සරසවියේ සමහර සාකච්ඡා සඳහා අපි හමුවීමට නළුවන්ට ආරාධනා කරන්නේ ද පී. බී. ගේ ඇනෙක්ස් එකටය. එතන කලාකරුවන්ගෙන් පිරී යන රස හෝරාවන් ගෙවන දවස් බොහොමයකි.

වැඩට පැමිණීමට මා තුළ තිබූ දැඩි අලසකම දිනෙන් දින වැඩි වන්නට විය. අවවාදාත්මක ලියුම් ද පාලන අංශයෙන් මගේ අතට ලැබෙන්නට විය. විශ්‍රාම යාමට තව වසර කිහිපයක්ම තිබිණි. එහෙත් මගේ පැමිණීමේ දුර්වලතාව නිසාම ආයතනයෙන් මාව නෙරපා හරින්නට කලින් මා ඉල්ලා අස් වූයේ 1991 වසරේදීය. අද මෙන් එදා සරසවිය සිනමාවට පමණක්ම බර වූයේ නැත. සිනමා පත්තර පුරාවට විවිධ දේ පළ වූයේය. සෑම අංශයකම නියෝජනයක් මේ පුවත්පත තුළ අන්තර්ගත විය. අදත් අඩසිය වසරක් ගොස් සරසවිය ඉහළින් වැජඹෙනවා දැකීම එයට සමුදී සිටින මා හට ඇති කරන්නේ මහත් ප්‍රීතියකි.